පෙබරවාරි මාසයේ සහ මාර්තු මස මුල් දින කිහිපයේ ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවති මැතිවරණවල ප්‍රතිඵල මාර්තු 11 වනදා නිකුත් කරනු ලැබුණා. එම ප්‍රතිඵලවලට අනුව පාලක භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී) උත්තර ප්‍රදේශ් සහ උත්තරාඛන්ඩ් ප්‍රාන්තවල විශිෂ්ඨ ජයග්‍රහණ ලැබූ අතර එය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ජනප්‍රියත්වය පිළිබඳ පැහැදිලි සාධකයක් ලෙසත් සැළකීමට පිළිවන්.

උත්තර් ප්‍රදේශ් මැතිවරණය සම්බන්ධයෙන් විශාල අවධානයක් රටේ ම ඇතිව තිබුණා. ඉන්දියාවේ ජනගහනය අධිකතම ප්‍රාන්තය එය වන හෙයින්, එම ප්‍රාන්තයේ මැතිවරණයක් කෙරෙහි රටේ අවධානය යොමු වීම පුදුමයක් නෙවෙයි. භාරතීය ජනතා පක්ෂය ආසන 403 කින් 312 ක් දිනා ගැනීම දේශපාලන ක්ෂේත්‍රය විමතියට පත් කළා. ඇත්ත වශයෙන්ම බී.ජේ.පී ය තරඟ කළේ ආසන 381 කට පමණයි. එම නිසා එය පෙනනවාටත් වඩා විශිෂ්ඨ ජයග්‍රහණයක් වනවා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම  එම විජයග්‍රහණයට පාදක වූ කරුණු පිළිබඳ විවිධ සංවාදයන් ද ඇති වුණා.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය මුලින්ම එක්සත් පළාත් ලෙස පිහිටවන ලද්දේ 1937 අප්‍රේල් 1 වනදා බ්‍රිතාන්‍යයන් විසින්. එය පසුව විවිධ සීමා වෙනස්වීම්වලට ද ලක් වූ අතර දැනට එහි වපසරිය වර්ග කිලෝ මීටර 240,928 ක් වනවා.

2011 දී එහි ජනගහනය 199,281,477 ක් වුණා. මෙහි ජන ඝනත්වය වැඩි ප්‍රදේශ පිහිටා ඇත්තේ ගංගා සහ යමුනා යන ගංගාවල් දෙක ආශ්‍රයෙන්. එහෙයින් මෙම ප්‍රදේශයේ ඉතිහාසය සියවස් ගණනක් ඈතට දිව යනවා.

උත්තර් ප්‍රදේශ් හි අගනුවර ලක්නව් නගරයයි. ජනගහනය වැඩිම නගරය කාන්පූර් වන අතර , එහි ජනගහනය 2011 ජන සංඝණනය අනුව 2,920,067 ක් වුණා. ඊට අමතරව මිලියනයකට වඩා ජනකායක් ජීවත් වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අනෙකුත් නගර වන්නේ ගසියාබාද්, වාරානසී (බරණැස ), අලහබාද්, ලක්නව්, අග්‍රා සහ මීරූට් යන නගරයි (2011 දත්ත අනුව ).

දේශපාලන පක්ෂ

ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු 1960 දශකයේ අග භාගය වන තෙක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වූයේ ඉන්දීය ජාතික කොන්ග්‍රසයයි. ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු ද පාර්ලිමේන්තුවට තරඟ වැදුණේ අලහබාද් ආසනයෙන්.

කෙසේ නමුත් 1960 දශකයේ අග භාගයේ සිට ප්‍රාන්තය තුළ කොන්ග්‍රස් පක්ෂය සතුව තිබූ ජන පදනම කෙමෙන් දුර්වල වීමට පටන් ගත්තා. ඒ වෙනුවට විවිධ දේශපාලන පක්ෂද ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වුණා. ඒ සමහරක් පක්ෂ අද වනවිට ඒ ආකාරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ.

