Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු සතිය උණුසුම් කළ විශේෂ සිදුවීම් ගැන විපරමක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තිදෙනෙක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත් කිරීම, හිටපු ජනපතිගේ නැවත පැමිණීමේ දින වකවානු පිළිබඳ කතාබහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මහ බැංකු අධිපති සහ ජනපතිවරයා හමු වීම, මර්දනයට එරෙහි ජන පෙළගැස්ම සම්මන්ත්‍රණය, රන්ජන් රාමනායකට ජනාධිපති සමාව සහ ‘වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න’ යැයි ජනපතිවරයා රාජ්‍ය සේවකයන්ට සිදු කළ අනතුරු ඇඟවීම ඇතුළු ව පසුගිය සතියේ රටේ වැඩි වශයෙන් කතාබහට ලක් වූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් “Roar සිංහල” ගෙන එන විමසීමක් මේ.

අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනෙක් රැඳවුම් භාරයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ රජයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අගෝස්තු 18 දින  කොළඹ දී පැවැත්වූ විරෝධතාව අතරතුර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, සහ එහි ක්‍රියාකාරීන් වන ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැනිණී. ඔවුන් තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර ලබා දෙන නියෝගයට ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 22 දින අත්සන් කළේ ය.

රැඳවුම් භාරයට පත් කළ අන්තරේ ක්‍රියාකාරීහු – www.peoplesdispatch.org

ඔවුන් තිදෙනා මේ වන විට තංගල්ල ප්‍රදේශයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තිබෙන අතර, ඔවුන් සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න පොලිසියට උපදෙස් දී තිබිණි. කෙසේ වෙතත් ඔවුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තැබීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතවරිය වැනි විදේශීය පාර්ශව මෙන් ම, ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය, අනිකුත් විපක්ෂ දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ තවත් සිවිල් සහ දේශපාලන කණ්ඩායම් ගණනාවක් සිය අප්‍රසාදය පළ කර ඇත.

හිටපු ජනපතිගේ නැවත පැමිණීම

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය අගෝස්තු 24 වැනි දින මෙරටට පැමිණීමට නියමිත බවට පසුගිය සතියේ වාර්තා විය. කෙසේ වෙතත් ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා නුදුරු දිනක දී මෙරටට පැමිණීමට නියමිත නමුත්, ඒ අගෝස්තු 24 දින නොවන බව යි.

මෙරටට නැවත පැමිණීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා දේශපාලන කටයුතුවල නිරත වන්නේ ද නැද්ද යන්න මේ වන තෙක් තීරණය කර නොමැති බව ඔහු සඳහන් කර තිබිණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – www.aljazeera.com

හිටපු ජනාධිපතිවරයා මේ වන විට රැඳී සිටින තායිලන්තයේ වියදම් අධික බැවින් ඔහු ඉදිරි සතිය ඇතුළත නැවත මෙරටට පැමිණෙනු ඇති බව පසුගියදා වාර්තා විය.  හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මෙරටට නැවත පැමිණ ජීවත් වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව සලසන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කළ ලිපියක් මඟින් නිර්දේශ කර තිබිණි.

IMF නියෝජිතයන් මහ බැංකු අධිපති සහ ජනපති හමුවට

මේ වන විට මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අගෝස්තු 24 දින උදෑසන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදින පස්වරුවේ හමු වී මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කළහ. මෙම සාකච්ඡා අතරතුර අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක විදේශ විනිමය පැකේජයක් ලබා ගැනීම සහ ඩොලර් බිලියන 29ක විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා විය.

