Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැසිපන්දු ක්‍රීඩක එනෙස් කැන්ටර්ව දඩයම් කිරීමට තුර්කි රජය සැරසෙයි

තුර්කි ජාතික පැසිපන්දු ක්‍රීඩකයෙක් වන එනෙස් කැන්ටර් අත්අඩංගුවට ගැනීමට තුර්කි රජය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබෙනවා. කැන්ටර් මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කරමින් එක්සත් ජනපදයේම වාසය කරනවා.

ඉන්ටර්පෝල් හරහා රතු වරෙන්තු නිකුත් කර ඇති බැවින් ඔහු මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වෙනත් රටකට යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු, පසුගිය ජනවාරි මාසයේ ලන්ඩනයේ පැවති පැසිපන්දු තරගාවලියක් සඳහා සහභාගී වීම ද ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එය තමන්ගේ ජීවිතයට තර්ජනයක් බව ප්‍රකාශ කරමින්.

2016 වසරේ තුර්කි රජයට එරෙහිව කරන ලද හමුදා කැරැල්ලට අනුබල දුන්නෙකු බවට තුර්කි අධිකරණ විසින් ඔහුට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුට වසර හතරක සිර දඬුවමක් ද නිර්දේශ කර  තිබෙනවා.

2016 දී සිදු වූ තුර්කි හමුදා කුමන්ත්‍රණය

හමුදා කැරැල්ලට විරුද්ධත්වය දැක්වූ සාමාන්‍ය ජනතාව (The Independent)

2016 වසරේ ජූලි මාසයේ 15 වන දා තුර්කි හමුදා කණ්ඩායමක් විසින් ඉස්තාන්බුල් නගරයේ බොස්පරස් පාලම හා සුල්තාන් මෙහ්මත් පාලම වසා දමමින් හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ කරනවා. ඉන් අනතුරුව තුර්කියේ TRT පුවත් කාර්යයාලයට කඩා වදින කැරලිකරුවන් තමන් තුර්කි පාලනය බිද හෙලූ බවත් රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවත් ප්‍රකාශ කරනවා.

තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ප්‍රතිස්ථාපනය කිරීම, මානව හිමිකම් හා නිදහස වෙනුවෙන් ආණ්ඩුවට එරෙහි තම කුමන්ත්‍රණය දියත් කළ බව කැරලිකරුවන් ප්‍රකාශ කරනවා. කැරලි කණ්ඩායම් හා රජයට පක්ෂපාති හමුදා කණ්ඩායම් අතර තැනින් තැන ගැටුම් වර්ධනය වන අතර කැරලිකරුවන් විසින් තුර්කි පාර්ලිමේන්තුවට ද ප්‍රහාර එල්ල කරනවා.

මේ වන විට, නිරිතදිග තුර්කියෙ නිවාඩුවක් ගත කරමින් සිටි ජනාධිපති රෙජෙප් තයිප් එර්දොවාන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ  මාධ්‍ය සාකච්ඡාවක් ලබා දෙමින් තම ජීවිතයට අනතුරක් නැති බව හා රජය විසින් හමුදා කුමන්ත්‍රණය පරාජය කරන බවත් පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සිදු කළ මෙම කැරැල්ලට එරෙහිව විදී බසින ලෙසත් ඔහු රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රජයට හිතවත් හමුදා කොටස් හා සාමාන්‍ය ජනතාව කැරලිකරුවන්ට එරෙහිව කටයුතු කරන අතර පැය කිහිපයකින් කැරැල්ල මර්දනය කිරීමට තුර්කි රජය සමත් වෙනවා.

කැරැල්ල මර්දනය කිරීමෙන් අනතුරුව ඊට සහභාගී වුවා යැයි සැක කෙරෙන සියලු දෙනාට දැඩි දඬුවම් පැමිණවීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා. අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ව කෘර ලෙස වධ හිංසාවලට බඳුන් කරන බව ජාත්‍යන්තර මාධ්‍යවල සදහන් වෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින ආගමික නායකයෙකු හා දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන ෆෙතුල්ලා ගුලෙන් මෙම කැරැල්ලේ මහා මොළකරු බව තුර්කි රජය පවසනවා. පැසිපන්දු ක්‍රීඩක එනෙස් කැන්ටර්ට ද ත්‍රස්ත චෝදනා එල්ල වීමට මූලික ම හේතුව වන්නේ ගුලෙන් සමග සම්බන්ධතා පැවැත්වීම යි.

