පසුගිය සතියේ කතාබහට ලක් වූ සිදුවීම් කිහිපයක් ගැන විමසුමක්

තොටළඟ, කජීමාවත්තේ ඇති වූ ගින්න, සමාජ මාධ්‍ය ජාලවල අදහස් පළ කිරීම සීමා කරමින් රාජ්‍ය නිලධාරීන් වෙත නිකුත් කළ චක්‍රලේඛය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක් අධි ආරක්‍ෂිත කලාප ලෙස නම් කිරීම, ආණ්ටඩුවට එරෙහි ව සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතාව, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහභාගීත්වයෙන් පැවැති ‘ජාතික සභාවේ’ පළමු රැස්වීම හා ජනපති රනිල්ගේ ජපන් සහ පිලිපීන සංචාරය ඇතුළු පසුගිය සතියේ කතාබහට ලක් වූ සිදුවීම් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු. 

කජීමාවත්තේ ගින්නෙන් විනාශ වූ නිවාස – www.facebook.com- Nisal Baduge

 

තොටළඟ කජීමාවත්ත නිවාස සංකීර්ණයේ ගින්න

තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ හට ගත් ගින්නකින් එහි වූ නිවාස 80කට හානි සිදු විය. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය, යුද හමුදාව සහ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව  ගින්න මැඬපැවත්වූහ. ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැති නමුත් පවුල් 80ක පුද්ගලයන් 220ක් අවතැන් වී තිබේ. ඔවුන්ට කැලණි නදී විහාරය හා මුවදොර උයන මහල් නිවාස ප්‍රජා ශාලාවේ තාවකාලික නවාතැන් සලසා දී ඇති බව පොලිසිය සඳහන් කළේ ය. ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වහාම අවශ්‍ය සහන සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද උපදෙස් දී තිබේ.

රාජ්‍ය නිලධාරීන්ට එල්ල වූ වාරණය

සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය එහි ලේකම්වරයා මඟින් රාජ්‍ය නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙක් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2015 හි 03 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි විනයානුකූල ව කටයුතු කිරීමට හේතුවන වරදක් බව ය.

සමාජ මාධ්‍ය හරහා අදහස් පළ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන්ට නිකුත් කළ චක්‍රලේඛය – www.adaderanalk

 

මෙම චක්‍රලේඛය රාජ්‍ය නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බැවින් ඊට විරුද්ධ ව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය සේවක වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර තිබිණි. එහි ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ සති දෙකක් ඇතුළත අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමට බලාපොරොත්තු වබ බව යි.

ජනපති නම් කළ අධි ආරක්‍ෂිත කලාප

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කොළඹ දිස්ත්‍රික්කයට අයත් ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පසුගිය දා නිකුත් කළේ ය. පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය,පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස සහ ඉහත ස්ථානවලට ආසන්න ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර ඇත.

අධි ආරක්‍ෂිත කලාප දැක්වෙන සිතියම් කොටසක් –  roar.media/english

 

අධි ආරක්‍ෂිත කලාප නම් කිරීම පිළිබඳ ව ශ්‍රී ලංකා නිතිඥ සංගමය, විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ, සහ සිවිල් සංවිධාන ගණනාවක් සිය විරෝධය පළ කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ තීරණය හරහා ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් කඩ වී ඇති බව යි. මෙම ගැසට් නිවේදනය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ද ඉදිරිපත් වී ඇත. විදේශ සංචාරයක නිරතව  සිටින ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණීමෙන් පසු අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමේ සූදානමක් තිබෙන බව ද වාර්තා විය.

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාව

රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහි ව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් සැප්තැම්බර් 24 දින පැවැත්විණි. එය විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාවට සහභාගී වූ පුද්ගලයන් 83 දෙනෙක් පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් සැප්තැම්බර් 25 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඇප මත නිදහස් විය. විරෝධතාව අතරතුර පුද්ගලයන් 83 දෙනෙක් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් කඩිනම් වාර්තාවක් ද කැඳවා තිබිණි.

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වූ අයුරු – www.facebook.com/ Tharaka Basnayake

 

ජනපතිගේ ජපන් සහ පිලිපීන සංචාරය

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපානය බලා සැප්තැම්බර් 25 වැනි රාත්‍රියේ පිටත් ව ගියේ ය. ඔහු ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ අතර, ජපාන අධිරාජ්‍ය නරුහිතෝ සහ අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද හමු විය.

