Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එන්නත්කරණයට අභියෝග කරන නව කොවිඩ්-19 ප්‍රභේද

ලොව පුරා රටවල් ගණනාවක පැතිරෙන නව කොවිඩ්-19 ප්‍රභේද කිහිපයකට එරෙහි ව පූර්ව එන්නත්කරණය මඟින් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබෙන බව මේ වන විට සොයාගෙන ඇත. එක් වරක් වෛරසය ආසාදනය වී සුව වූ පුද්ගලයන්ගේ ශරීරය තුළ ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නිර්මාණය වන බැවින් කොවිඩ්-19 නැවත ආසාදනය වීමට ඇති හැකියාව පහළ මට්ටමක පවතින බව මීට පෙර වාර්තා වුවත්, නව ප්‍රභේදයන්ට ඔරොත්තු දීමට එම ප්‍රතිශක්තිය ද ප්‍රමාණවත් නොවන බව මේ වන විට වාර්තා වේ.

මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකය මෑතක දී සඳහන් කළේ බොහෝ රටවල වර්තමානය වන විට කොවිඩ් ආසාදිතයන්ගේ සහ මරණවල සැලකිය යුතු වැඩි වීමක් නිරීක්ෂණය වන බව යි. සමහර රටවල කොවිඩ්-19 නව අනු ප්‍රභේද කිහිපයක් හමු වී ඇති බවත්, ඒවා දැනට පැතිරෙන ප්‍රභේදයන්ට වඩා වේගයෙන් පැතිරෙන සහ බරපතල සංකූලතා ඇති වීමට හේතු විය හැකි ඒවා බවත් වසංගත රෝග ඒකකය ප්‍රකාශ කළේ ය. සාමාන්‍යයෙන් ගෝලීය ආසාදිතයන් සහ මරණ ඉහළ යාමක් සිදු වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ද ඉහළ යන බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බව එම ඒකකය පෙන්වා දුන්නේ ය.

කොවිඩ්-19 පැතිරීම දැක්වෙන සිතියමක් – www.foreignpolicy.com

කොවිඩ් වසංගත තත්ත්වය

2019 වසරේ අගභාගයේ චීනයේ වුහාන් නගරයේ පැතිරී ගිය හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් පුද්ගලයන් ගණනාවක් ජීවිතක්ෂයට පත් විය. පර්යේෂණ ගණනාවක ප්‍රතිපලයක් වශයෙන් එය SARS-CoV-2 වෛරසය මඟින් ඇති වන බෝවන රෝගයක් බව අනාවරණය විය. එය කොවිඩ්-19 යනුවෙන් නම් කෙරිණි. මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන බොහෝ දෙනෙක් මෘදු සහ මධ්‍යස්ථ රෝග ලක්ෂණ ඇති වී, විශේෂ ප්‍රතිකාර නොමැති ව සුවය ලබති. සමහරු බරපතල ලෙස රෝගාතුර වී වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අතර, ඇතැම්හු මරණයට පවා පත් වෙති.

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ පළමු මරණය චීනයේ වුහාන් නගරයෙන් වාර්තා විය. එතැන් පටන් රටවල් කිහිපයක් හැර අනිකුත් සෑම රටක ම කොවිඩ්-19 ආසාදන සහ මරණ මිලියන ගණනක් වාර්තා විය. ආසන්නත ම දත්තවලට අනුව වෛරසය පැතිරීම ආරම්භයේ පටන් මේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 632ක් සහ කොවිඩ්-19 හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන 6.5කට වැඩි අගයක් ගනී. වැඩි ම ආසාදන සහ මරණ වාර්තා වූ රටවල් අතර අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, සහ ප්‍රංශය වැනි රටවල් වේ.

කොවිඩ්-19 හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වන විට මිලියන 6.5කට වැඩි අගයක් ගනී – www.ft.com

නවත ම පර්යේෂණ

ආචාර්ය ඩේවිඩ් හෝ ගේ ප්‍රධානත්වයෙන් යුතු, කොලොම්බියා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ කණ්ඩායමක් අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක මේ වන විට පැතිරෙන කොවිඩ්-19 ප්‍රභේද ගණනාවක් පිළිබඳ ව පර්යේෂණ සිදු කළහ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනු ප්‍රභේද ලෙස ඇති වූ BQ.1, BQ.1.1, XBB, සහ XBB.1 යන ප්‍රභේදවලට එරෙහි ව එන්නත්කරණය හෝ කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ශරීරයේ නිර්මාණය වූ ප්‍රතිශක්තිය ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදෙන බව එම පර්යේෂණවල දී සොයාගෙන ඇත.

