ලිංගික විෂමාචාර චෝදනා නිසා කල් දැමුණු සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය

ලොව දීර්ඝ ඉතිහාසයක් ඇති අග්‍රගණ්‍ය සම්මානයක් වන නොබෙල් ත්‍යාගය සාහිත්‍යය සඳහා මෙම වසරේදී ලබා නොදීමට ගෙන තිබෙන තීරණය ආන්දෝලනාත්මක එකක් බවට පත්ව තිබෙන්නේ ස්වීඩනයේ පමණක් නොවේ. ලොව සාහිත්‍ය ලෝකයේ විශිෂ්ටයින් අතරද මේ සම්බන්ධයෙන් විවිධ පරස්පරතා ගොඩනැගෙමින් තිබෙන අන්දමක් දක්නට හැක.

සමහරු මෙය නොබෙල් ත්‍යාගයේ අවසානය දැයි ප්‍රශ්න කරති. කෙසේ නමුත් නොබෙල් සම්මානයක් පිරි නැමීම සිදු නොවූ හෝ කල් දැමූ පළමු අවස්ථාව මෙය නොවෙයි. 2018 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කල් දැමුණේ ඇයිද යන්න ගැන සහ එහි ඉතිහාසය පිළිබඳව මෙම ලිපියෙන් විමසා බැලේ.

නොබෙල් ත්‍යාගය (gdb.voanews.com)

ස්වීඩන් ශාස්ත්‍රාලය (Swedish Academy) ට එල්ල වන චෝදනා

සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය මෙවර ලබා නොදෙන්නට තීරණය කර ඇති බව ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කරයි. 2018 වසර සඳහා වන නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කල් දැමීම සිදු වී අැත්තේ මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය භාරව සිටින ස්වීඩන් සංස්කෘතික ඇකඩමියේ සාමාජිකයින් ලිංගික විෂමාචාරයේ යෙදුණු බවට චෝදනා එල්ල වූ මතබේදාත්මක තත්වය නිසා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ස්වීඩන් සංස්කෘතික ඇකඩමියෙන් ඉවත්ව යාමට කටයුතු කිරීමත් සමඟය.

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කල් දැමීමේ තීරණය කිසිදු හේතු දැක්වීමකින් තොරව අන්තර්ජාලය මගින් ජනතාව වෙත දැනුම් දීමට නොබෙල් සම්මාන උළෙලේ සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබුණි. සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාග දෙකක් මේ අනුව ලබන වසරේදී පිරිනැමෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආයතනය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වී ඇතැයි යන නිගමනය මත මෙම තීරණය ගත බව ස්වීඩන් ඇකඩමිය ප්‍රකාශ කර අැත.

‘’මීළඟ නොබෙල් සම්මානලාභියා ප්‍රකාශයට පත් කළ හැකි වන පරිදි, ඇකඩමියේ මහජන විශ්වාසය යළි ඇති කර ගැනීම සඳහා කාලයට ඉඩ දිය යුතු බව අපට පෙනී ගොස් තිබෙනවා.” යනුවෙන් ඇකඩමියේ ස්ථිර ලේකම්වරයා වන ඇඩ්රීස් ඔල්සන් ප්‍රකාශ කර තිබේ. මෙම ශාස්ත්‍රාලය පූර්ව සහ අනාගත සාහිත්‍ය සම්මාන ලාභීන්, නොබෙල් පදනම හා මහජනයා කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

නොබෙල් පදනමේ සභාපති කාල්-හෙන්රික් හෙල්ඩින් විසින් නිකුත් කරන ලද නිවේදනයකින් ඔහු පවසන්නේ, ඇකඩමියේ අර්බුදය නොබෙල් ත්‍යාගය සඳහා ඍණාත්මක ලෙස බලපා ඇති බවත්, ඒ හේතුවෙන් සාහිත්‍ය ත්‍යාගය කල් දැමීමට තීරණය කළ බවත් ය. හෙල්ඩින් පවසන්නේ ඇකඩමිය මගින් ගත් තීරණය බරපතල එකක් වුවද නොබෙල් ත්‍යාගය පිළිබඳ දිගුකාලීන කීර්තිය සුරැකීමට එය උපකාරී වනු ඇති බවයි.

