46 වසරකට පෙර චීනය සසල කළ බිහිසුණු ගංවතුර

නැඟෙනහිර ආසියා කලාපයට අයත් රටක් වන චීනය නිතර ම ස්වභාවික ආපදාවන්ට මුහුණ දෙනවා. චීන ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී භූමිකම්පා, ගංවතුර, සුළි කුණාටු වැනි ස්වභාවික විපත්වලින් එරටට සිදු වුණු මහා විනාශ පිළිබඳ ව වාර්තා වෙනවා. 1975 වසරේ අගෝස්තු මාසය චීනයට එතරම් සුබදායී මාසයක් වුණේ නැහැ.

ඒ නීනා නම් සුළි කුණාටුව චීනය හරහා හමා ගිය නිසා යි. එම සුළි කුණාටුවේ බලපෑම නිසා චීනයේ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව නොකඩවා ඇද වැටුණා. එනිසා ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් මහා ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ඒ අයුරින් ඇති වුණු ගංවතුර තත්ත්වය චීන ඉතිහාසයේ වාර්තා වුණු දරුණුත ම ස්වභාවික විපත්වලින් එකක් යැයි සැලකෙනවා. 

සුළි කුණාටුවේ ආරම්භය සහ ගමන් මඟ 

1975 ජූලි 29 වැනිදා දකුණු පැසිෆික් සාගරයෙන් නීනා සුළි කුණාටුව ආරම්භ වුණා. කුණාටුව ආරම්භ වී ගත වුණු මුල් පැය 36 දී එය නිරිත දිශාවට ගමන් කළා. ජූලි 31 වැනිදා වන විට මන්දගාමී ස්වභාවයකට හැරී තිබුණු කුණාටුව එක් වර ම වයඹ දෙසට හැරී ගොඩබිම දෙසට වේගයෙන් ගමන් කරන්නට පටන් ගත්තා. ඒ අනුව අගෝස්තු 1 වැනිදා වන විට කුණාටුවේ වේගය පැ.කි.මී 250 සීමාව වෙත ළඟා වී තිබුණා. නමුත් එය ක්‍රම ක්‍රමයෙන් ගොඩබිමට ආසන්න වෙද්දී එහි වේගය තරමක් දුරට අඩුවන්නට පටන් ගත්තා. ඒ අයුරින් හමා ගිය නීනා සුළි කුණාටුව තායිවානය අසලට පැමිණෙන විට එහි වේගය පැයට කිලෝ මීටර් 185 වැනි අගයක පැවතුණා.

නීනා සුළි කුණාටුවේ ගමන් මග – wikimedia.org

 

නීනා කුණාටුවෙන් තායිවානයටත් දැඩි හානි 

අගෝස්තු  2 වැනිදා සවස් යාමය වන විට සුළි කුණාටුවේ වේගය පැයට කිලෝ මීටර් 200 දක්වා අඩු වුණා. ඉන් පසුව තවත් මන්දගාමී වුණු සුළි කුණාටුව අගෝස්තු 3 වැනිදා හුවාලියන් නගරය හරහා තායිවානයට ඇතුළු වුණා. ඒ වන විට සුළි කුණාටුවේ වේගය පැයට කිලෝ මීටර් 185ක් ලෙසින් සටහන් වුණා. එදා කුණාටුවේ බලපෑමේ හේතුවෙන් තායිවානයට අඛණ්ඩව වැසි ඇද හැලුණා.

සමහර ප්‍රදේශවලින් මිලි මීටර් 700 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවුණු නාය යාම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් විපතට පත් වුණා. එදා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් තායිවාන් වැසියන් 29 දෙනකුට සිය ජීවිත අහිමි වෙද්දී තවත් 168 දෙනෙක් තුවාල ලැබුවා. ඊට අමතර ව නිවාස 3000කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබුණා. 

නීනා සුළි කුණාටුවේ ගමන් මඟ පිළිබඳ ඉදිරිපත් කිරීමක්:

සුළි කුණාටුව චීනයට ඇතුළු වෙයි 

නීනා සුළි කුණාටුව තායිවානයේ මධ්‍යම කඳු පන්තිය හරහා ගමන් කළ නිසා එහි වේගය තරමක් බාල වුණා. එනිසා සුළි කුණාටුව චීනයට ඇතුළු වෙද්දී එහි වේගය පැයට කිලෝ මීටර් 110 ලෙසින් සටහන් වුණා.  චීනයට එලෙස අගෝස්තු 4 වැනිදා පාන්දර කඩා වැදුණු නීනා සුළි කුණාටුව අගෝස්තු 5 වැනිදා වන විට මධ්‍යම චීනයට අයත් හෙනාන් ප්‍රදේශයටත් ඇතුළු වුණා.

