Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඝාතනය වූ පැනමා පත්‍රිකා මාධ්‍යවේදිනිය – ඩැෆ්නි කරුවානා ගැලිසියා

සුප්‍රකට ‘’පොලිටිකෝ’  ආයතනය ඇයව හැඳින්වූවේ  2017  වසරේදී සමස්ථ යුරෝපයේ ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි පුද්ගලයන් 28 දෙනාගෙන් එක් අයෙකු ලෙස ය.  ඔවුන් ඇයට ‘One Woman Wikileaks’  ලෙසින් අන්වර්ථ නාමයක් ද ලබා දුනි. ඒ දහසක් අභියෝග,  මරණ තර්ජන මධ්‍යයයේ දූෂණ  වංචා (විශේෂයෙන්ම දේශපාලනඥයන් විසින් කරන ලද) හෙළිදරව් කිරීමේ නිර්භීත කාර්යය නොකඩවා ඉටු කළ හෙයිනි. පුවත්පත්වලට සැපයූ ලිපිවලට අමතරව ඇය  විසින් සිය බ්ලොග් අඩවියේ පළ කළ ලිපි වරෙක මොල්ටාවේ සියළුම ජාතික පුවත්පත්වලට වඩා ජනතා අවධානයට පාත්‍ර වූ බව පැවසේ.

 

පොලිටිකෝ ආයතනය විසින් නම් කරනු ලැබූ පුද්ගලයන් 28 දෙනා/Politico

 

ඇය  වඩාත්ම අවධානයට ලක්වූවේ ආන්දෝලනාත්මක පැනමා පත්‍රිකා හෙළිදරව්වේ පෙරමුණ ගෙන කටයුතු කළ අන්තර්ජාතික ගවේශණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (International Consortium of Investigative Journalists (ICIJ)) දැවැන්ත භුමිකාවකට පණ  පෙවූ නිසාය.  එතනින් නොනැවතී පැනමා පත්‍රිකා හරහා ඇගේ රට, මොල්ටාවේ ප්‍රබල දේශපාලනඥයන් විසින් කරන ලදැයි පැවසෙන වංචාවන් හෙළිදරව් කිරීම නිසා ය.

එතරම් මෙහෙයක් කළ මේ ගවේශණාත්මක මාධ්‍යවේදිනිය ඩැෆ්නි ඈන් කරුවානා ගැලිසියා මේ ඔක්තෝබර් 16 වන දින ඝාතනය කරනු ලැබී ය. ඒ ඇගේ කාරය තුල අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ඇටවීම මගිනි.

පිපිරීමෙන් පසු ඇගේ කාරය/Getty Images

මේ ඇය වෙනුවෙන් ලියැවෙන අපේ සටහනයි.

ජීවිතය

ඩැෆ්නි  උපත ලැබුවේ 1964  අගෝස්තු 26 දින ය. ඇය 1997 දී  මෝල්ටා විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත්තා ය. එහෙත් ඇය ජනමාධ්‍යකරණයට පිවිසුනේ 1987 තරම් වූ ඈත කාලයේ සිට ය.  Sunday Times of Malta සහ Malta Independent යන පුවත්පත්වලට ලිපි සැපයූ ඇය Running Commentary නමින් තමාගේම බ්ලොග් අඩවියකට ලිපි ලියන ලදී.

ඒ බ්ලොග් අඩවියෙන් මූලික වශයෙන්ම සිදු කරනු ලැබුවේ මෝල්ටාවේ ප්‍රබල දේශපාලනඥයන් වෙත වංචා පිලිබඳ චෝදනා එල්ල කිරීමයි. දැඩි ශෛලියකින් ලියවුණ ඒ ලිපිවල අදාළ පුද්ගලයන්ගේ නම් ගම පවා සවිස්තරව දැක්වීමට ඇය පැකිළුනේ නැත. ඒ නිසාම ඇතැම් පුද්ගලයන් ඇගේ බ්ලොග් අඩවිය හැඳින්වූවේ ‘මඩ ප්‍රහාර’ එල්ල කිරීමට සැකසූ අඩවියක් ලෙසය.

පැනමා පත්‍රිකා හෙළිදරව්ව

කොනාර්ඩ් මිසී සහ කීත්  චෙම්බ්රි/The Malta Independent

ඇගේ පුතුන් තිදෙනාගෙන් එක් අයෙකු වන මැතිව් මාක් ජෝන් අන්තර්ජාතික ගවේශණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ  සාමාජිකයෙකි.  එම සම්බන්ධතාව මත පැනමා පත්‍රිකා හෙළිදරව්වේ ක්‍රියාකාරී භුමිකාවකට පණ පෙවීමට ඩැෆ්නිට හැකියාව ලැබුණි.

