Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බින් ලාඩන්ගේ පරිශ්‍රයෙන් සීල් භටයන් සොයා ගත් දේවල් 9ක්

ලොව ම බියෙන් සලිත කළ අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නිර්මාතෘවරයා වූ ඔසාමා-බින්-ලාඩන් අමෙරිකානු නාවික හමුදාවට අයත් අනු ඛණ්ඩයක් වූ ‘SEAL Team Six’ විසින් එල්ල කළ ප්‍රහාරයකින් 2011 මැයි 2 දින ජිවිතක්ෂයට පත් විය. ඒ වන විට පාකිස්තානයේ ඇබොටාබාද්හි රහසිගත ස්ථානයක පිහිටි නිවසක ජීවත් වූ බින්-ලාඩන්, ඔහුගේ පවුලේ අය සහ තවත් පුද්ගලයන් ගණනාවක් එම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූහ.

බින්-ලාඩන් ඇතුළු පිරිස ඝාතනය කරන අවස්ථාවේ ජීවත් වූ නිවස – www.cnn.com

මෙම ඓතිහාසික මෙහෙයුමෙන් පසුව ඔහුට අයත් ව තිබූ භාණ්ඩ ගණනාවක් අමෙරිකානු බුද්ධි අංශ භාරයට පත් වූ අතර ඒවායෙන් බොහොමයක් මේ වන විට මහජනතාවට දැක ගත හැකි ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් මරණයට පත් කරමින් සහ තවත් 25,000කට අධික පිරිසකට තුවාල සිදු කරමින් 2001 සැප්තැම්බර් 11 දින අමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය ඇතුළු තවත් දැවැන්ත ත්‍රස්ත ප්‍රහාර ගණනාවක් සැලසුම් කළ බින්-ලාඩන් පිළිබඳ ව අවබෝධයක් ඔහු පරිහරණය කර තිබෙන භාණ්ඩ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් ලබාගත හැකි බව බොහෝ දෙනෙකුගේ මතයයි.

මෙම ලිපිය අමෙරිකානු හමුදාව බින්-ලාඩන් මරා දැමූ මෙහෙයුම අතරතුර ඔහුගේ නිවසේ සහ ඒ අවට තිබී සොයාගත් එවැනි භාණ්ඩ කිහිපයක් පිළිබඳව යි.

1). ආරක්ෂිතව ගබඩා කළ ඊමේල් පණිවිඩ

බින්-ලාඩන් මරා දැමූ ස්ථානයේ හෝ ඊට යාබද ව කිසිදු දුරකථන හෝ අන්තර්ජාල සම්බන්ධතා රැහැනක් දක්නට නොලැබුණත් එම ස්ථානයේ තිබී ආරක්ෂිතව ගබඩා කළ ඊමේල් පණිවිඩ ගණනාවක් සොයා ගැනීමට අමෙරිකානු හමුදාවන්ට හැකි විය. බින්-ලාඩන් දක්ෂ ලෙස ලිවීමේ හැකියාවෙන් යුතු අයකු ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති. ඔහු විවිධ කරුණු සම්බන්ධයෙන් ලියූ ඊමේල් පණිවිඩ සැණෙලි ධාවකවල (Pen Drives) ගබඩා කර තිබේ. පසුව වෙනත් පුද්ගලයකු විසින් අන්තර්ජාල සේවා සපයන ස්ථානයකට ගොස් එම ඊමේල් පණිවිඩ අදාළ ලබන්නන් වෙත යොමු කර ඇත.

සැණෙළි ධාවක – www.arnnet.com.au

අමෙරිකානු හමුදා එවැනි සැණෙලි ධාවක 100 කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයේ තිබී සොයා ගත් අතර ඒවායේ අන්තර්ගත සමහර ඊමේල් පණිවිඩවල අල්-කයිඩා සංවිධානයට සම්බන්ධ ඉතා වැදගත් කරුණු සඳහන් ව තිබිණි. එම සංවිධානය සම්බන්ධයෙන් බින්-ලාඩන් වෙත පැවැරී තිබූ වගකීම් අයිමන් අල්-සවාරි නම් පුද්ගලයාට පවරා ඇති බවට ලෝක නායකයන් අනුමාන කළ කාලයේ දී පවා බින්-ලාඩන් අල්-කයිඩා සංවිධානයේ මෙහෙයුම් සහ උපාය මාර්ගික සැලසුම් පිළිබඳව පෙර පරිදි ම සොයාබලා ඇති බව ඉන් ගම්‍ය ව ඇත. එම ඊමේල් පණිවිඩවලට අනුව ඔහු උසස්වීම්, රාජකාරි පැවරීම්, උපායමාර්ගික සහ මතවාදමය ගැටලු වැනි දේ සම්බන්ධයෙන් නියෝග ද නිකුත් කර තිබේ.

