Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුඩාන හිටපු ජනපති සිරගෙට

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් මත සුඩානයේ හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකළ එරට හිටපු ජනාධිපතිවරයා වන ඕමාර් අල් බෂීර්ට වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය පසුගිය දා තීරණය කර තිබෙනවා.

ඔමාර් බෂීර්ගේ වසර තිහකට අධික පාලනයට එරෙහිව මාස ගණනාවක් තිස්සේ පැවති මහජන විරෝධතාවලින් පසුව, පසුගිය අප්‍රේල් මාසයේ දී හමුදාව විසින් ඔහුව නෙරපා හරින අතර හමුදා ආණ්ඩුව මඟින් රාජ්‍ය පාලනය සිදුකරගෙන යනවා. නමුත්, ඕමාර් බෂිර්ට මෙන්ම හමුදා ආණ්ඩුවකට ද අකමැති වූ එරට සිවිල් ජනතාවගේ විරෝධතා හේතුවෙන් ඊළඟ මැතිවරණය දක්වා රට පාලනය හමුදා සිවිල් දෙමුහුන් ආණ්ඩුවකට භාර වෙනවා.

පසුව අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව නඩු කිහිපයක්ම විභාග කරන අතර, ඉන් එක් නඩුවකට පසුගිය දා ඔහුට වසර දෙකක සිර දඬුවමක් හිමි වෙනවා. 

මීට අමතරව 2003 හා 2008 අතර කාලයේ දී සිදු වූ සුඩාන ඩාෆර් සංහාර සම්බන්ධයෙන් 2009 දී ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු දෙකක් නිකුත් කරනවා. එහි දී ලක්ෂ දෙකත්, ලක්ෂ තුනත් අතර මිනිසුන් ප්‍රමාණයක් ඝාතනය සඳහා අණ දීම තවත් මිලියන 2.7ක් ජනාවාසවලින් එලවා දැමීම, සාමාන්‍ය ජනතාවට එරෙහිව රසායනික අවි භාවිතය යන චෝදනා ඔස්සේ වරෙන්තු නිකුත් කෙරෙනවා. නමුත්, එම අවස්ථා දෙකේ දී ම සුඩාන ජනාධිපතිවරයා වශයෙන් එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

වර්තමානයේ දී පවා ඔහුව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑමට පවතින රජය උත්සාහ කරන්නේ නෑ.  ඔහුව දේශීය අධිකරණයකට ඉදිරිපත් කිරීම හැර අන්තර්ජාතික අධිකරණය වෙත ඉදිරිපත් කිරීමක් නොකරන බව ඔවුන් දන්වා තිබෙනවා.

2019 වසරේ සුඩාන හමුදා කුමන්ත්‍රණය 

හමුදා කුමන්ත්‍රණය (middleeasteye)

රටේ ආර්ථික අස්ථාවරත්වය, ජීවන වියදම ඉහළ යාම, ඊට අමතරව ඉන්ධන හා පාන් මිල වැඩි කරන බව රජය නිවේදනය කිරීම වැනි කරුණු කාරණා හේතුවෙන් ජන අප්‍රසාදයට පත් වන ඕමාර් අල්-බෂීර්ගේ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන්නේ 2018 වසරේ සිට යි.

මෙම විරෝධතා ව්‍යාපාර 2019 වන විට ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වෙනවා. ඒ හේතුවෙන් ඔහු විසින් 2019 වසරේ පෙබරවාරි මාසයේ දී රටේ හදීසි නීතිය ක්‍රියාත්මක කරනවා. මෙම විරෝධතා ව්‍යාපාර හමුවේ ක්‍රියාත්මක වන එරට ආරක්ෂක ඇමතිවරයා වන අවාද් බින් ඔව්ෆ්, අප්‍රේල් මාසයේ 11 වන දා හමුදා කැරැල්ලක් මෙහෙයවා රාජ්‍ය බලය අල්ලා ගන්නවා. ඒ අනුව ඕමාර් අල් බෂීර් හමුදාවේ අත්අඩංගුවට පත් වෙනවා.

