Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු සතියේ කතාබහට ලක්වූ සිදුවීම් පිළිබඳ විමසුමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ගමන් වියදම්, හදිසි නීතිය දීර්ඝ නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව, අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කිලිනොච්චි නගරයේ සංවිධානය කළ විරෝධතා පා ගමන සහ දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ සංවිධාන හයක් සහ පුද්ගලයන් කිහිප දෙනෙක් මත පනවා තිබූ තහනම ඉවත් කිරීම වැනි සිදුවීම් රටේ පසුගිය සතිය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වූ මාතෘකා විය.

ඒ පිළිබඳ ව සහ තවත් එවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳ වැඩිදුර විමසා බැලෙන Roar සිංහල සති අන්ත ලිපියයි මේ.

ගෝඨාභයගේ ගමන් වියදම් රජයෙන් ද?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා ගමන් කළ පුද්ගලික ගුවන් යානය සඳහා වන ගෙවීම් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා රජය බව පසුගියදා වාර්තා විය. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අතරතුර මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්, හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සිදු කළ ප්‍රකාශයක් සමඟ ය.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සිදු කර පැය කිහිපයකට පසු, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශයන්හි දී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. එහි දැක්වුණේ එවැනි සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරන බව ය.

Gotabaya's Escape route
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ගමන්මඟ – www.facebook.com- BBC සිංහල

මිලියන ගණනක මුදලක්

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ජූලි 09 වැනිදා පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා ජූලි 13 වැනිදා අලුයම  පිටත්ව ගියේ ය. එහි ඔහු නවාතැන්ගෙන තිබුණු සුඛෝපභෝගි නිවාඩු නිකේතනය සඳහා ද මිලියන ගණනක මුදලක් වැය වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ සෞදි අරාබි ගුවන් සේවයට අයත් යානයකින් මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ජූලි 14 වැනිදා පිටත් ව ගියේ ය. සිංගප්පුරුවේ ද ඔහු නවාතැන්ගෙන සිටියේ මිල අධික සුඛෝපභෝගී හෝටලයක බව වාර්තා විණි. ඔහු සිංගප්පුරුවේත් මාසකට ආසන්න කාලයක් ගත කළේ ය. මාධ්‍ය වාර්තා අනුව ඒ සඳහා ද මිලියන ගණනක මුදලක් වැය කර ඇත. 

ඔහු සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා අනතුරු ව අගෝස්තු 11 වැනිදා පිටත් ව ගිය අතර මේවන විට වාසය කරන්නේ තායිලන්තයේ යි. ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක හිමිකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දින 90ක කාලයක් තායිලන්තයේ  රැඳී සිටීමට හැකියාව ඇති බව තායිලන්ත විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

දැනට පනවා ඇති හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොවේ –  sinhala.adaderana.lk

 

හදිසි නීතිය දීර්ඝ නොකිරීමට තීරණයක්

දැනට පනවා ඇති හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නො කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ සඳහන් කළේ ය. හදිසි නීතිය මෙම සතියේ අග අවසන් වීමට නියමිත අතර ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවැත යහපත් අතට හැරීම හේතුවෙන් එය දීර්ඝ නොකරන බව යි.

මහජන ආරක්ෂක පනත යටතේ එවකට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි 18 වැනි දින ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි කිහිපයක් සංශෝධනය කරමින් පසුගිය 12 දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

අන්තරේ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්නැයි ඉල්ලා පැවැති විරෝධතාවක් – www.facebook.com- Inter University Students’ Federation

අන්තරේ විරෝධතාව

“රනිල් – රාජපක්ෂ ජුන්ටාව” පරදමු යන තේමාවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවක් කොළඹ දී අගෝස්තු 18 වැනි දා පැවැත්විණි. ඊට විශ්වවිද්‍යාල සිසුන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. විරෝධතාව අතරතුර ඔවුන්ට පොලිස් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය.

විරෝධතාව අතරතුර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 12 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනිණි. නිරායුධ විරෝධතාකරුවන්ට පහරදීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් සිය විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබිණි.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පා ගමනක

යුද සමයේ සිදු වූ අතුරුදන්වීම්වලට සාධාරණය ඉල්ලා 2017 වසරේ සිට පැවැත්වෙන විරෝධතාවලට දින දෙදහසක් (2,000ක්) සම්පූර්ණ වීම නිමිත්තෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ මා-පියන් හා ඥාතීහු කිලිනොච්චි නගරයේ දී අගෝස්තු 14 වැනි දා විරෝධතා පා ගමනක නිරත වූහ. ඔවුන් කිලිනොච්චියේ කන්දසාමි කෝවිල ඉදිරිපසින් විරෝධතා පාගමන ආරම්භ කළේ අතුරුදහන් වූ තම ඥාතීන් ගැන නිසි තොරතුරක් හෝ ඔවුන්ට සිදුවූ දේ පවසන ලෙස ආණ්ඩුවේ බලධාරින්ට බල කරමිනි.

