Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පසුගිය සතිය උණුසුම් කළ විශේෂ සිදුවීම් ගැන විමසුමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ප්‍රදානයක් සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීම, සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාව වැනි සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ ඉහළ ජනතා අවධානයක් යොමු විය.

මේ ඒවා ද ඇතුළු තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් පිළිබඳව Roar සිංහල කළ සොයා බැලීමක්.

IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක්?

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව එම අරමුදල ඊයේ (01) නිවේදනය කළේ ය. ශ්‍රී ලංකා මහබැංකුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ව සිටින එම අරමුදලේ නියෝජිතයන් සඳහන් කළේ මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් ශ්‍රී ලංකාවට සැපයීමට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව යි.

විදේශ විනිමය අර්බුදවලින් පෙළෙන රටවල විනිමය සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා නිශ්චිත කාල සීමාවක් තුළ කොටස් වශයෙන් ලබා දෙන අරමුදලක් විස්තීර්ණ පහසුකමක් යනුවෙන් හැඳින්වේ. එම අරමුදල එකවර ලබා දීමක් සිදු නොවේ. එය ලබා ගැනීම සඳහා ප්‍රතිලාභී රට අදාළ කොන්දේසි සපුරන්නේ ද යන්න අවධානයෙන් පසු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ නම් පමණක් අරමුදල අඛණ්ඩව ලබා දේ.

කොන්දේසි අනුව කටයුතු කිරීමට ප්‍රතිලාභියා අසමත් වන්නේ නම් එය අතරමඟ නවතා දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම පහසුකම යටතේ මාස 48ක්, එනම් වසර 4ක් ඇතුළත ඩොලර් බිලියන 2.9ක් ලැබෙනු ඇත. 

ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම/ www.dailynews.lk

කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු බවත්, එහි අනුමැතිය සඳහා මෙම යෝජනාව යොමු කිරීමට නම් ශ්‍රී ලංකාව කොන්දේසි කිහිපයක් සැපිරිය යුතු බවත් ඔවුහු සඳහන් කළහ. 2023 වසර සඳහා වන අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආකාරයේ ආර්ථික ප්‍රතිසංස්කරණ අන්තර්ගත කරමින් සැකසීම, සහ ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම එම කොන්දේසි අතර වේ.

අතුරු අයවැය පාර්ලිමේන්තුවට

මේ වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඉහළ නැංවීමේ අතුරු අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට අගෝස්තු 30 වැනි දින ඉදිරිපත්  කළේ ය.

වැට් බද්ද ඉහළ දැමීම ඇතුළු බදු ප්‍රතිසංස්කරණ, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අඩු කිරීම, වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම, රජයේ ආයතනවලට ඉන්ධනවලින් ධාවනය වන වාහන මිල දී ගැනීම අත්හිටුවීම සහ ඒ වෙනුවට විදුලි බලයෙන් දුවන වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම, තෝරා ගත් ප්‍රාදේශීය සභා කිහිපයක් මහ නගර සභා සමග ඒකාබද්ධ කිරීම, සහ ගැබිණි මව්වරුන් ඇතුළු පවතින ආර්ථික අර්බුදය හමුවේ අවදානම් සහගත තත්ත්වයට පත් ව සිටින පුද්ගලයන්ට සහන සැලසීම ඇතුළු කරුණු රැසක් අතුරු අයවැයේ අන්තර්ගත විය.

සංශෝධිත නව අතුරු අයවැය අපට දැනෙන්නේ කොහොම ද? ලිපිය මෙතනින් කියවන්න.

විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රී කණ්ඩායම – www.themorning.lk

පිල් මාරු කළ පොහොට්ටු මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පසුගිය අගෝස්තු 31 වැනි දින ස්වාධින මන්ත්‍රීවරු ලෙස විපක්ෂයේ අසුන් ගත්හ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර සහ කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරු එදින විපක්ෂයේ අසුන් ගත්හ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පක්ෂයක සභාපතිවරයකු විපක්ෂයේ අසුන් ගන්නා පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත විය.

