Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතීත අමෙරිකානුවන් ලොවට දායාද කළ නව නිපැයුම්

වර්තමානයේ ඉතා බහුල ව භාවිත වන විවිධ උපකරණ සහ වෙනත් ද්‍රව්‍ය, නිෂ්පාදනය සඳහා පදනම් වී ඇත්තේ අතීතයේ භාවිත කළ ඒවාට සමාන නිෂ්පාදන යි. එවැනි නව නිපැයුම් නිසා වර්තමාන මිනිසාගේ ජීවන රටාව වඩාත් පහසු වී තිබේ. අද වන විට වඩාත් වැඩි දියුණු කර නිෂ්පාදනය කර ඇති උපකරණ සහ වෙනත් ද්‍රව්‍යවලින් බොහොමයක් මීට සියවස් ගණනකට පෙර ජීවත් වූ මිනිසුන් මුලින් ම සොයා ගත් ඒවා වේ.

අමෙරිකාවේ දේශීය ජන කොටසක් – www.insightguides.com

අද භාවිත වන එවැනි නව නිපැයුම් අතරින් බොහොමයක් අමෙරිකානු මහද්වීප ආශ්‍රිත රටවල ජීවත් වූ මිනිසුන් ලොවට හඳුන්වා දුන් ඒවා බව ඔබ දන්නවා ද? අමෙරිකානුවන් විවිධ රටවල් සමග වෙළෙඳ සබඳතා පැවැත්වූ බැවින් ආක්ටික් කලාපයේ ජීවත් වන එස්කිමෝවරුන් වැනි ජන කොටස් සොයා ගත් නව නිෂ්පාදන ඉතා ඉක්මනින් ලොව පුරා ව්‍යාප්ත වී තිබේ.

අමෙරිකානුවන් ලොවට හඳුන්වාදුන් එවැනි සොයාගැනීම් කිහිපයක් පිළිබඳ මෙම ලිපියෙන් දැනගනිමු.

කයාක්ස් බෝට්ටු

අමෙරිකානු මහද්වීපයට අයත් ආක්ටික් හි ජීවත් වූ එස්කිමෝවරුන් නිපදවූ කුඩා සහ පටු බෝට්ටු විශේෂයක් ‘කයාක්ස්’ යනුවෙන් හැඳින්වේ. යම්කිසි අවස්ථාවක දී ජලයේ ගිලුනහොත් බෝට්ටුකරුට ආරක්ෂා වීම පිණිස මෙම බෝට්ටුවල වැඩි කොටසක් ආවරණය කර තිබිණි. කයාක්ස් බෝට්ටුවල ඇති තවත් විශේෂත්වයක් ලෙස ඒවා මුල් කාලයේදී සම්පුර්ණයෙන් ම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සකස් කර තිබීම හැඳින්විය හැකි ය.

කයාක්ස් බෝට්ටු පදින එස්කිමෝවරු – Buyenlarge- Getty Images

බොහෝ විට දැවයෙන් සකස් කළ බෝට්ටු ආවරණය කිරීම සඳහා සීල් මත්ස්‍යයන්ගේ සම හෝ වෙනත් සතුන්ගේ සම් භාවිත කර තිබේ. කෙසේ වෙතත් පසුකාලීනව මෙම බෝට්ටු  ලොව පුරා ප්‍රචලිත වූ බැවින් වර්තමානයේ දී ප්ලාස්ටික් සහ කාබන් කෙඳි වැනි දෑ භාවිත කර ඒවා නිෂ්පාදනය කරයි. අමුද්‍රව්‍ය වෙනස් වුවත් එම බෝට්ටු නිෂ්පාදනය සඳහා භාවිත කරන තාක්ෂණය වර්තමානයේ දී පවා වෙනස් වී නැත.

නූතන කයාක්ස් බෝට්ටුවක් – www.shutterstock.com

අව් කණ්ණාඩි

එස්කිමෝවරුන්ගේ තවත් එක් නව සොයාගැනිමකි- අව් කණ්ණාඩි. හිම මතට වැටී පරාවර්තනය වන හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා ඔවුන් මුලින්ම අව් කණ්ණාඩි සකස් කර ඇත්තේ දැව වර්ග භාවිතයෙනි. පසුව සතුන්ගේ අස්ථි සහ සම් වැනි දේ ද ඒ සඳහා යොදා ගෙන තිබේ. කණ්ණාඩි බහාලන මංජුසාව ද ඔවුන් දැවයෙන් සකස් කර තිබිණි. පසුකාලීනව වර්තමාන අව් කණ්ණාඩි නිෂ්පාදකයන්ට ඒවා නිෂ්පාදනය සඳහා අතීත එස්කිමෝවරුන්ගේ මෙම සොයාගැනීම මහත් පිටුවහලක් වී තිබේ.

