උතුරු කොරියා – ඇමරිකා කතාබහ අවිනිශ්චිත තැනක​

උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර කොරියාවේ න්‍යෂ්ටිකහරණය පිළිබඳ සාකච්ඡා ඇතැමුන් බලාපොරොත්තු වූ තරම් පහසු නොවන බවට පැහැදිලි ඉඟියක් පසුගිය දා පළ වුණා.

ජූලි 6 සහ 7 දිනයන්හි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සහ උතුරු කොරියානු විශේෂ නියෝජිත කිම් යොංග්-චොල් අතර මෙම සාකච්ඡා පවත්වන ලද්දේ ප්‍යොංග් යෑන්ග් නගරයේ දී යි.

මෙම​ සාකච්ඡා වටය අවසානයේ දී උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් මෙය ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය කියා සිටියේ මෙම සාකච්ඡා වටයේ දී ඇමරිකාව විසින් ප්‍රදර්ශනය කරන ලද ආකල්පය පිළිබඳ තමන් කණගාටු වන බවයි. ඇමරිකාව “මැරවරයකු මෙන්” තමන්ට බලපෑම් සිදු කළ බවට​​ උතුරු කොරියාව චෝදනා කළා.

උතුරු කොරියාව සඳහන් කළේ තම න්‍යෂ්ටික වැඩපිළිවෙල ඒකපාර්ශවිකව අවසන් කරන ලෙස ඇමරිකාව තමන්ට බලපෑම් කළ බවයි.

න්‍යෂ්ටිකහරණය​

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටිකහරණය කිරීම ඇමරිකාවේ මෙන්ම දකුණු කොරියාවේ බලාපොරොත්තුවක් වනවා. එක්තරා අවස්ථාවක දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ප්‍රකාශ කළේ 2020 වන විට කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටිකහරණය කළ හැකි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

කිම් සහ මූන් අතර පළමු හමුව (AP)

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටිකහරණය සඳහා තමන් කැපවන බව උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික පළමු හමුවෙන් පසු පන්මුන්ජෝම්වල දී අත්සන් කෙරුණ ප්‍රකාශනයේ ද සඳහන් කෙරුණා. මෙම කරුණ නැවතත් උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවීම සිදුවූ අවස්ථාවේ දී අත්සන් කරන ලද ලියවිල්ලට ද ඇතුලත් වුණා.

නමුත් එම ලියවිල්ලේ ද අදාළ ක්‍රියාවලිය සඳහා කාල රාමුවක් පිළිබඳ සඳහන් වූයේ නැහැ. ට්‍රම්ප් සඳහන් කළේ මයික් පොම්පෙයෝගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීම කෙරෙනු ඇති බව යි. පොම්පෙයෝ උතුරු කොරියාව වෙත පැමිණියේ ද ඒ අනුව යි.

උතුරු කොරියාවේ ආරක්ෂාව​

උතුරු කොරියානුවන් තම ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. 1970 දශකයේ පටන් උතුරු කොරියානු ආර්ථිකය පරිහානියට පත් වූ අතර සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසු උතුරු කොරියාව පෙරට ද වඩා හුදෙකලාවීමට පටන් ගත්තා. මෙහි ප්‍රතිඵලයක් වුණේ තම රටේ ආරක්ෂාව තමන්ම සපයා ගත යුතු ය යන මතය වඩාත් ප්‍රබලව නැඟී සිටීම යි.

උතුරු කොරියානු යුධ ටැංකි (KCNA)

මේ අතර මුල් කාලීනව මාක්ස්වාදී රාජ්‍යයක් වූ උතුරු කොරියාව පසුව ඔවුනටම අනන්‍ය වූ “ජුචේ” නම් සංකල්පයක් හඳුන්වාදුන්නා. එය සරලව කිවහොත් සවයංපෝෂිත වීමෙහි වැදගත්කම පිළිබඳ දර්ශනයක්. මෙහි එක් අංගයක් වන්නේ “සොන්ගුන්” හෙවත් “හමුදාව පළමුව” යන්නයි. මේ හේතුවෙන් ද උතුරු කොරියාව ස්වදේශයේ ආරක්ෂාව පිළිබඳ විශාල වැදගත්කමක් ලබා දුන්නා.

