Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උප්පැන්නයේ ජනවාර්ගිකත්ව තීරුව තවදුරටත්

දරුවෙකුගේ උප්පැන්න සහතිකය සඳහා සිදු කිරීමට නියමිත සංශෝධන දෙකක් පිළිබඳව පසුගිය සතියේ දී යම් කතිකාවතක් ඇති වුණා. එහි දී දරුවෙකුගේ ජනවාර්ගිකත්වය පිළිබඳ තීරුවත්, දෙමාපියන්ගේ විවාහ තොරතුරු පිළිබඳ තීරුවත් සංශෝධනය වීමට නියමිත බව සඳහන් වුණා. නමුත් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කර සිටියේ ජනවාර්ගිකත්වය පිළිබඳ තීරුව ඉවත් නොකර, දෙමාපියන්ගේ විවාහ තොරතුරු තීරුව පමණක් සංශෝධනය කිරීමට නියමිත බව යි. එහි දී Roar මාධ්‍ය ආයතනය සමග සම්බන්ධ වුණු රෙජිස්ට්‍රාර් ජෙනරාල් එන්.සී. විතානගේ ජනවාර්ගිකත්වය ඉවත් කිරීම පළ කරේ මෙවන් අදහසක්.

සිංහල, දෙමළ හෝ සුළුතර වේවා, ජාතිය හෝ ජනවාර්ගිකත්වය පිළිබඳ සඳහන උප්පැන්න සහතිකයට අඛණ්ඩව ඇතුළත් වනවා. පැරණි උප්පැන්න සහතිකය මෙන්ම නව උප්පැන්න සහතිකය සඳහා ද සුපුරුදු පරිදි දරුවාගේ ජාතිය සහ ජනවාර්ගිකත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් තීරුවෙහි වෙනසක් සිදුවන්නේ නැහැ.”

උප්පැන්නයේ වෙනස්වීම පිළිබඳ ඇති වුණු ආන්දෝලනය

අනාගතයේ දී නිකුත් වන උප්පැන්න සහතිකවල දෙමාපියන්ගේ විවාහ තොරතුරු සහ ජනවාර්ගිකත්වය යන තීරු සංශෝධනය වන බවට රෙජිස්ට්‍රාර් ජෙනරාල් කළ ප්‍රකාශය පිළිබඳව දේශීය සහ විදේශීය මාධ්‍යය වාර්තා කළේ පසුගිය ජූලි 22 වැනිදා යි. එහි දී මාධ්‍ය විසින් වාර්තා කළේ අලුතින් උපදින දරුවන්ගේ උප්පැන්න සහතිකවලට ශ්‍රී ලාංකික ලෙසින් ඇතුළත් කිරීමට නියමිත බව යි. එම ප්‍රවෘත්තිය ඇසීමත් සමගම සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන බොහෝ දෙනෙකු ඒ පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබුණා. ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනත් එම යෝජනාවට සහාය දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණේ මෙසේ යි.

මහේලගේ ට්විටර් පණිවිඩය (Twitter)

එසේම හිටපු රජයේ කැබිනට් ඇමතිවරයෙකු වුණු හරීන් ප්‍රනාන්දුත් එම යෝජනාවට සහාය දක්වමින් මෙලෙස ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා.

හරීන්ගේ ට්විටර් පණිවිඩය (Twitter)

නමුත් පසුගිය සතියේ පැවති දේශපාලන රැලියක දී එම යෝජනා පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියේ පවතින නායකත්වය යටතේ එම වෙනස්වීම් සිදු නොවනු ඇති බව යි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පවසා සිටියා.

“අනාගතයේ දී උප්පැන්න සහතිකවල ජාතිය සහ ආගම සඳහන් නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් මාධ්‍යයට පැවසූ බව මම සමාජ මාධ්‍යවල කියෙව්වා. ඒක දැකලා මම පුදුම වුණා. මම එය අග්‍රාමාත්‍යවරයාට පැවසූ අතර ඔහු වහාම එය නිවැරදි කරන ලෙස අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට උපදෙස් දුන්නා. එවැනි පියවරක් ඇති බව මම ජනාධිපතිවරයාටත් දන්වා සිටියා.”

ආගම ඇතුළත් නැහැ 

වර්තමාන උප්පැන්න සහතිකයේ  ආගම පිළිබඳ ඇතුළත් කර නොමැති සේම, නව උප්පැන්න සහතිකවල ද ආගම පිළිබඳව ඇතුළත් නොවන බව රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා පවසා සිටියේ මෙසේ යි.

“උප්පැන්න සහතිකයේ කෙනෙකුගේ ආගමක් ඇතුළත් කිරීම අනවශ්‍ය ය.”

එසේම ජෙනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ යම් පාර්ශව දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පුවත් විකෘති කළ බවට සැකයක් පවතින බව යි. එසේම විවිධ සංවිධානයන් ඔහුව හමුවීමට පැමිණ ඒ පිළිබඳව විමසා සිටි බවත් මෙලෙස අප සමගින් පවසා සිටියා.

