වසර 24 කදී 4 දෙනෙකු පමණක් දූෂණවලට හිරේ යැවූ අපේ අල්ලස් නීතිය

අල්ලස් ගැනීමට තැත් කිරීමේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ හිටපු ජනපති ලේකම්වරයෙකු සහ දැව සංස්ථා සභාපතිවරයා ව සිටි දිසානායක පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වූ අන්දම ඔබට මතක ඇති. එමෙන්ම 2004 වර්ෂයේදී රුපියල් 15,000ක අල්ලසක් ගැනීම නිසා ආදායම් බදු නිලධාරියෙකුට මහාධිකරණය මගින් වසර 14ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මෙතෙක් කලක් පොඩි මිනිහාට පමණක් සමහර අවස්ථාවලදී ක්‍රියාත්මක වූ අල්ලස් නීතිය තරාතිරම නොබලා මේ අන්දමින් ක්‍රියාවට නැංවීම හොඳ සංඥාවක් වශයෙන් සැලකිය හැකි වුවත්, මහා වෘක්ෂයක් පරිද්දෙන් අක්මුල් විහිදී ගොස් දැඩි ලෙස ජරාජීර්ණ වී ගිය පද්ධතියක් ඇති, අල්ලස මත දිවි ගෙවීම ලේ වලට කාවැදී ඇති මෙවන් සමාජයක සැබවින්ම අල්ලස් නීතිය සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කර අල්ලස, දූෂණය මුලිනුපුටා දැමීම හුදු සිහිනයක් පමණක්දැයි සිතෙන තරමට තත්ත්වය ව්‍යාකූල වී ගිහින්. ඇතැම් විට බලධාරීන් හිතාමතාම අල්ලස් නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේද යන ප්‍රශ්නයත් නිරන්තරයෙන්ම මතු වන්නේ අල්ලස් හා දූෂණ සිද්ධීන්වලට මැති ඇමතිවරුන්ගේ සිට ඉහළ පෙළේ නිලධාරීන්ගේ නම් විශාල ප්‍රමාණයක් ඍජුවම ගෑවී තිබීම හේතුවෙනුයි.

වර්තමාන රජය බලයට පත් වන්නේත් අල්ලස් හා දූෂණ චෝදනාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බව ශපථ කරමින්. අල්ලස් දූෂණ සිද්ධීන් ගණනාවක්‌ ගැන පරීක්ෂණ ආරම්භ කෙරුණත් ඒවා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අවසන් කර දඬුවම් ලබා දීම වේගවත් තැනක නොමැති වීම බරපතලත් තත්වයක්. ඒ සම්බන්ධයෙන් සමාජයෙන් විවේචන එල්ල වන්නේ දූෂිත පුද්ගලයින් රැකීමට ආණ්ඩුව ඇතුළු බලධාරීන් කටයුතු කරන්නේය, එසේත් නැතිනම් ආණ්ඩුව අසාර්ථකය යන පදනමේ සිටගෙනයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමක් ක්‍රියාත්මකව තිබියදීත්, ඒ සම්බන්ධ නීති රීති පවතිද්දීත් විමර්ශන වේගවත් නොවන්නේ ඇයිද යන්න ඇත්තෙන්ම ගැටලුවකි. එපමණක් නොව සමාජගත පිළිලයක් බවට පත්ව තිබෙන අල්ලස හා දුෂණය තුරන් කිරීම කළ හැකි දෙයක්ද? මේ සම්බන්ධයෙන් සැබෑ පිළිතුරක් දිය හැකි පුද්ගලයෙකු වන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතායි. මේ ලිපිය සකස් වන්නේ ජයමාන්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක් මූලික කරගෙනයි.