එනෙස් කැන්ටර්ට එල්ල වෙන චෝදනා

එනෙස් කැන්ටර් (Time Magazine)

මෙම කැරැල්ල සිදුවන සමයේ  එනෙස් කැන්ටර් Oklahoma City Thunder නම් ඇමෙරිකානු පැසිපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් එක්සත් ජනපදයේ වාසය කරනවා. රාජ්‍ය විරෝධී කැරැල්ල සම්බන්ධයෙන් කැන්ටර්ට මෙන්ම  ඔහුගේ පියාට ද චෝදනා එල්ල වෙනවා.

වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යයවරයෙක් වූ කැන්ටර්ගේ පියාව කැරැල්ලෙන් පසුව එම තනතුරෙන් පහ කිරීමට තුර්කි රජය කටයුතු කරනවා. 2017 වසරේ දී කැන්ටර්ගේ තුර්කි ගමන් බලපත්‍රය ද තහනම් කෙරෙනවා. 2018 වසරේ ජුනි මාසයේ දී කැන්ටර්ගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වෙනවා.

2019 වසරේ ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර පොලීසිය හරහා කැන්ටර්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කිරීමට තුර්කිය කටයුතු කරනවා. තමන් අත්අඩංගුවට ගෙන තුර්කියට රැගෙන යාවි යැයි සැකය මත ඔහු ජනවාරි මාසයේ ලන්ඩනයේ පැවති පැසිපන්දු තරගාවලියක් සදහා සහභාගී වෙන්නේ නෑ.

ත්‍රස්ත චෝදනාවලට ප්‍රතිචාර දක්වන කැන්ටර්

රෙජෙප් තයිප් එර්දොවාන් (CNN.com)

තමන්ට එරෙහිව ඇති චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස තුර්කි ජනාධිපතිවරයාට අභියෝග කරන කැන්ටර් තමන් කිසිදින ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා පවත්වා නොමැති බව ප්‍රකාශ කරනවා.

තුර්කි පාලනය හා ජනාධිපතිවරයාව දිගින් දිගට ම විවේචනය කිරීම තමන්ව අත්අඩංගුවට ගැනීමට ඇති එකම හේතුව බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා. විවේචනය කිරීම් කොතරම් ප්‍රබල ද යන්න පවසනවා නම් තුර්කි ජනාධිපතිවරයාව වර්තමාන ලෝකයේ හිට්ලර් ලෙස නම් කිරීමට හෙතම කටයුතු කරනවා.

එනෙස් කැන්ටර් නම් පැසිපන්දු ක්‍රීඩකයා

එනෙස් කැන්ටර් (YouTube)

තුර්කි ජාතික මවුපියන් යුවළකට දාව 1992 වසරේ ස්විස්ටර්ලන්තයේ උපත ලබන එනෙස් කැන්ටර් කුඩා කාලයේ සිට තුර්කියේ පැසි පන්දු ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කරනවා. එරට 16න් පහළ හා 18න් පහළ ජාතික පැසිපන්දු කණ්ඩායම්වල සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරනවා.

2009 වසරෙන් පසු ග්‍රීන් කාඩ් අවසරය මත එක්සත් ජනපදයේ වාසය කරන ඔහු තුර්කියේ ජාතික පැසිපන්දු කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කරනවා. එක්සත් ජනපදයේ දී Utah Jazz, Oklahoma City Thunder, New York Knicks යන ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ඔහු වර්තමානය වන විට Portland Trail Blazers නම් පැසිපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කරනවා.

Portland Trail Blazers නම් පැසිපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක් ලෙස (Blazer’s Edge)

තුර්කි පුරවැසිභාවය අහිමිවීමෙන් පසුව තමන්ට කිසිඳු රටක පුරවැසිභාවයක් නොමැති බවත්, ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට 2021 වන තුරු සිටීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

2016 දී සිදු වූ කැරැල්ල සම්බන්ධයෙන් පුද්ගලයන් 50 000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඒ අතර වැරදිකරුවන් නොවන බොහෝ පිරිසක් සිටින බව සදහන් වෙනවා.

කවරයේ පින්තූරය - Blazer's Edge

මූලාශ්‍රයයන්:

bbc.com

hurriyetdailynews.com

rappler.com

Related Articles