ජනපති හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ -www.newscutter.lk

 ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් වන ස්ථාවරය වෙනස් කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ‘නිකී ඒෂියා’ පුවත් සේවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි. චීනය සමඟ ණය සම්බන්ධයෙන් ගනුදෙනුවකට එළැඹීම සරල කාර්යයක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මර්දනයට එරෙහි ජන පෙළගැස්ම

“මරණ වරෙන්තුව සාමාන්‍ය වූ සමාජයක වත්මන් මොහොතේ මර්දනයට එරෙහි ජන පෙළගැස්ම“ යන තේමාවෙන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, සහ දේශපාලන පක්ෂ එක්ව පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයක් පසුගිය දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන්, බ්‍රිතාන්‍ය, කැනඩා, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා ඇතුළු තානාපති කාර්‍යාලවල නියෝජිතයන්, ආගමික නායකයන්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මර්දනයට එරෙහි ජන පෙළගැස්ම – www.facebook.com – Inter University Students Federation

සංශෝධිත අයවැය

2021 දෙසැම්බර් මස සම්මත වූ, එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 වසර සඳහා වන අයවැය වෙනුවට සංශෝධිත අයවැයක් ගෙන ඒම පිළිබඳ ව කතාබහක් ඇති වූයේ මීට මාස කිහිපයකට පෙර ය. ඒ අනුව එම අයවැයට සංශෝධන ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති සංශෝධන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම හෙවත් අයවැය කතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන අගෝස්තු 30 වැනි දින සිදු කිරීමට නියමිත ය. එහි පළමු කියැවීම වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අගෝස්තු 9 වැනි දින ඉදිරිපත් කළේ ය.

‘වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න’  

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ ව පසුගිය සතියේ විශාල කතාබහක් ඇති විය. එම රැස්වීමට සහභාගී වූ පිරිස අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විට අර්බුදකාරී තත්ත්වයක පවතින රට ගොඩගැනීමේ දී රාජ්‍ය සේවකයන්ට විශාල වගකීමක් පැවරෙන බව යි. කිසිවකුට ‘නිකන් කන්නට දීමට’ හැකියාවක් නොමැති බව පැවැසූ ජනාධිපතිවරයා සඳහන් කළේ සිය රාජකාරිය නිසි පරිදි ඉටු කළ නොහැකි රාජ්‍ය සේවකයන් සිටී නම් ඔවුන් ඉල්ලා අස්විය යුතු බව යි.

රාජ්‍ය ආයතනයක් – www.mfa.gov.lk

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය සේවක වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා සංවර්ධන සේවා නිලධාරීන්ගේ එකමුතුව වැනි වෘත්තීය සමිති ගණනාවක විරෝධය එල්ල විය. එම වෘත්තීය සමිතිවල නියෝජිතයන් පෙන්වා දුන්නේ අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන් ගෙදර යැවීමට සූදානම් වන ආකාරයෙන්ම අකාර්යක්ෂම සහ දූෂිත දේශපාලනඥයන් ගෙදර යැවීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව යි. රාජ්‍ය සේවකයන් සෑම විට ම ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුව ඇතුළු දේශපාලන අධිකාරිය සකස් කර ඇති ප්‍රතිපත්තිවලට අනුව බව ද ඔවුහු සඳහන් කළහ.

පළාත් පාලන මැතිවරණ ගැන ඉඟියක්

සැප්තැම්බර් 20 වැනි දිනට පසු ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා සඳහන් කර තිබිණි. 2023 මාර්තු 25 දිනට පෙර පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කරගත යුතු බැවින්, ඊට පෙර පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කර තිබිණි.

රන්ජන් රාමනායක – www.dailynews.lk

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර හතරක බරපතල සිර දඬුවමක් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට “කොන්දේසි සහිතව” ජනාධිපති සමාවක් ලබා දී තිබේ. ඊට අදාළ ලියැවිල්ලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (26) නිවේදනය කළේ ය. එහි සඳහන් වන්නේ මින් ඉදිරියට අධිකරණයට අපහාසයක් සිදු වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන බවට වන කොන්දේසිය මත ඔහුට සමාව ලබා දී ඇති බව යි.

රන්ජන් රාමනායක නිදහස් කිරීමට අදාළ ලියවිල්ල බන්ධනාගාර නිලධාරීන්ට අද (26) පස්වරුවේ ලබා දී තිබේ. අධිකරණ අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා එම ලියවිල්ල බන්ධනාගාර නිලධාරීන්ට භාර දී ඇති බව වාර්තා වේ. එම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද එක්ව ඇත.

ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක – colombogazette.com

 

රාමානායකට සමාවක් ප්‍රදානය කිරීමට අදාළ සියලු ලියකියවිලි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර ඇති බව පසුගිය දා වාර්තා විය. තමන් අධිකරණයට අපහාස වන ආකාරයෙන් සිදු කළ ප්‍රකාශ ඉල්ලා අස්කර ගනිමින් සහ ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව අයදිමින් ඔහු අධිකරණයට දිවුරුම් පෙත්සමක් ද යොමු කර තිබිණි.

දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීම ප්‍රමාදයි

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා අනුප්‍රාප්තිකයකු තෝරාගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී තමන්ට ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් සියලු ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් හමුවේ පොරොන්දු වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් පසුගියදා සඳහන් කළේ ය. එම පොරොන්දුව ලබා දී මාසයකට වැඩි කාලයක් ගත වී තිබුණත් ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ පිහිටුවා ඇති උපදේශන කමිටුවක් ඒ සම්බන්ධයෙන් ලබා දිය යුතු වාර්තාවක් මේ වන තෙක් ලබා දී නොමැත. ඒ හේතුවෙන් අදාළ සිරකරුවන් නිදහස් කිරීම සඳහා ගත යුතු පියවර ගැනීම ප්‍රමාද වන බව පසුගිය දා වාර්තා විය.

ජනපති රනිල් වික්‍රමසිංහ සහ සී.වී. විග්නේෂ්වරන් – www.hirunews.lk

 කරළියට යළි පැමිණි චීන කාබනික පොහොර ගනුදෙනුව

ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් චීන පොහොර නැව පිළිබඳ ව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා අදහස් පළ කළේ ය. ඔහු සදහන් කළේ චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදලින් ශ්‍රී ලංකාවට පාඩුවක් සිදු වූ බව ය. මේ වන විට එම මුදලත්, පොහොරත් දෙක ම ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පැවසු ඔහු සඳහන් කළේ අදාළ මුදල ගෙවීම හරහා ශ්‍රී ලංකාවට පාඩුවක් සිදු වූ බව පිළිගත යුතු බව යි. ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබූ සුහදත්වය යම්තාක් දුරකට පළුදු වීමට ද මෙම පොහොර නැවේ ප්‍රශ්නය බලපෑ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ගාලුමුවදොරට සිදු වූ හානිය ගණනය කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලුමුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමිය හේතුවෙන් ගාලුමුවදොර පිටියට රුපියල් මිලියන 4.9ක අලාභයක් සිදු වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පසුගියදා සඳහන් කර තිබිණි. මේ සම්බන්ධයෙන් සිදු කළ තක්සේරුවකට අනුව එම ප්‍රදේශය ඊට පෙර තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා වන මූලික වැඩකටයුතු සඳහා රුපියල් 150,000කුත්, එහි තෘණ රෝපණය කිරීම සඳහා රුපියල් මිලියන 4.75කුත් වැය වන බව වාර්තා විය.

ගාලුමුවදොර විරෝධතා භූමිය – M.A.Pushpa Kumara/Anadolu Agency via Getty Images

බොරතෙල් මිල දී ගැනීමේ දී මූල්‍ය වංචා සිදු වූ බවට චෝදනා

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් මිල දී ගැනීමේ දී මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව සමගි ජන බලවේගය පසුගිය දා චෝදනා කළා. එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක චෝදනා කළේ බොරතෙල් බැරලයක් ඩොලර් 100ක් වැනි මුදලක් ගෙවා මිල දී ගැනීමට හැකියාව තිබිය දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘කොරල් එනර්ජි’ නම් සමාගමෙන් බොරතෙල් බැරලයක් ඩොලර් 150ක මුදලක් ගෙවා මිල දී ගෙන ඇති බව යි. (අදාළ සමගම සහ රාජපක්ෂ පවුල අතර සම්බන්ධතාවක් තිබෙන බව ද පසුගිය කාලයේ වාර්තා විය.)

