Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නේටෝ, වෝර්සෝ, ඔපෙක් හා පොදු රාජ්‍ය මණ්ඩලය

ලොව පවතින විශාලම ජාත්‍යන්තර සංවිධානය වන්නේ 1945 වසරේ දී බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. එම සංවිධානයේ අභ්‍යන්තර ආයතන 6ක් මෙන්ම ඊට අනුබද්ධ ආයතන විශාල ප්‍රමාණයක් ද මේ වන විට ලෝකය තුළ ස්ථාපනය වී තිබෙනවා. එක්සත් ජාතින් හැරුනුකොට විවිධ අරමුණු සඳහා අන්තර්ජාතික සංවිධාන, 300කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ඒ අතරින් කිහිපයක් අහෝසි වී ඇති අතර, බොහෝ ප්‍රමාණයක් ක්‍රියාකාරී මට්ටමේ දැකිය හැකියි.

ඒ සංවිධාන අතරින් නේටෝ, වෝර්සෝ, ඔපෙක් හා පොදු රාජ්‍ය මණ්ඩලය යන සංවිධානයන් හි ඉතිහාසය හා වත්මන් තත්ත්වය පිළිබඳව යි මේ ලිපිය.

සෝවියට් සංගමයට එරෙහිව නිර්මාණය වූ නේටෝ සංවිධානය 

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (nationalinterest.org)

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (The North Atlantic Treaty Organization) හෙවත් නේටෝ සංවිධානය පිහිටුවන ලද්දේ, 1949 අප්‍රේල් 4 වන දා යි. ඒ වොෂිංටන් ඩී.සී. නගරයේ දී උතුරු අත්ලාන්තික් ගිවිසුම අත්සන් කිරීමත් සමග යි. අන්‍යොන්‍ය ආරක්ෂාව පිළිබඳ සංවිධානයක් වන මෙහි ආරම්භක සාමාජිකයන් 12ක් වුණා. දැනට යුරෝපා හා උතුරු ඇමෙරිකානු රටවල් 29ක් එහි සාමාජිකත්වය දරනවා. මෙහි සිටින එකම ඉස්ලාම් රාජ්‍ය වන්නේ තුර්කිය යි. වත්මන් නේටෝ මුලස්ථානය පිහිටා තිබෙන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ යි. සංවිධානය පිහිටුවීමට මූලික අරමුණ වන්නේ සෝවියට් දේශය ඇතුළු කොමියුනිස්ට් කඳවුර විසින් බටහිර යුරෝපය දෙසට එල්ල කළ තර්ජනය යි. වර්තමානය වන විට සෝවියට් සංගමය ඇතුළු කොමියුනිස්ට් බලවේගයක් ලෝකයේ නොතිබුණත්, නේටෝ සංවිධානය විසුරුවා හැර නෑ. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වෙනවා.

නේටෝ සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම් අතරින් වැඩි අවධානයක් යොමු වෙන්නේ 2011 වසරේ දී ලිබියාව ආක්‍රමණය කර එහි කැරලිකරුවන්ට සහාය දී, රටේ නායකයා වූ කර්නල් මුවමර් ගඩාෆි ඝාතනය කිරීම යි.

වර්තමානය වන විට නේටෝ සෙබළුන් 20,000කට අධික පිරිසක් ඇෆ්ගනිස්තානයේ, කොසෝවෝ හා මධ්‍යධරණී කලාපයේ මෙහෙයුම්වල නිරතව සිටිනවා. ඊට අමතරව තුර්කියේ ගුවන් ආරක්ෂක ආධාර ක්‍රියාකාරකම්වල ද ඔවුන් නිරතව සිටිනවා. මේ වන විට මැදපෙරදිග ඇති වී තිබෙන අරාජික තත්ත්වයට නේටෝ සංවිධානය ද වගකිව යුතු බව බොහෝ දෙනාගේ අදහස යි.

උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානයට එරෙහි වෝර්සෝ

වෝර්සෝ (sporcle.com)

සීතල යුද සමයේ දී උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානයට (NATO) එරෙහිව සෝවියට් දේශය ප‍්‍රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල් විසින් වෝර්සෝ සංවිධානය පිහිටුවනවා. ඒ 1955 වසරේ දී පෝලන්තයේ වෝර්සෝ හි දී යි. සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රටවල් 8ක් මෙහි සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.

1991 වසරේ දී බර්ලින් තාප්පය බිඳවැටීමත් සමග පාලන ක්‍රම දෙකක් ක්‍රියාත්මක වූ නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය එකට එකතු වෙනවා. එය ලෝක දේශපාලන ක්‍රමයේ නව දිශාවක් සනිටුහන් කිරීමක් ලෙස හැඳින්විය හැකි අතර ඒ සමග, එම අවධියේ වෝර්සෝ සංවිධානය ලෙස ගොනුව තිබුණ රටවල් කොමියුනිස්ට් ආකෘතියෙන් ඉවත් වෙමින් ලිබරල් ප්‍රතිසංස්කරණ දෙසට යොමු වෙනවා. 1991 වසර වන විට සෝවියට් සංගමය ද බිඳ වැටෙනවා. එබැවින් වෝර්සෝ සංවිධානය ද විසුරුවා හැරීමට සිදුවෙනවා.