2). බින්-ලාඩන්ට අයත් දිනපොත 

2011 පෙබරවාරි සහ අප්‍රේල් අතර කාලය තුළ සිය පවුලේ සාමාජිකයන් දැනුම්වත් කළ කරුණු සම්බන්ධයෙන් වන වාර්තා ඇතුළත් පිටු 228කින් සමන්විත බින්-ලාඩන්ට අයත් දිනපොතක් සොයාගැනීමට ද අමෙරිකානු හමුදාවට හැකි විය. ඔහු සමඟ එම ස්ථානයේ කොපමණ පිරිසක් ජිවත් වූවා ද යන්න නිශ්චිත වශයෙන් අනාවරණය වී නැති නමුත් ඔහුගේ බිරින්දෑවරු කිහිප දෙනෙක්, ළමයින් සහ මුණුපුරු මිණිපිරියන් විශාල සංඛ්‍යාවක්, පණිවිඩකරුවන් කිහිප දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එම ස්ථානයේ බින්-ලාඩන් සමඟ ජීවත් වූ බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඔහු සිය දියණියක ලවා ලියවන ලදැයි සැලකෙන එම දිනපොතේ අරාබි වසන්තය පිළිබඳ ව බින්-ලාඩන් දැරූ මතය ද සඳහන් වේ.

3). පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේ වීඩියෝ දර්ශන 

බින්-ලාඩන් ඝාතනයෙන් පසු ව ඔහුගේ පුත්‍රයා, එනම් හම්සා බින්-ලාඩන් ගේ විවාහ මංගල්‍යයේ වීඩියෝ පටයක් ද සොයා ගැනීමට අමෙරිකානු හමුදාවට හැකි විය. එම විවාහ මංගල්‍යය ඉරානයේ පවත්වා තිබේ. ඊට පෙර ආරක්ෂක අංශ සොයා ගෙන තිබූ හම්සා ගේ එකම ඡායාරූපය ඔහුගේ කුඩා කල එකක් බැවින් මෙම වීඩියෝපටය සොයා ගැනීම ඉතා වැදගත් සිදුවීමක් බව බොහෝ දෙනකුගේ මතය යි. හම්සා විවාහ වූයේ අල්-කයිඩා සංවිධානයේ ඉදිරිපෙළ නායකයකු වූ අබු මුහම්මද් අල්-මස්රිගේ දියණිය සමඟිනි. ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවයට සහභාගී වූ අමුත්තන් කවුරුන් ද යන්න මෙම වීඩියෝ පටය මාර්ගයෙන් අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වී තිබේ.

හම්සා බින්-ලාඩන් – www.trtworld.com

4). වීඩියෝ ක්‍රීඩා

බින්-ලාඩන් ඇතුළු පිරිස ඝාතනය කළ ස්ථානයේ තිබූ පරිගණක කිහිපයක ගබඩා කර ඇති වීඩියෝ ක්‍රීඩා ගණනාවක් ද ආරක්ෂක අංශ භාරයට පත් විය. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ බින්-ලාඩන් හෝ ඔහු සමඟ ජීවත් වූ වෙනත් අයකු වීඩියෝ ක්‍රීඩාවල යෙදීම ප්‍රිය කරන්නට ඇති බව යි. අමෙරිකානු රහස් ඔත්තු සේවයේ වාර්තාවල සඳහන් වන්නේ ‘Half-Life’, ‘Super Mario Bros’, ‘Yoshi’s Island DS’, ‘Final Fantasy VII’, ‘Dragon Ball Z’ සහ ‘Counter-Strike’ වැනි ඉතා ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා කිහිපයක් එම පරිගණකවල ගබඩා කර තිබූ බව යි.

5).මහජන දේශනවල වීඩියෝපට

ආරක්ෂක අංශවලින් බේරීම සඳහා පලා ගිය කාලයේ පවා බින්-ලාඩන් විවිධ දේශන ඇතුළත් වීඩියෝ පට කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර ඇති බැවින් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඔහු පෙර පටිගත කළ වීඩියෝ දර්ශන කලින් කලට අන්තර්ජාලයට එක්කර ඇති බව යි. සජීවී විකාශයන් සිදු කිරීම මගින් තමන් සිටින ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට හැකි වන බව දැන සිටි බැවින් ඔහු එවැනි දේශන ගණනාවක් පටිගත කර ඒවා පරිගණකවල ගබඩා කර තබා තිබේ. එවැනි පටිගත කිරීම් රැසක් ද අමෙරිකානු ආරක්ෂක අංශ බින්-ලාඩන් ගේ නිවසේ තිබී සොයාගෙන තිබේ.

