වරක් පුපුරවා හරින ලද මොස්කව්හි විශාලම ඕර්තඩොක්ස් දේවස්ථානය​

දේවස්ථානයක විශාලත්වය විවිධ ක්‍රමවලින් කියන්නට පුළුවන්. ඒ අතර වරකට ඇතුලත සිටිය හැකි උපරිම බැතිමතුන් සංඛ්‍යාව​, ගොඩනැගිල්ල විසින් වසාගැනෙන භූමියේ වර්ගඵලය, සහ ගොඩනැගිල්ලේ පරිමාව ආදී විවිධ නිර්ණායකයන් තියෙන්නට පුළුවන්.

ඇතැමුන් පවසන පරිදි මේ ඇතැම් නිර්ණායක අනුව ලෝකයේ විශාලම ඕර්තඩොක්ස් පල්ලිය වන්නේ මොස්කව් නගරයේ ඉදිකර ඇති ක්‍රිස්තුස් නම් ගැලවුම්කරුවාණන්ගේ ආසන දෙව් මැදුර යි. නමුත් එය විවාදාත්මක කරුණක්. කෙසේ නමුත් ලෝකයේ විශාලම ඕර්තඩොක්ස් දේවස්ථාන කිහිපයෙන් එකක් වන මෙය මොස්කව් හි ඇති විශාලම දේවස්ථානය බවට විවාදයක් නැහැ.

මෙම දේවස්ථානය ඉදි කිරීමට හේතු වූ කරුණත්, සුවිශේෂී ඓතිහාසික සිද්ධියක්. එමෙන්ම එය ඉදි කිරීමට මුල් තීරණය ගත් දා පටන්, එහි වැඩ අවසන් කිරීමට වසර 80කට වැඩි කාලයක් ගතවුණා. ඉදිකිරීම අවසන්ව වසර 50ක් යාමට ද පෙර එය කඩා දමනු ලැබුණා. එය යළි ඉදිකරන ලද්දේ සෝවියට් දේශය බිඳවැටුණ පසුයි.

පළමුවන අලෙක්සන්දර් සාර්ගේ යෝජනාව

පළමුවන අලෙක්සන්දර් රුසියාවේ සාර් බවට පත් වූයේ 1801 දී ඔහුගේ පියා වූ පළමුවන පෝල් සාර්ව රජවාසල කුමන්ත්‍රණයකින් ඝාතනය වූ පසුව යි. මෙම කුමන්ත්‍රණය පිළිබඳ අලෙක්සන්දර් දැන සිටිය ද ඊට ඔහු ඍජුව සම්බන්ධ වූයේ නැහැ. එමෙන්ම​, තම පියා ඝාතනයට පත් කිරීමේ අවශ්‍යතාවක් ද අලෙක්සන්දර්ට වූයේ නැහැ. කුමන්ත්‍රණයට කෙලින්ම දායක නොවුණත්, තම පියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම පිළිබඳව අලෙක්සන්දර් සිටියේ වරදකාරී හැඟීමෙන්.

1812 දී නැපෝලියන් දැවැන්ත හමුදාවක් සමග රුසියාව ආක්‍රමණය කරද්දී තමන් පරාජය වේයැ යි අලෙක්සන්දර් බිය වුණා. මෙම ආක්‍රමණය තම පියාගේ මරණය වැළැක්වීමට නොහැකි වීමේ පාපය ඵල දීමකැ යි ඔහු සිතන්නට පටන් ගත්තා. ඔහුගේ මානසික තත්ත්වය කෙමෙන් පහත වැටුණා. ඔහුගේ මිතුරකු වූ ගලිත්සින් කුමාරයාගේ බලපෑම මත අලෙක්සන්දර් ආගම වෙත නැඹුරු වූයේ මෙම අවස්ථාවේ යි.

කියවන්න​: නැපෝලියන් විනාශයට පත් වූ, රුසියානු ආක්‍රමණය

නැපෝලියන් පරාජය වූ පසු අලෙක්සන්දර් තුළ පුද්ගලිකව මෙන්ම රුසියාවේ ද පොදුවේ ආගමික ප්‍රබෝධයක් ඇති වුණා. එහෙයින් මේ ජයග්‍රහණය පිළිබඳ ස්තූතිය පළ කිරීමටත්, එම ජයග්‍රහණයෙහි අනුස්මරණයක් ලෙසත් යම් සංකේතයක් අවශ්‍ය වුණා.

