Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මස්ටෑන්ග් කාරයෙන් පැමිණි ‘ලකුණු පුවරු’ දාම ඝාතකයා

ලොව එදා මෙදා තුර බිහි වූ දාම ඝාතකයන් ගැන සලකා බැලීමේදී පෙනී යන විශේෂ කාරණාවක් වන්නේ ඒ බොහෝ දෙනා සිය ඝාතන සිදුකිරීමේ දී තමන්ට ම අනන්‍ය වූ සුවිශේෂී ක්‍රමවේද භාවිතා කර ඇති බවයි. එමෙන් ම ඔවුන් සිය ගොදුරු තෝරාගැනීමේදී ද එලෙස වෙනස් වූ විධික්‍රම භාවිත කර තිබුණා. මේ හේතුවෙන් සමහර දාම ඝාතකයන්ට විවිධාකාරයේ අන්වර්ථ නාම පටබැඳී තිබුණා. අවම වශයෙන් තරුණ පිරිමින් 16 දෙනකුවත් මරා දැමූ රැන්ඩි ස්ටීවන් ක්‍රාෆ්ට්ටත් එවැනි අන්වර්ථ නාමයක්, ඔහුට එරෙහි ව පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් හා මාධ්‍යවේදීන් පටබැඳ තිබුණා.  ඔවුන් ඔහු හැඳින්වූයේ  ‘ලකුණු පුවරු ඝාතකයා’ ලෙසයි. ඒ ඝාතන සිදු කිරීමේදී ඔහු අනුගමනය කළ අපූර්ව ක්‍රමවේදය නිසාවෙනු යි.

සියලු දෙනාගේ නම් ලැයිස්තුවක්

රැන්ඩි ක්‍රාෆ්ට් 1972 වසරේ සිට 1983 වසර අතර කාලය තුළ සිය ඝාතන සිදු කළ අතර, ඒ සියල්ල ම පාහේ ඔහු සිදුකර තිබුණේ ගෙල සිර කිරීමෙන් හෝ වෙනයම් ආකාරයකින් හුස්ම සිර කිරීමෙනු යි. සාමාන්‍යයෙන් ඔහු, තමන්ට ගොදුරු වන්නාට නිදිපෙති හා මධ්‍යසාර ලබා දෙන අතර, ඒවා විශාල අධිමාත්‍රාවලින් ඔවුන්ගේ ශරීරගත කරන්නට වග බලා ගන්නවා. ක්‍රාෆ්ට් තමන් ඝාතනය කරන සියලු දෙනාගේ සම්පූර්ණ නම් යොදාගෙන ලැයිස්තුවක් සකස් කළ අතර ඔහු, ඔවුන්ගේ නම්වල මුලකුරු මෙන් ම ශරීරයේ සලකුණු වැනි දෑ ද මෙම ලැයිස්තුව සකස් කිරීමේ දී යොදා ගෙන තිබුණා.

උදාහරණයක් ලෙස ජැක් විලියම් ස්මිත් නැමැත්තකු ඔහු ඝාතනය කරයි නම්, ඔහුගේ නම ඔහු ලැයිස්තුගත කර තුබුණේ JWS ලෙසිනුයි. නම නිසිලෙස සොයාගැනීමට නොහැකි වූ විට ඒ ඒ අයගේ ශරීරයේ පච්චා සලකුණු, තුවාල කැළැල් වැනි දේ යොදාගෙන වෙනම ම ආකාරයකින් ඔහු ලැයිස්තුවක් සකස් කළා (සැක්‍රමැන්ටෝ හී දී හමුවන විශාල පච්චා සලකුණක් (Tattoo) ඇති තැනැත්තකු ඔහු ST යනුවෙන් නම් කළා). මෙලෙස ඔහු ලැයිස්තු ගත කොට නොතිබුණේ ඔහු ඝාතනය කළ දෙදෙනකු පමණයි. මරණ ලැයිස්තු ගත කරන මේ ක්‍රියාව ම ඔහු සිදු කළ ඝාතන සියල්ල නිසි ලෙස හඳුනාගැනීම සඳහා අදාල බලධාරීන්ට  පසුකාලීන ව මහෝපකාරී වුණා.

