Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා පසෙකට- වෛද්‍යවරුන් අත්අඩංගුවට

චීනයේ, හුබේ පළාතේ, වූහාන් ප්‍රදේශයෙන් ආරම්භ වූ නව කොරෝනාවෛරසය හෙවත් කොවිඩ්-19 වසංගත තත්ත්වය චීනයට දැඩි හානියක් සිදුකිරීමෙන් අනතුරුව යුරෝපය දෙසට පැතිර යනවා. පසුව යුරෝපයේ ඉතාලිය, ස්පාඤ්ඤය හා ප්‍රංශය කේන්ද්‍ර කර ගනිමින් මෙම වසංගත තත්ත්වය ලෝකය පුරා පැතිරෙන්නේ ඉතාමත් වේ⁣ගයෙන්. එය මේ වන විට ලෝකයේ රටවල් 190කට වඩා වැඩි රටවල් ප්‍රමාණයක පැතිර ගොස් හමාරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව මේ වන විට වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත් වී තිබෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය යි. මේ වන විට දිනකට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. ලෝකය පුරා සිදුව ඇති මරණ ප්‍රමාණය මේ වෙද්දි 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. වර්තමානය වන විට වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඉතාලියෙන්. එමෙන්ම ස්පාඤ්ඤයේ මරණ ප්‍රමාණය දෙවන වන්නේ ඉතාලියට පමණ යි.

බොහෝ රටවල මේ වන විට වෛරසයේ උච්ඡතම අවස්ථාව වන සමාජීය පැතිරීම දකින්න ලැබෙනවා. ඒ හේතුවෙන් ලෝකයේ රටවල් බොහෝ ප්‍රමාණයක අඛණ්ඩ ඇඳිරිනීතිය, ප්‍රධාන නගර හා ප්‍රදේශ වසා දැමීම හෝ සම්පුර්ණයෙන්ම රට වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

සියලුම රටවල කොරෝනාවෛරසය සමග සටන් කිරීමට එම රටවල මුළු ශක්තියම යොදවා තිබෙන ආකාරය දැකගන්න පුළුවන්. නමුත්, පාකිස්ථානයේ වෛදවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්, පෞද්ගලික ආරක්ෂක උපකරණ (personal protective equipment (PPE)) ලබා දෙන ලෙස රජයට බල කරමින් විරෝධතාවල නියැලීම නිසා කොරෝනා මැඩලීමේ මෙහෙයුම පසෙකින් තබා පාකිස්ථාන රජය ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නිරිතදිග පාකිස්ථාන ක්වෙටා නගරයේ (Quetta) විරෝධතාවල නිරත වූ සෞඛ්‍ය සේවකයන් පිරිසක්. පාකිස්ථානයේ මෙම ප්‍රාන්ත රජයේ ක්‍රියාවලිය ලෝකයේ බොහෝ රටවල දැඩි විවේචනයට ලක් වී තිබෙනවා.

පාකිස්ථානයේ කොරෝනා ව්‍යාප්තිය 

කොරෝනාවෛරසය හමුවේ රජයේ සූදානම (radio)

පාකිස්ථානයේ නව කොරෝනාවෛරසය ව්‍යාප්තිය සලකා බැලීමේ දී, මේ සතිය වන විට වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය 3,500 ඉක්මවා ගොස් තිබෙනවා. කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම පෙබරවාරි මාසයේ අග සතියේ සිට පාකිස්ථානය තුළ දකින්න ලබුනු අතර, මේ වන විට මරණයට පත් වී ඇති පිරිස 54ක් ලෙස සඳහන් වෙනවා. මෙම දත්ත ඉතා නිවැරදි දත්ත ලෙස භාවිතා කළ නොහැකි බවත්, වාර්තා නොවූ රෝගීන් මීට වඩා වැඩි පිරිසක් සිටිය හැකි බවත් පාකිස්ථාන සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

පාකිස්ථාන වෛද්‍යවරුන්ගේ ඛේදවාචකය 

වෛද්‍යවරුන්ගේ විරෝධතාවයට පහර දෙන ආරක්ෂක අංශ (tmgrup)