පුරාණ අව් කණ්ණාඩි සහ ඒවා පැළඳ සිටින පුද්ගලයෙක් – SSPL- Getty Images

එල්ලෙන පාලම්

දකුණු අමෙරිකාවේ ජීවත් වූ දේශීය ජන කොටසක් වන ඉන්කාවරු, තෘණ, විවිධ පැළෑටි වර්ග සහ වෙනත් ශාක කොටස් භාවිත කර ශක්තිමත් කෙඳි විවීමට පටන් ගත්හ. විවිධ ක්‍රමවේද භාවිත කර ඒවායේ ශක්තිමත් බව ඉහළ නැංවූ ඔවුන් එම කෙඳි භාවිත කර ඉතා ශක්තිමත් එල්ලෙන පාලම් ඉදිකර තිබේ. ඔවුන් ඉදි කර සමහර පාලම් එකල ඉංජිනේරුවන් ගල් වැනි ශක්තිමත් අමුද්‍රව්‍ය භාවිත කර ඉදි කළ සමහර පාලම්වලටත් වඩා දිගින් වැඩි ඒවා බව කියැවේ.

කෙසේ වෙතත් ලෝහ වැනි අමුද්‍රව්‍ය භාවිතයෙන් එල්ලෙන පාලම් ඉදිකිරිම ආරම්භ වීමත් සමඟ, ඉන්කාවරුන් මෙම පාලම් ඉදිකිරිම නවතා දමා තිබේ. ඔවුන් ශාකමය කෙඳි වර්ග භාවිත කර ඉදි කළ අවසන් එල්ලෙන පාලම පේරු රාජ්‍යයේ කැනාස් පළාතේ වර්තමානයේ දී පවා දැකගත හැක. එය අද වන තෙක් ඉතා ශක්තිමත් ව තිබීම ඉන්කාවරුන් සතු ව පැවැති දියුණු තාක්ෂණය මොනවට පිළිබිඹු කරයි.

පේරු රාජ්‍යයේ පිහිටා ඇති ඉන්කාවරුන් තැනූ අවසන් එල්ලෙන පාලම – Geraint Rowland Photography- Getty Images

ළදරු කිරි බෝතල්

ඊසානදිග උතුරු අමෙරිකාවේ ජීවත් වන ඉන්දියානු සම්භවයක් සහිත ස්වදේශික කන්ඩායමක් වන ‘Iroquoian’වරුන් මුල්වරට ළදරු කිරි බෝතල්වලට සමාන යමක් භාවිත කර තිබේ. ඒ සඳහා මැරුණු වලසකුගේ තරමක් විශාල බඩවැලක් යොදාගෙන තිබේ. වියළා ගත් බඩවැල් කොටස විවිධ ශාකමය ද්‍රව්‍ය යොදා පිරිසුදු කරගෙන තිබේ.

ඊට පසුව එහි කෙළවරට කුරුල්ලකුගේ පිහාටුවක කොටසක් සවි කර තිබේ. එම කොටස වර්තමානයේ දැකිය හැකි ළදරු කිරි බෝතල්වල ඇති පුඩුවට සමාන එකක් බව කියැවේ. එය කිරි පමණක් නොව විවිධ දියර වර්ග කුඩා දරුවන්ට පෙවීම සඳහා භාවිත කර තිබේ.

ළදරු කිරි බෝතල් – www.dreamstime.com

වේදනානාශක සහ නිර්වින්දක ඖෂධ

වේදනානාශක ඖෂධ නිෂ්පාදනයේ දී අමෙරිකානුවන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රදේශයේ ජීවත් වූ දේශීය ජනකොටස්, ජිම්සන් නමැති පැළෑටි විශේෂයක් වේදනානාශක ඖෂධයක් ලෙස භාවිත කර තිබේ. එම ශාකයේ ම මුල් අඹරා සකස් කර ගත් පැලැස්තරයක් වැනි යමක් තුවාල සඳහා යෙදූ බවත් කියැවේ.