කිලිනොච්චි නගරයට එක්රැස් වූ ඔවුහු යුද සමයේ සිදු වූ අතුරුදන් වීම් සම්බන්ධයෙන් යම් යම් චෝදනා එල්ල වී ඇති, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස බල කළහ. ඔවුන් සිය ඉල්ලීම් පිළිබඳ ව ලිපියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ද යොමු කර ඇත.

අතුරුදහන් වූ පුද්ගලයන්ගේ මා-පියන් හා ඥාතීන්ගේ විරෝධතා පාගමන – www.hindustanitimes.com

ඉවත් කළ ඩයස්පෝරා තහනම

තහනම් ද්‍රවිඩ සංවිධාන 6ක් හා පුද්ගලයන් 316ක තහනම පසුගිය අගෝස්තු 1 වන දා ඉවත් කළ බව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය ගැසට් නිවේදනයකින් අගෝස්තු 14 වැනිදා පැවසුවේ ය. එම ගැසට් නිවේදනය මඟින් ම තවත් පුද්ගලයන් 55ක් සහ ඉස්ලාමීය සංවිධාන 03ක් තහනම් සංවිධාන ලැයිස්තුවට අලුතින් ඇතුළත් කිරීමට ද ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබිණි. ඒ, 2016 නොවැම්බර් 09 වැනිදා දාතමින් යුතු 1992/25 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමිනි.

තහනම පසුගිය අගෝස්තු 1 වන දා ඉවත් කළ සංවිධාන අතර ගෝලීය ද්‍රවිඩ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය, ඕස්ට්‍රේලියානු ද්‍රවිඩ කොංග්‍රසය, ද්‍රවිඩ ඊලාම් මහජන සම්මේලනය, ද්‍රවිඩ තරුණ සංවිධානය සහ ලෝක ද්‍රවිඩ සම්බන්ධිකරණ කමිටුව විය. ත්‍රස්තවාදී සංවිධානවලට අරමුදල් සපයා ඇතැයි චෝදනා කරමින් ආරක්ෂක අමාත්‍යංශය, 2021 දී මෙම සංවිධාන සහ පුද්ගලයන් අවලේඛනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි. මෙම තහනම ඉවත් කිරීම මගින් දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ව්‍යාපාරිකයන් මෙරට ආයෝජනය කිරීමට ඉදිරිපත් වනු ඇති බව රජයේ විශ්වාසය යි. රට තුළ ඩයස්පෝරා කර්යයාලයක් පිහිටුවීම සඳහා අවසර ලබා දීමට නියමිත බව පසුගියදා වාර්තා විය.

ශ්‍රී ලංකාවට ඩයස්පෝරාවේ සහාය ලබා ගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමු ව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022, සම්මාන උළෙල අමතමින් පවසා තිබිණි.

රන්ජන් රාමනායක – www.dailynews.lk

සමාවක් ලැබීම සඳහා වන ලේඛනවලට රන්ජන් අත්සන් තබයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර හතරක බරපතල සිර දඬුවමකට යටත් ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක, ජනාධිපති සමාවක් ලැබීම සඳහා වන ලිපිගොනුවලට අත්සන් තබා ඇති බව පසුගිය සතියේ වාර්තා විය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහු අත්සන් කළ ලිපිගොනු අධිකරණ, බන්ධනාගාර, සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත යොමු කර ඇති බව යි. ඉදිරි දින කිහිපය තුළ ඔහුට ජනාධිපති සමාවක් හිමි වීමට ඉඩ තිබෙන බව වාර්තා වේ.

‘එක රටක් – එක නීතියක්’ වාර්තාව ඉවතට?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතු ‘එක රටක් – එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බළකායේ අවසන් වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි පසුගිය දා වාර්තා විය. මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ ඉතා කඩිනමින් විසඳුම් ලබා දිය යුතු ගැටලු රැසක් රට තුළ උද්ගත වී තිබීම, සහ අදාළ කාර්ය සාධක බළකාය සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම්වලින් එල්ල වූ විරෝධය ආදී කරුණුවල බලපෑම හමුවේ රජය මෙම තීරණය ගෙන ඇති බව යි.

ස්කොට්ලන්ත තරුණියගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකාවේ වීසා කොන්දේසි උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින්, මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය – ස්කොට්ලන්ත ජාතික කේලි ෆ්‍රේසර්ගේ විදේශ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් භාරයට ගැනීමේ සිදුවීමක් පසුගිය දා වාර්තා විය. ඇය මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන බලධාරීන් තීරණය කර තිබූ අතර එම තීරණය අභියෝගයට ලක් කරමින් එම තරුණිය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.

