Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු සතියේ කතාබහට ලක් වූ සිදුවීම් කිහිපයක් පිළිබඳ විමසුමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙවන එළිසබෙත් මහ රැජනගේ අවමංගල්‍යයට සහභාගී වීම, මෙරට ආහාර උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම, තවමත් අවසන් නැති ඖෂධ හිඟය, ගල් අඟුරු තොග ඇණවුම් නොකිරීම හේතුවෙන් ගල් අඟුරු බලාගාර අක්‍රිය වීමේ අවදානමක් උද්ගත වීම සහ ඒ හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමේ කාලය දිගු කිරීම සම්බන්ධ අනතුරු ඇඟවීම, ගැටලු කිහිපයක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීම වැනි පසුගිය සතියේ කතාබහට ලක් වූ සිදුවීම් කිහිපයක් ගැනයි මේ ලිපිය. 

රැජනගේ අවමංගල්‍යයට සහභාගී වූ ජනපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 19 වැනිදා පැවැති බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජනගේ අවමංගල්‍යයට සහභාගී විය. සැප්තැම්බර් 17 වැනි දින අලුයම ඔහු සිය බිරිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ මෙරටින් පිටත් ව ගිය අතර, එය ඔහු ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු සිදු කළ පළමු විදෙස් නිල සංචාරය ද වේ. වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී රැජනගේ දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිය 19 දින පැවති අවමංගල්‍යයට ද සහභාගී වූහ.

එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වූ ජනපති – www.ft.lk

 

එදින පස්වරුවේ ඔහු තෙවැනි චාල්ස් රජු ලෝක නායකයන් වෙනුවෙන් පැවැත්වූ භෝජන සංග්‍රහයකට ද සහභාගී වී තිබිණි. ඒ අතරතුර ඔහු චාල්ස් රජු සමඟ සුහද කතාබහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. ඊට අමතර ව ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් සහ එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමු වී මෙරට වර්තමාන තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කළේ ය.

දිනෙන් දින ඉහළ යන මෙරට ආහාර උද්ධමනය

2021 සැප්තැම්බර් සිට 2022 අගෝස්තු දක්වා කාලය තුළ රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව නවත ම වාර්තාවක් එළිදක්වා තිබේ. එම වාර්තාවට අනුව ලොව ඉහළ ම ආහාර උද්ධමනය සහිත රටවල් 10 අතර ශ්‍රී ලංකාව පසුවන්නේ සිවු වන ස්ථානයේ ය. මෙරට ආහාර උද්ධමනය 91%ක් බව එහි දැක්වේ.

මෙරට ආහාර උද්ධමනය ඉහළ ගොස් ඇති අයුරු – www.tradingeconomics.com

 

මෙරට ආහාර උද්ධමනය 2021 වසරේ සැප්තැම්බර් මස 9.9%ක වැනි අගයක පැවති අතර වසරකට ආසන්න කාලයක් තුළ එය දස ගුණයකින් ඉහළ ගොස් තිබේ. ලොව වැඩි ම ආහාර උද්ධමනය සහිත රට සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එම අගය 353%කි. ලෙබනනය හා වෙනිසියුලාව පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවේ. තුර්කිය, ඉරානය, ආර්ජන්ටිනාව, ඉතියෝපියාව සහ රුවන්ඩාව එම ලැයිස්තුවේ මුල් ස්ථාන අතරට ඇතුළත් සෙසු රටවල් වේ.

ඖෂධ හිඟය

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 383කින් 91ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා සඳහන් කළේ ය. එම ඖෂධ වෙනුවට භාවිත කළ හැකි ආදේශක ඖෂධ තිබෙන නමුත් ඒවා භාවිත කිරීම සුදුසු ම විසඳුම නොවන බව ද ඔහු සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙරට භාවිතයට ගැනෙන ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 14 ම මේ වන විට රට තුළ තිබෙන නමුත් එම ඖෂධ තොග මාස තුනක් හෝ හයක් වැනි කාලයක් සඳහා ප්‍රමාණවත් නොවන බව යි.

ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලා පැවති විරෝධතාවක් – www.asia.nikkei.com

 

මේ වන විට පවතින ඖෂධ හිඟය අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු අනිකුත් අදාළ ආයතන එක්ව මෙරටට ඖෂධ ආනයනය කිරීමේ සහ ආනයනය කරන ඖෂධ තොග නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා සඳහන් කර තිබිණි.

ගල් අඟුරු හිඟය

ඊයේ (22) හෝ අද (23) දින තුළ ගල් අඟුරු තොගයක් සඳහා ඇණවුමක් ඉදිරිපත් නොකළහොත් ඔක්තෝබර් 28 සිට යළිත් දිනකට පැය 08 සිට 10 දක්වා කාලයක විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ සඳහන් කළේ ය. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ මේ වන විට රට තුළ පවතින ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් 28 දක්වා පමණක් බව යි. එදින සිට ගල් අඟුරු නැති වුවහොත් විදුලි බලාගාර තුනක් ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත්, ඒ හරහා මෙගාවොට් 820ක් ජාතික විදුලි ධාරිතාවට අහිමි වන බවත් ඔහු සඳහන් කළේ ය.

විදුලි කප්පාදුව දීර්ඝ වීමේ අවදානමක් ඇත – www.independent.co.uk

 

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටලු

දුම්රිය නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් සහ ලිහිසි තෙල් ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා මේ වන විට දෛනික ව ධාවනය වන දුම්රිය ගමන්වාර 14 ක් පමණ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු ව ඇත. දුම්රිය හා මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා මේ දිනවල වාර්තා වන දුම්රිය පීලි පැනීම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පසුගිය දා චෝදනා කළේ ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ උග්‍ර සේවක හිඟයක් පවතින බැවින් ඉදිරියේ දී දුම්රිය වාර ගණනාවක් අවලංගු කිරීමට සිදු වනු ඇති බවත් පසුගිය දා වාර්තා විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටිය යුතු සේවක සංඛ්‍යාව 19,382ක් වුවත්, මේ වන විට එහි සිටින සේවක සංඛ්‍යාව 10,500ක් පමණක් බව වාර්තා වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය – www.visitsrilanka.com

 

ජාතික සභාවට අනුමැතිය

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරිමට යෝජිත ‘ජාතික සභාව’ නමින් හැඳින්වෙන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාවටපාර්ලිමේන්තුවේ අනුමැතිය  පසුගියදා හිමි විය. කථානායකවරයා සභාපතිත්වය දරන එම සභාවට අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 35කට නොවැඩි සංඛ්‍යාවක් ඇතුළත් වනු ඇත. ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් ව විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම ඊට විරෝධය පළ කළහ.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කෙරේ

පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වූ පසුගිය 20 වැනිදා සිට අද (23) දක්වා කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරු පාර්ලිමේන්තුවේ අනිවාර්‌යයෙන් ම රැඳී සිටිය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය දැනුම් දී ඇත. වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න, ස්ථාවර නියෝග යටතේ යොමු කරන ප්‍රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ අසන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරු සභා ගර්භයේ නොසිටීම පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබේ. ඉදිරිපත් වන ප්‍රශ්න සඳහා ප්‍රශස්ත මට්ටමෙන් මැදිහත් වීම සහ විවාදවල දී සක්‍රිය දායකත්වය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පසුගිය දා සඳහන් කළේ ය.

