නොවිසඳුණු අතුරුදහන්වීම් -8: සිසුවියන් දෙදෙනකුගේ හා මවකගේ උභතෝකෝටිකය

තවමත් විසඳා ගත නොහැකි වූ, ඒ පිළිබඳ පර්යේෂණ කරන්නවුන්ගේ හිස් දැඩි ලෙස වෙහෙස කරවන අසාමාන්‍ය පුද්ගල අතුරුදහන්වීම් ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි පසුගිය ලිපියෙන් අපි ඔබ වෙත ගෙන ආවේ, නිව් මෙක්සිකෝ හි විසූ 19 වැනි වියෙහි පසු වූ යුවතියක වන ටාරා කැලිකෝ ගේ අතුරුදහන් වීම පිළිබඳව යි. ඇගේ වෝක්මන් යන්ත්‍රය සහ කැසට්පටය හමුවූවත් ඇය පිළිබඳ ව වෙනත් කිසිදු තොරතුරක් කලකට හමු නොවූ අතර, පසුකාලීන ව හමු වූ පෝලරොයිඩ් ඡායාරූපයක හුන් ඇය වන් අයකු හේතුවෙන් එම සිද්ධිය වෙනත් ම මානයකට ඇදී ගියා. කෙසේ නමුත් මේ වන විටත් ඇය පිළිබඳ ව කිසිදු සාධනීය තොරතුරක් සොයා ගන්නට කිසිවකුත් සමත් වී නැහැ. 

1992 වසරේදී මිසූරි හී විසූ යුවතියක්, ඇගේ මිතුරියක සහ මවක හදිසියේ අතුරුදන් වූයේ ද මෙවැනි ම උභතෝකෝටිකයක් ලොවට මවමිනු යි.

උපාධි ප්‍රදානෝත්සවයට පසු දින වූ අතුරුදහන් වීම

1992 වසරේ ජුනි මස 7 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ, මිසූරි ප්‍රාන්තයේ ස්ප්‍රිංෆීල්ඩ් නුවරින් ත්‍රිත්ව පුද්ගල අතුරුදහන් වීමක් වාර්තා වුණා. මෙලෙස අතුරුදහන් වී තිබුණේ 19 වියැති සුසී ස්ට්‍රීටර්, 47 වියැති ෂෙරිල් ලෙවිට්  නම් වූ ඇගේ මව සහ 18 වියැති ස්ටේසි මැකෝල් යන තිදෙනා යි. ස්ටේසි, සුසී ගේ හොඳ ම මිතුරිය යි. ඔවුන් අතුරුදහන් වී තිබුණේ ස්ප්‍රිංෆීල්ඩ් හි ඇති සුසී ගේ නිවසේ නතර වී සිටිය දී හෝ ඒ තදාසන්නව යි.

 ((වමේ සිට දකුණට ) ෂෙරිල් ලෙවිට් (47), සුසී ස්ට්‍රීටර් (19) සහ ස්ටේසි මැකෝල් (18)- medium.com

 

අතුරුදහන් වීමට පෙර දින සුසී හා ස්ටේසි ඔවුන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වී සිය උපාධිය ලබාගෙන තිබුණා. සුසී සහ ඇගේ මව සිය නිවසෙහි ඒ සඳහා උත්සවයක් සංවිධානය කර තිබුණා. මේ සඳහා ස්ටේසි ද සහභාගී වූ අතර, ඇය සිය මව වන ජැනිස්ට පවසා තිබුණේ ඈ එම උත්සවයට සහභාගී වී, තවත් දිනක් හෝ දෙකක් සුසීගේ නිවසෙහි නතර වී පැමිණෙන බව යි. එහෙත් ඇය සිද්ධියෙන් වසර තිහක් ගතවීත් නිවසට නැවත  නොපැමිණේවි යයි ඇය සිහිනෙකිනුදු සිතුවේ නැහැ.

සාර්ථක නොවූ පොලිස් පර්යේෂණ

සිසුවියන් දෙදෙනාගේ සහ මවගේ අතුරුදහන් වීම පිළිබඳ ව ඔවුන්ගේ නෑ හිතවතුන්ගෙන් දැන ගැනීමෙන් අනතුරු ව, ස්ප්‍රිංෆීල්ඩ් පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා. බොහෝ දෙනෙක් මේ තිදෙනා අවසන් වරට දැක තිබුණේ වෙබ්ස්ටර් නම් පෙදෙසේ වීථියක සිටියදී යි. මේ අනුව ඔවුන් වෙබ්ස්ටර් පෙදෙස ඇතුළු වන පරිදි ස්ප්‍රිංෆීල්ඩ් පීරා ඔවුන් සොයා පර්යේෂණ ක්‍රියාත්මක කළ අතර, ඔවුනට කිසිවක් හමු වූයේ නැහැ. මෙම පර්යේෂණ 1993 වසර අවසන් වන තුරුම සිදුකෙරුණ ද එක් හෝඩුවාවක් හෝ හමුවූයේ ඔවුනට නොවෙයි.

