Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියානු අගමැති අබියි අහමඩ්ට

ඉතියෝපියානු අගමැතිවරයා වන අබියි අහමඩ්ට 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට නොබෙල් සාම කමිටුව පසුගිය 11 දා තීරණය කළා. පසුගිය සිකුරාදා දින ඔස්ලෝ නුවරට රැස්වෙන සාමාජිකයන් 5ස් දෙනෙකුගෙන් සමන්විත නෝර්වීජියානු නොබෙල් කමිටුව සියවන නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශිත නාමයන් අතරින්, සම්මානය ලැබීමට වඩා සුදුස්සා ලෙස අබියි අහමඩ්ව නම් කරනවා. 

ඒ අනුව නොබෙල් සාම ත්‍යාගය එළඹෙන දෙසැම්බර් මාසයේ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර දී ඔහුට ප්‍රදානය කිරීමට නියමිත යි. පුද්ගලයන් 223ක් සහ සංවිධාන 78ක් ඇතුළුව 301 දෙනෙකු මෙම ගෞරවාන්විත සම්මානය සඳහා නිර්දේශ වී තිබුණු අතර ඉතියෝපියානු අගමැතිවරයා මින් එක් අයෙකු වුණා.

වසර ගණනාවක් තිස්සේ පැවති ඉතියෝපියානු – එරිත්‍රියානු විරසකය නිමාකිරීමට නායකත්වය ගෙන කටයුතු කිරීම යන කරුණ මත යි ඔහු මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ. 2018 වසරේ දී ඉතියෝපියාවේ අගමැති ධුරයට පත් වූ අබියි අහමඩ් මේ වන විට වසර ගණනාවක් තිස්සේ පැවති ඉතියෝපියා – එරිත්‍රියා අර්බුදය නිමා කිරීමට කටයුතු කරන අතර, එරිත්‍රියා ජනාධිපතිවරයාට සාමයේ දෑත් දිගු කිරීමෙන් වසර ගණනාවක් පැවති අර්බුදය ස්ථිරවම විසඳීමට සමත් වී තිබෙනවා.

ඉතියෝපියා – එරිත්‍රියා යුද්ධය ආරම්භ වීම 

ඉතියෝපියාව හා එරිත්‍රියාව (aljazeera.com)

1998 දී ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර දේශසීමා යුද්ධයක් නිර්මාණය වන අතර, එම යුද්ධය 2000 වසරේ දී දෙරට අතර තාවකාලික සාම ගිවිසුමක් ඇතිවෙන තුරු එක දිගටම පැවතෙනවා. යුද්ධයේ දී දෙපාර්ශවයටම බරපතල හානි සිදුවෙනවා. 1998 වසරේ මැයි මස 6 වන දින බද්මේ නම් නගරය අවට ප්‍රදේශයක් ඇතුළු බිම් කඩවල් කිහිපයක අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් මුල්කරගෙන යුද්ධය ආරම්භ වෙනවා. මුල්ම යුධ ගැටුම ලෙස එම ප්‍රදේශයේ සිටි එරිතියානු යුධ සෙබළුන් පිරිසක් ඉතියෝපියානු හමුදා විසින් ඝාතනය කිරීම හඳුන්වා දිය හැකි යි. 

මුලදී එරිත්‍රියාව විසින් යම් යම් යුධ ජයග්‍රහණ ලබා ගත්ත ද ඉතියෝපියාව විසින් පසු ජයග්‍රහණ තමන් සතු කර ගන්නවා. සටන් පෙරමුණු කිහිපයක් ඔස්සේ යුද්ධය දරුණුවටම ඇවිලී ගිය අතර 1998 ජුනි 5 වන දින ඉතියෝපියානුවන් එරිතියාවේ අස්මාරා ගුවන් තොටුපළට ගුවන් ප්‍රහාර එල්ල කරනවා. එයට පිළිතුරු ලෙස එරිත්‍රියානුවන් ඉතියෝපියාවේ මෙකෙලෙ ගුවන්තොටුපළට පහර දීම ආරම්භ කරනවා. මෙම ගුවන් ප්‍රහාර  හේතුවෙන් දෙරටේම සිවිල් වැසියන්ට බරපතළ හානි සිදුවීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකීමට දෙපාර්ශවය එකඟතාවය පල කරනවා.