ස්විඩනයේ පිහිටා ඇති ස්වීඩන් ශාස්ත්‍රාලය (thelocal.se)

ස්වීඩන ශාස්ත්‍රාලය

ස්වීඩන් භාෂාව ව්‍යාප්ත කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදු කරන ස්වීඩන ඇකඩමිය, කීර්තිමත් ගත්කතුවරුන් සහ වාග් විද්‍යාඥයින්ගෙන් සමන්විත සභාවකි. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමීමේ කර්තව්‍යය ස්වීඩන ඇකඩමියට පවරන ලද්දේ සර් ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි. ප්‍රථම නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ 1901 දී ය.නොබෙල් ත්‍යාගය සඳහා අපේක්ෂකයින් නම් කිරීමට සුදුසුකම් ලබන්නේ ඇකඩමියේ සාමාජිකයන්, වෙනත් ශාස්ත්‍රාලවල සාමාජිකයන්, සාමාජිකත්වය සහ අරමුණු පෙරදැරි කරගත් සමාජ සංවිධාන, සාහිත්‍යය හා භාෂාව පිළිබඳ මහාචාර්යවරුන්, සාහිත්‍ය ක්ෂේත්‍රයේ හිටපු නොබෙල් සම්මානලාභීන් සහ විවිධ රටවල සාහිත්‍යය නියෝජනය කරන සංවිධාන සහ ආයතනවල සභාපතිවරු යනාදී පිරිස් පමණි.

වසරේ සම්මානලාභියා සඳහා වන යෝජනා ජනවාරි 31 වන දිනට නොබෙල් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය. යෝජනාවක් ඉදිරිපත් කළ යුතු නමුත් උපකාරක හේතු දැක්වීම අවශ්‍යම නැත. නොබෙල් ත්‍යාගය සඳහා කිසිවෙකුටත් පුද්ගලිකව අයදුම් කළ නොහැක. සෑම වසරකම සාමාන්‍යයෙන් නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා 350 ක් පමණ ඉදිරිපත් වේ.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන අවස්ථාවක් (thelocal.se)

වසන්ත කාලයේ දී මෙම යෝජනා නොබෙල් කමිටුව විසින් විමර්ශනයට ලක් කෙරෙන අතර අප්‍රේල් මාසයේදී ඇකඩමි සම්මේලනයේ අනුමැතිය සඳහා විසි දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කෙරේ. පසුව එය නම් පහක් පමණ දක්වා අඩු වේ.

ඔක්තෝබරයේ දී ඇකඩමිය සිය තේරීම් ඉදිරිපත් කරයි. ඒවා ඡන්දය සඳහා වලංගු වන අතර, අපේක්ෂකයෙකු ඡන්ද සංඛ්‍යාවෙන් භාගයකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබා ගත යුතුය.

සම්මානලාභීන්ගේ නම් අයථා අන්දමින් හෙළිදරව් වීම

ස්වීඩන් ඇකඩමියේ සාමාජිකයෙකුගේ සැමියෙකුගේ ලිංගික විෂමාචාරයන් හේතුවෙන් නොබෙල් සම්මාන පිළිබඳව නිල නිවේදන නිකුත් වීමට පෙර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි වීමට නියමිතව තිබූ සම්මානලාභීන්ගේ නම් කිහිපයක් අනාවරණය වී තිබුණි.

මෙම බරපතල චෝදනා එල්ල වී තිබෙන්නේ ස්වීඩන් ඇකඩමියේ සාමාජිකාවක සහ කතුවරියක වන කැතරිනා ෆ්රෝස්ටෙන්සන්ගේ සැමියා වන සාහිත්‍යවේදියෙකු හා ඡායාරූප ශිල්පියෙකු වන ජීන් ක්ලවුඩ් අර්නල්ට්ට එරෙහිවයි. එහෙත් අර්නල්ට් තමාට එරෙහිව එල්ල වී තිබෙන ලිංගික විෂමාචාරය සහ නොබෙල් ත්‍යාග සඳහා යෝජනා වී තිබෙන නම් හෙළිදරව් කිරීම යන චෝදනා දෙකම ප්‍රතික්ෂේප කර ඇත.

තමාට එරෙහි චෝදනා අර්නල්ට් ප්‍රතික්ෂේප කර තිබුණද ස්වීඩනයේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන Dagens Nyheter මගින් හෙළිදරව් කර තිබුණේ කාන්තාවන් 18 දෙනෙකු විසින් අර්නල්ට එරෙහිව අයථා ලිංගික චෝදනා එල්ල කර ඇති බවයි.

1996 සිට අර්නල්ට් සියවසක් පැරණි නොබෙල් නීති උල්ලංඝනය කළ බවට හා ගෞරවණීය නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයින්ගේ නම් හෙළිදරව් කර තිබෙන බවට මෙලෙස චෝදනාවට ලක් වුවද ඔහු විසින් එසේ හෙළිදරව් කර තිබෙන සම්මානලාභීන්ගේ නම් මොනවාද යන්න පැහැදිලි නැත.

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය (bbci.co.uk)

විනිවිදභාවය

ඇකඩමිය මගින් සකස් කරන ලද වාර්තාවකින් ‘’අනියම් සබඳතාවයක ස්වරූපයෙන් අනුමත කළ නොහැකි අන්දමේ අයථා ක්‍රියාවක්’’ සිදු වී ඇති බව පිළිගනු ලැබූ අතර එහි තීන්දුව විමසීමට ලක් කරමින් ආයතන ව්‍යුහයේ විශ්වාසනීයත්වයට සිදු වන අයහපත් බලපෑම සලකා අදාළ චෝදනාව එල්ල වන කාන්තා නායිකාවට ඉල්ලා අස්වීමට බල කෙරුණි. කෙසේ නමුත් මතබේදය වර්ධනය වීම සඳහා වඩාත්ම බලපෑවේ ආයතනයේ විනිවිදභාවයක් නොමැති බවට ඇති වූ විවාදයයි.

