Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොවිසඳුණු අතුරුදහන්වීම් -7 : ටාරා කැලිකෝ හදිසියේ නික්මෙයි

තවමත් නොවිසඳී පවතින, සියලු දෙනාට ම ප්‍රශ්නාර්ථ ඉතිරි කළ අතුරුදහන් වීම් පිළිබඳ ව ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි පසුගිය ලිපියෙන් ෆෙඩ්‍රික් වැලන්ටික් නම් ගුවන් නියමුවා, පුහුණු පියාසැරියක් අතරතුර දී හදිසියේ අතුරුදහන් වීමත්, ඉන් පසු ඔහු ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වීමත් පිළිබඳ ව තොරතුරු ඉදිරිපත් කළා. අතුරුදහන් වීමට පෙර අවසන් වරට ඔහු ප්‍රකාශ කළ, ආගන්තුක යානයක් පිළිබඳ ව වූ හෙළි කිරීම නිසා, සමහරෙක් දෙනා විශ්වාස කරන්නේ ඔහු පිටසක්වල ජීවීන් විසින් පැහැරගෙන යන්නට ඇති බව යි. 

1988 වසරේ දිනෙක හදිසියේ අතුරුදහන් වූ ටාරා කැලිකෝ නම් අමෙරිකානු යුවතිය පිළිබඳ පුවතත් එවැනි ම කුකුසක් සෑම දෙනාගේ ම සිතෙහි ඇති කළ සිද්ධියක් වෙනවා. අද වන තුරුත් ඇය සොයා ගන්නට කිසිවකුට හෝ නොහැකි වූවත්, අතුරුදහන් වීමෙන් වසරකට පසු පෝලරොයිඩ් කැමරාවකින් ගත් පින්තූරයක ඇය හා සමාන රුවක් තිබීම නිසා මෙම සිද්ධියේ සංකීර්ණත්වය තවත් වැඩි වුණා. 

 ටාරා කැලිකෝ – Youtube.com

 

පාපැදියෙන් පිටත් වී නැවත නොපැමිණි ටාරා

ටාරා කැලිකෝ නම් 19 වියැති තරුණිය1988 වසරේ සැප්තැම්බර් මස 20 වැනි දා උදෑසන, අමෙරිකා එක්සත් ජනපදයේ, නිව් මෙක්සිකෝ හි, වැලන්සියා පෙදෙසේ වූ තම නිවසේ සිට, සිය පාපැදියෙන් ඉවතට නික්මුණා. ඉඩ හසර ලද විට ඇය මෙලෙස පාපැදිය පැදීම සාමාන්‍ය කාරණාවක් වූ අතර එදින ඇගේ සමීපතමයන් ඇය දකින අවසන් දවස බව කිසිවකුත් සිතුවේ නැහැ. 

ප්‍රියමනාප සහ සැහැල්ලු ගති තිබූ ඇය, පිටත් වන්නට පෙර සිය මව වෙත විහිළුවක් කරමින් පැවසුවේ තමන් දහවල වෙනතුරු නොපැමිණියහොත් ඉවතට පැමිණ තමන් සොයන ලෙස යි. ඒත් සමඟ ම ඇය පැවසුවේ දහවල් 12.30 වන විට ඇය නැවත පැමිණ ඇගේ පෙම්වතා සමඟ ටෙනිස් ක්‍රීඩා කිරීම සඳහා යාමට සැලසුම් කර ඇති බව යි. කෙසේ නමුත් දිවා කාලය වන විටත් ඇය නොපැමිණීම නිසා ඇගේ මව ඇය ගිය මාවත ඔස්සේ ඇය සොයා යනවා. නමුත් එහි ඇය පිළිබඳ ව සලකුණක්වත් තිබුණේ නැහැ.

