බ්‍රිටිෂ් කොලොම්බියාවේ දී ‘කපාදැමුණු කකුල්’වල අභිරහස

 කැනඩාවේ ප්‍රාන්තයක් වන බ්‍රිටිෂ් කොලොම්බියාවේ (British Columbia) ජෙඩයිඩියා දූපතේ වෙරළාසන්න ස්ථානයක 2007 වසරේ අගෝස්තු මස 20 වැනි දා සක්මන් කිරීමට ගිය දොළොස් හැවිරිදි ගැහැනු දරුවෙක් වෙරළට ගසාගෙන ආ නිල්-සුදු පැහැ සපත්තුවක් දකිනවා. ඇය එය පිරික්සා බැලීමේ දී, එතුළ තිබී මේස් කකුලක් හමුවන අතර, ඒ තුළත් යමක් ඇති බැව් ඇයට ප්‍රත්‍යක්ෂ වෙනවා.  පිරිමි පුද්ගලයන් පළඳින 12’ ප්‍රමාණයේ සපත්තුවක් හා මේස් කකුලක් වූ මේ තුළින් මතු වන්නේ ඇය කිසි ලෙසකින් අපේක්ෂා නොකළ දෙයක්. එනම් වෙන් කළ මිනිස් පාදයක්.

ඉහත සිදුවීමෙන් දින හයකට පසු ජෙඩයිඩියා දූපතට ආසන්න ගැබ්‍රියෝලා දූපතේ වෙරළක නිවාඩුවක් ගත කරමින් සිටි යුවළකට වෙරළට ගසාගෙන ආ 12’ ප්‍රමාණයේ කළු- සුදු රීබොක් වර්ගයේ සපත්තුවක් ඇස ගැටුණා. මෙය තුළ තිබී ඔවුනටත් ජීර්ණය වෙමින් තිබූ, වෙන් කළ මිනිස් පාදයක් හමු වුණා. මෙය හා ජෙඩයිඩියා දූපතේ දී හමු වූ මිනිස් පාදය දෙදෙනකුගේ බැව් බලධාරීන් ඉක්මනින් ම වටහාගත්තේ ඒ පාද දෙක ම දකුණු පාද වීම නිසා යි.

වෙන් වූ පාදයක් සපත්තුවක් සමඟ

ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් මේ පාද දෙක හමුවීමත් සමඟ කලබලයට පත් වූයේ එය හුදු අහම්බයක් විය නොහැකි නිසා යි. වෙන් වූ පාදයක් සපත්තුවක් සමඟ වෙරළකට ගසා ඒම දුලබ සිදුවීමක් වන අතර තදාසන්න ප්‍රදේශ දෙකකට, දින කිහිපයක කාල පරතරයක එවැනි පාද දෙකක් ම ගසා ගෙන ඒම කිසි සේත් ම අහඹු ලෙස සිදුවීමක් විය නොහැකි යැයි ඔවුන් හට වැටහී ගියා. ඔවුන් වහා ම විමර්ෂණ ඇරඹුවත් කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, නොබෝ දිනකින් පරීක්ෂණ අඩපණ වී ගියා.

 පාද හමු වූ ස්ථාන දැක්වෙන සිතියමක්- medium.com

වසරක කාලයක් ගතවද්දී කපා දැමීමෙන් හෝ ඉරා දැමීමෙන් වෙන් කළ තවත් මිනිස් පාද 5ක් වැන්කුවර් දූපත අවට වෙරළට ගොඩගැසීම නිසා ඒ අවට ජනයා භීතියෙන් ඇළලී ගිය අතර මිළඟ වසර 12 තුළ විටින් විට තවත් පාද 15ක්  වෙරළට එලෙස ම ගොඩ ගැසුවා. තවත් එවැනි ම පාද  හයක් අමෙරිකානු දේශසීමාව අසල පියුජට් සවුන්ඩ් ආසන්නයෙන් වෙරළට ගොඩ ගසා තිබුණා. මේ වෙරළ සියල්ල ඇතුළත් වන සෙලිෂ් මුහුදු කලාපය තුළ යම් අසාමාන්‍ය දෙයක් සිදුවන බැව් කාට කාටත් ඒත්තු ගොස් තිබුණා. විශේෂත්වය වන්නේ මින් එක් පාදයක් හැර අන් සියල්ල ම ව්‍යායම සඳහා පළඳින පාවහන් සහිත ඒවා වීමයි.