විවිධ ශිල්පීන් අලෙක්සන්දර් වෙත විවිධ අදහස්, සැලසුම් යෝජනා කළා. අලෙක්සන්දර් එයින් ඇතැම් යෝජනා පිළිබඳ සතුටට පත් වූ නමුත් ඔහුට එය ප්‍රමාණවත් වූයේ නැහැ. මේ අතර​, සාන්ත පීතර්බුග්හි ජීවත් වූ ස්වීඩන් පවුලක උපන් ගෘහනිර්මාණ ශිල්පියකු වූ කාල් මැග්නස් විත්බර්ග් විසින් ඉදිරිපත් කළ සැලසුමකට අලෙක්සන්දර් ආකර්ශණය වුණා.

ක්‍රෙම්ලීනය අසළ සාර් පළමුවන අලෙක්සන්දර්ගේ ප්‍රතිමාව​ (Chamara Sumanapala)

අලෙක්සන්දර් විත්බර්ග් පිළිබඳ කෙතරම් පැහැදුණා ද කිවහොත් මෙම ඉදිකිරීමේ කර්තව්‍යය ද ඔහුටම පැවරුවා. නමුත් විත්බර්ග් එය භාර ගැනීමට කැමැති වූයේ නැහැ. ඔහු ගෘහනිර්මාණ ශිල්පියකු වුණත්, ඉදිකිරීම් කටයුතු පිළිබඳ පළපුරුද්දක් ඔහුට වූයේ නැහැ. එහෙත් අලෙක්සන්දර් මෙම විරෝධය නොසලකා හැරියා.

ආසන දෙව් මැදුරේ කටයුතු මුලින්ම පටන් ගැනුණේ දැන් එය පිහිටි ස්ථානයේ නොව ස්පැරෝ කඳු පෙදෙසෙයි. එනම් අද මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයය පිහිටි ස්ථානයේ යි. 1817 සැප්තැම්බර් 13 වන දා මෙම ව්‍යාපෘතිය ඇරඹුණා.

කෙසේ වුණත් මෙම ඉදිකිරීම බෙහෙවින් වියදම් සහගත වුණා. 1825 දී අලෙක්සන්දර් මියගිය පසු ඔහුගේ සහෝදරයා පළමුවන නිකුලස් ලෙස සාර් පදවියට පත් වුණා. ඔහු මෙම ඉදිකිරීම නවතා දැමුවා.

පසුව සොයාගන්නා ලද්දේ මෙම ව්‍යාපෘතියේ දී විශාල පරිමාණයේ වංචා සිදුව ඇති බව යි. විත්බර්ග්ගේ දේපල පවරාගෙන ඔහුව පිටුවහල් කරනු ලැබුණා. බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ඔහු අනෙක් පුද්ගලයින් විසින් කරන ලද වංචාවන්ට කොටු වූ නිර්දෝෂී අයකු බව යි.

ශාපය

පළමුවන නිකුලස් ඉතාම දැඩි ආගම් භක්තිකයකු ලෙස ප්‍රකට යි. ඔහු ආසන දෙව් මැදුරේ ව්‍යාපෘතිය නවතා දැමූ නමුත් තම නැසීගිය සහෝදරයාගේ ප්‍රතිඥාව ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳ චිත්ත පීඩාවට පත් වුණා. ඒ හේතුවෙන් ඔහු එම කටයුත්තට යළි අත තැබුවා. කලින් ස්ථානය වෙනුවට​, වර්තමානයේ ආසන දෙව් මැදුර පිහිටි ස්ථානයේ මෙම කටයුත්ත ඇරඹුණේ 1839 සැප්තැම්බර් 20 වන දා.

පුරාවෘත්තවල සඳහන් පරිදි මෙම ස්ථානයේ ඊට පෙර ද ආරාමයක් තිබුණා. එය කඩා දමා නව දේවස්ථානය ඉදි කිරීමට කටයුතු කර තිබෙනවා. කලින් ආරාමය කඩා දැමීම පිළිබඳ කෝප වූ පූජකවරියක් නව දෙව් මැදුරට ශාප කළේයැ යි කියනු ලබනවා.