 රැන්ඩි ක්‍රාෆ්ට් තුරුණු වියේදී- randykraft.com

 

දිවියේ මුල් කාලය

රැන්ඩි ස්ටීවන් ක්‍රාෆ්ට් උපත ලැබුවේ 1945 වසරේ මාර්තු මස 19 වනදා අමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ ලෝන්ග් බීච් හී දී යි. ඔහුගේ පියා කිසිවක් එතරම් නොතැකූ තද ගති ඇත්තකු වූව ද, මව ඉතාමත් යුහුසුළු කාන්තාවක් වුණා. මේ නිසා ක්‍රාෆ්ට්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ඇය වෙහෙසුණා. කුඩා කල ඔහු ඉගෙනීමට උපන් හපන්කම් පෙන්වූ අතර, ගුරුවරුන් ඔහුගේ ඉහළ බුද්ධි මට්ටම නිතර ම ප්‍රසංශාවට ලක් කළා.

ඉතා හොඳින් සිය ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ක්‍රාෆ්ට් ගේ සිහිනය වූයේ යම් දිනෙක අමෙරිකානු සෙනෙට් සභිකයකු වීම යි. මේ සඳහා ඔහු ද්විතියික අධ්‍යාපනය ලබන සමයේ දී ජගත් සම්බන්ධතා සඳහා වූ සමාජයක් පවා නිර්මාණය කළා. මේ කාලය වන විට තමන් සමරිසි තැනැත්තකු බව ඔහු වටහාගෙන තිබුණත්, එය සිය පවුලේ අයගෙන් මෙන් ම මිතුරන්ගෙන් ද සඟවා තබා ගැනීමට ඔහු කටයුතු කළා.

තරුණයකු ලෙස

සිය මූලික හා ද්විතියික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ක්‍රාෆ්ට්, ක්ලැරමන්ට් මැකේනා විද්‍යාලයට ඇතුළත් වූයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ව හදාරන්නටයි. මෙහි අධ්‍යාපනය හදාරන්නට බඳවා ගැනුණේ  පුරුෂයන් පමණයි. ඔහු මෙහි පළමු වසරේ අධ්‍යාපනය ලබන සමය වන විට වියට්නාම යුද්ධය තදින් ම ඇවිළී ගිය අතර, ඔහු ඒ සම්බන්ධ අතිරේක භට ඛණ්ඩ පුහුණුවීම්වලට ද සම්බන්ධ වුණා. දක්ෂිණාංශික අදහස් ප්‍රකට කළ ක්‍රාෆ්ට් ඉන් නොනැවතී, වියට්නාම යුද්ධයට සහාය දක්වමින් රට පුරා පැවති රැලිවලට ද සහභාගී වූ අතර, කොන්සර්වේටිව් දේශ්පාලඥයන්ට ද සිය සහහෝගය දැක්වූවා.

උසස් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ක්‍රාෆ්ට් අමෙරිකානු ගුවන් හමුදාවට සම්බන්ධ වන අතර, ඉක්මනින් ම පළමු පන්තියේ ගුවන් භටයකු ලෙස උසස්වීමක් ද ලැබුවා. මේ කාලයේදී ම තමන්ගේ සමරිසිභාවය පිළිබඳ ව ඔහු සිය මව්පියන් දැනුම්වත් කළ අතර, එය පිළිගත් ඔහුගේ මව ඔහුට සහයෝගය දැක්වීමට තීරණය කළා. කෙසේ නමුත් මින් ඔහුගේ පියා දැඩි ලෙස කිපුණු අතර සිය පුත්‍රයාට පරිභව කරන්නටත් බැණ වදින්නටත් පටන් ගත්තා. ක්‍රාෆ්ට් මේ තදාසන්නයේ ම සිය ලිංගිකත්වය පිළිබඳ ව ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ද දැනුම්වත් කළා. එහි ප්‍රතිඵලය ලෙස ‘සෞඛ්‍ය හේතූන්’ මත ඔහු ගුවන් හමුදාවෙන් ඉවත් කෙරෙනවා. ක්‍රාෆ්ට්ගේ ජීවිතය වෙනස් ම මාර්ගයකට යොමුවුණේ මේ සමඟ යි.