විවිධාකාරයේ අනුමාන

පළමු සිදුවීමෙන් වසර 12ක් 13 ක් ගතවන විටත් උක්ත මිනිස් පාද පැමිණෙන්නේ කොහේ සිටදැයි යන්න පිළිබඳ ව පැහැදිලි අදහසක් ඇති කර ගැනීමට කැනේඩියානු පොලිසියට හැකිවූයේ නැහැ. මේ නිසා විවිධාකාරයේ අය මේ ගැන සිය මත පළ කරන්නට පටන් ගත්තා. අයෙක් මෙය දාම ඝාතකයකුගේ ක්‍රියාවක් බව පවසන විට තවත් අයකු පැවසුවේ අනවසර සංක්‍රමණිකයන් රැගත් කන්ටේනරයක් වැනි යමක් සෙලිෂ් මුහුදු කලාපයේදී මුහුදුබත් වී ඇති බව යි. තවත් අයකු මෙය පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාවක් විය හැකි බවත් පවසන්නට වුණා. කැනේඩියානු විද්වතුන් දිගින් දිගට ම ප්‍රකාශ කළේ මේ සිදුවීම නිර්වචනය කරගැනීමට දැඩි ලෙස නවීන විද්‍යාවේ සහය පැතිය යුතු බව යි.

පාද රහිත සපත්තුවක් – Shutterstock

අභිරහස සොයා විද්‍යාත්මක පර්යේෂණ

ජලයේ ගිලෙන මෘත ශරීර කොටසක් ජීර්ණය වන ආකාරය හා පාවෙන කොටසක් ජීර්ණය වන ආකාරය වෙනස් වෙනවා. මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් මුහුදු වතුරේ තැබූ විට මිරිදියට සාපේක්ෂ ව ජලයේ නොගිලී පාවීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. කෙසේ නමුත් බොහෝ විට කරදිය හෝ මිරිදිය වේවා මළ සිරුරු එක් වර ම ජලයේ ගිලී යන්නේ එහි පෙනහළු වාතයෙන් පිරී නොතිබීම හේතුවෙනුයි. මඳ කාලයක් ගිය පසු එම සිරුරු ජීර්ණය ආරම්භ වී, ඒවායේ ඝණත්වය අඩු වී නැවත ජලය මතු පිටට පැමිණීම සිදුවිය හැකි වුවත්, සෙලිෂ් මුහුද වැනි විශාල සාගර කලාප වල ජලයේ ඇති අධි පීඩන තත්ත්ව මෙන්ම අඩු උෂ්ණත්වය නිසා එලෙස ජීර්ණය වී නැවත සාගර මතුපිටට පැමිණීමේ ඉඩකඩ ඉතා අල්ප බැව් විද්‍යාඥ මතය වෙනවා. 

ශීතල, වැඩි පීඩනයක් හා අඩු ඔක්සිජන් ඝණත්වයක් සහිත ජලයෙහි ගිලී පවතින සිරුරක ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වයට ඇති හිතකර තත්ත්ව අඩු බැවින් ඒවා ඉක්මනින් ජීර්ණ ක්‍රියාවලියට භාජනය නොවන අතර ඒ වෙනුවට එහි පටක වටා ඉටි වැනි පරිවාරක ස්ථරයක් සෑදී වසර ගණනක් ආරක්ෂා වීම සිදුවිය හැකි යි. 

පරිවාරක ස්ථරය

බ්‍රිටිෂ් කොලොම්බියාවෙන් හමු වූ සමහරක් පාදවල මේ පරිවාරක ස්ථරය සෑදී තිබුණු බැව් විද්‍යාඥයන්ට නිරීක්ෂණය වූ අතර, එනයින් ඔවුනට මේ ශරීර කොටස් පැමිණෙන්නේ කොහේ සිට දැයි පිළිබඳ ව පැහැදිලි අදහසක් ගන්නට හැකි වුණා. කෙසේ නමුත් මීළඟ ගැටලුව වූයේ පාද පමණක් මෙලෙස පා වී එන්නේ මන්ද යන්න යි. කැනඩාවේ සයිමන් ෆ්‍රේසර් විශ්වවිද්‍යාලයේ වෝහාරික විද්‍යාඥ ආචාර්ය ගැලී ඇන්ඩර්සන් මේ ගැටලුවට පිළිතුරු සැපයිය හැකි අන්දමේ පර්යේෂණයක් සිදු කළ අතර එහිදී ඇය අධ්‍යයනය කර තිබුණේ මළ සිරුරක් විශාල ජල ප්‍රභවයක බහා ලූ විට කුමක් සිදුවේ ද යන්න යි.