මේ වනවිට ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ ලෙස භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී.), සමාජවාදී පක්ෂය , බහුජන සමාජ් පක්ෂය සහ කොන්ග්‍රස් පක්ෂය දැකිය හැකියි.

අමිත් ෂා (වමේ සිට දෙවැනියා) බී.ජේ.පී ජයග්‍රහණයේ නියමුවා විය (IANS)

මෙයින් පැරණිම පක්ෂය වුවද , උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය තුළ මෙම පක්ෂ හතර අතුරින් දුර්වලම පක්ෂය වන්නේ කොන්ග්‍රස් පක්ෂයයි. එය එක්තරා ආකාරයකට පුදුමයට හේතු වන කරුණක් වන්නේ සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි යන දෙදෙනාම එම ප්‍රාන්තයේ ආසන දෙකකින් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා ඇති නිසයි. මෑත කාළයේ පිහිටවුන ලද  බහුජන සමාජ් පක්ෂය දාලිත්වරුන් හෙවත් පහත් යයි සම්මත කුලවල ජනයාගේ සහයෝගය හේතුවෙන් ජන පදනමක් ගොඩ නගාගෙන තිබෙනවා.

මෑත කාලීන උත්තර් ප්‍රදේශ් මැතිවරණ

උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය සෑම වසර 5 කටම වරක් පවත්වනු ලබනවා. 2007 පැවැත්වූ මැතිවරණයේදී බහුජන සමාජ් පක්ෂය ආසන 403 න් 206 ක් දිනා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද අතර මයාවතී ප්‍රාන්ත මහ ඇමති බවට පත් වුණා.

නමුත් 2012 දී සමාජවාදී පක්ෂය ආසන 224 ක් දිනාගත්තා. අකිලේශ් යාදව් මහ ඇමති ලෙස නම් කරනු ලැබුණා.

මෙම මැතිවරණ දෙකේදීම භාරතීය ජනතා පක්ෂය තුන්වන ස්ථානයට පත් වූ අතර කොන්ග්‍රස් පක්ෂයට හිමි වූයේ සිව් වැනි ස්ථානයයි. 2012 මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ලබාගත් ආසන සංඛ්‍යාව 47 ක් වුණා.

පාර්ලිමේන්තු මැතිවරණය

2014 ඉන්දීය මහ මැතිවරණය ඓතිහාසික මැතිවරණයක් වුණේ භාරතීය ජනතා පක්ෂය තනිවම බහුතර බලයක් දිනාගත් බැවින්. එම පක්ෂය ඉන්දියාවේ දේශපාලන පක්ෂ ගණනාවකින් සැදුම් ලත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ විශාලම පක්ෂය යි. එම සන්ධානය, ලෝක් සභා ආසන 543 කින් 336 ක් දිනාගනිද්දී ඉන් 282 ක් ම භාරතීය ජනතා පක්ෂය තනිව දිනා ගත්තා. මෙම ජයග්‍රහණයට මූලිකම හේතුව වූයේ වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝඩි බව නොරහසක්.

භාරතීය ජනතා පක්ෂය එම මැතිවරණයේදී උත්තර් ප්‍රදේශ් හි ඇති පාර්ලිමේන්තු ආසන 80 න් 71 ක් ම දිනාගත්තේ වසර දෙකකට පෙර ප්‍රාන්තයේ ආසන 224 ක් දිනූ සමාජවාදී පක්ෂය ආසන 5 කට සීමා කරමින්. කොන්ග්‍රස් පක්ෂය ප්‍රාන්තය තුළ දී ආසන 2 ක් පමණක් දිනාගත් අතර ඒ සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි තරඟ කල ආසනයි.