“බොදු බල සේනා සහ රාවණා බාලකාය පවා අද දෙපාර්තමේන්තුවට පැමිණ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගත්තා. සැබෑ යෝජනාව ගැන පැහැදිලි කළ විට ඔවුන් ද සෑහීමකට පත් වුණා.”

තවදුරටත් අප සමගින් අදහස් දැක්වූ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා පවසා සිටියේ නව උප්පැන්න සහතිකයේ කටයුතු තවමත් අවසන් කර නොමැති බව යි. 

“මෙය තවමත් බොහෝ බලධාරීන්ගේ අනුමැතිය ලබාගෙන නැති යෝජනාවක්. අපි මේ සම්බන්ධයෙන් මහජන මතය විමසා අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යොමු කරමු. එයට කැබිනට් මණ්ඩලයේ මෙන්ම නීතිපතිගේ ද අනුමැතිය ලැබිය යුතු යි.”

නව උප්පැන්න සහතිකය 

වර්තමානයේ උප්පැන්න සහතිකය නිකුත් කරන්නේ අත් අකුරින් ලියන ලද ආකෘතියක් මඟින්. නමුත් අනාගතයේ දී එම ආකෘතිය නවීන ඩිජිටල් ආකාරයට සකස් කිරීම සඳහා වුණු යෝජනාව පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි දී රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ නව ඩිජිටල් උප්පැන්න සහතිකය ව්‍යාජ ලෙස සකස් කළ නොහැකි වඩාත් ආරක්ෂිත ලේඛනයක් වනු ඇති බව යි. නව උප්පැන්න සහතිකයට අලුතින් ඇතුළත් කළ කරුණු කිහිපයක් පහත දක්වා තිබෙනවා.

1) ජාතික උප්පැන්න සහතිකය ලෙසින් නම් කිරීම 

2) ආරක්ෂක අරමුණු සඳහා ලියාපදිංචි වී ඇති සෑම දරුවෙකුටම අනන්‍ය වන QR කේතයක්, තීරු කේතයක්, සහ ඉලක්කම් 12ක හඳුනාගැනීමේ අංකයක් ඇතුළත් වීම 

3) රෙජිස්ට්‍රාර් ජෙනරාල් අත්සන් කර එය සහතික කිරීම 

4) උප්පැන්න සහතිකය සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම නිකුත් කිරීමට නියමිත යි. අවශ්‍ය නම් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ පිටපතක් ලබාගත හැකියි. 

උප්පැන්න සහතිකය පිළිබඳ නිවේදනය 

නව උප්පැන්න සහතිකයේ සිදුකර ඇති වෙනස්වීම් අතුරින් කාලෝචිතම වෙනස් කිරීම වන්නේ දෙමාපියන්ගේ විවාහ තොරතුරු පිළිබඳව තීරුව යි. ඒ පිළිබඳව රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා පළ කළේ මෙවන් අදහසක්.

“මෙය බොහෝ දරුවන් මුහුණ දෙන ගැටළුවක්. අනාථ දරුවන් හෝ තනි මාපියෙකුගේ දරුවන් පාසලකට ඇතුළත් කිරීමේ දී මෙම ගැටලුවට මුහුණ දෙනවා. මෙය බොහෝ කණ්ඩායම් විසින් වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි දෙයක්.”

සිවිල් ලියාපදිංචි ක්‍රමයේ ඉතිහාසය

රජවරුන් පාලනය කළ සමයේ දීත් පෘතුගීසි පාලන සමයේ දීත් මෙරට සිවිල් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් පැවති බවට සඳහනක් ඉතිහාස මූලාශ්‍රවල දක්නට නැහැ.  නමුත්  ලන්දේසි පාලනය සමයේ කොළඹ සහ ගාල්ලෙහි ‘පාසල් තොම්බෝස්’ නොහොත් එතෙර රෙජිස්ටර් ලෙසින් ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. එහි  අරමුණ වුණේ  පවුල් පරිවර්තනය වාර්තාගත කිරීම සහ නීත්‍යානුකූල කිරීම යි. බ්‍රිතාන්‍ය පාලනය යටතේත් 1867 වසර වන තුරුම රට තුළ විධිමත් සිවිල් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් තිබුණේ නැහැ. ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් යටතේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් උපත්, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ආරම්භ කළේ පසු යුගයේ දී යි. එදා ලංකාව තුළ ආරම්භ වුණු සිවිල් ලියාපදිංචි කිරීමේ ක්‍රමය අද වන විට වඩාත් දියුණු තත්ත්වයකට පත්ව තිබෙන බව සඳහන් කළ යුතු යි. 

කවරයේ ඡායාරූපය- Daily SL

Related Articles