පාකර් මැක්‍රීඩි හා ගැලී ඇන්ඩර්සන්- – environment.uw.edu – entomology.umn.edu

 

ඇන්ඩර්සන්, මිය ගිය ඌරකු සෙලිෂ් මුහුදට අත්හැරි අතර, ඇය සිය දැනුම අනුව බලාපොරොත්තු වූයේ එය මුහුදු පත්ලට කිඳා බසිනු ඇති බව යි. එහෙත් අනෙකක් සිදු වූ අතර, එය ඉක්මකින් ම මුහුදු ජීවීන් කා දමනවා. මෙහිදී ඌරු මළකුණෙහි මුහුණ හා පශ්චාත් පෙදෙස් ඉක්මනින් ම කා දැමුණා. ඇන්ඩර්සන් නැවතත් තවත් ඌරු මළ කුණු කිහිපයක් මුහුදට මුදා හළ අතර ඇයට ප්‍රත්‍යක්ෂ වූයේ ඒ සෑම එකක් ම පොකිරිස්සන්, කකුළුවන් වැනි මුහුදු ජීවීන් භක්ෂණය කරන බවයි. 

මෘදු පටක ආහාරයට ගැනීම

මෙහිදී ඇය නිරීක්ෂණය කළ විශේෂත ම කාරණාවක් වූයේ මෙම මුහුදු ජීවීන් වැඩි ප්‍රියතාවක් දක්වන්නේ මෘදු පටක ආහාරයට ගැනීමට බව යි. විශේෂයෙන් විශාල අස්ථිවලට සම්බන්ධ පටකවලට වඩා කුඩා, එතරම් ශක්තිමත් නැති අස්ථි තදාසන්න පටක භක්ෂණය කරන්නට ඔවුන් උත්සුක වී තිබුණා.

මිනිස් සිරුරක වළලුකර අවට කාටිලේජ වැනි අස්ථිවලට සාපේක්ෂව වඩාත් මෘදු සම්බන්ධක පටක වැඩිමනත් පවතින ප්‍රදේශයක් වන අතර මුහුණ හා පශ්චාත් පෙදෙස ද මුහුදු ජීවීන් යුහුසුළු ව භක්ෂණය කරන ස්ථානයක් බව ඇයට වැටහී ගියා. සෙලිෂ් මුහුද අවටින් හමු වූ පාද සියල්ල ම වළලුකරින් වෙන් වූ ඒවා වූ අතර ඒ අනුව මේවා සියල්ල ම පාහේ කිසිවකු හෝ ‘කපා දැමූ’ ඒවා නොව ස්වභාවිකව ම මුහුදු ජීවීන් භක්ෂණය කර වෙන් කළ ඒවා බව තීරණය කෙරුණා.

 ගැලී ඇන්ඩර්සන් සිදු කළ පර්යේෂණය අතරතුර- PLOS One 

 

මීළඟට විසඳාගත යුතු වූ කාරණාව වූයේ මෙලෙස වෙන් වූ පාද පමණක් මුහුදු වෙරළට පාවී එන්නේ ඇයි ද යන්නයි. මෙලෙස පාවී ආ සියලු පාද පාහේ ක්‍රීඩාවල දී පළඳින ලද පාවහන් සහිත ඒවා වූ අතර ඒවා ලේස් යොදාගෙන හොඳින් පාදයට බැඳ තිබුණා. මේ පාවහන් ඝණත්වයෙන් අඩු, පහසුවෙන් ජලයේ පාවෙන ඒවා වන බැව් කාටත් පහසුවෙන් වැටහී ගිය බැවින් ඒ ගැටලුවට ද ඉක්මනින් ම පිළිතුරු ලැබුණා.

මීට දශක දෙක තුනකට පෙර සෑදූ ක්‍රීඩා පාවහන්වලට සාපේක්ෂ ව වර්තමාන පාවහන් වඩාත් සැහැල්ලු වීම යන කාරණාව නිසා මෙලෙස එම පාවහන් පැළඳි පා ජලයේ පාවී ගොඩ ගැසීමේ ප්‍රවණතාව වැඩි වන්නට ඇති බැව් තාර්කික ව තීරණය කෙරුණා. මේ අනුව මෙලෙස, පාද වෙරළට පාවී ඒමේ විශාල ‘විස්මයක්’ නැති බව ලොවට හෙළි වුණා.

පාවී ආ පාද කාගේ ද?

සෙලිෂ් මුහුදු කලාපය අවටින් හමුවූ පාද සම්බන්ධ ව ඇති ‘අභිරහස’ සම්පූර්ණයෙන් පාහේ විසඳීම සඳහා බලධාරීන්ට නිසි ලෙස විග්‍රහ කරගත යුතු තවත් කරුණු දෙකක් ඉතිරි ව තිබුණා. එනම් මේවායේ අයිතිකරුවන් කවුරුන්ද හා, සෙලිෂ් මුහුදු කලාපයේ විවිධ ස්ථානවලින් වැඩිමනත් ම මේවා හමු වන්නේ ඇයි ද යන්න යි.