ක්‍රාෆ්ට් සිදු කළ ඝාතන

ගුවන් හමුදාවෙන් ඉවත් කිරීමෙන් පසු ක්‍රාෆ්ට් නැවත සිය මවුපියන් වෙත ගිය අතර, සමාජශාලාවක රැකියාවක් සොයා ගත්තා. මෙහිදී ඔහුට ජෝයි ෆ්‍රැන්චර් නම් නිවසෙන් පලා ආ 13 හැවිරිදි නව යෞවනයකු මුණ ගැසෙන අතර, දෙදෙනා අතර සම්බන්ධයක් ගොඩනැගෙනවා. ක්‍රාෆ්ට් ඔහුට පවසන්නේ ඔහුට තමන් සමඟ විසිය හැකි බව යි. ආරාධනය පිළිගෙන ජෝයි ක්‍රාෆ්ගේ නිවස බලා යන අතර, එහිදී ක්‍රාෆ්ට් ඔහුට මත්ද්‍රව්‍ය ලබා දී අඩන්තේට්ටම් සිදු කරනවා.

මේ නිසා ක්‍රාෆ්ට් රැකියාවට ගොස් සිටින විටෙක ජෝයි ඔහුගේ නිවසෙන් පලා යන මුත් පොලිසියට ඔහු පිළිබඳ ව නිසි තිරතුරු සපයන්නේ නැහැ. ඔහු පොලිස් නිලධාරීන් හමුවට ගියත් පවසන්නේ ක්‍රාෆ්ට් තමන්ට පහර දුන් බව පමණයි. මත්ද්‍රව්‍ය තමන්ගේ කැමැත්තෙන් ගත් බව ඔහු ඔවුනට ප්‍රකාශ කළා. මේ නිසා පොලිසිය ක්‍රාෆ්ට්ගේ නිවසට පැමිණියත් වරෙන්තුවක් ගැනීමට උත්සුක වී තිබුණේ නැහැ. අවසානයේ සරල කට උත්තර ලබාගැනීමක් පමණක් සිදු  වූ අතර, ක්‍රාෆ්ට්ට විරුද්ධ ව කිසිදු චෝදනාවක් ගොණු වූයේ නැහැ.

ක්‍රාෆ්ට් සිය පළමු මිනිස් ඝාතනය සිදු කළේ 1971 වසරේදී යි. ඉන් පසු ඔහු වසර 12ක් පමණ වරින් වර මිනිසුන් මරා දැමුවා. වසර 13 ක නව යොවුන් වියේ තරුණයන්ගේ පටන් වසර 35 ක් දක්වා වූ පිරිමින් ඔහුට ගොදුරු වුණා. මින් බහුතරය නාවික කටයුතුවලට සම්බන්ධ වූවන් වුණා.

 රැන්ඩි ක්‍රාෆ්ට්ගේ මරණීය ලකුණු පුවරුව- thoughtco.com

 

රැන්ඩි ස්ටීවන් ක්‍රාෆ්ට් ගේ පළමු ගොදුර ලෙස සැලකෙන්නේ වේන් ඩුකට් නම් සමාජශාලා සේවකයකු යි. ඔහු කැලිෆෝනියාවේ ‘ස්ටේබල්ස්’ නම් සමරිසි අය සඳහා වෙන් වූ සමාජශාලාවක සේවය කරමින් සිටියා. තිස් වියැති ඔහුගේ නිසල දේහය කැලිෆෝනියාවේ ඕටෙගා අධිවේගී මාර්ගයේ පසෙක තිබී පොලිසියට හමුවන අතර, ඔහුගේ මරණයට හේතුව ලෙස මුලින් ම තීරණය කෙරුණේ ඇල්කොහොල් විස වීම යි. මොහු ක්‍රාෆ්ට්ගේ ගොදුරක් බැව් හෙළි වූයේ පසුකාලීනව වන අතර, ඔහු සිය ‘ලකුණු පුවරුවේ’ මුලින් ම සටහන් කර තිබූ ‘ස්ටේබල්’ නාමය අනුව මේ ඝාතනය ගැන හෙළි වුණා.