ජිම්සන් ශාකයක් -www.gardeningknowhow.com

 අස්ථි බිඳී යාම් වැනි අනතුරුවලට ලක් වූ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේ දී ඔවුන් නිර්වින්දනය කිරීම සඳහා ද මෙම පැළෑටි යොදා ගෙන තිබේ. ජිම්සන් පැළෑටිවලට අමතරව අමෙරිකානු කළු විලෝ ශාකයේ පොතු තම්බා සකස් කරගත් තේ වර්ගයක් ද වේදනානාශක ඖෂධයක් ලෙස භාවිත කර තිබේ. එහි අන්තර්ගත වූ සංඝටක වර්තමාන ඇස්පිරින් ඖෂධයේ අඩංගු සංඝටකවලට සමාන ඒවා විය.

කළු විලෝ ගසක් – www.blogs.cornell.org

සිරින්ජර, උපත් පාලන පෙති සහ මුඛ සේදුම් දියර

සමහර සතුන්ගේ වියළා ගත් මුත්‍රාශය සහ එක්තරා පක්ෂි විශේෂයකගේ ඇටකටු, දියරමය ඖෂධ ශරීරගත කිරීම සඳහා භාවිත කිරීම ආරම්භ කළේ අමෙරිකානුවන් ය. එය සිරින්ජ භාවිතයේ පළමු පියවර ලෙස සැලැකේ. ඊට සෑහෙන කලකට පසු ස්කොට්ලන්ත වෛද්‍යවරයකු වූ ඇලෙක්සැන්ඩර් වුඩ් මෝෆින් නම් ඖෂධය ශරීරගත කිරීම සඳහා මුල්වරට ඉදිකටුවක් භාවිත කර තිබේ.

පැරැණි සිරින්ජ – www.renderhub.com

 නූතන උපත් පාලන පෙති සොයා ගැනීමට බොහෝ කලට පෙර අමෙරිකානු දේශීය ජන කොටස් විවිධ උපත් පාලන ඖෂධ භාවිත කර තිබේ. ඒවායෙන් බොහොමයක් ශාකමය අමුද්‍රව්‍ය යොදා ගෙන සකස් කළ ඒවා බව කියැවේ.

ඊසානදිග උතුරු අමෙරිකාවේ ජීවත් වූ ජනකොටස් ‘goldthread’ නම් ශාකයේ මල්වලින් සකසා ගත් දියරයක් මුඛ සේදුම් දියරයක් ලෙස මුල් වරට භාවිත කර තිබේ. දත් කැක්කුම් වැනි දේ සඳහා ඔවුන් එය බහුල ව භාවිතා කර ඇත.

‘Goldthread’ මල් – www.wildadirondacks.org

හැමොක් (එල්ලෙන ඇඳ)

සුවපහසු නින්දක් සඳහා බොහෝ දෙනකු ප්‍රිය කරන හැමොක්, එනම්, එල්ලෙන ඇඳ සොයාගෙන ඇත්තේ කැරිබියන් දුපත්වල ජීවත් වූ ජනකොටස් බව බොහෝ දෙනෙක් නොදනිති. දේශ ගවේශකයකු වූ ක්‍රිස්ටෝපර් කොලොම්බස් දේශ ගවේෂණ කටයුතු සඳහා කැරිබියන් දූපත්වලට ගොඩබසින විට පවා එහි ජීවත් වූ ජනකොටස් ඒවා භාවිත කර තිබේ.

ඒ බව ඔහුගේ දින සටහන්වල සඳහන් වේ. බොහෝ විට කපු පුළුන් යොදා සකස් කර තිබූ ඒවා ගස් හෝ කණු දෙකක් අතර එල්ලා තිබූ බව ඔහු සඳහන් කර තිබේ. පසුකාලීනව යුරෝපීය නාවිකයෝ වෙළෙඳ සහ වෙනත් නෞකාවල ගමන් ගන්නා විට නිදා ගැනීම සඳහා එල්ලෙන ඇඳන් භාවිත කිරීමට පටන් ගත්හ.

හැමොක් – www.wikipedia.org

 

කවරයේ ඡායාරූපය - අමෙරිකාවේ දේශීය ජනකොටසක් දැක්වෙන සිතුවමක් - www.owlcation.com

මූලාශ්‍ර:

www.history.com/ Patrick J. Kiger

www.blogs.cornell.org

www.owlcation.com

Related Articles