සියැටල් හි වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන පාකර් මැක්‍රීඩි උදම්, සුළං හා දියවැල් අනුව එලෙස සාගර කලාපවල සමහර ස්ථානවලට, අනෙක් ස්ථානවලට සාපේක්ෂ ව පාවී එන ද්‍රව්‍ය වැඩි වශයෙන් එක්කාසු විය හැකි බැව් ඔප්පු කර තිබූ අතර, සෙලිෂ් මුහුද සම්බන්ධයෙන් ඔහු පිළියෙළ කර තිබූ වාර්තාවලට අනුව මෙලෙස පාද වැඩි වශයෙන් හමු වී ඇත්තේ ඔහු එලෙස සලකුණු කොට තිබූ ස්ථානවල බව බලධාරීන්ට ඔහු පෙන්වා දුන්නා.

පාවී ආ සපත්තුවක් – www.chicagotribune.com 

තීරණාත්මක හා අභියෝගාත්මක ම ගැටලුව

පාවී ආ පාද සම්බන්ධයෙන් ඉතිරි වූ අවසන් නමුත්, තීරණාත්මක හා අභියෝගාත්මක ම ගැටලුව වූයේ මෙම පාද අයිති කාටද යන්න සොයා ගැනීම යි. මේ සඳහා කැනඩා පොලිසිය මුලින් ම සිදු කළේ පසුගිය දශක කිහිපය තුළ ප්‍රදේශයේ අතුරුදන් වූවන්ගේ තොරතුරු පිළිබඳ ව වාර්තා පිරික්සීම යි. හමු වූ පාද සියල්ලේ ම ඩී.එන්.ඒ වාර්තා ලබා ගත් ඔවුන්, ඒවා බ්‍රිටිෂ් කොලොම්බියාව තුළ දී අතුරුදහන් වූ 500 දෙනකුගේ පමණ ඩී.එන්.ඒ දත්ත සමඟ සන්සන්දනය කර බැලුවා. මින් සෑහෙන සාර්ථක ප්‍රතිඵල ලැබුණු අතර, පාද 9ක් මෙලෙස අතුරුදහන් වූ 7 දෙනකුගේ ඩී.එන්.ඒ වාර්තා හා සැසඳුණා.

මින් දෙදෙනකුගේ පාද දෙකම වෙරළට ගොඩ ගසා තිබුණා. මින් එක් පාදයක් අයිති පුද්ගලයකු 1985 වසරේ දී අතුරුදන් ව තිබූ අතර, ඔහු පැළඳ සිටි පාවහන එකල තිබූ සැහැල්ලු ම වර්ගයේ පාවහනක් වුණා.  මේ පාදය 2011 වසරේ ගොඩගසා තිබූ අතර, මියගිය පසු සාගරයේ කිඳා බැස, එහි තත්ත්ව නිසා පරිරක්ෂණය වී, පසුකාලීනව මුහුදු ජීවීන් භක්ෂණය කළ පාදය මෙලෙස ගොඩ ගසන්නට ඇතැයි අනුමාන කෙරෙනවා. ඩී.එන්.ඒ සැසඳුණු එක් පාදයක් 2016 වසරේ තරම් මෑතකදී අතුරුදහන් වූවකුගේ වන අතර එය 2019 වසරේදී ගොඩගසා තිබුණා.

කිසිදු හෝඩුවාවක් තව ම නෑ

එම පුද්ගලයන්ගේ අතුරුදහන්වීම් පිළිබඳ ව සොයා බැලීමේදී පොලිසිය සොයාගත්තේ ඉන් එකක්වත් ‘ඝාතනයකින්’ සිදු වූ බවට කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැති බව යි. මින් බහුතරය එක්කෝ හදිසි අනතුරක් නිසා හෝ නැතිනම් සිය දිවි නසාගැනීම නිසා සිදු වූ බව තහවුරු ව තිබෙනවා. මින් එක් පාදයක් සම්බන්ධයෙන් පමණක් ඝාතනයක් ද නැතිනම් හදිසි අනතුරක් ද යන්න පිළිබඳ ව යම් සැක සංකාවක් තිබෙනවා. මේ අනුව වර්තමානය වන විට අදිසි ඝාතකයකු පිළිබඳ ව වූ බිය බ්‍රිටිෂ් කොලොම්බියානුවන් කෙරෙන් කෙමෙන් ඈත් ව යමින් පවතිනවා. කෙසේ නමුත් මේ සටහන ලියැවෙන විටත් මෙලෙස හමුවූ පාද කිහිපයක් ම කාට අයිති ඒවාද? ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ව කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට කිසිවකුත් සමත් වී නැහැ.

කවරයේ පින්තූරය - පාදයක් සහිත සපත්තු - longreads.com

මූලාශ්‍ර:

Nationalgeographic.com

Insider.com

Smh.com.au

Related Articles