උද්ධමනය හේතුවෙන් ඉහළ ගිය පරිභෝජන වියදම

ආර්ථික අර්බුදය හමුවේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට සෑම කාණ්ඩයකට ම අයත් පවුල්වල මාසික පරිභෝජන වියදම ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදුකළ විශේෂ අධ්‍යයනයකින් හෙළි වී ඇත. එම අධ්‍යයනයට අනුව 2019 දී රුපියල් 63,000ක් වූ සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රු. 110,000 දක්වාත්, රුපියල් 14,500ක් වූ අන්ත දුගී පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 25,500ක් දක්වාත්, රුපියල් 198,000ක් වූ ඉහළ ආදායම් ලබන පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 345,000 දක්වාත්, රුපියල් 48,000ක් වූ මැදි ආදායම් ලබන පවුලක මාසික වියදම රු. 90,000ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව/ www.facebook.com- Inter- University Students’ Federation

අන්තරේ විරෝධතාව

පසුගිය අගෝස්තු 18වැනි දින පැවැති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ එහි ක්‍රියාකාරීන් වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ හෂාන් ජීවන්ත ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ දින 90ක කාලයක් රඳවා තබාගැනීම සහ රජයේ මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය  සංවිධානය කළ විරෝධතාවක් අගෝස්තු 30 වැනි දා කොළඹ දී පැවැත්විණි.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වූ විරෝධතාව ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් කරමින් තිබූ අවස්ථාවේ පොලිසිය ඊට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. විරෝධතාව අතරතුර පුද්ගලයන් 28 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අගෝස්තු 31 වැනි දින මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් විය.

දුම්වැටි මිල ඉහළට

ඊයේ (01) සිට දුම්වැටියක මිල කාණ්ඩ හතරක් යටතේ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් 12%ක් ව තිබූ අගය මත එකතු කළ බද්ද (වැට් බද්ද) 15% දක්වා ඉහළ දැමීම හේතුවෙන් දුම්වැටි මිල ඉහළ දමා තිබේ.

ශ්‍රී ලංකා කේටරින් ආයතනය – www.ft.lk

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් අලෙවි කිරීමේ සූදානමක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 51%ක බහුතර කොටස් රජය සන්තකයේ තබා ගනිමින් ඉතිරි 49%ක කොටස් විදේශීය ආයෝජකයකුට විකිණීමට රජය තීරණය කර ඇති බව පසුගියදා වාර්තා විය. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49%ක කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49%ක කොටස් හා එහි පරිපාලනයත් ආයෝජකයකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව යි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයට විදෙස් සමාගම් 24ක්

රටවල් කිහිපයකට අයත් සමාගම් 24ක් මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරවල නිරත වීමට යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය දා පැවසුවේය. ඔහු සඳහන් කළේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සෞදි අරාබිය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල්වල සමාගම් එම යෝජනා ඉදිරිපත් කර ඇති බව යි.

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස – www.newscutter.lk

ජල බිල්පත් නොගෙවන මන්ත්‍රීවරුන්ට වැඩ වරදී

මාස දෙකකට වඩා වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවා පැහැර හරින පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසවල ජල සැපයුම විසන්ධි කිරීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ. එහි නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබුනේ මේ වන විට ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මන්ත්‍රිවරුන්ගෙන් එම හිඟ මුදල් අය කර ගැනීම පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා, කතානායකවරයා වෙත ලිඛිතව දැනුම්දී ඇති බව යි. මාස තුනකට වඩා ජල බිල්පත් ගෙවීම පැහැර හරින රාජ්‍ය ආයතනවලින්, 2.5% ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ද සැලසුම් කර තිබේ.