පෙත්සම ගොනු කළ කේලි ෆ්‍රේසර් – www.themorning.lk

පසුගිය 16 දින එම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය සඳහන් කළේ යම්කිසි පුද්ගලයෙකු සඳහා නිකුත් කරන වීසා බලපත්‍රය හේතු දැක්වීමකින් තොරව අවලංගු කිරීමට ආගමන විගමන පාලකවරයාට බලය ඇති බව යි. අගෝස්තු 15 වැනිදායින් ඇයගේ වීසා කාලසීමාව අවලංගු විය. අදාළ පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් පසු ස්කොට්ලන්ත ජාතික තරුණිය සිටින ස්ථානයක් පිළිබඳව තොරතුරු සොයාගත නොහැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. තරුණිය සොයා විශේෂ විමර්ශනයක් ද සිදු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය තරුණියක වන කේලි ෆ්‍රේසර් පිළිබඳ ස්ථාන කිහිපයක ම සොයා බැලු බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක සඳහන් කළා ය. එහෙත් ඇය සොයා ගැනීමට නොහැකි වු බව මාධ්‍ය ප්‍රකාශකවරිය ද පැවසුවා ය. 

‘Yuan Wang 5’ නෞකාව හම්බන්තොට වරායට

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩු දුන් චීනයට අයත් විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන Yuan Wang 5 නෞකාවහම්බන්තොට වරායට  අගෝස්තු 16 වැනි දා ළඟා විය. එම නෞකාව පිළිගැනීම සඳහා හම්බන්තොට වරායේ සංවිධානය කර තිබූ උත්සවයකට ශ්‍රී ලංකාවේ චීන තානාපති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් විරවංශ, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, සරත් වීරසේකර ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Yuang Wang 5 නෞකාව – www.adaderana.lk

හම්බන්තොට වරායට පැමිණි චීන අධි තාක්ෂණික නෞකාව බැලීමට ගිය හිටපු අමාත්‍ය සරත් වීරසේකරට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ ඔහු නෞකාවේ කපිතාන්වරයාට අතට අත දීමට ගිය මොහොතේ දී කපිතාන්වරයා එය ප්‍රතික්ෂේප කිරීමත් වීරසේකරට නැවට ගොඩවීමට ඉඩ ලබා නොදීමත් සම්බන්ධයෙනි.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට ළඟා වීම සම්බන්ධයෙන් ඉන්දියාව දැක්වූ විරෝධය හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ එය විශාල වශයෙන් කතාබහට ලක් විය. එම විරෝධතා හමුවේ මීට පෙර අවස්ථාවක ‘Yuan Wang 5’ නෞකාවට හම්බන්තොට වරායට ළඟා වීම සඳහා ලබා දී තිබූ නිෂ්කාශනය පවා අවලංගු කිරීමට ද ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබිණි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර විමර්ශන විධිමත් කරන්නැයි ඉල්ලීමක්

ගාලුමුවදොර ජනතා අරගලය අවසන් වුවත් පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ඇරඹූ අරගලය කිසිසේත් ම අවසන් නොවන බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් පසුගියදා පැවති දේව මෙහෙයක් අතරතුර සඳහන් කළේ ය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2019 දී අග්‍රාමාත්‍ය ධුරය දරන කාලයේ පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පවා එම ප්‍රහාරය පසුපස යම්කිසි දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වූ බව හැඟවෙන කරුණු මතු කර ඇති බව ඔහු සඳහන් කළේ ය. එබැවින් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ හුදු වචනවලට සීමා නොවී මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන විධිමත් ආකාරයෙන් ඉදිරියට ගෙන යන ලෙස යි.  

රජයට උපදෙස් දෙන්න විද්වතුන් 2,500ක්?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක වීම සඳහා බලපෑ ප්‍රධාන හේතුව ඔහු විද්වත් අදහස්වලට ඇහුම්කන් නොදීම බව මෙරට ප්‍රමුඛ පෙලේ සිවිල් සංවිධානයක් වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පෙන්වා දී ඇත. එහි සභාපති, හිටපු කතානායක කරූ ජයසූරිය පසුගිය දිනෙක සඳහන් කළේ එවැනි තත්ත්වයක් ඇති නොවීමට නම් වර්තමාන ජනාධිපතිවරයා සහ රජය විද්වත් අදහස්වලට ඇහුම්කන් දෙමින් කටයුතු කළ යුතු බව ය.