තරුණ පුරුෂ මළ සිරුරු

1972 වසරේ පටන් විටින් විට කැලිෆෝනියාවේ අධිවේගී මාර්ග ආශ්‍රිත ව තරුණ පුරුෂ මළ සිරුරු හමුවන්නට වුණා. මේවායින් බහුතරයක වධ හිංසා පැමිණ වූ ලකුණු තිබුණා. මේ බහුතරයක බැඳ තබා තිබූ ලකුණු, සපා කෑමේ ලකුණු, පහර දීමේ ලකුණු වැනි දේ තිබූ අතර, ඒවා සමහරකගේ ගෙල සිර කර තිබුණා. තවත් කිහිපයක ගුද මාර්ග ඉරී තිබුණු අතර, වෘෂණ කෝෂ ඉවත් කර තිබුණා. තවත් සමහරකගේ සිරුරු තුළට විවිධ දෑ ඇතුළු කර තිබුණා.

1973 වසරේ සිට 1975 වසර දක්වා කාලය තුළ මේ ආකාරයෙන් හමු වූ සිරුරු ගණන 14 ක්. මේ වන විට මෙම ඝාතන පිළිබඳ ව එෆ්.බී. අයි ආයතනය විමර්ෂණ ආරම්භ කර තිබූ අතර ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වී තිබුණේ ඝාතකයා ඉහළ බුද්ධි මට්ටමක් සහිත, ඉතා සූක්ෂම ව මෙන් ම පිළිවෙළට කටයුතු කරන අයකු බවයි. එමෙන් ම බොහෝ විට ඔහු හමුදා පුහුණුව ලැබූ අයකු  විය හැකි බවටත් ඔවුන් අනුමාන කර තිබුණා. කෙසේ නමුත් මේ නිරීක්ෂණ හා නිගමනවලට සරිලන සැකකරුවකු සොයා ගන්නට ඔවුන් අපොහොසත් වුණා.

ක්‍රාෆ්ට් හසුවෙයි

එෆ්.බී. අයි නිලධාරීන්ට හිසරදයක් ව තිබූ, මේ මිනීමැරුම් සිදු කළ ඝාතකයා පිළිබඳ ව අවසානයේ සුළු හෝ තොරතුරක් ඔවුන්ට ලැබෙන්නේ කීත් කොට්වෙල් ඝාතනයත් සමඟ යි. 1975 වසරේ මැයි මාසයේ දී ඔහුගේ හිස්කබල ලෝන්ග් බීච් මැරීනා හී තිබී හමු වන අතර, මීට මාස කිහිපයකට පෙර ඔහු ඉතා තදින් මත් වී ෆෝඩ් මස්ටැන්ග් රථයක සිටිනු ඇසින් දුටු දෙදෙනකු ගෙන් තොරතුරු ලබාගන්නට පොලිසිය සමත් වුණා.

ඔවුන් දෙදෙනා එම කාරය සොයා ගෙන එහි ලියාපදිංචි අංකය එෆ්.බී. අයි නිලධාරීන්ට ලබා දුන්නා. මෙය ක්‍රාෆ්ට්ට අයිති රථය වූ අතර, ඔහු අත් අඩංගුවට ගැණුනත් ඉක්මනින් ම මුදා හැරෙන්නේ සාක්ෂි ප්‍රමාණවත් නැති නිසාවෙනු යි. මරණ පරීක්ෂකවරුන් කොට්වෙල්ගේ මරණය හදිසි දියේ ගිලීමක් විය හැකි බවට තීරණය කිරීමත් සමඟ ක්‍රාෆ්ට් නිර්දෝශී බැව් තීරණය කරන්නට එෆ්.බී. අයි නිලධාරීන්ට සිදු වුණා.