ජනාධිපතිවරයා ජපාන සංචාරයෙන් අනතුරු ව පිලිපීනය බලා පිටත් ව ගියේ ය. එහි දී ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ වාර්ෂික සභාවාරය ඇමතූ ඔහු පිලිපීන ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡාවක ද නිරත විය.

ජනපති රනිල් සහ ජපාන අගමැති – President’s Media Division

 

බණ්ඩාරනායක ගුණ සමරුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායකගේ 63 වන ගුණ සමරුව වෙනුවෙන් සංවිධානය කළ උත්සව දෙකක් සැප්තැම්බර් 26 වැනි දින පැවැත්විණි. හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල පැවැති ප්‍රධාන උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක ඇතුළු බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන් මෙන් ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තවත් බණ්ඩාරනායක සැමරුමක් පැවැත්විණි. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක් ව සිටිය හ. මිට පෙර අවස්ථාවල ඔවුන් බණ්ඩාරනායක සමාධිය අසල පැවැත්වෙන උත්සවයට සහභාගී වුවත් මෙවර වෙන ම උත්සවයක් සංවිධානය කර තිබීම පිළිබඳ ව කතාබහට ලක් විය.

බණ්ඩාරනායක ගුණ සමරුවට සහභාගී වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක – www.facebook.com- Chandrika Bandaranaike Kumaratunga

 

රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම් පිළිබඳ ව චක්‍රලේඛයක්

රජයේ සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේ දී සහ රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

කෙසේවෙතත්, රජයේ නිලධාරියෙක් පාර්ලිමේන්තුව, අධිකරණය, ජාතික හෝ ජාත්‍යන්තර උත්සව මෙන් ම සම්මන්ත්‍රණවලට සහභාගිවීමේ දී නියම කර ඇති ඇඳුමින් සැරසිය යුතු බව ද අමාත්‍යංශ ලේකම් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ එක ඉලක්කයක් – www.bbc.co.uk

 

පාස්කු නඩුවෙන් ජනපතිගේ නම ඉවතට

2019 අප්‍රේල් 21 වැනි දා, පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙක් ලෙස නම් කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි ව එම නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීරණය කළේ ය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් එම නියෝගය නිකුත් කළේ ය.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල එවකට අග්‍රාමාත්‍ය, වර්තමාන ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙක් ලෙස නම් කර තිබිණි.

හිටපු ජනපති සහ ඔහුගේ බිරිය – www.adaderana.lk

 

හිටපු ජනපති ආර්යාවගෙන් කප්පම් ඉල්ලූ පුද්ගලයා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිය වන අයෝමා රාජපක්ෂට දුරකථනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලූ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සිදු කළ පැමිණිල්ලකට අනුව යි. රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු හිටපු ජනාධිපති බිරියට ඇමතුම් 30 ක් ලබා දී ඇති බව අදාළ පැමිණිල්ලේ සදහන් විය.

ළමයාගේ වයස පිළිබඳ සංශෝධනයක්

ශ්‍රී ලංකාවේ නීතියට අනුව ‘ළමයා’ යන්නෙහි නීතිමය නිර්වචනය වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවීම සඳහා යෝජනා වී තිබේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්, මෙරට ළමා හා තරුණ පුද්ගලයන්ගේ ආඥාපනත සංශෝධනය කිරීම වෙනුවෙන් සංශෝධනයක් යෝජනා කර ඇති බව පසුගිය දා අනාවරණය විය. එම සංශෝධනයෙන් අනතුරු ව මෙතෙක් ශ්‍රී ලංකාවේ දරුවෙක් ලෙස යමෙක් සැලකුණු උපරිම වයස වූ අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ යාමට නියමිත යි.

ශ්‍රී ලංකාව උද්ධමන කලාපයේ බොහෝ රටවල් අභිබවා ගොස් ඇත – www.publicfinance.lk

 

රුපියලට හිමි තැන

අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව දේශීය මුදල් ඒකක අවප්‍රමාණය වීම සැලකීමේ දී ශ්‍රී ලංකා රුපියල ලොව තෙවන ස්ථානයට පත් ව තිබේ. එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ස්ටීව් හැන්කේ නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් විය. එම වාර්තාවට අනුව ගත වූ මාස කිහිපය තුළ රුපියල 47.79%කින් අවප්‍රමාණය වී ඇත. 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 16 දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂ ව දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව පළමු තැනට පත් ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යය යි.

