Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විදෙස් ශ්‍රමිකයන්ට හිසරදයක් වන සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව බදු සැලසුම

බදු කිසිත් නොපැනවුණ රාජ්‍යයන් දෙකක් ලෙස නම් දරා සිටි සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම ප්‍රතිපත්තිය අත්හැර දමා මේ වසරේ සිට බොහෝ  භාණ්ඩ හා සේවා මත බඩු පැනවීමට තීරණය කර තිබෙනවා. මෙසේ පැනවෙන 5% VAT බද්ද ක්‍රියාත්මක වන්නේ 2019 ජනවාරි පළමුවන දා සිටයි. බොර තෙල් මත යැපෙන ඔවුන්ගේ ආර්ථිකයන් එයින් මුදවාගැනීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක වන නව බදු ප්‍රතිපත්තිය මගින් ජාතික ආදායම වර්ධනය කරගනිමින්, ගෙවුම් ශේෂ හිඟය අඩු කරගැනීමටත් සෞදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් බලාපොරොත්තු වනවා. සෞදි අරාබියේ සමස්ත ජාතික ආදායමෙන් 90% පමණ ප්‍රතිශතයක් ලැබෙන්නේ බොර තෙල් ආනයනය මගින්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම ප්‍රතිශතය 80%ක් පමණ වනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය තුල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියාවල නියුතු වන බැවින් මේ නව බදු ක්‍රමය පිලිබඳ ඔබ දැනගත යුතු වැදගත් කාරණා කිහිපයක් ඉදිරිපත් කිරීමට අප තීරණය කළා.

බදු අදාළ වන සහ නොවන භාණ්ඩ

ආහාර පාන, ඇඟලුම්, ඉන්ධන, විනෝද කටයුතු, විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ, දුරකථන බිල්, විදුලි සහ ජල බිල්වලට ඉහතින් සඳහන් කළ නව VAT බද්ද අදාළ වනවා. ඊට අමතරව සෞදිය විසින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලට ද බද්දක් පනවා ඇති අතර ඩුබායි සංචාරක බද්දක් හඳුන්වා දී තිබෙනවා.

ගෙවල් කුලී, වතු ආශ්‍රිත විකුණුම්, ගුවන් ටිකට්පත්, පාසල් ගාස්තු මෙම බදු ක්‍රමයට ඇතුලත් වන්නේ නැහැ.

නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල පාසල් නිල ඇඳුම්, පොත් පත්, සහ පාසල් බස් ගාස්තු ද බද්දට යටත් වනවා. උසස් අධ්‍යාපන ගාස්තුවලින් ද බද්දක් අය කෙරෙනු ඇති. හඳුන්වාදුන් නව බදු නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල ඉන්ධන මිල 4% ත් 6% ත් අතර අගයන්ගෙන් වැඩිවන බව ආර්ථික විද්‍යා විශේෂඥයන් පවසනවා.

මෙම වසරේ මුල සිට සෞදි අරාබිය ගෘහස්ථ කටයුතු වලට යොදාගන්නා ගෑස්, ගුවන්යානා ඉන්ධන මිල ද 80% ක පමණ ප්‍රතිශතයකින් ඉහළ දමා ඇතිබව වාර්තා වෙනවා.

කෙසේ නමුත් සෞදි රජයේ සේවකයන්ට බඩු වියදම යම් තරමකින් ආවරණය කරගැනීමට මාසිකව ඇමරිකානු ඩොලර් 260ක දීමනාවක් ලබා දෙන බවයි සෞදි රජය පවසන්නේ. එමෙන්ම සෞදි වැසියන් සිය ප්‍රථම නිවාස මිල දී ගන්නා විට එයට අදාළ බදු මුදල් රජය විසින් ගෙවනු ලබනවා.

තවද, යේමෙන යුධ පෙරමුණේ සේවයේ නියැලෙන සෞදි හමුදා සෙබළුන්ට මාසිකව ඇමරිකානු ඩොලර් 1000 පමණ දීමනාවක් ද ලබාදෙන බව නව බදු ක්‍රමය හඳුන්වාදෙමින් සෞදි රජය නිවේදනය කළා.

මේ සියළුම බදුවලට අමතරව සෞදියේ සිටින විදේශ ශ්‍රමිකයන් සඳහා අදාල වන බදු ක්‍රමයක් හඳුන්වාදුන්නේ ගිය වසරේ ජුලි මාසයේ සිටයි.

සෞදි විදේශ ශ්‍රමිකයන් සඳහා වන බද්ද

අයිකමා පත්‍රය/Iqama Check

‘පවුල් බද්ද’ (family tax) හැඳින්වෙන මෙය අය කිරීම ආරම්භ කළේ 2017 වසරේ ජුලි 01 වන දා සිටයි.