ඒ සමඟ ම මධ්‍යම චීනයේ ප්‍රදේශ රැසකට අඛණ්ඩ වර්ෂාවක් පතිත වුණා. දින කිහිපයක් පුරා දවසේ වැඩි කාලයක් වර්ෂාව පතිත වීම නිසා එම ප්‍රදේශයේ ගංගාවල ජල මට්ටම වේගයෙන් ඉහළ ගියා. ඒ අයුරින් සුළි කුණාටුව පැවති දිනවල මධ්‍යම චීනයේ සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර 800ක් ලෙසින් සටහන් වුණා. එම පළාතේ සමහර ස්ථානවලට මිලි මීටර් 1000 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී තිබුණා. එලෙස දිගින් දිගට ම වර්ෂාව ඇද වැටීම හේතුවෙන් මධ්‍යම චීනයේ පහත් බිම් රැසකට ගංවතුර තත්ත්වයක් ඇති වෙමින් තිබුණා. 

ගංවතුර නිසා යට වුණු මධ්‍යම චීනයේ පහත් බිම් (ThingLink)

ගංගා කිහිපයක් උපරිම ජල මට්ටමට

මධ්‍යම චීනය හරහා ගලා බසින ගංගා රැසක් තිබෙනවා. ඒ අතුරින් රූ, ෂෙන්ටු, ෂී, ගුන්, ගැන් ජිආන්ග්, හොං යන ගංගා ප්‍රධාන යි. එදා මධ්‍යම චීනයට අඛණ්ඩ ව ඇද වැටුණු මහා වර්ෂාව හේතුවෙන් ඉහත සඳහන් කළ ගංගාවල ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් ඉහළ නගින්නට පටන් ගත්තා.

ඒ අයුරින් අසාමාන්‍ය ලෙස ගංගා ජල මට්ටම ඉහළ නඟිද්දී පහත් බිම්වල ජීවත් වුණු ජනතාව හැකි අයුරින් ආරක්ෂක ස්ථානවලට යැවීමට චීන බලධාරීන් කටයුතු කළා. එලෙස විපතට පත් ජනයා ආරක්ෂිත ස්ථාන කරා යොමු කළත් වර්ෂාවේ කිසිදු අඩු වීමක් පෙනෙන්නට තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අගෝස්තු 8 වැනිදා වන විට මධ්‍යම චීනයේ ගංගා රැසක් උපරිම ජල මට්ටම කරා ළඟා වී තිබුණා. එය මහා විපතක පෙර නිමිත්තක් බවට පත් වෙමින් තිබුණා.

ගංගාවල ජල මට්ටම වැඩිව තිබුණු ආකාරය – Ik Cest

 

බැන්කියාවෝ වේල්ල බිඳෙයි

චීනයට අයත් විශාලත ම ගංගාවක් වන කහ ගංගාව මධ්‍යම චීනය හරහා ගලාගෙන යනවා. කහ ගංගාව නිසා ඇති වන ගංවතුර තත්ත්වය වැලැක්වීම සඳහා එහි ජල පෝෂක ගංගාවලින් ප්‍රධාන ගංගාවට එකතු වන ජල ප්‍රමාණය පාලනය කිරීමට අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1950 දශකයේ මුල් භාගයේ දී රූ ගංගාව හරහා බැන්කියාවෝ වේල්ල ඉදි කළා.

මීටර් 118ක උසකින් සහ ඝන මීටර් මිලියන 492ක ධාරිතාවකින් යුක්ත වුණු බැන්කියාවෝ වේල්ල ඉදිකිරීමේ කටයුතු සිදු වුණේ සෝවියට් රුසියානු ඉංජිනේරුවන්ගේ මඟ පෙන්වීම යටතේ ඉදි වුණා. එය ඉදි කිරීමෙන් වසර කිහිපයකට පසුව රුසියානු ඉංජිනේරුවන් එහි ශක්තිය තවත් වැඩි කළා. එනිසා බැන්කියාවෝ වේල්ලට යකඩ වේල්ල යන නම පට බැඳුණා. 

බැන්කියාවෝ වේල්ලේ ඉදිකිරීම් අතරතුර – steamdaily.com

 

නීනා සුළි කුණාටුව හේතුවෙන් ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් රූ ගංගාවේ ජල මට්ටම විශාල ලෙස ඉහළ ගියා. එනිසා අගෝස්තු 8 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට වේල්ලට ඔරොත්තු නොදෙන තරම් ජල කඳක් ගංගාව හරහා ගලා ගෙන ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අගෝස්තු 9 වැනිදා පාන්දර 1ට පමණ වේල්ල බිඳී යාම ආරම්භ වුණා.