 

බින්-ලාඩන් ගේ නිවසේ සැලැස්ම – www.bbc.co.uk 

6).ඩිස්නි චිත්‍රපට

කිසිදු අනුකම්පාවක් නොමැති ව මිනිසුන් දහස් ගණනක් මරා දැමූ ත්‍රස්ත සංවිධානයක නිර්මාතෘවරයකුගේ නිවසේ තිබී ඩිස්නි චිත්‍රපට සොයාගැනීම පුදුමයට කරුණකි. කෙසේ වෙතත් අමෙරිකානු හමුදාව බින්-ලාඩන් ඝාතනය කළ ස්ථානයේ තිබී ‘Cars’, ‘Chicken Little’ සහ ‘Ice Age’ වැනි චිත්‍රපට ගණනාවක් සොයාගෙන තිබේ. ඔහුගේ බාල ම දරුවන් සිවු දෙනා මෙම මෙහෙයුම සිදු කළ කාලය වන විට වයස අවුරුදු 10ට අඩු වයස්වල පසු වූවන් බව කියැවේ. එබැවින් එම දරුවන් මෙම චිත්‍රපට නරඹා ඇතැයි අනුමාන කළ හැකි ය.

7).අසභ්‍ය වීඩියෝපට

බින්-ලාඩන් ඇතුළු පිරිස මරාදැමූ ස්ථානයේ තිබී සොයා ගත්, කිසි දිනෙක මහජනතාව ප්‍රදර්ශනය නොකළ දේවල් අතරින් එකකි- අසභ්‍ය වීඩියෝපට. රොයිටර් පුවත් සේවයට අනුව එම ස්ථානයේ තිබී අසභ්‍ය වීඩියෝපට රාශියක් හමු වී තිබේ. එම වීඩියෝපට දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර නිර්මාණය කර තිබෙන බව කියැවේ. එම වීඩියෝපට මහජනතාවට නැරඹීමට හැකි වන පරිදි නිකුත් කරන ලෙස විවිධ පාර්ශවයන් ඉල්ලීම් සිදු කර ඇතත් ඒ සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප වී තිබේ. එබැවින් ඒවායේ සැබෑ ම අන්තර්ගතය කෙබඳු ද යන්න කිසිවෙක් නොදනිති.

8).බින්-ලාඩන් පිළිබඳ වාර්තා වැඩසටහන් 

මිලියන ගණන් පුවත්පත් වාර්තා සහ වෙනත් වාර්තා වැඩසටහන් සඳහා හේතු වූ බින්-ලාඩන්, ඔහු පිළිබඳ නිර්මාණය වූ එවැනි වාර්තා වැඩසටහන් නැරඹීමට කැමැත්තක් දක්වා තිබේ. ඒ බව තහවුරු කරමින් ඔහුගේ පරිගණකයේ ගබඩා කර තිබූ ‘Biography–Osama bin Laden’ සහ ‘Where in the World is Osama bin Laden?’ නම් වාර්තා වැඩසටහන් දෙක සහ තවත් එවැනි වැඩසටහන් කිහිපයක් සොයාගැනීමට අමෙරිකානු ආරක්ෂක අංශවලට හැකි විය.

බින්-ලාඩන් ඝාතනය පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවක් – www.thewashingtonpost.com

9).බින්-ලාඩන් ගේ පුස්තකාලය

බින්-ලාඩන් මරා දැමූ නිවස තුළ තිබී සොයා ගත් ඔහුට අයත් ව තිබු පුස්තකාලය විවිධ මාතෘකා ඔස්සේ ලියැවුණු පොත් විශාල ප්‍රමාණයකින් සමන්විත ය. අමෙරිකානු හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසය පිළිබඳ ව ලියැවුණු ‘Obama’s Wars’, ‘Necessary Illusions: Thought Control in Democratic Societies’ සහ ‘The U.S. and Vietnam 1787-1941’ වැනි පොත් ඒ අතර වේ.

ඒ පිළිබඳ ව අදහස් දක්වමින් විශේෂඥයන් සඳහන් කර ඇත්තේ සිය සතුරා පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත් බැවින් බින්-ලාඩන් එවැනි පොත් පරිශීලනය කරන්නට ඇති බව යි. ඊට අමතර ව විවිධ කුමන්ත්‍රණ න්‍යාය පිළිබඳ ව ලියැවුණු පොත් ගණනාවක් ද එම පුස්තකාලයේ තිබී සොයාගෙන තිබේ.

බින්-ලාඩන් සිය පුස්තකාලයේ සිටින අයුරු – www.bbc.co.uk

 

කවරයේ පින්තූරය- බින්-ලාඩන් ඝාතනය පුවත්පතක පළ වූ අයුරු - www.history.com

මූලාශ්‍ර:

www.history.com

www.bbc.co.uk

www.abc.net.au

Related Articles