Daily News

ශ්‍රී ලංකාවේ අල්ලස් නීතිය

දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා දේශීය වශයෙන් අල්ලස් පනත, වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය, මුදල් විශුද්ධි කිරීමේ පනත ප්‍රධාන කොට ඇති නීති රාශියක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීමේ ප්‍රධාන යාන්ත්‍රණයක් වශයෙන් 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පිහිටුවා ඇත. මෙම පනත 1954 අංක 11 දරණ අල්ලස් පනත සහ 1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමට හා චෝදනා ගොනු කිරීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දෙයි.

ලෝකයේ පැරණිතම අල්ලස් නීතිය අපේය

ලෝකයේ පැරණිතම අල්ලස් පනත තිබෙන්නේ අපේ රටේය. අල්ලස් පනත 1994දී සංශෝධනය කරනු ලබන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු පොදු පෙරමුණ ජනතාව හමුවේ දුන් පොරොන්දුවක් අනුවය. එනම් අල්ලස් පනත සංශෝධනය වන්නේ මාස දෙකක් වැනි ඉතාම කෙටි කාලයක් තුළදී යි. 1994 සිට අල්ලස් පනතේ හෝ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ එකම වචනයක්වත් සංශෝධනයට ලක් වී නැහැ. ජයමාන්න මහතා පවසන අන්දමට අල්ලස් නීතිය වසර හතරකට හෝ පහකට වරක් සංශෝධනය නොකර සිටින ලෝකයේ එකම රටක්වත් නොමැත.

Newsfirst

දූෂණය වරදක් ලෙස

1994 අංක 11 දරණ අල්ලස් පනත සංශෝධනය කරමින් 1994දී 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත හඳුන්වා දුන් අතර එයට ‘දූෂණය’ නමැති වරද ඇතුළත් වේ. ජයමාන්න මහතා පෙන්වා දෙන අන්දමට අල්ලස් නඩු විභාග කිරීම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැවරීම හේතුවෙන් නඩු විභාග කිරීම අධික කාලයක් ගතවීම සහ නඩු පැවරීම පොලිසිය මගින් සිදු කිරීම ආදී විවිධ හේතු මේ සඳහා බලපා තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ පනතට 1994 දී ‘දූෂණය’ වරද ඇතුළත් කළ දා සිටම මේ දක්වා ගතවූ වසර 24 තුළ ගොනු කළ නඩු 75කින් වරදකරුවන් බවට තීන්දු කර ඇත්තේ විත්තිකරුවන් හතර දෙනෙකු පමණයි!

දූෂණ නඩු ඇසීමේ බලය මහාධිකරණයට

වසර 24ක කාලයක් තුළ වැරදිකරුවන් හතර දෙනෙකු පමණක් තීන්දු වීමට නොයෙකුත් හේතු බලපා තිබෙනවා. මේ නිසා අධිකරණ සංවිධාන පනතට අලුතින් සංශෝධන එකතු කිරීමට ක්‍රියා කරමින් සිටින බවද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

“දූෂණ නඩුවක් කියන්නේ දරුණුම ගණයේ මූල්‍යමය දූෂණ වැරද්දක්. 1994 අල්ලස් පනත සංශෝධනය කරද්දී මෙම නඩු අහන්න බලය ලබා දුන්නේ මහේස්ත්‍රාත් අධිකරණයටයි. නමුත් ඇත්තෙන්ම මෙවැනි ගණයේ නඩු ඇසිය යුතු වෙන්නේ මහාධිකරණයෙන්. මේ නිසා අධිකරණ සංවිධාන පනත පාර්ලිමේන්තුවට ඉදිරිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. දූෂණ නඩු ඉතාමත් සංකීර්ණ ඒවා නිසා මේ නඩු අහන්න පළපුරුදු විනිශ්චයකාරවරුන් සිටිය යුතුයි.” ඔහු කියා සිටියා.

static.ft.lk

“හාල් මැස්සන් පමණක් හසු වී තල්මසුන් බේරීම”