අමාත්‍යවරුන්ගේ විදෙස් සංචාරවලට පැනවූ සීමා

පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය දා හිමි විය. විදේශ සංචාරයක් සඳහා පිටත් ව යාමේ දී අත්‍යවශ්‍ යම නිලධාරියා හෝ නිලධාරී කණ්ඩායමක් පමණක් කැටුව යාමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වගබලා ගත යුතු බව ද එම යෝජනාවේ සඳහන් වේ.

අමෙරිකානු ජනපති සහ මෙරට විදේශ ඇමති අතර හමුව – www.dailymirror.lk

 

බයිඩන් හමු වූ අලි සබ්රි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට අමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පසුගිය දා හමුවිය. සමුළුවට එක් ව සිටින ලෝක නායකයන් වෙනුවෙන් අමෙරිකානු ජනපතිවරයා සංවිධානය කරන සාම්පදායික රාත්‍රි භෝජන සංග්‍රහයට සමගාමී ව මෙම හමුව සිදු ව තිබේ. නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අමතමින් විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සැප්තැම්බර් 24 වැනි දින සිදු කළේ ය.

අත්හිටුවූ ගල්අඟුරු ටෙන්ඩරය

ගල්අඟුරු මිල දී ගැනීම සඳහා පසුගිය අගෝස්තු 25 වැනිදා ප්‍රදානය කළ ටෙන්ඩරය විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කැබිනට් මණ්ඩලය පසුගිය දා අත්හිටුවා තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ තෝරාගත් සැපයුම්කරු අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බව ය. අදාළ සැපයුම්කරු දැනුම් දී ඇත්තේ නීතිමය මැදිහත්වීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ය. ගල්අඟුරු දීර්ඝකාලීන ව ලබා ගැනීම සඳහා ටෙන්ඩර් නැවත කැඳවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

තේ දළු නෙළීම – www.dailyft.lk

තේ අපනයන ආදායම පහළට

ගත වූ මාස අටක කාලය තුළ තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 825 ක ආදායමක් උපයාගෙන ඇති නමුත් පසුගිය වසරට සාපේක්ෂ ව තේ අපනයන ආදායමේ සැලකිය යුතු අඩුවීමක් තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පසුගිය දා සඳහන් කළේ ය. පසුගිය වසරේ පළමු මාස අටක කාලය තුළ තේ අපනයනයෙන් ඩොලර් මිලියන 882 ක් උපයා තිබිණි. පසුගිය වසරට සාපේක්ෂ ව මේ වසරේ තේ අපනයන ආදායම පහළ වැටීමට පොහොර සහ ඉන්ධන හිඟය සහ ප්‍රවාහන දුෂ්කරතා වැනි කරුණු හේතු වී ඇති බව තේ මණ්ඩලය සඳහන් කර තිබිණි.

යළි ඇරඹෙන එරෝෆ්ලොට් ගුවන් ගමන්

මොස්කව් සහ කටුනායක අතර එරෝෆ්ලොට් ගුවන් ගමන් ඔක්තෝබර් 9 වැනි දින සිට යළි ආරම්භ කිරීමට නියමිත බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේ ය. සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රුසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් සිදු කළ ඉල්ලීමක් සලකා බලා මෙම ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

එම ගුවන්යානා මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ අදාළ ආයතන මඟින් ගුවන්යානා ඉන්ධන නොනවත්වා සැපයීමට පියවර ගත යුතු බවට වන කොන්දේසියක් ද ඉදිරිපත් කර ඇත. නඩු කටයුත්තක් හේතුවෙන් එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට මෙරටින් පිටවීම තහනම් කිරීමේ සිදුවීමක් නිසා එම ගුවන් සේවය මෙරට මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබිණි.

එරෝෆ්ලොට් ගුවන් යානයක් සහ කාර්ය මණ්ඩලය – www.aeroflot.ru

ජාතික සභාව

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහභාගීත්වයෙන් පැවැති ‘ජාතික සභාවේ’ පළමු රැස්වීමේ දී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කර තිබේ. ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මෙන් ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතා ඇති කරගැනීමට ය.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ‘ජාතික සභාවේ’ පළමු රැස්වීම ඊයේ (29) දින පැවැත්විණි. ඊට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, සභානායක සුසිල් ප්‍රේමජයන්ත සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් සහභාගී වී සිටියහ.

කවරයේ ඡායාරූපය- තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී හට ගත් ගින්නකින් නිවාස 80කට හානි සිදු විය -www.facebook.com - Nisal Baduge

මූලාශ්‍ර:

www.themorning.lk

www.dailymirror.lk

www.adaderana.lk

President's Media Division Reports

Related Articles

Exit mobile version