මේ බද්ද ප්‍රථම වසරේ, එනම් 2018 ජුලි 01 වන තෙක් ශ්‍රමිකයාගේ පවුලේ එක් සාමාජිකයෙකුට මසකට රියාල් 100 (දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 4100) බැගින් අය කෙරෙනවා (ශ්‍රමිකයා සමඟ පවුලේ සාමාජිකයන් 4 දෙනෙකු සෞදියේ පදිංචිව සිටිනම් මසකට ගෙවිය යුතු බදු මුදල 100 * 4 = රියාල් 400).

දෙවන වසරේ රියාල් 200 සහ තෙවන වසරේ රියාල් 300 ආදී වශයෙන් අය කෙරෙන මෙය 2020 පමණ වන විය රියාල් 400 පමණ වනු ඇති. දැනට පවසන පරිදි මෙම බද්ද හඳුන්වා දී තිබෙන්නේ 2020 තෙක් පමණයි.

මෙම සම්පූර්ණ ගාස්තුව ගෙවිය යුතුවන්නේ වාර්ෂිකව අයිකාමා (Iqama) හෙවත් නේවාසික බලපත්‍රය ලබා ගැනීමේ දීයි. එය එකතු කරනු ලබන්නේ ගමන් බලපත්‍ර දෙපාර්තමේන්තුව විසිනුයි. ඒ අනුව සිය කලත්‍රයා සහ දරුවන් දෙදෙනෙකු සමඟ සෞදි අරාබියේ ජිවත් වන විදෙස් ශ්‍රමිකයන් ප්‍රථම වසර තුල රියාල් 3600ක් රජයට ගෙවිය යුතුයි. මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් ආසන්න වශයෙන් 147,600ක් පමණ වනවා.

මෙයට අමතරව විදේශිකයන් සේවයෙහි යොදවාගෙන ඇති පෞද්ගලික සමාගම් ද ඒ වෙනුවෙන් රජයට බදු ගෙවිය යුතුයි. යම් පෞද්ගලික සමාගමක සෞදි වැසියන්ට වඩා වැඩි විදෙස් ශ්‍රමිකයන් පිරිසක් සේවයේ යෙදී සිටින්නේනම් ඒ වැඩිවන එක් සේවකයෙකු වෙනුවෙන් 2017 ජුලි සිට දෙසැම්බර් දක්වා  මසකට රියාල් 200 ක බද්දක් අදාළ සමාගම විසින් රජයට ගෙවිය යුතුයි. එය 2018 ජනවාරි සිට රියාල් 400ක් වන අතර සෑම නව වසරකදීම රියාල් 200 බැගින් වැඩිවනු ඇති. ඒ වර්ෂ 2020 දක්වායි.

බදු පැනවීම පිටුපස ඇති හේතූන්

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය/Gulf Today

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම බදු පැනවීමේ තීරණය ගනු ලැබුවේ 2016 වසරේ ගල්ෆ් කලාපීය රටවල් 6ක එකමුතුවෙන් රියාද් හි පැවැත්වුණ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ දී (Gulf Coorperation Council – GCC) ගනු ලැබූ එකඟතාවන්ට අනුවයි.

පෙර කීවාක් මෙන් රාජ්‍ය ආදායමින් අති විශාල ප්‍රතිශතයක් බොරතෙල් ආනයනයෙන් සපුරාගන්නා මෙම රටවල් 2014 වසරේ සිට ලෝක වෙළෙඳපොළේ සිදුවූ බොරතෙල් මිල උච්ඡාවචනය වීම නිසා දැඩි අසීරුතාවකට මුහුණ දී සිටිනවා. එබැවින් තනිකරම බොරතෙල් ආදායම මත නොයැපී වෙනත් විවිධ ක්‍රම මගින් රාජ්‍ය ආදායම සපුරාගන්නට ගත් තීරණයන්හි ප්‍රතිඵලයක් ලෙසයි මෙම නව බදු ක්‍රමය කරළියට පැමිණෙන්නේ.

VAT බදු මගින් ලබා ගන්නා ආදායම දිගුකාලින සංවර්ධන ව්‍යාපෘති සහ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් යොදවන බව සෞදි රජය පවසනවා.

මෙම රටවල් දෙකට අමතරව අනෙකුත් GCC සාමාජිකයන් වන කටාර්, බහරේන්, ඕමාන්, සහ කුවේට් යන රටවලුත් 2019 ජනවාරි පළමුවන දා සිට නව බදු ක්‍රමයට අනුගත වනු ඇති.

Cover Photo – ඩුබායි රජු මොහම්මද් බින් රෂිඩ් අල් මක්තුම් (වමේ) සහ සෞදි අරාබි රජු සල්මාන් බින් අබ්දුල්ලාසිස් (දකුණේ)/Gulf News

Related Articles