බිත්තර ගැටලුව

බිත්තර නිෂ්පාදකයන් සහ වෙළෙඳ ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡවකට අනුව අගෝස්තු 25 වැනි දා සිට බිත්තරයක් රුපියල් 50කට අලෙවි කිරීමට තීරණය වී ඇත. ඒ අනුව සුදු සහ දුඹුරු බිත්තර දෙවර්ගය ම එම මිලට අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ ය. කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල කියා සිටියේ බිත්තර නිෂ්පාදකයන් සහ වෙළෙඳ ඇමැතිවරයා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් තමා දැනුම්වත් නොමැති බව යි.

එබැවින් පාලන මිලෙන් තොරව වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කර තිබිණි. (සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 19 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.)

බිත්තරවලට පාලන මිලක් පැනවූ ගැසට් නිවේදනය – www.document.gov.lk

සමරිසි ප්‍රජාවේ අයිතිවාසිකම් ගැන පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අගෝස්තු 24 වැනි දා භාර දුන්නේ ය. ශ්‍රී ලංකාව තුළ LGBTQ + (සමරිසි) ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් එය ඉදිරිපත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් නිවේදනය කළා.

තවමත් හෝඩුවාවක් නැති ස්කොට්ලන්ත ජාතික තරුණිය

ශ්‍රී ලංකාවේ වීසා කොන්දේසි උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින්, මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය – ස්කොට්ලන්ත ජාතික කේලි ෆ්‍රේසර්ගේ විදේශ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් භාරයට ගැනීමේ සිදුවීමක් පසුගිය දා වාර්තා විය. ඉන් අනතුරු ව ඇය මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන බලධාරීන් තීරණය කර තිබූ අතර, ඒ තීරණය අභියෝගයට ලක් කරමින් ඇය අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් පසුගිය දා ප්‍රතික්ෂේප විය. එම පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් අනතුරු ව අදාළ තරුණිය සිටින ස්ථානයක් පිළිබඳ ව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව තවදුරටත් ඇය සොයා පරීක්ෂණ සිදු කරයි.

අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන අයුරු – www.dailymirror.lk

අහඹු කොවිඩ්-19 පරීක්ෂණ සිදු නොකිරීමට තීරණයක්

පසුගිය මාස කිහිපයට සාපේක්ෂ ව මේ වන විට වාර්තා වන දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩි වීමක් තිබෙන නමුත් සමාජය තුළ සිදු කරන අහඹු පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මේ වන විට සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබිණි. රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් උද්ගත වී ඇති ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයුම් හිඟය හමුවේ පවතින සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කිරීම ඉතා වැදගත් බැවින් මෙම තීරණය ගත් බව අමාත්‍යංශය සඳහන් කර තිබිණි. රෝහල්වලට පැමිණෙන කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් අනිවාර්යයෙන් ම පරීක්ෂණවලට භාජනය කෙරේ. 

කතෝලික සභාව පාස්කු ප්‍රහාර විමර්ශන ගැන සාකච්ඡා කරන්න සූදානමින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් කතෝලික සභාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට සූදානම් බව කතෝලික සභාව පසුගියදා සඳහන් කළේ ය. එහි නියෝජිතයෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා එවැනි සාකච්ඡාවක් බලාපොරොත්තු වන්නේ නම් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ සඳහා සහභාගී වීමට විශේෂ කණ්ඩායමක් පත් කරනු ඇති බව යි.

කවරයේ ඡායාරූපය- මර්දනයට එරෙහි ජන පෙළගැස්ම සම්මන්ත්‍රණයකොළඹ පදනම් ආයතනයේ දී  පසුගියදා පැවැත්විණි - www.facebook.com- Sajith Premadasa

මූලාශ්‍ර:

www.dailymirror.lk

www.themorning.lk

www.adaderana.lk

ජනාධිපති ලේකම් කාර්යාල මාධ්‍ය නිවේදන

Related Articles