2019 වසරේ අප්‍රේල් 11 වන දින හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව පාලන බලය සියතට ගන්නා එරට ආරක්ෂක අමාත්‍යවරයා වහාම ජනාධිපතිවරයාව ධූරයෙන් පහකරන අතර, ඔහු හා ඔහුගේ හිතවතුන් හමුදා රැඳවුම් භාරයට පත් කරනු ලබනවා. 2020 වසරේ දී මැතිවරණයක් පැවැත්වෙන තුරු වන මෙම සංක්‍රාන්ති සමය තුළ රට හමුදාව විසින් පාලනය කෙරෙන බව ඔහු ප්‍රකාශ කරනවා. නමුත්, ජනතා විරෝධතාවය හේතුවෙන් රට පාලනය කිරීම සඳහා විපක්ෂයේ එකඟතාවය මත හමුදා සිවිල් දෙමුහුන් මණ්ඩලයක් ස්ථාපනය කිරීමට සිදුවෙන අතර, ඉදිරි වසරේ මැතිවරණය දක්වා එම මණ්ඩලය විසින් සුඩානය පාලනය කිරීමට නියමිත යි.

වැඩි දුරටත් කියවන්න- හමුදා පාලනය වෙනුවට සිවිල් පාලනයක් ඉල්ලන සූඩාන් වැසියෝ

කවුද මේ ඕමාර් අල් බෂීර් 

ඕමාර් අල් බෂීර් (aljazeera)

සුඩාන හමුදාවේ හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ ඔහු, මේ වන විට පසු වන්නේ 

75 වන වියේ යි. ඕමාර් බෂීර් (Omar Hassan Ahmad al-Bashir) එරට ජනාධිපතිවරයා බවට පත් වන්නේ 1989 වසරේ දී යි. ඒ හමුදා නිලධාරියෙක්ව සිටි ඔහු අනෙකුත් ඉස්ලාම් ජාතිකයන්ගේ සහායෙන් සිදුකළ හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස යි. 

ගෝලීය ත්‍රස්තයෙක් ලෙස හඳුනා ගැනුණු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට 1990 වසරේ සුඩානයේ ආරක්ෂාව හා රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් ඔහුට බටහිර රටවලින් ප්‍රබල චෝදනා එල්ල වෙනවා. ඊට අමතරව අන්තර්ජාතික අධිකරණයෙන් ඔහුට විරුද්ධ ජනසංහාර චෝදනාව යටතේ නඩු පවරා තිබෙනවා. ඒ සුඩානයේ පළාතක් වන ඩාෆර් හි ජනතාවට එරෙහිව රසායනික අවි භාවිතා කර ඇත යන චෝදනාව යටතේ යි. 2011 වසරේ සුඩානය දැඩි ආර්ථික අර්බුදයක ගිල්වමින් දකුණු සුඩානය ලෙස සුඩානයෙන් කොටසක් කැඩී යන්නෙත් මොහුගේ පාලන සමයේ දී යි.

අධිකරණයේ (middleeastmonitor)

වසර දහයකට අධික කාලයක් තිස්සේ ඩාෆර් හි කැරලිකාර කණ්ඩායම් රජයට විරුද්ධව සටන කරන අතර, ඔවුන්ට හා එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට එරෙහිව රසායනික අවි රජය විසින් භාවිතා කර ඇති බවට ලෝක ප්‍රසිද්ධ මානව හිමිකම් ආයතන හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඕමාර් බෂිර්ගේ ආණ්ඩුවට චෝදනා කරනවා.

මේ වන විට ඩාෆර් හි ලක්ෂ තුනකට වැඩි ජනතාවක් ගැටුම්වලින් මියගොස් ඇති බව හා තිස් ලක්ෂයක ජනතාවක් බලහත්කාරයෙන් එම ප්‍රදේශයෙන් එළවා දමා තිබෙන බව මානව හිමිකම් සංවිධාන විසින් පවසා සිටිනවා. නමුත්, ඕමාර් බෂීර් සිය පාලන කාලය තුළ දී මෙන්ම වර්තමානයේ දී ද එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා

සිරගත නොකළේ?

අධිකරණ භූමියෙන් ඉවතට යන අතරතුර (aljazeera.)

හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ තිබී යූරෝ මිලියන ගණනක් හා සුඩාන පවුම් ඉතා විශාල ප්‍රමාණයක් හමුදාව විසින් සොයාගන්නා අතර, ඒවා රාජසන්තක කිරීමට අධිකරණය තීරණය කරනවා.

සුඩාන නීතියට අනුකූලව වයස අවුරුදු 70 ඉක්ම වූ වැරදිකරුවන්ව සිරගත කළ නොහැකි බැවින්, 75 හැවිරිදි හිටපු ජනාධිපතිවරයාව වෙනත් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයකට යැවෙනු ඇත.

කවරයේ පින්තූරය- amazonaws

මූලාශ්‍රයයන්:

Theguardian, cnn.com, time.com

Related Articles