ඒ සම්බන්ධය හරහා ලබා ගත් තොරතුරු අධ්‍යයනය කළ ඇය සිය ප්‍රථම චෝදනාව එල්ල කළේ මෝල්ටා සංචාරක අමාත්‍ය කොනාර්ඩ් මිසීට සහ ඔහුගේ සේවක මණ්ඩලයේ ප්‍රධානියා වන කීත් චෙම්බ්රිටය. Running Commentary  බ්ලොග් අඩවියේ පළ කළ ලිපියක් මගින් ඇය ඉඟි කර සිටියේ මිසීට හා චෙම්බ්රිට පැනමාවේ හා නවසීලන්තයේ පිහිටුවා ඇති සමාගම් හා ගණුදෙනු ඇති බවය.  එම හෙළිදරව්වෙන් දින දෙකකට පසු නිවේදනයක් නිකුත් කළ අමාත්‍යවරයා තමන්ට Rotorua Trust නමින් වූ පදනමක් නවසිලන්තයේ ඇති බව පිළිගත්තේ ය.

2016 අප්‍රේල් මස නිකුත් වූ පැනමා පත්‍රිකාවක් මගින් ඉහත දෙදෙනාට පෙර කී පදනමට අමතරව තවත් පැනමා සමාගම් හා ගණුදෙනු ඇති බව හෙළිදරව් විය.

මෝල්ටා අගමැතිවරයා සහ බිරිඳ/Malta Today

ඉන්පසු මෙම වසරේදී ඇය එරට අගමැතිවරයාගේ බිරිඳ  මිෂෙල් මස්කට්ගේ නම සඳහන් කරමින් තවත් ලිපියක් ලියූ අතර එහි සඳහන් වූවේ අගමැතිවරයාගේ බිරිඳට Egrant නමින් පැනමා සමාගමක් ඇති බව ය. මේ චෝදනා නිසා 2017 දී  මහා මැතිවරණයක් කැඳවීමට අගමැති ජෝශප් මස්කට්ට සිදු වූ අතර එයින් ඔහුගේ පක්ෂය නැවත වරක් ආණ්ඩු බලය හෙබවීමට සුදුසුකම් ලැබීය.

ඒ මැතිවරණයෙන් පසු නව විපක්ෂ නායක ජාතිකවාදී ඒඩ්‍රියන් ඩේලියා ද ඇගේ නිර්දය විවේචනයට බඳුන් විය.

මිය යන්නට පැය භාගයකට පමණ පෙර පලකළ  අවසාන බ්ලොග් සටහනෙන් ද ඇය කීත්  චෙම්බ්රිට  චෝදනා එල්ල කර තිබුණි.  ඒ ‘That crook Schembri was in court today, pleading that he is not a crook’  යන හෙඩිම යටතේ ය.

වෙනත් හෙළිදරව් කිරීම්

මෝල්ටා විපක්ෂ නායක ඒඩ්‍රියන් ඩේලියා/Foreign Brief

ඇගේ බ්ලොග් අඩවිය මගින් එල්ල කළ චෝදනාවලින් ස්වල්පයක් පහතින් දැක්වේ.

  • 2010 වසරේදී ඇගේ බ්ලොග් අඩවිය මගින් එරට අගවිනිසුරු කොන්සුඑලෝ හෙරේරා නිර්දය ලෙස විවේචනයට ලක්කෙරුණු අතර අගවිනිසුරුවරයා ඩැෆ්නිට  එරෙහිව අපහාස නඩුවක් ගොනු කළේ ය.  2011 නොවැම්බර් මස එම නඩුව ඉල්ලා අස්  කරගිමට අගවිනිසුරුවරයා සමත් විය.
  • 2013 මෝල්ටා මහ මැතිවරණයට දිනකට පෙර ‘දේශපාලන කරුණු පිලිබඳ නිහඬතාව බිඳීමේ චෝදනාව මත ඇය  පොලිස් අත්අඩංගුවට පත්විය.  ඒ එවකට විපක්ෂ නායක ජෝශප් මස්කට් උපහාසයට ලක් කරමින් තැනූ වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට මුදා හැරීම හේතුවෙනි. පැය කිහිපයක ප්‍රශ්න කිරීම්වලින් පසු ඇයව නිදහස් කරනු ලැබීය.
  • නීති විරෝධී සත්වෝද්‍යානයක් පවත්වාගෙන යන බවට චෝදනා ලබා ඇති ඇන්ටන් රේ කටජාර් සමඟ මෝල්ටා අගමැතිවරයා හා වෙනත් ප්‍රබල දේශපාලනඥයන් පවත්වාගෙන යන සම්බන්ධතා ඇගේ දැඩි විවේචනයට බඳුන් විය.
  • 2017 ලෝක ආර්ථික සංඛ්‍යාලේඛනවලට (World Economic Forum Index) අනුව මෝල්ටා රාජ්‍යය ස්ථාන 10කින් පසු බැස තිබුණි. ඒ අනුව යමින් අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ගේ කාර්යභාරය ඇගේ බ්ලොග් අඩවිය විසින් දැඩි ලෙස විවේචනය කර තිබුණි.
  • මෝල්ටා ජාතික පක්ෂයේ (Nationalist Party) උප නායක ක්ලයිඩ් පුලි චීනයේ පැවති ඔලිම්පික් උළෙලට සහභාගී වී දින 10ක් තුළ දැවැන්ත රාජ්‍ය මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇති බවට ඩැෆ්නි චෝදනා කළා ය.
  • විපක්ෂ නායකයාගේ බිරිඳ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන තැනැත්තෙකු බවට චෝදනා එල්ල වී ඇති අයෙකුගේ පෙම්වතිය හා ඇති මිත්‍ර සම්බන්ධතා ද ඩැෆ්නි  විවේචනයට ලක් කළා ය.