ටාරා කැලිකෝ අතුරුදහන් ව ඇති බවට වටහා ගත් ඇගේ මව ඉක්මනින් ම මේ පිළිබඳ පොලිසිය දැනුම්වත් කරනවා.  පොලිසිය වහා ම පර්යේෂණ ආරම්භ කළ අතර, ඔවුනට ද හමු වූයේ සාක්ෂි ස්වල්ප ප්‍රමාණයක් පමණ යි.

ප්‍රයෝජනවත් නොවූ සාක්ෂි

ටාරා ගමන් කළ මාර්ගයේ පසෙක වැටී තිබී ඇගේ වෝක්මන් යන්ත්‍රය සහ එය තුළ වූ ටේප් පටය හමුවුණා. ඒවා කිසිවෙක් කඩා බිඳ දමා තිබුණා. එහි ටාරාගේ ඇඟිළි සලකුණු හැර වෙනත් කිසිවකුගේ ඇඟිලි සලකුණක් තිබුණේ නැහැ. මේ නිසා මෙය කඩා බිඳ දැමීම ඇගේ ම ක්‍රියාවක් බැව් පොලිසියේ මතය වුණා. දින කිහිපයක් උත්සාහ කළ ද ඇය පිළිබඳ ව හෝ ඇගේ පාපැදිය පිළිබඳ ව වෙනත් කිසිදු සාක්ෂියක් හමු වූයේ නැහැ. මේ ආකාරයට මාස නවයක් පමණ ගත වුණා.

 ටාරාගේ වෝක්මනයෙහි වූ ටේප් පටිය- Shutterstock

 

ටාරාගේ මේ අසාමාන්‍ය අතුරුදහන්වීම පිළිබඳ ව තොරතුරු සෙවීම පොලිස් බලධාරීන් අත්නොහැරි අතර, ඇගේ මව්පියන්ගෙන්, ඇය ඔවුන් සමඟ තිබූ සම්බන්ධතාව, නිවසේ ඇය කාලය ගත කළ ආකාරය වැනි දේ පිළිබඳ ව ඔවුන් විමසුවා. මෙහිදී පොලිස් බලධාරීන්ගේ අභිප්‍රායය වූයේ ඇ‍යට සිදු වන මානසික පීඩනය වැනි දෙයක් නිසා ඇය නිවස හැර පියා ගියේ ද යන්න දැන ගැනීම යි. කෙසේ නමුත් එහිදී ඔවුනට ශපථ වූයේ ඇය මාපියන්ට බොහෝ සෙයින් ආදරය කළ බව සහ ඇය ද සතුටින් සිට ඇති බව යි. ඇය ඉතා කඩිසර මෙන් ම බොහෝ දේ සිදු කළ අයෙක් බැව් ඇගේ පියා ප්‍රකාශ කර සිටියා.

වාහන අංගනයකින් මතු වූ සේයාරුව

1989 වසරේ ජුනි මස 15 වන දා, ටාරා ගේ නිවසට සැතපුම් 1500 ක පමණ දුරකින් පිහිටි වාහන අංගනයක වැටී තිබී, පෝලරොයිඩ් කැමරාවකින් ගත් ඡායාරූපයක් හමුවෙනවා. එහි වූයේ යම් ඇතිරිල්ලක වැතිරී සිටින නව යොවුන් වියේ පසුවන තරුණියක් හා වයස අවුරුදු 10 ක පමණ පිරිමි දරුවකු යි. ඔවුන්ගේ දෑත් පසුපසට කර බැඳ තබා ඇති ආකාරයක් දිස් වූ අතර, ටේප් පටි අලවා මුව වසා තිබුණා. මෙය අසාමාන්‍ය ඡායාරූපයක් නිසා පොලිසිය පර්යේෂණ සඳහා  එය යොමු කළ අතර, එහි සිටින යුවතිය ටාරා හා සමාන රූප ලක්ෂණවලින් යුක්ත බැව් පෙනී ගිය නිසා, එය හඳුනා ගැනීමට ඇගේ මව වෙත යොමු කෙරුණා. ඇගේ මව පැවසුවේ ඒ ටාරා ම බැව් තමන්ට හැඟී යන බව යි. ඇගේ පාදයක වූ තුවාල කැළලක් ද එලෙස ම මෙහි ද පවතින බැව් ඇය පැවසුවා. එහෙත් එෆ්.බී.අයි සංවිධානය එය එසේ ම පිළිගත්තේ නැහැ. මෙය මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් ආයතනය වෙත යොමු කෙරුණු අතර ඔවුන් විශ්වාස කළේ ටාරාගේ මව නිවැරදි බව යි.