ටෙරී ලී ගැම්බ්‍රෙල් ගේ නිසල දේහය

983 වසරේ මැයි මස 14 වනදා මංතීරු නීතිය නොපිළිපැදීමේ වරදක් නිසා ක්‍රාෆ්ට්ගේ කාරය පොලිසිය නතර කරනවා. මෙහිදී ඔවුන් දකින්නේ ක්‍රාෆ්ට් සිය කලිසමෙහි බොත්තම ගලවා ගෙන සිටින බව යි. යම් සැකයක් ඇති වූ බැවින් ඔහුගේ කාරය පරීක්ෂා කෙරුණු අතර, ඔවුනට 25 හැවිරිදි නාවුක සේවකයකු වන ටෙරී ලී ගැම්බ්‍රෙල් ගේ නිසල දේහය එහි තිබී හමු වෙනවා.

ක්‍රාෆ්ට් එම ස්ථානයේදී ම පොලිස් භාරයට ගැනෙනවා. ඔහුගේ කාරය සූක්ෂම ලෙස පරීක්ෂා කිරීමේ දී මිය ගිය හෝ සිහි නැති පුරුෂයන්ගේ ඡායාරූප 70 කට වඩා ද, මත්ද්‍රව්‍ය හා මත්පැන් විශාල ප්‍රමාණයක්, ලේ වැකුණු ආසන වැනි දේ හමුවුණා. විශේෂත්වය වන්නේ කුඩා ට්‍රන්ක පෙට්ටියක තිබී, අතින් ලියූ නම් ලැයිස්තුවක් ද පොලිසිය භාරයට පත්වීම යි. මෙය මොහු සිදු කළ ඝාතනවල ලැයිස්තුවක් විය හැකි බැව් අනුමාන කළ පොලිසිය එය වැඩිදුර විමර්ෂණ සඳහා වහා ම යොමු කළා. ක්‍රාෆ්ට් ගේ සියලු ඝාතන පිළිබඳ ව හෙළි වන්නට පටන්ගන්නේ ඒත් සමඟ යි.

 රැන්ඩි ක්‍රාෆ්ට් අද- San Quentin state prison

 

ක්‍රාෆ්ට්ට එරෙහි පරීක්ෂණ 

1983 වසරේ සැප්තැම්බර් මස 10 වනදා ක්‍රාෆ්ට්ගේ නිවස පරීක්ෂා කෙරුණු අතර, සාෂිකරුවන් රැසකගෙන් කට උත්තර ද ලබා ගැනුණා. මේ අනුව රැන්ඩි ස්ටීවන් ක්‍රාෆ්ට් අවම වශයෙන් මනුෂ්‍ය ඝාතන 16 කටවත් වග කිව යුතු බවට බලධාරීන්ට වැටහුණා. කෙසේ නමුත් ඔහුගේ ‘ලකුණු පුවරු’ ලැයිස්තුවේ විවිධාකාරයේ නම්, ඉලක්කම් හා සලකුණු 60 ක් පමණ තිබූ බැවින්, ඔහු සිදු කළ ඝාතන ප්‍රමාණය ඊටත් වඩා වැඩි වි‍ය හැකි යැයි අනුමාන කෙරුණා.

1988 වසරේ සැප්තැම්බර් මස 26 වන දින ක්‍රාෆ්ට්ට විරුද්ධ නඩු විභාගය ඇරඹුණු අතර මෙය මාස 13ක පමණ කාලයක් ඇදී ගියා. ක්‍රාෆ්ට් ඒ වන විට හඳුනා ගෙන තිබූ මිනිමැරුම් සියල්ලට වැරදිකරු බවට තීරණය කෙරුණු අතර, ඔහුට 1989 වසරේ නොවැම්බර් මස 29 වන දින මරණ දඬුවම ලබා දීමට තීරණය කෙරුණා. අද වන තුරු එය ක්‍රියාත්මක නොවූ අතර, 76 හැවිරිදි මහල්ලකු ලෙස ඔහු අදටත් කැලිෆෝනියාවේ සැන් ක්වෙන්ටින් ජාතික බන්ධනාගාරයේ රැඳී සිටිනවා. ඔහු අදටත් පවසන්නේ තමන් නිර්දෝශී බව යි.

තවත් ප්‍රකට ඝාතන ගැන මෙතනින් කියවන්න.

කවරයේ පින්තූරය - රැන්ඩි ස්ටීවන් ක්‍රාෆ්ට් - pinterest.com 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Criminalminds.fandom.com

murderpedia.org

Related Articles