පැරණි ආසන දෙව් මැදුර​. මෙය 20 වන සියවස මුල දී ගත් ඡායාරූපයකැ යි විශ්වාස කරනු ලබනවා (Public Domain)

ක්‍රිස්තුස් නම් ගැලවුම්කරුවාණන්ගේ ආසන දෙව් මැදුර ඉදි කිරීම බොහෝ සේ කල් ගතවන ව්‍යාපෘතියක් බවට පත්වුණා. මෙය ඉදි කිරීම අවසන් වූයේ 1883 දී යි. ඊට වසරකට පෙර​, 1882 දී, මෙම දේවස්ථානය අසල දී ප්‍යෝතර් චයිකොව්ස්කිගේ “1812 Overture” සංගීත නිර්මාණය පළමු වරට වාදනය කෙරුණා.

පුපුරවා හැරීම

සෝවියට් නායක ජෝසප් ස්ටාලින්, සෝවියට් දේශයේ ශ්‍රේෂ්ටත්වය විදහා දැක්වීමට සෝවියට් මන්දිරය (Palace of the Soviets) නම් වූ දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අදහස් කළා. මේ සඳහා තෝරාගත් ස්ථානය වූයේ ක්‍රිස්තුස් නම් ගැලවුම්කරුවාණන්ගේ ආසන දෙව් මැදුර පිහිටි ස්ථානය යි. ඒ අනුව දේවස්ථානය කඩා දැමීමට තීරණය කරනු ලැබුණා.

දේවස්ථානය පුපුරවා හැරීම​ (Public Domain)

1931 අග භාගයේ දී එය කඩා ඉවත් කිරීමේ මූලික කටයුතු ඇරඹුණා. එම වසරේම දෙසැම්බර් 5 වන දා එය පුපුරවා හරිනු ලැබුණා. මෙම ස්ථානයේ සුන්බුන් ඉවත් කිරීමට තව වසරක් පමණ ගතවුණා. මේ අතර නව ගොඩනැගිල්ල සඳහා සැලැස්මක් තෝරාගැනීමට ද දිගු කලක් ගතවුණා. කොමියුනිස්ට්වාදයේ උත්තරීතරභාවයට සංකේතයක් වියයුතු වූ මෙම ගොඩනැගිල්ල හැකි තරම් උසට නිර්මාණය කිරීම යි බලධාරීන්ගේ අවශ්‍යතාව වුණේ. මෙය නිර්මාණය කළේ නම්, එකල ලොව උසම ගොඩනැගිල්ල වීමට නියමිත වුණා. මෙහි ඉහල, ලෙනින්ගේ ප්‍රතිමාවක් නිමවීමට තීරණය වූ අතර එම ප්‍රතිමාව මීටර් 100ක් උස වියයුතු වුණා.

නව ගොඩනැගිල්ලේ වැඩ කටයුතු 1937 දී ඇරඹුණා. එහෙත් 1941 දී ජර්මන් ආක්‍රමණයත් සමග එම කටයුතු ඇණසිටියා. පසුව එහි වූ වානේ වෙනත් අවශ්‍යතා සඳහා යොදාගැණුනා.

සැලසුම් කළ සෝවියට් මන්දිරය (Design Museum, London)

දෙවන ලෝක යුද්ධයෙන් පසු ද ගොඩනැගිල්ලේ කටයුතු කළ හැකි වූයේ නැහැ. මේ අතර මෙම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයෙහි සැලසුම් කළ තරම් විශාල ගොඩනැගිල්ලක් ඉදිකළ නොහැකියැ යි සොයාගනු ලැබුණා.

එහි ඉදිකරන ලද අත්තිවාරම් කොටස් උපයෝගී කරගෙන 1958 දී මොස්ක්වා පිහිනුම් තටාකය ඉදිකරනු ලැබුණා. එය ලොව විශාලම එළිමහන් පිහිනුම් තටාකය වුණා. එහි ජලය උණුසුම් කරන ක්‍රමයක් තිබුණ අතර, එහෙයින් ශීත කාලයේ ද කොටසක එය භාවිතා කළ හැකි වුණා.

සෝවියට් දේශය බිඳවැටුණ පසු නැවත කලින් තිබුණු ආසන දෙව් මැදුර මෙහි ඉදිකිරීමට තීරණය කෙරුණා. ඒ අනුව යි අද දකින්නට ලැබෙන ගොඩනැගිල්ල ඉදිවූයේ. එය අවසන් කෙරුණේ 2000 දී යි.

Cover Image: ක්‍රිස්තුස් නම් ගැලවුම්කරුවානන්ගේ ආසන දෙව් මැදුර (Diego Delso)

Related Articles