පාර්ලිමේන්තු සභා ගර්භය – www. groundviews.org

 

ආනයනික සහල් ගැන අනාවරණය වූ දේ

පිටරටින් ගෙන්වන සහල්වල පිළිකා කාරක සේම අඩු දරු උපත් ඇති කරන විෂ රසායනික අඩංගු බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කළ පර්‌යේෂණයක දී අනාවරණය වී තිබේ. එම කාර්යාලය සඳහන් කරන පරිදි මෙරට පරිභෝජනය කරන සහල්වල අඩංගු විය යුතු ආසනික් ප්‍රමාණය 0.2% ක්ද, ඊයම් 0.2% ක්ද, මර්කරි (රසදිය) 0.1% ක්ද, සෙලනියම් 0.3% ක්ද වේ. මෙම සියල්ල බැර ලෝහ සේ ම පිළිකාකාරක වේ. කෙසේ වෙතත් දේශීය වෙළෙඳපොලේ තිබෙන ආනයනික සහල් සාම්පල ලබා ගෙන සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඒවායේ අදාළ බැරලෝහ ඉහත අගයන්ට වැඩි ප්‍රමාණයක් අඩංගු වන බව යි.

මෙරටට ආනයනය කරන සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇද්දැයි පරීක්ෂා කිරීමට ‍සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහි පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන සඳහන් කළේ, මීට පෙර එම ආහාර ද්‍රව්‍යවල තෝරාගත් නියැදි පමණක් පරීක්ෂා කළ බව යි. පරීක්ෂණවල දී මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වූ සහල් කන්ටේනර් 15 ක් පසුගිය කාලයේ දී ප්‍රතිනැව්ගත කළ බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා  ප්‍රකාශ කළේ ය.

ත්‍රිපෝෂ පිළිබඳ කතාබහ

සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලවලට පසුගිය කාලය තුළ යවා ඇති ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් නම් රසායනිකය අධික ලෙස අන්තර්ගත වන බව පාර්ශව කිහිපයක් පසුගිය දා චෝදනා කළහ. වයස අවුරුදු එකට අඩු දරුවන්ගේ ආහාරවල මෙම රසායන අඩංගු විය හැක්කේ කොටස් දස ලක්ෂයට කොටස් එකක්, වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ ආහාරවල කොටස් දස ලක්ෂයට කොටස් පහක් සහ මව්වරුන්ගේ ආහාරවල කොටස් දස ලක්ෂයට කොටස් 30ක් වන නමුත් මේ වන විට බෙදාහැර ඇති ත්‍රිපෝෂ තොගයේ එම රසායනිකය එම ප්‍රමාණය ඉක්මවා අඩංගු වන බව වාර්තා වේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඇෆ්ලටොක්සින් වැඩි වශයෙන් අඩංගු ත්‍රිපෝෂ බෙදාහැර ඇති බව වාර්තා විය/ www.newscutter.lk

 

ඉදිකිරීම් ක්ෂේත්‍රය අවදානමක

අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වන විට ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් 95% ක් ඇණහිට ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ඉකුත් දා සඳහන් කළේය. එහි නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරටට භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති සිමා ද මේ තත්ත්වයට හේතු වී ඇති බව යි. මේ ආකාරයෙන් ඉදිකිරීම් ව්‍යාපෘති ඇණහිටීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත සෘජු සහ වක්‍ර රැකියාවල යෙදෙන බොහෝ පිරිසකට සිය ආදායම් මාර්ග අහිමි වී ඇති බව ද ජාතික ඉදිකිරීම් සංගමය පෙන්වා දී ඇත.

රුසියානු හමුදා භාරයෙන් නිදහස් වූ  ශ්‍රී ලාංකිකයෝ

යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙක්  මුදා ගත් බව යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මීර් සෙලෙන්ස්කි පසුගිය දා එරට මාධ්‍ය වෙත පවසා තිබිණි. රුසියානු හමුදා අදාළ ප්‍රදේශය අත්පත් කර ගත් පසුගිය මාර්තු මාසයේ සිට එම පිරිස රඳවා ගෙන සිට ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

පසුව වාර්තා වූයේ අදාළ පිරිස රැකියා සොයා ගැනීමට හෝ ඉගෙනීමට යුක්රේනයට පැමිණි පිරිසක් බව යි. එම පිරිසට රුසියානු හමුදා විවිධ වධහිංසා පමුණුවා තිබූ බව ද වාර්තා විය. මුදා ගැනීමෙන් පසු අදාළ පිරිස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට යුක්‍රේන බලධාරීන් කටයුතු කර තිබිණි.