 වාහන අංගනයක තිබී හමු වූ පෝලරොයිඩ් සේයාරුව- wattpad.com

 

ටාරා කැලිකෝ පිළිබඳ පර්යේෂණ වෙනත් දිශාවකට හැරුණේ හෙන්ලි නම් යුවළක් ඉහත කී ඡායාරූපයේ වූ පිරිමි දරුවා තමන්ගේ පුත්‍රයා බවට හඳුනා ගැනීමත් සමඟ යි. ඔහුගේ ශරීර කොටස් 1990 වසරේදී සුනි කඳුකරයෙන් හමු වෙනවා. ඔහු ඒ තදාසන්න ව අතුරුදහන් ව තිබූ අතර, අතරමංවීම නිසා ඔහුට සිය මාපියන් මඟ හැරී ගොස්, දැඩි හිරු රශ්මියෙන් විජලනය වීම නිසා මරණයට පත් වුණු බැව් පර්යේෂණ කිරීමේ දී නිර්ණය වුණා. කෙසේ නමුත් ටාරා පිළිබඳව කිසිදු හෝඩුවාවක් එහිදී ද හමු වූයේ නැහැ.

පසුකාලීන ව මතු වූ මතය

2008 වසර වන විටත් ටාරා ගේ අතුරුදහන් වීම පිළිබඳ සෙවීම වැලන්සියා හි පොලිස් නිලධරයන් අත්හැර තිබුණේ නැහැ. ඒ වන විට එහි ෂෙරිෆ්වරයා වූ රෙනේ රිවෙරා මතයක් ගෙන එමින් ප්‍රකාශ කළේ ඇය නව යොවුන් වියේ පසු වූ අයෙක් පැදවූ වාහනයක ගැටී මිය යන්නට ඇති බව යි. ඇය අතුරුදහන් වූ දිනයේ එවැන්නක් සිදු වූ බවට නිල නොලත් ආරංචි ඔහු වෙත ලැබී තිබූ අතර, එම නව යොවුන් තරුණයා බිය වී හොර රහසේ ම ඇය හා ඇගේ පාපැදිය යම් තැනක වළලන්නට ඇති බවට නිර්ණය කෙරුණා. කෙසේ නමුත් මේ මතය තහවුරු කරන්නට කිසිදු සාධනීය සාක්ෂියක් හමු වූයේ නැහැ. කිසිවෙක් සැක පිට අත් අඩංගුවට ගැනුණේත් නැහැ.

ටාරා කැලිකෝ අතුරුදහන් වී මේ වන විට වසර 33ක් ගත වී තිබෙනවා. ඇ‍යට සැබවින් ම සිදු වූයේ කුමක් ද? හමු වූ පෝලරොයිඩ් ඡායාරූපයේ සිටින්නේ ඇය ම ද? එය එසේ නම් ඇය හෙන්ලි යුවළගේ මිය ගිය පුත්‍රයා සමඟ එහි සිටින්නේ කෙසේ ද? ඇය තවමත් ජීවතුන් අතර ද? නැද් ද? මේ ගැටලු අදටත් වැලන්සියා හි පොලිස් බලධාරීන් හමුවේ පවතිනවා.

කවරයේ ඡායාරූපය - youtube.com 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Koat.com

Fbi.gov

Related Articles