බැන්කියාවෝ වේල්ල වේල්ල බිඳී යාම ආරම්භ වුණු සැණින් ඒ අසල පිහිටා තිබුණු ඩාවෙන්චෙන්ග් නගරය සම්පූර්ණයෙන් ම යට වී එහි ජීවත්ව සිටි 9600 දෙනකු අතුරුදහන් වුණා. එදා පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට නොහැකි වුණු නිසා බැන්කියාවෝ වේල්ල වේල්ල බිඳී යාම නිසා සැලකිය යුතු තරම් පිරිසක් මරණයට පත් වී විශාල පිරිසක් අවතැන් වුණා. නීනා සුළි කුණාටුවෙන් මධ්‍යම චීනයට එතරම් විනාශයක් සිදුවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ බැන්කියාවෝ වේල්ල කැඩීයාමේ සිද්ධිය යි. 

බැන්කියාවෝ වේල්ල බිඳී යාමෙන් පසුව – thatsmags.com 

 

තවත් වේලි විශාල ප්‍රමාණයක් බිඳී යයි 

කහ ගංගාව නිසා ඇති වන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා හොං ගංගාව හරහා තවත් විශාල වේල්ලක් ඉදි කර තිබුණා. 1950 දශකයේ මුල් භාගයේ දී බැන්කියාවෝ වේල්ල සමඟින් ඉදි කළ එම වේල්ල ෂිමන්තන් යනුවෙන් හඳුන්වනවා. එදා හොං ගංගාවේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ නැඟීම හේතුවෙන් ෂිමන්තන් වේල්ල ද බිඳී ගියා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් තවත් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී විශාල පිරිසකට මරණය උරුම වුණා. ඊට අමතර ව තවත් කුඩා වේලි 62ක් පමණ විනාශයට පත්වුණා. ඉන් සමහර වේලි චීන ආරක්ෂක අංශ මැදිහත් වී පුපුරවා හැරියේ අපේක්ෂිත දිශාවට ජලය මුදාහැරීම සඳහා යි. ඒ අයුරින් වේලි බිඳී යාම හේතුවෙන් මධ්‍යම චීනයේ නගර, ගම්, වගාබිම් ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී මහා විනාශයක් සිදුවුණා. 

ගංවතුරෙන් පසු මතු වුණු අවාසනාවන්ත තත්ත්වය

දින ගණනාවකට පසු ව ගංවතුර තත්ත්වය පහ ව ගියා. ඉන් පසු ව විපතට පත් ප්‍රදේශවල ජීවත් වුණු ජනතාව වඩාත් දුෂ්කරතාවට පත්වුණා. ඒ විවිධ වසංගත රෝග එම ප්‍රදේශ ආශ්‍රිත ව පැතිර යාම නිසා යි. එලෙස පැතිර ගිය වසංගත රෝගවලට ගොදුරු වුණු පිරිස් බුරුතුපිටින් මරණයට පත්වෙද්දී ජල හිඟය සහ ආහාර හිඟය නිසා විශාල පිරිසක් පීඩාවට පත්වුණා.

ඒ අයුරින් සාගත තත්ත්වයක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වුණේ විපතට පත්වුණු ප්‍රදේශවල පිහිටා තිබුණු වගා බිම් රැසක් ගංවතුර හේතුවෙන් විනාශ වීම යි. එදා ජලගැලීම් නිසා මරණයට පත්වුණු ප්‍රමාණයට වඩා 7 ගුණයකටත් වැඩි පිරිසක් වසංගත සහ සාගතය නිසා මරණයට පත්වීම අවාසනාවන්ත තත්ත්වයක් වුණා.

ගංවතුර බැස යමින් තිබුණු ආකාරය – emaze.com
 

ලක්ෂ 2කට වැඩි ජීවිත ප්‍රමාණයක් අහිමියි

එදා මධ්‍යම චීනයට බල පෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් 26,000ක පමණ පිරිසක් මිය ගිය බව වාර්තාවල සඳහන් ව තිබෙනවා. ඉන් පසුව ඇති වුණු වසංගත තත්ත්වය හේතුවෙන් 145,000කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වන්නට ඇති බවත් අනුමාන කරනවා. ඊට අමතර ව සාගතය නිසා තවත් 58,000ක පමණ පිරිසක් මිය ගිය බවටත් කරුණු වාර්තා වුණා. ඒ අනුව නීනා සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය මුළු ප්‍රමාණය 229,000ක් බවට අනුමාන කරනවා. එම දත්තවලට අනුව එදාමෙදා තුර තෙවැනියට වැඩි ම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි කළ සුළි කුණාටුව ලෙසින් සැලකෙන නීනා, චීනයට බල පෑ භයානක ම සුළි කුණාටුව ලෙසින් අදටත් සැලකෙනවා. 

කවරයේ ඡායාරූපය- නීනා සුළි කුණාටුව නිසා ඇති වුණු මහා ගංවතුර- supchina.com 

මූලාශ්‍ර: 

journals.ametsoc.org 

hurricanescience.net 

thatsmags.com 

Related Articles