වෙනත් රටවලට සාපේක්ෂව පාකිස්ථාන වෛද්‍යවරුන් පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE ) නැති වීම හේතුවෙන් ප්‍රබල ලෙස ජීවිත තර්ජනයට මුහුණ දී ඇති බව සඳහන් වෙනවා. පසුගිය මාර්තු මාසයේ දී පාකිස්ථාන වෛද්‍යවරයෙකු සහ හෙදියක් කොරෝනාවෛරසය හේතුවෙන් මරණයට පත් වෙනවා. ඒ, ආරක්ෂක උපකරණ හරිහැටි නොපැළඳීම හේතුවෙන් බව යි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම, මියගිය වෛදවරයා සාමාන්‍ය ලෙස මුඛ ආවරණයක් පමණක් පැළද රෝගීන්ට ප්‍රතිකාර කළ බව සඳහන්. තවත් වෛද්‍යවරුන් හා හෙදියන් 20කට වැඩි ප්‍රමාණයකට නව කොරෝනාවෛරසය අසාදනය වී ඇති බවට එරටින් වාර්තා වෙනවා.

මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරක්ෂක උපදෙස් නොපිළිපදිමින් බොහෝ වෛද්‍යවරු ප්‍රමාණයක් එරට කොරෝනා වසංගතයට එරෙහි ඉදිරිපෙළ මෙහෙයුම්වල නිරත වෙමින් සිටිනවා.

විරෝධතා හා අත්අඩංගුවට ගැනීම් 

අත්අඩංගුවට ගත් වෛද්‍යවරු (aljazeera)

කොරෝනාවෛරස් අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා තමන්ට ආරක්ෂක අත්වැසුම්, මුව ආවරණය, ශරීර ආවරණ හා විෂබීජ නාශක (PPE) ලබාදෙන ලෙස ප්‍රාන්ත රජයට බල කරමින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 100ක් පමණ පිරිස, පසුගිය 6 වනදා Quetta හි ප්‍රධාන රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙනවා. මේ සඳහා නායකත්වය දෙන්නේ පාකිස්ථානයේ තරුණ වෛද්‍යවරුන්ගේ සංගමය යි (Young Doctors Association).

පසුව, විරෝධතාකරුවන් සියලු දෙනා එම පළාතේ මහා ඇමතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ගොස් ඇති බව වාර්තා වෙනවා. මෙහි දී පළාතේ දේශපාලන අධිකාරිය විසින් පොලීසිය කැඳවන අතර, විරෝධතාකරුවන් 67 දෙනෙක් පොලිස් ග්‍රහණයට හසුවෙනවා. පැය කිහිපයක් පොලිසියේ රඳවාගත් වෘත්තිකයන්ව පසුව, මධ්‍යම රජයේ ඉල්ලීම මත මුදාහැරීමට කටයුතු කරත්, වෛදවරුන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, ඔවුන්ගේ ඉල්ලීම වන පෞද්ගලික ආරක්ෂක උපකරණ ලබාදෙන තුරු තමන් පිටව නොයන බව බල කරමින්. 

අත්අඩංගුවට (aljazeera)

පාකිස්ථානයේ සියලු ප්‍රදේශවලට පෞද්ගලික ආරක්ෂක උපකරණ ලබාදීමට පාකිස්ථාන මධ්‍යම රජය උපරිම කැප කිරීමක් කරන නමුත්, ගෝලීය වසංගතයේ දරුණු තත්ත්වය හමුවේ මෙම උපකරණ ලබාගැනීම සඳහා යම් කාලයක් ගත වන බවත් රජයේ නිලධාරියෙකු ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා. තම ප්‍රාන්තයේ වෛද්‍යවරුන් ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයන්ට පෞද්ගලික ආරක්ෂක උපකරණ ලබාදීමට ප්‍රාන්ත රජය පොරොන්දු වී ඇති බව දන්වා සිටිය දී පවා, මෙවැනි විරෝධතාවක නිරත වීම සදාචාර විරෝධී බව අදාළ ප්‍රාන්තයේ බලධාරියෙක් ප්‍රකාශ කරනවා.

කවරයේ පින්තුරය- reuter

මූලාශ්‍රයයන්: 

Aljazeera

Dw 

Related Articles