මරණ තර්ජන

ඩැෆ්නි සිය පුතු මැතිව් සමඟ/Facebook

දුරතකතනයෙන් සහ නිර්නාමික ලිපි මගින් එල්ලවන මරණ තර්ජන ඩැෆ්නිගේ දෛනික චර්යාවේ කොටසක් බවට පත්ව තිබූ බව ඇගේ පුතුන් පවසා සිටියි.

1996 වසරේදී නිවසේ දොර අසල ගිනි ගොඩක් ගසා තිබූ බවත් ඉන් වසර කිහිපයකට පසු තම නිවස හා සමාන නමක් තිබූ අසල්වැසි නිවසක නවතා තිබූ කාරයක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබූ බවත් ඩැෆ්නිගේ පුත් ඇන්ඩෲ The Guardian අඩවිය  වෙත පවසා තිබුණි.

වරක් සිය මව නිවස තුළ නිදා සිටියදී නිවසට ගිනි තැබීමටත් උත්සාහ කර තිබූ බව ඇන්ඩෲ එහිදී පැවසුවේය.

ඝාතනය වීමට සති දෙකකට පෙර තමානට නිරන්තරයෙන් එල්ලවන මරණ තර්ජන පිළිබඳව පොලිස් පැමිණිල්ලක් ගොනු කිරීමට ඩැෆ්නි කටයුතු කර තිබුණි.

ඝාතනය වීමෙන් පසු

ජුලියන් අසාන්ජේ ගේ ට්විටර් පණිවුඩය/Twitter

ඩැෆ්නි  ඝාතනය වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් අගමැති මස්කට් පවසා සිටියේ ඇගේ ඝාතකයන් සොයාගෙන දඬුවම් ලබා දෙන තෙක් තමන් නොනවතින බවයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විකිලික්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජේ ඝාතකයන් පිලිබඳ තොරතුරු ලබා දෙන අයෙකුට පවුම් 20,000ක ත්‍යාගයක් ලබා දීමට තමන් කටයුතු කරන බව පැවසුවේ ය.

එමෙන්ම ඝාතකයන් පිලිබඳ නිවැරදි තොරතුරු ලබා දෙන්නන්ට ත්‍යාග පිරිනැමීම වෙනුවෙන් පවුල් මිලියනයක් එක් රැස් කිරීමේ අරමුදලක් ද පිහිටුවීමට මේ වන විට කටයුතු යොදා ඇත.

ඇය විසූ  නගරයට එක් රැස් වූ දහස් සංඛ්‍යාත ජන ගඟක් ඇගේ මතකය සමරමින් ඉටිපන්දම් දැල්වීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළෝ ය.

දූෂණ සහ වංචාවලින් පිඩා විඳින යුරෝපා සංගමයේ කුඩාම රට වන මොල්ටාවේ අනාගතය යහපත් කරනු පිණිස සිය වචන මෙහෙයවූ ඩැෆ්නි ඈන් කරුවානා ගැලිසියා වෙනුවෙන්, නන්දන වීරසිංහයන් විසින් රචනා කර නන්දා  මාලිනියගේ හඬින් ගැයෙන ගීයක එක් කොටසක් මෙසේ සිහිපත් කරමු.

“අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු

හඬගා කියන නුඹේ හඬ අහසේ හැපෙනු

ඇසුණ ඒ හඬේ නෑ මිය ගිය ලකුණු

මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු..”

ඩැෆ්නි, ඔබට සුබ ගමන්!!

Cover Photo : Malta Today

Related Articles