Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිටපු උතුරු කොරියානු තානාපති නිලධාරියා දකුණු කොරියාවේ මැතිවරණයට

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට පලා ආ හිටපු උතුරු කොරියානු තානාපති නිලධාරියකු වන තෙ යොං-හෝ, දකුණු කොරියාවේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළා.

බ්‍රිතාන්‍යයේ හිටපු උතුරු කොරියානු නියෝජ්‍ය තානාපති වූ තෙ යොං-හෝ, 2016 දී සිය පවුල සමග දකුණු කොරියාව වෙත පලා ආවා.

ඔහු සඳහන් කරන්නේ තමන් පිටරටවල රැකියා සඳහා පැමිණෙන උතුරු කොරියානුවන් අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධය ඇති කිරීමටත්, ලෝක සහ කලාපීය බලවතුන්ව​ උතුරු කොරියාව පිළිබඳ නිශ්චිත ප්‍රතිපත්තියක් කරා ගෙන ඒමටත් උත්සාහ කරන බව යි.

පිටරටවල සේවය කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට​ අවසර ලද 50,000ත් 70,000ත් අතර උතුරු කොරියානුවන් පිරිසක් සිටින බව තෙ යොං-හෝ පවසනවා. ඔවුන් උතුරු කොරියාවේ වරප්‍රසාද ලද පිරිසක් වුවද, ඔවුන් තුළ දකුණු කොරියාව පිළිබඳ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තිබෙන අනවබෝධය දුරු කළ යුතුයැ යි තෙ යොං-හෝ විශ්වාස කරනවා. ඒ සඳහා අන්තර්ජාලය යොදාගත හැකි බව යි ඔහු කියා සිටින්නේ. සෑම අයෙකුටම පාහේ ස්මාර්ට් දුරකථනයක් ඇති හෙයින් අන්තර්ජාලය හරහා එම පිරිස ඇමතිය හැකි වේයැ යි ඔහු විශ්වාස කරනවා.

කෙසේ වෙතත්, තෙ යොං-හෝ දකුණු කොරියාවේ දේශීය කරුණු පිළිබඳ එතරම් අවබෝධයක් ඇති අයෙකු බව පෙනෙන්නේ නැහැ. එහෙයින් මැතිවරණයක දී දකුණු කොරියානුවන් ඔහුව කෙතරම් දුරට පිළිගනු ඇති ද යන්න සැක සහිත යි.

දකුණු කොරියානු පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 15 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආසන 330කින් යුතු ජාතික සභාව සඳහා මෙම මැතිවරණය පැවැත්වෙනු ඇති. දැනට ජාතික සභාවේ වැඩිම ආසන සංඛ්‍යාව වන 123ක් හිමි ව ඇත්තේ ජනාධිපති මූන් ජේ-ඉන් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට යි. නව පක්ෂ කිහිපයක් ද මෙවර මැතිවරණයට එක් වන අතර, ඉන් සමහරක් පැරණි පක්ෂ අතර සන්ධානයන් හෝ ප්‍රතිසංවිධානයන් හෝ තුළින් නිර්මාණය වී තිබෙනවා.

තොරතුරු සඳහා යුද්ධය​

තෙ යොංග්-හෝ පවසා සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ උතුරු කොරියානුවන් වෙත මවා දී ඇත්තේ ඉතා අයහපත් චිත්‍රයක් බව යි. උතුරු කොරියාව බාහිර ලෝකයෙන් බොහෝ සේ වැසී ඇති හෙයින් එය පහසු වී තිබෙනවා. නමුත්, එරටින් පිට සිටින උතුරු කොරියානුවන් එම රට තුළට තොරතුරු යැවීමේ වැදගත් මාධ්‍යයක් බව ඔහු විශ්වාස කරනවා.

මේ වන විට ද පෙන් ඩ්‍රයිව් සහ SD කාර්ඩ් වැනි උපාංග මඟින් අනෙකුත් රටවල සංස්කෘතික අංග, දේශපාලන ස්වභාවය ආදිය පිළිබඳ තොරතුරු මෙන්ම විදෙස් චිත්‍රපට ද උතුරු කොරියාව වෙත රහසින් ගෙන යාමේ කටයුතු සිදුවනවා. තෙ යොංග්-හෝ විශ්වාස කරන පරිදි මෙය සැලකිය යුතු බලපෑමක් කළ හැකි ක්‍රියාවලියක්. කෙසේ වෙතත්, උතුරු කොරියාවෙන් පිටත සිටින එම රටේ වැසියන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එරට තුළ සිටින්නන් දැනුවත් කිරීමට වඩා සාර්ථක මාර්ගයක් වේයැ යි ඔහු විශ්වාස කරනවා.