රුසියානු හමුදා ග්‍රහණයට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස – www.roar.media

 

පාර්ලිමේන්තුව නැරඹීමට තිබූ සීමා ඉවතට

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව නැරඹීම සම්බන්ධයෙන් මහජනතාවට පනවා තිබූ සීමා සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කර තිබේ. එදින සිට රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 09.30 සිට පස්වරු 03.00 දක්වා පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ජනතාවට අවසර ලැබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබු සීමා ලිහිල් කිරීමේ අවශ්‍යතාව පසුගිය දා පක්ෂ නායක රැස්වීමේ දී අවධානයට ලක් වී තිබිණි. පාර්ලිමේන්තුව නැරඹීමට බලාපොරොත්තු වන අයට www.parliament.lk යන වෙබ් අඩවිය හරහා ඒ සඳහා ඉල්ලුම් කළ හැකි අතර, 0112 777 473 අංකයට ෆැක්ස් පණිවිඩයක් යොමු කිරීමෙන් ද අදාළ අවසරය ලබා ගත හැක.

කොවිඩ් එන්නත් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක්

කොවිඩ්-19 මර්දන එන්නත් ලබා දීම සඳහා සති අන්තයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත. හෙට (24), ඔක්තෝබර් 01 වැනිදා සහ ඔක්තෝබර් 04 වැනිදා රට පුරා පිහිටි සියලු ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා රෝහල්වල දී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇත. මෙහිදී වයස අවුරුදු 20 සහ ඊට වැඩි, පළමු, දෙවැනි සහ තෙවැනි එන්නත් මාත්‍රා ලබා ගෙන ඇති පුද්ගලයන්ට සිවු වැනි එන්නත් මාත්‍රාව ලබා දෙනු ඇත. ඊට අමතර ව, වයස අවුරුදු 12 සිට 19 අතර ළමයින් සඳහා පළමු හා දෙවන මාත්‍රාවත් ලබා ගෙන ඇති බවට තහවුරු කිරීමෙන් අනතුරු ව තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදෙනු ඇත.

කොවිඩ්-19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් – www.apnews.com

පොහොර මිල පහළට

ආනයනික යූරියා සහ තේ පොහොර සහ තවත් පොහොර වර්ග කිහිපයක මිල පහත දැමීමට පොහොර ආනයනය කරන සමාගම් තීරණය කර තිබේ. කිලෝග්‍රෑම් පනහේ යූරියා පොහොර මිටියක් රුපියල් 10,000කින් සහ තේ පොහොර මිටියක් රුපියල් 10,000කින් පහත දමන බව එම සමාගම් පසුගියදා සඳහන් කර තිබිණි. ලෝක වෙළඳපොළේ පොහොර මිල පහත යෑම මේ ආකාරයෙන් මිල අඩු කිරීමට හේතු වී ඇත. 2021 දී එවකට පැවති රජය පැනවූ රසායනික පොහොර තහනම සහ රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පොහොර සහ අනිකුත් කෘෂි රසායනවල මිල පසුගිය කාලය තුළ විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙතෙක් පක්ෂයේ දෑරු සියලු තනතුරුවලින් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා නිවේදනය කළේ ය. එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහි ව යමින් කටයුතු කර ඇති බව ද පක්ෂය සඳහන් කළේ ය. ඒ අනුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර පසුගියදා  භාර ගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් දෑරු සියලු තනතුරුවලින් ඉවත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය – www.slfp.lk

කවරයේ ඡායාරූපය- ජනාධිපති රනිල් වික්‍රමසිංහ, තෙවැනි චාල්ස් රජු ලෝක නායකයන් වෙනුවෙන් පැවැත්වූ සාදයකට සහභාගී වී තිබිණි - President's Media Division

මූලාශ්‍ර:

www.dailymirror.lk

www.themorning.lk

www.bbc.co.uk

President's Media Division

Related Articles