ලිබියාව 2011 සිටම සිටින්නේ සිවිල් යුධ තත්ත්වයකට මුහුණ දෙමින්. මුලින්ම හිටපු පාලක මුවම්මර් ගඩාෆිට එරෙහිව එරටෙහි කැරැල්ලක් මතු වූයේ "අරාබි වසන්තය" පසුබිමේ යි. මෙහි දී නේටෝ සංවිධානයේ සහාය කැරලිකරුවන්ට හිමි වූ අතර, 2011 ඔක්තෝබරයේ දී ගඩාෆි මරා දමනු ලැබුණා.

ගඩාෆිගේ මරණය ලිබියාවට ස්ථාවරත්වය ගෙන ආවේ නැහැ. ඒ වෙනුවට සිදුවූයේ රට අස්ථාවර වීම යි.

කියවන්න​: හතලිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි

ලිබියාව විවිධ ගෝත්‍රයන්ට අයත් ජන කණ්ඩායම් ජීවත් වන රටක්. ගඩාෆි එහි ස්ථාවරත්වය පවත්වාගෙන ගියේ, ආරක්ෂක අංශවල ශක්තියෙන් සහ එක් එක් ගෝත්‍රවල එදිරිවාදිකම් භාවිතා කිරීමෙන්. කෙසේ වෙතත්, ගඩාෆිගේ මරණින් පසු ඔහු පවත්වා ගෙන ගිය මධ්‍යගත පාලනය කඩා වැටී ගෝත්‍ර එකිනෙකා කුළල් කාගන්නට වුණා. එහෙයින් 2011න් පසු ලිබියාවේ සාමකාමී කාලයක් පැවතියේ නැහැ.

ආණ්ඩු දෙකක්

ගඩාෆිගේ වැටීමෙන් පසු කලක් ලිබියාව පාලනය කළේ ජාතික අන්තර්වාර කවුන්සිලය විසින්. නමුත්, පාලනය කළායැ යි සඳහන් කළත්, බොහෝ ප්‍රදේශයන් හි බලය තිබුණේ ප්‍රාදේශීය ගෝත්‍රයන් අත යි.

2012 දී ලිබියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූ අතර එමඟින් නව රජයක් පිහිටුවිය යුතු වුණා. එහෙත්, එයට ද රටේ ස්ථාවරත්වය ගොඩනැගීමට නොහැකි වුණා. එහි බලය පැවතියේ බටහිරදිග ලිබියාවේ කණ්ඩායම් අත යි. ඒවාට සන්නද්ධ කණ්ඩායම් ද සම්බන්ධව සිටියා.

ලිබියාව (Encyclopaedia Britannica)

මේ අතර 2014 දී නව මැතිවරණයක් පවත්වනු ලැබුණා. එම මැතිවරණයෙන් පත් වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නම් ව්‍යවස්ථාදායක ආයතනයක්. කෙසේ නමුත්, එම මැතිවරණයට එරෙහිව ලිබියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෙම තීන්දුව ප්‍රතික්ෂේප කළා. එය සඳහන් කළේ අධිකරණය බටහිර ලිබියාවේ සන්නද්ධ මිලීෂියා කණ්ඩායම්වල තර්ජන මත මෙම තීන්දුව ලබාදුන් වග යි. මේ අනුව එම පාර්ලිමේන්තුව නැගෙනහිර ලිබියාවේ ටොබෘක් හි රැස්වීමට පටන් ගත්තා.

මෙම දෙපිරිස අතර එකඟතාවක් ඇති කිරීමට කළ උත්සාහය අසාර්ථක වුණා. මේ අනුව ලිබියාවේ නිල අගනුවර වන ට්‍රිපොලි හි "ජාතික එකඟතා රජය" පිහිටුවද්දී ටොබෘක් හි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යටතේ රජයක් ස්ථාපිතව තිබෙනවා.

ලිබියාවේ රජයට සම්බන්ධ හමුදා ට්‍රිපොලි නගරයේ දී (Reuters)

මීට අමතරව කලක් මෙම සිවිල් යුද්ධයට තුන්වන පාර්ශවයක් ද එක්ව සිටියා. ඒ, ISIS හා වෙනත් අන්තවාදී ඉස්ලාමීය සංවිධාන යි. කෙසේ වෙතත්, ඉහත කී රජයන් දෙකේම සන්නද්ධ කණ්ඩායම් විසින් එම අන්තවාදීන් සම්පූර්ණයෙන් පරාජය කළා. නමුත් මෑතක දී, දිගටම පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් එම සංවිධාන යළි හිස එසවීමේ තර්ජනයක් තිබෙනවා.

කලීෆා හෆ්තාර්

ටොබෘක් රජය මූලික කරගෙන ක්‍රියාත්මක වන කණ්ඩායමේ නායකත්වයට පත්ව තිබෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් කලීෆා හෆ්තාර් නම් හමුදා නිලධාරියා යි. ඔහු විසින් ගොඩනගන ලද සන්නද්ධ අංශය ලිබියානු ජාතික හමුදාව (LNA) නම් වනවා.