තෙ යොංග්-හෝ මැතිවරණයට ඉදිරිපත් වීමට බලපෑ ප්‍රධාන කරුණක් ලෙස දැක්වෙන්නේ 2019 නොවැම්බරයේ දී දකුණු කොරියානු මුහුදු සීමාවේ දී අල්ලා ගන්නා ලද උතුරු කොරියානු ධීවරයන් දෙදෙනෙකු, උතුරු කොරියාව වෙත භාරදීමේ සිද්ධිය යි. මෙම දෙදෙනා සිය කපිතාන් හා තවත් සගයින් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා පළ වුණා. එහෙත් ඔවුන් පිළිබඳ කිසිදු විභාගයක් නොපවත්වා ඔවුන් ආපසු භාර දුන් බව යි පැවසුණේ.

කිම් – ට්‍රම්ප් පළමු හමුව​ (Straits Times)

උතුරු කොරියාව කෙරෙහි දකුණු කොරියාව සහ ඇමරිකාව අනුගමනය කරන ප්‍රතිපත්ති තෙ යොංග්-හෝ දරුණු ලෙස විවේචනය කරනවා. 2018 දී කිම් ජොංග්-උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වූ පළමු හමුව ඇමරිකානුවන් විසින් සිදුකළ බරපතල වරදක් සේ ඔහු දකිනවා. කෙසේ වෙතත්, කිම්- ට්‍රම්ප් දෙවන හමුවේ දී ඇමරිකාව වඩා යහපත් ස්ථාවරයක සිටියේයැ යි තෙ යොංග්-හෝ පවසනවා. උතුරු කොරියාව කිසිදු අවස්ථාවක සිය න්‍යෂ්ටික අවි වැඩපිළිවෙල අත නොහරින බව යි තෙ යොංග්-හෝ කියා සිටින්නේ.

තෙ යොංග්-හෝ මැතිවරණයට තරග කරන බව නිල වශයෙන් ප්‍රකාශ කර ස්වල්ප දිනෙකින් වාර්තා වූයේ ඔහුගේ දුරකතනය වෙත උතුරු කොරියාවට හිතවාදී පිරිසක් විසින් හැකර් ප්‍රහාරයක් එල්ල කර ඇති බව යි.

න්‍යෂ්ටික විද්‍යාගාරයක සංචාරයක් අතරතුර කිම් ජොංග්-උන් (KCNA)

දකුණු කොරියාවේ උතුරු කොරියානුවෝ

මේ අතර උතුරු කොරියාවෙන් දකුණු කොරියාව වෙත පලා විත් සිටින පිරිස් එක් කරගෙන නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු කෙරෙමින් පවතින්නේයැ යි වාර්තා වනවා.

මෙසේ පැමිණ සිටින උතුරු කොරියානුවන් සංඛ්‍යාව 35,000ක් පමණ වේයැ යි අනුමාන කෙරෙනවා. මෙයින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වන අතර, බොහෝ දෙනෙක් දරිද්‍රතාවයෙන් මිදීමට පලා ආ පිරිස් වනවා. උතුරු කොරියානු සන්නද්ධ අංශවල සහ වෙනත් වැදගත් තනතුරුවල සිටි පුද්ගලයින් ද ස්වල්ප දෙනෙකු මෙසේ පලා ඒමට සමත් වී තිබෙනවා. තමන් අමතක කරන ලද කොටසක් බවට උතුරු කොරියාවෙන් පලා ආ සමහරෙකු අතර විශ්වාසයක් පවතින බව යි වාර්තා වන්නේ. නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු ක්‍රියාවට නැගෙන්නේ එම පසුබිමේ යි.

මේ අතර උතුරු කොරියාවෙන් පලා විත් සිටින තවත් අයෙකු ද මෙවර දකුණු කොරියානු මැතිවරණයට සහභාගී වීමට සූදානම් වන්නේයැ යි ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය: තෙ යොංග්-හෝ (AP)

Related Articles