“අල්ලස් ගනිද්දි අහු වෙන්නේ කවුද? තල්මස්සු නෙවෙයි හාල්මැස්සෝ. තල්මස්සු කියද්දී රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු දරණ අය අයිතියි. ඒ නඩුවල අපරාධ වින්දිතයෝ වෙන්නෙත්, සාක්කිකාරයෝ වෙන්නෙත් අනිවාර්යයෙන්ම තල්මස්සුමයි. ලොකු මිනිහෙකුට අල්ලසක් දෙන්නේ පොඩි මිනිහෙක් හෝ මධ්‍යම පන්තියේ කෙනෙක් නෙවෙයි. එහෙම අල්ලස් දෙන මිනිස්සු කවදාවත් අපි ලඟට ඇවිල්ලා කශේරුකාවක් ඇතිව පැමිණිලි කරන්නේ නැහැ අහවලා මගෙන් මෙච්චර අල්ලසක් ඉල්ලුවා, වැටලීමට යන්න එන්න මම උදවු කරන්නම් කියලා. ඔය කියන මහා පරිමාණයේ සුපිරි ගණයේ සාක්කිකාරයෝ එන්නේ නැහැ. ඒ මිනිස්සු සමහරවිට ආත්මාර්ථකාමීද මම දන්නේ නැහැ. අනේ මේ අපේ රට හදාගන්න ඕන නේද කියන රට පිළිබඳ හැඟීමක් නැතුවාදෝ මන්දා. ඒ නිසා තමයි තෝරු මෝරු අල්ලස් ගනිද්දී අහු වෙන්නේ නැත්තේ. වැටලීමක් කරන්නවත් අපිට එහෙම පැමිණිල්ලක් එන්නේ නැහැ.”

“ගමේ මිනිස්සු කුමක් හෝ රාජ්‍ය ලේඛනයක් බලපත්‍රයක් ගන්න යද්දී නිරන්තරවම රාජ්‍ය සේවකයත් සමඟ ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එහෙම හම්බ වෙද්දී බාධක දාහක් දානවා. එතකොට ඒ ආයතනයේ අඳුනන කම්කරුවෙක් හරි ඉන්නවද කියලනේ අපි බලන්නේ. ඒකනේ යථාර්තය. මිනිස්සු හිතනවා අපිට මේ වගේ සම්බන්ධකමක් නැත්නම් අපිට මේ වැඩේ කරගන්න බැරි වෙයිද මන්දා කියලා. එහෙම නැත්නම් සංකීර්ණ භාෂාවලින් තියෙන පෝරම පුරවන්න දන්නේ නෑ. අන්න එතකොට අර කාක්කා එන්න පටන් ගන්නවා. පෝරමය පුරවන ගමන් මේ නිලධාරියා අහනවා කොහේ ඉඳන්ද එන්නේ කියලා. දුර ඉඳන් ආව කෙනෙක් නම් කියනවා මේ වැඩේට හැබැයි තව දවස් කිහිපයක් එන්න වෙයි. මම දන්නා මහත්තයෙක් ඉන්නවා මේක ඒ මහත්තයට දුන්නොත් නම් පැය ගාණකින් මේක කරගන්න පුළුවන්. හැබැයි ඒ මහත්තයා අල්ලස් ගන්නේ නැහැ. ඒ මහත්තයට උඩින් තව මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයට මේ ගාන දෙන්න ඕනේ. මට ඉතින් පොඩි ගානක් තිබුනොත් ඇති කියනවා. මේ සැලැස්මේ අනිවාර්යයෙන්ම සාමාන්‍ය ජනතාව පැටලෙන එක පැටලෙනවාමයි. මේක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. හැබැයි එහෙම කළාට පස්සේ මිනිස්සුන්ට මොකක්දෝ හයියක් තියෙනවා. ඒ හයිය එක්ක අල්ලස දීලා ඔවුන් අපිට ඇවිල්ලා පැමිණිලි කරනවා. අපි ඔවුන් වෙනුවෙන් පැය විසි හතරම සැදී පැහැදී ඉන්නවා.”