ඛනිජ තෙල් අපනයන රටවල් එකතුවෙන් නිර්මාණය වූ ඔපෙක් සංවිධානය 

ඔපෙක් (foreignpolicy.com)

ඛනිජ තෙල් අපනයන රටවල සංවිධානය වීමෙන් 1960 වසරේ ඉරාකයේ බැඩ්ගෑඩ් හි දී ඔපෙක් සංවිධානය නිර්මාණය වන අතර, ආරම්භයේ දී මැදපෙරදිග රටවල් හතරක් හා එක් ලතින් ඇමෙරිකානු රටක් සංවිධානයේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා. ඒ ඉරාකය, ඉරානය, සෞදි අරාබිය, කුවේටය හා වෙනසුවෙලා ව යි. 

2019 වසරේ ආරම්භයත් සමග කටාර් රාජ්‍ය ඔපෙක් සංවිධානයෙන් ඉවත්ව යාම සමගම වර්තමානය වන විට එහි සාමාජිකයන් ගණන 14ක් ලෙස සඳහන් කළ හැකියි. 2018 වසරේ ඔපෙක් සංවිධානයට එකතු වෙන කොංගෝව, එහි අවසන් සාමාජිකයා ලෙස හැඳින්විය හැකියි. ඔවුන් මේ වන විට මුහුණ දෙන බරපතලම ගැටළුව වන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යාම යි. ඔපෙක් නොවන රටක් වන ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක වෙළඳපොළට ශීඝ්‍රයෙන් ඛනිජ තෙල් නිකුත් කිරීම නිසා තෙල් මිල මෙලෙස පහළ යමින් පවතිනවා. 

ඊට පිළියමක් ලෙස ඔපෙක් රටවල් විසින් තෙල් අපනයනය මේ වන විට සීමා කර තිබෙනවා. ඔපෙක් සංවිධානයේ පළමු මූලස්ථානය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි පැවති අතර, 1965 වසරෙන් පසුව මෙම මූලස්ථානය ඔස්ට්‍රියාවේ වියානා වෙත රැගෙන යනවා. වර්තමානය වන විට ඔපෙක් සමුළු සඳහා ඔපෙක් සංවිධානයට අයත් නැති රුසියාව වැනි ඔපෙක් හිතවත් රටවල් ද සහභාගී වෙනවා.

බ්‍රිතාන්‍ය යටත් විජිතයන් හි එකමුතුව- පොදු රාජ්‍ය මණ්ඩලය 

පොදු රාජ්‍ය මණ්ඩලය (worldatlas.com)

ලෝකයේ බිලියන 7.4ක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ එනම්, බිලියන 2.4ක පමණ ජනතාවක් වෙසෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල යි. මෙම සංවිධානය 1931 වසරේ දී ආරම්භ වෙන අතර වර්තමානය වන විට එහි සාමාජිකයන් ගණන 53ක් වෙනවා. ඒවා බොහොමයක් අතීතයේ දී බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබූ රටවල්.

රුවන්ඩා සහ මොසැම්බික් යන රටවල් පිළිවෙලින් 2009 හා 1995 දී පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගන්නා අතර, එම රටවල් කිසිම ආකාරයකින් බ්‍රිතාන්‍යයට යටත් වී තිබූ රාජ්‍ය නොවන ඒවා ලෙස හැඳින්විය හැකි යි. 

දේශපාලනිකමය දූෂණ හේතුවෙන් වරෙක සිම්බාබ්වේ හි සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන අතර, ඒ හේතුවෙන් රොබට් මුගාබේ 2003 වසරේ දී සිම්බාබ්වේ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කර ගන්නවා. 1999 දී පර්වේෂ් මුෂාරෆ්ගේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව පාකිස්තානයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ අතර, ඉන් වසර හතරහමාරකට පසු යළි එය පිරිනැමීමට කටයුතු කරනවා. 2016 වසරේ දී ජනාධිපති අබ්දුල්ලා යමින්ගේ නායකත්වය යටතේ මාලදිවයින පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙන අතර, මෑත ඉතිහාසයේ ආසන්නතම ඉවත් වීම එය යි. වර්තමානය වන විට මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි, ඉන්දියාව හරහා නැවත පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ඉල්ලමින් සිටිනවා.

සංවිධානයේ නිත්‍ය නායිකාව ලෙස දෙවන එළිසබෙත් රැජින කටයුතු කරන අතර, ඇයගේ මරණයෙන් පසුව නිත්‍ය නායකත්වය කාට හිමි විය යුතු ද යන්න තාම තීරණය වී නෑ. මහ ලේකම්වරිය ලෙස පැට්‍රීසියා ස්කොට්ලන්ඩ් කටයුතු කරනවා. 2018 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව එක්සත් රාජධානියේ පැවති අතර, 2020 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව රුවන්ඩාවේ පැවැත්වීමට නියමිත යි. මෙහි මූලස්ථානය එක්සත් රාජධානියේ, ලන්ඩනයේ පිහිටා තිබෙනවා. 

කවරයේ පින්තූරය- commons.wikimedia.org

මූලාශ්‍රයයන්- 

nato.int

history.com

opec.org

thecommonwealth.org

Related Articles