ඒ ආකාරයෙන් විද්වත් අදහස් ලබාගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් රජයට උපදෙස් දීම සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් 2,500කට වැඩි පිරිසක් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කළේ ය.

හිටපු කතානායකකරූ ජයසූරිය – www.dailymirror.lk

සතියේ දින පහ ම පාසල් යළි විවෘතයි

රට තුළ පවතින ඉන්ධන හිඟය හමුවේ බොහෝ ගුරුවරුන්ට සහ සිසුන්ට ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට අපහසු වීම හේතුවෙන් ප්‍රථමයෙන් ම කොළඹ සහ තදාසන්න නගරවල පිහිටි පාසලුත්, ඉන් අනතුරුව අනිකුත් පාසලුත් සතියේ දින පහේ ම නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා තීරණය කර තිබිණි. මේ වන විට තරමක් ප්‍රමාණවත් ආකාරයට ඉන්ධන ලැබෙන බැවින් ප්‍රවාහන සේවා අඩුවකින් තොරව ක්‍රියාත්මක වේ. එම කරුණු සැලකිල්ලට ගනිමින් අගෝස්තු 15 වැනි දින සිට සියලු රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල් සාමාන්‍ය පරිදි සතියේ දින පහේ ම පැවැත්වීමට තීරණය විය.

රැට්ටාගේ ගිණුමට බැර වූ ලක්ෂ 50

කොළඹ ගාලුමුවදොර පිටියේ ක්‍රියාත්මක වූ මහජන අරගල භූමියේ ඉදිරිපෙළ සාමාජිකයෙක් වූ රතිඳු සේනාරත්න නොහොත් ‘රැට්ටා’ට අයත් බැංකු ගිණුමකට පසුගිය සතියේ රුපියල් මිලියන පහක මුදලක් බැර වී තිබුණු බව වාර්තා විය. එම සිදුවීම සම්බන්ධයෙන් රැට්ටා එදින ම ජා-ඇළ පොලිසියට පැමිණිල්ලක් ගොනු  කළේ ය. ඔහු සඳහන් කළේ මහජන අරගලයට සම්බන්ධ වූ තමන් මුදල් විශුද්ධිකරණය වැනි වරදකට හසු කරගැනීමේ අරමුණින් යම්කිසි පාර්ශවයක් අදාළ මුදල් බැර කර ඇති බව යි. එම පැමිණිල්ල අනුව විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාශය අදාළ මුදල බැර කළ සැකකරු හඳුනා ගෙන ඇති බව ද වාර්තා විය.

රැට්ටා (ඉදිරියෙන්ම) – www.dailymirror.lk

පාරිභෝගික සේවා අධිකාරියෙන් රට පුරා වැටලීම්

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා රට පුරා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පසුගිය දා කටයුතු කළේ ය. පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ එවැනි ස්ථාන 5,964ක් වටලා ඇති අතර ඒවාට නඩු 5,722ක් ගොනු කර ඇති බව යි.

එම නඩු විභාග අතරතුර නියම කළ දඩ මුදල් මගින් රජයට රුපියල් මිලියන 44ක ආදායමක් ලැබී ඇත. සහල්, බිස්කට්, බේකරි නිෂ්පාදන, සිමෙන්ති, සීනි, කිරිපිටි සහ බිස්කට් වැනි ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා අදාළ වැටලීම් සිදු වේ.

විදුලි වැටක් අසල සිටින අලියෙක් – www.ft.lk

අලි-මිනිස් ගැටුම පවතින සෑම ප්‍රදේශයකටම විදුලි වැටක්

2019 සිට මේ වසරේ අප්‍රේල් දක්වා කාලය තුළ අලි-මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයන් 410ක් සහ වන අලින් 1,157ක් මිය ගොස් ඇති බව පසුගියදා අනාවරණය විය. වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් අතරතුර මෙම කරුණ අනාවරණය විය.

අදාළ නිලධාරීන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ දිස්ත්‍රික්ක 19කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක අලි-මිනිස් ගැටුම පවතින බව යි. එම කරුණු සැලකිල්ලට ගනිමින්, 2023 වසර තුළ අලි-මිනිස් ගැටුම පවතින සියලු ප්‍රදේශවලට විදුලි අලි වැට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කවරයේ ඡායාරූපය- 'රනිල් - රාජපක්ෂ ජුන්ටාව පරදමු' යන තේමාවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවක් කොළඹ දී පැවැත්විණි - Sanka Vidanagama/NurPhoto via Getty Images

මූලාශ්‍ර:

www.dailymirror.lk

www.themorning.lk

www.dailynews.lk

 www.bbc.com/sinhala

 divaina.lk

 sinhala.lankanewsweb.net 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ හා ආරංචි මාර්ග

Related Articles