වත්කම් බැරකම් ප්‍රකාශ

ජනපති අගමැති සහ මැති ඇමතිවරුන් විසින් දේශපාලන පත්වීම් ලෙස රජයේ ආයතනවල තනතුරු සඳහා පත් කරන අයගේද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසා ඇත. මේ සඳහා පවතින නිතිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවත් කී ජයමාන්න මහතා දේශපාලන පත්වීම් ලබා රජයේ සේවයට පැමිණෙන අයද වත්කම් බැරකම් නීතියට යටත් විය යුතු බව අවධාරණය කරයි.

එපමණක් නොව යම්කිසි පුද්ගලයෙක් රජයේ සේවය හැර ගිය විටදී සැලකිය යුතු කාල සීමාවක් තුළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට හැකි වන අන්දමේ නීතියක් ලබා ගැනීමට නියමිතය. අද පවතින වත්කම් බැරකම් ප්‍රකාශයේ ආයෝජනය කර ඇති මුදල් පිළිබඳව මෙන්ම වෙනත් ආදායම් මාර්ග පිළිබඳව විමසීමක් සිදු නොවේ. මේ සියල්ලද වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් විය යුතු බව ඔහු පවසයි.

restartnaija.com

විමර්ශන නිලධාරීන්ගේ හිඟයට තවමත් පිළියම් නොමැතිකම

1994 දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හදිස්සියේ පිහිටුවීමට යාමේදී විමර්ශන නිලධාරීන් ඉක්මනින් අනුයුක්ත කරනු ලැබුවේ පොලීසිය හරහායි. එහෙත් අද දක්වා ක්‍රියාත්මක වෙන්මින් තිබෙන්නේ එදා තිබූ ක්‍රමවේදයමයි.

“එම විමර්ශන නිලධාරීන් එක්කෙනෙක්වත් උපාධිධාරියෙක් හෝ ගිණුම්කරුවෙක් නෙවෙයි. විද්‍යාත්මක පර්යේෂණ කිරීමේ ඔවුන් සතු හැකියාව ඉතාම පහළ මට්ටමකයි තියෙන්නේ. ඉතින් පිටින් විශේෂඥයෝ ගන්නවා හැරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ.”

ආසියාවේ අනෙකුත් රටවල් හා සසඳා බලන විටද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශකයින් සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් නැති බව ජයමාන්න මහතා පවසයි.

“මිනිස්සු මිලියන 21 කට අපිට විමර්ශන නිලධාරීන් ඉන්නේ 200 දෙනයි. හොංකොංවල මිනිස්සු මිලියන හයකට අල්ලස් නිලධාරීන් 1200ක් ඉන්නවා. එම සියලුම නිලධාරීන් උපාධි සහිත විශේෂඥ සුදුසුකම් සහිත අයයි.”

අනාගතයේ වෙනසක් ගැන බලාපොරොත්තුවක් තබා ගත හැකි ද?

ඉතින් ඉදිරියේදී තත්ත්වය යහපත් වේ යැයි බලාපොරොත්තුවක් තබා ගත හැකි ද? නාමික වශයෙන් හෝ වෙනසක් වී තිබෙන බවට එක සාක්ෂියක් වන්නේ අල්ලස් කොමිෂන් ඉතිහාසයේ වැඩිම පිරිසක් අධිකරණයෙන් වැරදිකරුවන් කළේ 2017 වසරේදී වීමයි. කෙසේ වෙතත් කිසිදු විභාගයකට ගෙන නොමැති අල්ලස් ගැනීම් ඇතුළු තවත් දූෂණ චෝදනා බොහොමයක් ගැන නිතර අපට අහන්නට දකින්නට ලැබේ.

ඉතින් සැබෑවටම වෙනසක් සිදු වේ දැයි දැන ගත හැක්කේ කාලයට ඉඩ දී බලා සිටීමෙන් පමණි.

කවරයේ රූපය : ciaboc.gov.lk

Related Articles