මෙවන් රාජ්‍යයක් තම ආරක්ෂාව පිළිබඳ කිසිදු ආකාරයේ සහතික කිරීමක් නොමැතිව සිය න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීමට සූදානම් වන්නේ නැති බව පැහැදිලි වනවා. දකුණු කොරියාව සමග සහ ඇමරිකාව සමග ඔවුන් සාකච්ඡා කිරීම තුළ ද එක් අරමුණක් වන්නේ තම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වඩා වියදම් අඩු ක්‍රමයක් සෙවීම විය හැකි බව සිතිය හැකි යි. දැනට උතුරු කොරියාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 22ක් පමණ ආරක්ෂක වියදම් වන අතර මෙය පැහැදිලිවම විශාල වියදමක්.

මේ අවස්ථාවේ උතුරු කොරියානු රජයට ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අවශ්‍යතාව මතුව ඇති බව පෙනෙන අතර, යුධ වියදම් අඩු කිරීම එහි දී වැදගත් වනු ඇති. දකුණු කොරියාව සහ ඇමරිකාව සමග ඔවුන් සාකච්ඡා කරන්නේ ද ජපානය සමග සාකච්ඡා සඳහා වුව ද කැමැති බව ප්‍රකාශ කර ඇත්තේ ද එබැවින්.

ට්‍රම්ප්ගේ අවශ්‍යතාව​

කිම් සමග සාකච්ඡා පවත්වන බව ප්‍රකාශයට පත් කළ මුල් අවස්ථාවේ ට්‍රම්ප් ඒ පිළිබඳ විශාල බලාපොරොත්තු සහිතව සිටි අතර, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි වැඩසටහනෙන් ඉතා ඉක්මණින් ඉවත් කරගැනීම පිළිබඳ ද බලාපොරොත්තු තබා තිබුණා. කෙසේ නමුත් පසුව ඔහු මෙම හමුව පිළිබඳ මුල දී තරම් බලාපොරොත්තු තැබුවේ නැහැ. විශේෂයෙන්ම ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් කළ ප්‍රකාශයක් හේතුවෙන් උතුරු කොරියාව අප්‍රසාදයට පත්වීමත්, කිම් ජොංග්-උන් චීන ජනාධිපතිවරයා මුණ ගැසීම හේතුවෙන් ට්‍රම්ප් කලබලයට පත්වීමත් හේතුවෙන් එක්තරා අවස්ථාවක කිම් හමුවීම ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කෙරුණා. නමුත් පසුව එම හමුව සැලසුම් කළ අයුරින් පවත්වනු ලැබුණත් එය කෙතරම් සාර්ථක වේදැ යි අදහසක් බොහෝ දෙනාට තිබුණේ නැහැ.

කිම් සහ ට්‍රම්ප් සෙන්තෝසාවේදී හමු වීම (The Straits Times)

සිංගප්පූරුවේ සෙන්තෝසාවේ දී ජූනි 12 වනදා කිම් සහ ට්‍රම්ප් හමුවීමෙන් පසු අත්සන් කරන ලද ලියවිල්ල සාමාන්‍ය එකඟතාවයන් පිළිබඳ සඳහනකින් යුතු වුණ හෙයින්, න්‍යෂ්ටිකහරණය සිදුවන්නේ කෙසේ ද යන්න විමසා බැලිය හැකි වූයේ දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු කෙරෙන ආකාරය අනුවයි. දැනට දිස් වන ආකාරයට පොම්පෙයෝ විසින් කරන ලද මූලික ඉල්ලීම්වලට උතුරු කොරියාව කැමැත්තක් නොදක්වන බව පෙනෙන්නට තිබෙනවා. උතුරු කොරියාව ප්‍රකාශ කරන කරුණ සත්‍යය නම්, ඇමරිකාව විසින් ඒක පාර්ශවිකව න්‍යෂ්ටික වැඩසටහන නවතා දමන ලෙස උතුරු කොරියාවට බලපෑම් කළේ ඇයි ද යන්න ගැටළුවක් වනවා.

මේ අතර මෙම ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවල අනාගතය කෙබඳු වේදැයි සැකයක් ඇති වී තිබෙනවා. ඇමරිකාව විසින් දිගටම දැඩි ඉල්ලීම් සිදු කළහොත් එය දෙපාර්ශවය අතර සාකච්ඡා බිඳ වැටීමට හේතු විය හැකියි. එවිට උතුරු කොරියාව නැවත යුධ මාවතක් කරා යයි ද​, දකුණු කොරියාව සමග වෙනමම සාකච්ඡා සිදුකරයි ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයක් වනු ඇති.

Cover Image: පොම්පෙයෝ (දකුණේ) සහ කිම් යොංග්-චොල්. මුහුණුවල ඉරියව්වලින් සාකච්ඡා පිළිබඳ අදහසක් ගත හැකියි (Pic: AP)

Related Articles