1999 වසරේ දී ඇමෙරිකා හා රුවන්ඩාව මෙම අර්බුදය විසඳීමට ඉදිරිපත් වෙන නමුත් එරිත්‍රියාව මේ සම්බන්ධයෙන් තම කැමැත්ත පල කරන්නේ නෑ. 1999 වසරේ පෙබරවාරි මාසයේ දී එරිත්‍රියාව විසින් දැවැන්ත යුධ මෙහෙයුමක් නැවතත් ආරම්භ කරනවා. ඒ ඉතියෝපියාව විසින් අල්ලාගත් ප්‍රදේශ නැවත අත්පත් කරගැනීමෙන් අරමුණෙන්. මේ අතර එරිත්‍රියාව විසින් ගුවන් ප්‍රහාරවලින් වැළකීමේ සම්මුතිය උල්ලංඝනය කර ඇති බව පවසන ඉතියෝපියාව පුළුල් යුධ පෙරමුණක් ඔස්සේ එරිත්‍රියාව ආක්‍රමණය කරනවා. ඉතියෝපියානු හමුදාව දේශ සිමාවේ සිට කිලෝමීටර් 10ක් පමණ එරිත්‍රියාව තුළට කඩා වදින අතර අවසානයේ දී සාම ගිවිසුම සඳහා තම කැමැත්ත පල කිරීම එරිත්‍රියාව විසින් සිදු වෙනවා.

2000 වසරේ සිට දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කෙරුණ අතර යුද්ධයට මුල් වූ අදාල දේශසීමා ප්‍රදේශ එරිත්‍රියාවට හිමි විය යුතුයැ යි එහි සඳහන් සඳහන් කරනවා. එසේ වුවත් එම ප්‍රදේශවලින් ඉතියෝපියානු හමුදා ඉවත්වන්නේ නෑ.

දිගින් දිගටම පැවති දෙරටේ විරසකය 

ඉතියෝපියානු හමුදාව යුද භූමියේ (ethiopia-insight.com)

2000 වසරේ සිට ක්‍රියාත්මක සාම ගිවිසුම ඔස්සේ ද දෙරටේ විරසකය ඉවත් නොවූ අතර තමන්ට විරුද්ධව එත්‍රියාව විසින් විවිධ රහසිගත මෙහෙයුම් සිදුකෙරෙන බව ඉතියෝපියාව විසින් සඳහන් කරනවා. විශේෂයෙන් තම රටට විරුද්ධව කටයුතු කරන එම කලාපයේ ත්‍රස්ත සංවිධානවලට එරිත්‍රියාව විසින් උදව් උපකාර කරන බවට ඉතියෝපියාව විසින් ප්‍රබල චෝදනාවක් ගෙන එනවා.

අසල්වැසි රටක්වන සෝමාලියාවේ සිට ක්‍රියාත්මක වෙන අල්ෂාබාබ් ත්‍රස්තයන්ට යුධ ආධාර සැපයීම යන චෝදනාව ද එරිත්‍රියාවට ප්‍රබල ලෙස එල්ල වෙන අතර, මේ හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එරිත්‍රියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවනු ලබනවා.

අබියි අහමඩ්ගේ සාම ක්‍රියාවලිය 

ඉතියෝපියානු අගමැතිවරයා හා එරිත්‍රියා ජනාධිපතිවරයා (straitstimes.com)

2018 වසරේ පෙබරවාරි මාසයේ දී ඉතියෝපියා රජයට ජනතා විරෝධතාවයක්  එල්ල වූ අතර ඒ හේතුවෙන් ඉතියෝපියානු අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවෙනවා. අනතුරුව අප්‍රේල් මාසයේ දී අබියි අහමඩ් නම් නව අගමැතිවරයෙක් පත්වෙනවා. බලයට පත්වීමත් සමග නව ප්‍රගතිශීලි ප්‍රතිසංසකරණ රැසක් එරටට හඳුන්වා දීමට අබියි අහමඩ් කටයුතු කරනවා. මෙතෙක් පැවති ඉතියෝපියා – එරිත්‍රියා විරසකය අවසන් කරමින් ඔහු විසින් සාම සාකච්ජා සඳහා එරිත්‍රියානු ජනාධිපතිවරයාට ආරාධනා කරනවා.

ඉතියෝපියානු අගමැති අබියි අහමඩ් (abc.net.au)

හිටපු යුධ හමුදා නිලධාරියෙක් වන අබියි අහමඩ් අගමැති බවට පත් වීමෙන් අනතුරුව 2018 වසරේ  ජූලි 9 වන දා සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ප්‍රකාශයකට එරිත්‍රියානු ජනාධිපති ඉසයියාස් අෆ්වර්කි සමඟ එරිත්‍රියාවේ අස්මාරා අගනුවර දී අත්සන් තබනවා. ඒ අනුව එරිත්‍රියාව හා ඉතියෝපියාව අතර 20 අවුරුද්දකට වඩා වැඩි කාලයක් පැවති යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා.

එම වසරේ ජූලි 16 වන දා ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර එරිත්‍රියා තානාපති කාර්යාලයක් ද විවෘත කෙරෙනවා. ඉතියෝපියාවේ අඩිස් අබාබා හා එරිත්‍රියාවේ අස්මාරා ගුවන් ගමන් ද වසර ගණනාවකින් පසුව 2018 වසරේ ජූලි 18 වන දා සිට නැවත ආරම්භ වෙනවා.

කවරයේ පින්තූරය -cdn.newsapi.com

Related Articles