මෙම අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඇකඩමිය තුළ ඇති වූ විවාදාපන්න තත්ත්වයේදී ස්වීඩන් ඇකඩමියේ සාමාජිකයින් දෙකට බෙදුනි. යාවජීව සාමාජිකයින්ද ඇතුළු තවත් සාමාජිකයින් හත් දෙනෙකු ස්වීඩන් ඇකඩමියෙන් ඉවත් වීමට ඒ වන විටත් තීරණය කර තිබුණි.

ස්වීඩන් සාහිත්‍ය ඇකඩමිය යනු ස්වාධීන ආයතනයක් වන අතර, ඔවුන්ගේ කාර්යයන් කෙරෙහි විශ්වාසය ගොඩනැංවීම එහි වගකීම බව ස්වීඩන් සංස්කෘතික අමාත්‍ය ඇලිස් බහ් කුන්කේ ප්‍රකාශ කර තිබේ. “සමස්තයක් වශයෙන් සාහිත්‍ය හා කලාවට සිදු ව ඇති දේ ඉතා කණගාටුදායකයි’’ ඔහු පවසයි.

නොබෙල් පදනමේ ප්‍රතිචාරය

ස්වීඩන ඇකඩමිය ත්‍යාග පිරිනැමීමේ ආයතනයක් ලෙස සිය විශ්වසනීයත්වය නැවත ස්ථාපිත කිරීම සඳහා ක්‍රියා කරනු ඇති බවත්, ඒ සඳහා ඇකඩමිය මගින් ගනු ලබන ස්ථිරසාර පියවරයන් තමන් වෙත වාර්තා කරනු ඇති බවත් නොබෙල් පදනම විශ්වාස කරන බව එහි ප්‍රධානී හෙල්ඩින් සඳහන් කර ඇත. “අපගේ පුළුල් ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් මෙන්ම එහි අනාගත ආයතනික ව්‍යුහය යන දෙකම බාහිර ලෝකයට වැඩි විවෘතභාවයකින් තිබිය යුතු බව අපි පිළිගන්නවා”. ඔහු කියා සිටියේ ය.

නොබෙල් ත්‍යාගය අවලංගු වූ සහ කල් දැමුණු අවස්ථා

නොබෙල් ත්‍යාගය කල් දැමීම හෝ අවලංගු කිරීම නොබෙල් සම්මාන ඉතිහාසය තුළ සිදු නොවූ විරූ දෙයක් නොවන අතර ඉතාම කලාතුරකින් එවැනි පියවරයන් ගෙන තිබේ. අවසන් වරට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමීම අවලංගු කෙරුණේ 1943 දී ය. ඒ, දෙවන ලෝක යුද්ධය උච්චතම තැනක පැවති අවස්ථාවක යි.

ප්‍රතිපත්තියක් වශයෙන් නොබෙල් ත්‍යාගය සෑම වසරකදීම පිරිනමනු ලැබේ. එහෙත් නොබෙල් සම්මාන ඉතිහාසය තුළ ත්‍යාගය පිරිනැමීම පිළිබඳ තීරණ අවස්ථා ගණනාවකදීම කල් දමා ඇත.

2017 වසරේ සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනූ කසුඕ ඉෂිගුරෝ (bbci.co.uk)

මෙම වසරේ සාහිත්‍ය ත්‍යාග දෙකේ ජයග්‍රාහකයින් 2019 සම්මානලාභීන්ගේ සමග නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 1915, 1919, 1925, 1926, 1927, 1936, 1949, 1949 දී ස්වීඩන් ඇකඩමිය විසින් “වෙන් කරන ලද ත්‍යාගය” අවස්ථා හතකදී වෙන් වෙන්ව ප්‍රකාශයට පත් කිරීමට තීරණය විය. අවස්ථා පහකදී එම ත්‍යාගය ප්‍රමාද වූ අතර ඊළඟ අවුරුද්දේ ත්‍යාගයත් සමඟ එය පිරිනැමුණි.

කෙසේ වුවත් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමීම කල් දැමීමට තීරණය කිරීම 2018 අනෙක් නොබෙල් සම්මාන ප්‍රදානය කිරීම කෙරෙහි බලනොපාන බවද හෙල්ඩින් සඳහන් කර ඇත.පසුගිය වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනමන ලද්දේ ජපානයේ උපත ලද බ්‍රිතාන්‍ය නවකතාකරුවකු වන කසුඕ ඉෂිගුරෝට ය.

කවරයේ රූපය : thelocal.se

මූලාශ්‍ර :

svenskaakademien.se

nbcnews.com

Related Articles