පෙර සූදානම

කෙසේ නමුත් මහ මැතිවරණයක් සහ ප්‍රාන්ත මැතිවරණයක් යන දෙක අතර ඇති විශාල වෙනස පිළිබඳ භාරතීය ජනතා පක්ෂයට හොඳ අදහසක් තිබුණ බව පෙනුණා. අනෙක් අතට උත්තර් ප්‍රදේශ් මැතිවරණය පැවැත්වුණේ මහ මැතිවරණයෙන් අවුරුදු තුනකට පසුවයි; එමෙන්ම , ආන්දෝලනාත්මක ලෙස ඉහළ අගයක් සහිත මුදල් නෝට්ටු අහෝසි කිරීමෙන් ඇතිවූ ව්‍යාකූල තත්ත්වය ජනතාවගේ මතකයෙහි තිබුණු සමයක යි.

මෙම මැතිවරණයේදි කොන්ග්‍රස් පක්ෂය සහ සමාජවාදී පක්ෂය සන්ධානගත වෙන්නට තීරණය කළේ දින ගණන් බැංකු ඉදිරිපිට පෝලිම්වල සිටීමෙන් හෙම්බත් වූ ජනතාව තමන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර මෝඩිට හොඳ පාඩමක් උගන්වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්.

නමුත් භාරතීය ජනතා පක්ෂය මැතිවරණයට මුහුණ දුන්නේ ඉතා හොඳ පෙර සූදානමක් ඇතිව යි . මේ පිළිබඳ විශාල වැඩ කොටසක් ඉටු කළේ පක්ෂ සභාපති අමිත් ෂා විසිනි.

2016 දී සිදුවූ එක් සිදුවීමක් පිළිබඳ “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබුණා . උත්තර ප්‍රදේශ් හි භාරතීය ජනතා පක්ෂ ප්‍රධානියෙක් 2016 ඇසෑම් ප්‍රාන්ත මැතිවරණ ව්‍යාපාරය අතරතුර දී අමිත් ෂා හට මුණ ගැසුණා. ඔහු එම ප්‍රධානියාට කියා සිටියේ “ඇසෑමයේ ඡන්දය තව සතියකින් අවසන් වෙනවා. ඔබ වහාම උත්තර් ප්‍රදේශ්වලට යන්න ” යනුවෙන්.

ඒ වගේම උත්තර් ප්‍රදේශ් මැතිවරණයට මාස ගණනකට පෙර පක්ෂය විසින් එක් ඡන්ද මධ්‍යස්ථානයකට දස දෙනෙකු හා 21 දෙනෙකු අතර ප්‍රමාණයක් වන පරිදි පාක්ෂිකයන් සංවිධානය කළා. මේ අනුව, ඡන්ද මධ්‍යස්ථාන 147,401 ක් ආවරණය වන පරිදි  පාක්ෂිකයන් ලක්ෂ 13.5 ක් මාස ගණනක් තිස්සේ මැතිවරණයට සූදානම් වුණා.

ඒ අතරම භාරතීය ජනතා පක්ෂය සිය අපේක්ෂකයන්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් තෝරාගත්තේ පහත් යයි සම්මත කුලවල අය අතුරින්. එමගින් ඔවුන් අතරේ ද ජන පදනම වර්ධනය කරගන්න භාරතීය ජනතා පක්ෂය කටයුතු කළා.

එමෙන්ම “ද හින්දු” පුවත්පතට ප්‍රකාශයක් කරමින් එක් ප්‍රබල බී.ජේ.පී. නායකයකු පවසා තිබුණේ සුලු ඡන්ද සංඛ්‍යාවකින් පරාජය විය හැකි යයි අනාවැකි පළ වූ ආසන 70 ක් පිළිබඳ විශේෂ අවධානයක් පක්ෂය යොමු කළ බවයි. එයින් ආසන 60 ක් ම පක්ෂය ජයගත් බව ද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර බී.ජේ.පී ය සමඟ උරණ වී සිටි ජට්වරුන් ආකර්ශණය කර ගැනීම සඳහා අමිත් ෂා වෙනමම උත්සාහයක් දැරූ අතර එයද සාර්ථක වූ බවක් පෙන්නුම් කෙරෙනවා. සාමාන්‍යයෙන් ජට්වරුන් අතර ප්‍රචලිත රාෂ්ඨීය ලෝක් දාල් පක්ෂය මෙවර ආසන 9 ක සිට එක් ආසනයක් දක්වා පල්ලම් බැසීම සැළකිය යුතු කරුණක් වුණා.