වේගයෙන් පැතිරෙන නව ප්‍රභේද

සෛලවලට බැඳී වෛරසය පැතිරීම වේගවත් කරන විකෘතිතාවලින් සමන්විත වන බැවින් එම ප්‍රභේද සියල්ල ඔමික්‍රෝන් ප්‍රභේදයට සමාන ව ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වේ. BQ.1 ප්‍රභේදය මේ වන විට ප්‍රංශය පුරා වේගයෙන් පැතිරෙමින් තිබේ.

නොවැම්බර් මස අවසානය වන විට යුරෝපයේ වාර්තා වන කොවිඩ්-19 ආසාදනවලින් 50%ක් පමණ මෙම ප්‍රභේදය වනු ඇති බවත්, 2023 වසරේ මුල් භාගය වන විට එය කලාපයේ වඩාත් ම සුලබ කොවිඩ්-19 ප්‍රභේදය වනු ඇති බවත් වසංගත රෝග පිළිබඳ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.

ආචාර්ය ඩේවිඩ් හෝ – www.asiasociety.org

XBB ප්‍රභේදය මේ වන විට සිංගප්පූරුව සහ ඉන්දියාව තුළ වේගයෙන් පැතිර යන ප්‍රභේදය ලෙස හඳුනා ගෙන ඇත. BQ.1 සහ XBB ප්‍රභේදවලින් BQ.1.1 සහ XBB.1. යනුවෙන් නම් කර ඇති තවත් අනු ප්‍රභේද දෙකක් නිර්මාණය වී ඇත. එම අනු ප්‍රභේද දෙක මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය තුළ තරමක් වේගයෙන් පැතිර යන අතර, නොවැම්බර් මස මුල් භාගය වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදන අතරින් 35%ක් එම අනු ප්‍රභේදවලට අයත් වේ.

ඉතා වැදගත් සොයා ගැනීම්

කොවිඩ්-19 එන්නත් මඟින් BQ.1 ප්‍රභේදයට එරෙහි ව ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබෙන බව විවිධ අධ්‍යයනවල දී අනාවරණය වී ඇත. කෙසේ වෙතත්, ආචාර්ය හෝ ඇතුළු කණ්ඩායම සිදු කළ පර්යේෂණ BQ.1, BQ.1.1, XBB, සහ XBB.1 යන ප්‍රභේද සම්බන්ධයෙන් වන වැදගත් ම සොයාගැනීම්වලට මඟ පෑදූ බව පැවැසේ. මූලික කොවිඩ්-19 එන්නත් මාත්‍රා මඟින්, වර්ධක එන්නත් මාත්‍රා (බූස්ටර්) මඟින් සහ වෛරසය ආසාදනය වීම මඟින් ශරීරයේ ඇති වන ප්‍රතිශක්තිය මෙම ප්‍රභේදවලට එරෙහි ව ක්‍රියා කරන ආකාරය ඔවුහු ගැඹුරින් අධ්‍යයනය කළහ.

නව කොවිඩ්-19 ප්‍රභේද කිහිපයකට එරෙහි ව එන්නත්කරණය මගින් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබෙන බව මේ වන විට සොයාගෙන ඇත – m.timesofindia.com

මෙම කණ්ඩායම ඛාණ්ඩ කිහිපයකට අයත් පුද්ගලයන් 88 දෙනකුගෙන් ලබා ගත් රුධිර සාම්පල ඉහත කී ප්‍රභේදයන්ට නිරාවරණය කර තිබේ. නියම කොවිඩ්-19 වෛරසයට එරෙහි ව පැවැති ආරක්ෂාවට සාපේක්ෂව, ඉහත කී වෛරස ප්‍රභේදයන්ට එරෙහි ව ඔවුන්ගේ ශරීරයේ තිබූ ආරක්ෂාව පහත පරිදි වේ:

  • සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ, එක් වර්ධක මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන් – BQ.1 සහ BQ.1.1 ප්‍රභේදයන්ට එරෙහිව 37-55 ගුණයකින් අඩු ආරක්ෂාවක්/ XBB සහ XBB.1 ප්‍රභේදයන්ට එරෙහිව 70 ගුණයකින් අඩු ආරක්ෂාවක්.
  • සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ, වර්ධක මාත්‍රා දෙකක් ලබා ගත් පුද්ගලයන් – BQ.1 සහ BQ.1.1 ප්‍රභේදයන්ට එරෙහිව 43-81 ගුණයකින් අඩු ආරක්ෂාවක්/ XBB සහ XBB.1 ප්‍රභේදයන්ට එරෙහිව 145-155 ගුණයකින් අඩු ආරක්ෂාවක්.
  • සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ, වර්ධක මාත්‍රාවක් ලබා ගත්, සහ ඕමික්‍රෝන් BA.2 ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් – BQ.1 සහ BQ.1.1 ප්‍රභේදයන්ට එරෙහි ව 20-29 ගුණයකින් අඩු ආරක්ෂාවක්/ XBB සහ XBB.1 ප්‍රභේදයන්ට එරෙහිව 103-135 ගුණයකින් අඩු ආරක්ෂාවක්.
  • සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ, වර්ධක මාත්‍රාවක් ලබා ගත්, සහ ඕමික්‍රෝන් BA.4 හෝ BA.5 ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් – BQ.1 සහ BQ.1.1 ප්‍රභේදයන්ට එරෙහිව 13-31 ගුණයකින් අඩු ආරක්ෂාවක්/ XBB සහ XBB.1 ප්‍රභේදයන්ට එරෙහිව 86-96 ගුණයකින් අඩු ආරක්ෂාවක්.
කොවිඩ්-19 එන්නත් වර්ග – www.vejthani.com

බැහැර කළ නොහැකි එන්නත්වල වැදගත්කම

කොවිඩ්-19 එන්නත් නව ප්‍රභේදවලට එරෙහිව කාර්යක්ෂමතාවයෙන් අඩු විය හැකි නමුත්, දරුණු කොවිඩ්-19 තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ඒවා උපකාරී වන බව ප්‍රතික්ෂේප කළ නොහැකි බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වූ හෝ පවසන්නේ සිය කණ්ඩායම අනාවරණය කර ගත් කරුණුවලින් ගම්‍ය වන්නේ කොවිඩ්-19 එන්නත් සහ වෙනත් ප්‍රතිකාර ක්‍රම කාලානුරූපි ව සංවර්ධනය කළ යුතුය යන්න බව යි. ඉහත කී සියලු ප්‍රභේද එන්නත්කරණයෙන් ලැබෙන ආරක්ෂාව සහ ප්‍රතිදේහ පදනම් කර ගත් කොවිඩ්-19 ප්‍රතිකාර ක්‍රම අභිබවා යා හැකි බව ඔහු පැවැසුවේ ය.

කොවිඩ්-19 හා සමාන රෝග තත්ත්වයන්හි ඉහළ යාමක්?

මෙම ප්‍රභේද පැතිර යන රටවල්වලින් ලබා ගත් දත්ත අනුව ඒවා සහ ඉතා බරපතල කොවිඩ්-19 රෝග තත්ත්වයන් අතර සම්බන්ධයක් නොමැති බව හෙළි වීම සතුටුදායක පුවතකි. කෙසේ වෙතත් ඉන්ෆ්ලුවෙන්සා වැනි තවත් ස්වසන රෝග ගණනාවක් මේ වන විට ලොව පුරා පැතිර යන බැවින්, කොවිඩ්-19 වසංගත තත්ත්වය කෙසේ වෙතත් ඉදිරියේ දී බරපතල ස්වසන රෝගවලින් පෙළෙන රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යනු ඇති බවත්, එය දැඩි සත්කාර ප්‍රතිකාර ලබා දිය යුතු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට නිරායාසයෙන් ම හේතු විය හැකි බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් – www.reuters.com

නව එන්නත් නිෂ්පාදනය සහ නිෂ්පාදිත එන්නත් වැඩිදියුණු කිරීම

BQ.1, BQ.1.1, XBB, සහ XBB.1 ප්‍රභේද පැතිරීම ඉහළ යාම හරහා ප්‍රතිශක්තිය පිළිබඳ ව සලකන විට වෛරසය සෑම විට ම එන්නත්වලට වඩා තරමක් ඉදිරියෙන් පසු වන බව පෙනී යන බව ඔවුන්ගේ මතය වේ. එබැවින් කොරෝනා වෛරස ඛාණ්ඩයට අයත් වෛරස ගණනාවකට ඔරොත්තු දෙන, සහ ගෝලීය වශයෙන් පිළිගන්නා එන්නත් නිෂ්පාදනයට ඒ සඳහා හැකියාව ඇති සෑම රටක් ම කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. නව එන්නත් නිෂ්පාදනයට අමතර ව මේ වන විට නිෂ්පාදනය කර ඇති එන්නත් වැඩි දියුණු කිරීම පිළිබඳව ද බොහෝ පාර්ශවවල අවධානය යොමු වී ඇත.

කවරයේ ඡායාරූපය - ලොව පුරා රටවල් ගණනාවක පැතිරෙන නව කොවිඩ්-19 ප්‍රභේද - www.esan.edu.pe
මූලාශ්‍ර :
www.time.com
www.bbc.com
www.who.int
www.ecdc.europa.eu

Related Articles