 සුසී හා ෂෙරිල්ගේ නිවස- kympasqualini.medium.com

 

මනුෂ්‍ය ඝාතන සිදු කිරීම නිසා සිරගත ව සිටි රොබට් ක්‍රෙග් සොක්ස් නම් පුද්ගලයා 1996 වසරේ දී යම් වැදගත් තොරතුරක් හෙළි කරන්නේ මේ අතුරුදහන් වීමේ සිද්ධියට වසර 4 ක් පමණ ගත වී, කිසිදු හෝඩුවාවක් හමු නොවුණු වටපිටාවක යි. ඔහු පවසා සිටියේ කාන්තාවන් තිදෙනා අතුරුදහන් වන දිනයෙහි තමන් සිටියේ ස්ප්‍රිංෆීල්ඩ් නුවර, එම කාන්තාවන් සිටින් නිවස ආසන්න ස්ථානයක බවයි. කෙසේ නමුත් ඔවුන් දුටු බව හෝ හමු වූ බව ඔහු පැවසුවේ නැහැ. පොලිසිය දිගින් දිගට ප්‍රශ්න කිරීම් සිදු කළ ද, ඔහු පැවසුවේ තමන් එවැනි කිසිවකු හෝ නොදුටු බව යි. මේ අනුව ඔහු පිළිබඳ ව පැනනගුණු සැකය බැහැර කෙරුණා.

වෙබ්ස්ටර් හි තිබූ මිනිස් අවශේෂ

1996 වසරේ සිට තවත් වසර 6 ක්, එනම් 2002 වසර වන තුරු සුසී, ඇගේ මව හා ස්ටේසි පිළිබඳ ව පර්යේෂණ ඇදී ගියේ ඉතා මන්දගාමීව යි. බොහෝ දෙනෙක් එය බැහැර කර තිබුණේ එය කිසිදු ආකාරයකින් විසඳිය නොහැකි අභිරහසක් බව තමන්ට ම ඒත්තු ගන්වාගෙන තිබූ නිසා යි. කෙසේ නමුත් ඔවුන්ගේ අතිශය සමීපතමයන් ඒ වන විටත් ඔවුන් පිළිබඳ සෙවීම අතැර තිබුණේ නැහැ. ස්ටේසිගේ මවත් ඒ අතර වුණා. ස්ප්‍රිංෆීල්ඩ් පොලිස් ස්ථානයට හදිසියේ ඇමතුමක් එන්නේ ඒ අතර යි. කාන්තාවකගෙන් ආ එම ඇමතුමෙන් කියැවුණේ, වෙබ්ස්ටර් හි කොංක්‍රීට් වැඩපළක වසර කිහිපයක සිට කාර්යයේ නියුතු කිහිපදෙනෙක් තමන්ට සැක කටයුතු බවයි. මෙය සුසී, ඇගේ මව හා ස්ටේසි අවසන් වරට දුටු ස්ථානයට සමීප ව පිහිටා තිබෙනු පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වුණා. මේ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය වහාම එම ස්ථානය පරීක්ෂා කළ අතර එහිදී ඔවුනට මිනිස් ඇටකටු ඇතුළු අවශේෂ කිහිපයක් හමුවෙනවා.

පර්යේෂණ අසාර්ථක වෙයි 

වෙබ්ස්ටර් හි කොංක්‍රීට් වැඩපළෙන්  මිනිස් අවශේෂ හමුවීමත් සමඟ එහි සේවයේ නියුතු ව සිටි සැකකටයුතු කිහිප දෙනෙක් ම අත් අඩංගුවට ගැනුණා. ඒවා වහ වහා පර්යේෂණ සඳහා යොමු කෙරුණ ද, එහි දී පැවසුණේ එම ඇට කැබලි ඇත්තෙන් ම සුසී, ඇගේ මව හා ස්ටේසිට අයත් නොවන බව යි. ඒවා ඔවුන්ගේ අතුරුදහන් වීම සිදු වූ කාලයට වඩා බොහෝ සෙයින් පැරණි ඒවා බැව් ඔප්පු වූ බැවින්, ඔවුන් සොයා ගැනීමට කලකට පසුව හමු වූ එක ම හෝඩුවාව ද එලෙස අපතේ ගියා.

 සිද්ධිය පුවත්පතක වාර්තා කර තිබූ ආකාරය- imgur.com

 

මේ සිද්ධියට පසු වසරේ, එනම් 2003 වසරේ දී කෑස්විල් හි ගොවිපොළක තිබී මිනිස් රුධිර පැල්ලම් හඳුනා ගැනීමට පර්යේෂකයන් සමත් වුණා. යුහුසුළු ව ඒවා අතුරුදහන් වූ තිදෙනාට අයත් දැයි පරීක්ෂා කෙරුණු අතර, නැවත වරක් ඔප්පු වූයේ එම පැල්ලම් හා ඉහත අතුරුදහන් වීම අතර කිසිදු සම්බන්ධයක් නැති බව යි.

වර්තමානය වන විට මෙම ත්‍රිපුද්ගල අතුරුදහන් වීමට වසර 30 ක් ගත වී තිබෙනවා. කෙසේ නමුත් 2003 වසරෙන් පසු කිසිදු ආකාරයේ සාධනීය සාක්ෂියක් මේ පිළිබඳ ව කිසිවකුට හෝ හමු වී නැහැ. කෙසේ නමුත් ස්ටේසි මැකෝල් ගේ මව අදටත් සිය දියණිය සොයා ගැනීමේ බලාපොරොත්තු අත්හැර නැහැ. කෙසේ නමුත් ස්ප්‍රිංගීල් පොලිසිය නම් ඒ පිළිබඳ පර්යේෂණ සම්පූර්ණයෙන් ම වාගේ අතැර දමා තිබෙනවා.

කවරයේ ඡායාරූපය - kympasqualini.medium.com 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Ky3.com

Springfieldmo.gov

Related Articles

Exit mobile version