භාරතීය ජනතා පක්ෂය මෙසේ සංවිධානාත්මකව මැතිවරණයට මුහුණ දෙද්දී කොන්ග්‍රස් පක්ෂ – සමාජවාදී සන්ධානය මැතිවරණයට ආසන්න දින වන තුරුම කිනම් ආසනයක කවුරුන් තරඟ කළ යුතු ද යන මතභේදවල ගැලී සිටියා. මෙම තත්ත්වය දකින්නට ලැබුණේ කොන්ග්‍රසයේ බල කඳවුරු ආශ්‍රිතවයි. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ සාම්ප්‍රදායික කොන්ග්‍රස් බල කඳවුරු ද ආක්‍රමණය කිරීමට බී.ජේ.පී ය සමත් වීමයි.

හිටපු මහ ඇමති සමාජවාදී පක්ෂයේ අකිලේශ් යාදෙව් (PTI)

මේ අතර සමාජවාදී පක්ෂ – කොන්ග්‍රස් පක්ෂ සන්ධානය සහ බහුජන සමාජ් පක්ෂය අතර ඡන්ද බෙදී යාම හේතුවෙන් මුස්ලිම් ජනතාව සැළකිය යුතු ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශ කිහිපයක ම භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණ වාර්තා කිරීම තවත් වැදගත් සිදු වීමකි. සාම්ප්‍රදායිකව ඉන්දියාවේ මුස්ලිම් ජනයා කොන්ග්‍රස් පක්ෂය කෙරෙහි නැඹුරුවක් තිබුණ ද මෑත කාළයේ කොන් ග්‍රස් පක්ෂය වැටී ඇති තත්ත්වය ද සමඟ සමහර මුස්ලිම්වරුන් වෙනත් පක්ෂ වෙත නැඹුරු වීමට ද පටන් ගෙන තිබේ.

උත්තර් ප්‍රදේශ් පමණක් නොව උත්තරාඛන්ඩ් ප්‍රාන්තයේත් බී.ජේ.පී ය විශිෂ්ඨ ජයක් ලබා ගත් අතර මින් පෙර කිසිදු දිනෙක බී.ජේ.පී ය ශක්තිමත් නොවුණ මනිපූර් ප්‍රාන්තයේදිත් ඔවුන් හොඳ ප්‍රතිඵල පෙන්නුම් කළා. කොන්ග්‍රස් පක්ෂයට සතුටු විය හැකි ප්‍රතිඵල දකින්නට ලැබුණේ පන්ජාබ් ප්‍රාන්තයේදී පමණයි. එහිදී එම පක්ෂය ආසන 117 කින් 77 ක් දිනා රජයක් පිහිටවූවා.

වසර කිහිපයකට පෙර අන්තවාදී හින්දු කඳවුරේ සිට ජාතික මට්ටමේ ප්‍රබලම දේශපාලන බලවේගය බවට බී.ජේ.පී ය පැමිණීම බොහෝසෙයින් මෝඩි නිසා වූ දෙයක්. මෙය අප විසින් හොඳින් අධ්‍යයනය කළ යුතු සංසිද්ධියක් ද වනවා.

ඒ පිළිබඳ තවත් කරුණු වෙනමම ලිපියකින් ඔබ වෙත ගෙනෙන්නට අප බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍ර : Nistula Hebbar, How Amit Shah won U.P., one booth at a time, The Hindu, March 12, 2017, Mohammad Ali, Dissipated Jat anger lets RLD down, The Hindu, March 13, 2017,  S.V. Krishnamachari, BJP president Amit Shah reveals the secret behind party’s success in Uttar Pradesh, International Business Times, March 11, 2017

කවරයේ ඡායාරූපය : වාරානසී හි රැළියකදී අගමැති මෝඩි (PTI)