කලීෆා හෆ්තාර් 1943 දී උපන් අයෙක්. ගඩාෆිගේ පාලන සමය ආරම්භයේ දී හෆ්තාර් ඔහුගේ සමීප සගයෙකු වුණා. 1980 දශකයේ දී ඔහු චැඩ් රාජ්‍යයේ ලිබියානු හමුදා මැදිහත්වීමට සම්බන්ධ වූ අතර, එහි අසාර්ථකත්වය හේතුවෙන් ගඩාෆි සහ හෆ්තාර් අතර විරසකයක් ඇති වුණා. එහි ප්‍රතිඵලය වුණේ හෆ්තාර් ලිබියාව අතැර ඇමරිකාවේ පදිංචියට යාම යි. ඔහු එහි ද පුරවැසිභාවය ලබාගත්තා. හෆ්තාර් ආපසු පැමිණියේ ගඩාෆි බලයෙන් ඉවත් වූ පසුව යි. 2013 මැදභාගයේ සිට ඔහු නැගෙනහිර ලිබියාවේ සිය බලය ස්ථාපිත කරගන්නට වුණා. ඔහුගේ LNA සන්නද්ධ හමුදාවට දැනට 25,000ක පමණ පිරිස් ශක්තියක් වන්නේයැ යි විශ්වාස කෙරෙනවා. හෆ්තාර් ද ඒකාධිපති ලක්ෂණ පෙන්නුම් කරන්නකු වනවා. අස්ථාවර ලිබියාවට ස්ථාවර රජයක් ලබාදීමට ඔහුට හැකි බව යි හෆ්තාර් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ.

හෆ්තාර්ට සහාය පළ කරන රැළියක් (AFP)

LNA සංවිධානයට සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට විරුද්ධව සිටින නිල ලිබියානු රජයට හිටපු යුධ හමුදාවේ කොටස් හා බටහිර ලිබියාවේ මිලීෂියා කණ්ඩායම් ආධාර කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය ආදීන් පිළිගන්නේ මෙම රජය යි.

විදේශීය බලපෑම්

ලිබියාවේ යුද්ධයට විදෙස් රාජ්‍යයන් කිහිපයක් සම්බන්ධව සිටිනවා. හෆ්තාර්ට ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලක පටන් සහාය දෙනවා. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ GNAය, මුස්ලිම් සහෝදරත්වය වැනි ඉස්ලාමීය දේශපාලන සංවිධාන සමග ද සම්බන්ධ වී සිටීම යි. මේ අතර රුසියාවේ සහාය හෆ්තාර් වෙත ලැබෙන බව සඳහන් වන අතර සෞදි අරාබිය ද ඊට සහාය දෙනවා.

GNAය වෙත එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, කටාර් හා තුර්කිය සහාය දෙන අතර මෑතක දී තුර්කිය සිය හමුදා ලිබියාවට යැවීමට කටයුතු කළා. මේ අතර තුර්කියේ උපකාරයෙන්, සිරියානු කුලී හේවායන් ද ලිබියාවේ GNA වෙනුවෙන් සටන් කිරීමට ගෙන ගොස් ඇතැ යි කියැවෙනවා.

මේ අතර, යුරෝපා සංගමයේ සහාය නිල වශයෙන් GNA වෙත ලැබුණ ද, ප්‍රංශය හෆ්තාර් සමග සබඳතා පවත්වනවා. ඉස්ලාමීය අන්තවාදය ලිබියාවේ හිස එසවීම පිළිබඳවත් තෙල් සම්පත පිළිබඳවත් එරට උනන්දු වනවා.

ඉතාලිය සාමාන්‍යයෙන් GNA වෙත සහාය දුන්න ද, මෑතක දී ඉතාලි අගමැතිවරයා හෆ්තාර් හමුවුණා. සංක්‍රමණිකයන් පැමිණීම පාලනයට ලිබියාව වැදගත් වීම ඊට එක් හේතුවක් වනවා. එමෙන්ම, 2019 වසර මුල් මාසවල ලිබියානු තෙල් ළිං හෆ්තාර් අතට පත් වීම ද එයට වැදගත් හේතුවක් වන්නට ඇති.

2019 අප්‍රේල් මාසයේ හෆ්තාර් ට්‍රිපොලි අගනුවර දෙසට ප්‍රහාරයක් ඇරඹුවා. එය අගනුවර අල්ලා ගැනීමට සමත් නොවුණ ද, GNA වෙත දැඩි පීඩනයක් එල්ල කළා.

මේ අතර මෑත කාලයේ දී ලිබියානු සාමකතා නැවත පණගැන්වූ අතර, මොස්කව් හා බර්ලින් නගරවල දී සාකච්ඡා පවත්වනු ලැබුණා. එහෙත්, තවමත් එහි ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන්නේ නැහැ.

කවරයේ පින්තූරය: ලිබියාවේ යුද්ධයට තවමත් නිමක් පෙනෙන්නේ නැහැ (AFP)

මූලාශ්‍රයයන්:

  1. What’s Happening with the War in Libya (Al Jazeera)
  2. Libya War Explained: Key players and Affiliations (DW)