සනත් නිශාන්තට එරෙහිව පැමිණිලි පිට පැමිණිලි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහි ව පියවර ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ. නීතිඥවරයකු වන ප්‍රියලාල් සිරිසේන සහ තවත් අයෙක් පසුගිය සතියේ එම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබේ. ජනතා අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන් ඇප මත නිදහස් වීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හරහා අධිකරණයට අපහාසයක් සිදු වී ඇතැයි සනත් නිශාන්තට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

රාජ්‍ය ආයතනයක් – www.onlanka.com

රාජ්‍ය ආයතනවලට ලැබෙන විමසීම්වලට පිළිතුරු දීම ගැන චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවලට ජනතාව ඉදිරිපත් කරන ගැටලු හා විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමේ දී අඩු වැඩි වශයෙන් ප්‍රමාද සිදු වන බව ප්‍රසිද්ධ කරුණකි. මේ තත්ත්වය තුළ එවැනි පමා වැලැක්වීම සඳහා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අදාළ චක්‍රලේඛය මගින් යම්කිසි විමසීමක් සම්බන්ධයෙන් අවසන් පිළිතුරක් ලබා දිය නොහැකි මොහොතක ලිපිය ලැබී සතියක් ඇතුළත ලිපිය ලද බවට වන අතුරු පිළිතුරක් අදාළ පාර්ශව වෙත යොමු කිරීම සහ සති හතරක කාලයක් තුළ අදාළ විමසීම් සම්බන්ධයෙන් අවසන් පිළිතුරක් යොමු කිරීම අනිවාර්යය කර තිබේ. ඊට අමතර ව රාජ්‍ය ආයතනවලට ලැබෙන දුරකථන ඇමතුම්වලට කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

රාජ්‍ය සේවකයන් අකාර්යක්ෂම බවට ඇමැති කාංචනගෙන් මැසිවිලි

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයන් බොහොමයක් අකාර්යක්ෂම බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පසුගිය දා සඳහන් කළේය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පැවැසුවේ දැනට සිටින විශාල සේවක සංඛ්‍යාව වෙනුවට, කාර්යක්ෂම සේවකයන් සුළු පිරිසකගෙන් එම ආයතනවල කටයුතු පවත්වාගෙන යාමට හැකි බව යි. මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවත්, දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතුව බවත් ඔහු සඳහන් කළේ ය.

විභාගයකට පෙනී සිටින සිසුන් පිරිසක්/ www.adaderana.lk

උසස් පෙළ ප්‍රතිපල නිකුත් වෙයි

2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු 28 දින නිකුත් විය. එම ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171,497 දෙනෙක් සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේ ය. විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 62.9%ක ප්‍රතිශතයකි. පාසල් අයදුම්කරුවන් 37 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 12 දෙනකු වශයෙන් අයදුම්කරුවන් 49 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව ද දෙපාර්තමේන්තුවේ නිවේදනය කළේ ය. 2021 උසස් පෙළ විභාගය එම වසරේ ම අගෝස්තු මාසයේ දී පැවැත්විය යුතු වුවත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එය පැවැත්වුනේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී ය.

උන්ඩියල් සහ හවාලා භාවිත කරන්නන්ට එරෙහි ව නීතිමය පියවර

උන්ඩියල් සහ හවාලා වැනි ක්‍රම මඟින් විදේශ මුදල් හුවමාරු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ඉල්ලීම පරිදි පොලිස්පති චන්දන වික්‍රමරත්න විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ. අවිධිමත් විදේශ විනිමය හුවමාරු කටයුතු මැඬ පැවැත්වීමට 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනතේ 3 සහ 4 වැනි වගන්ති මඟින් විදේශ මුදල්වල මූලාශ්‍රය හෝ උපයාගත් ආකාරයට අණාවරණය කර ගැනීමට විමර්ශන සිදු කිරීම සඳහා මහබැංකුවේ නිලධාරීන් සමඟ සම්බන්ධිකරණය සිදු කිරීමට ද මෙම විශේෂ පොලිස් ඒකකය කටයුතු කරනු ඇත.

උන්ඩියල්-හවාලා ගනුදෙනු ගැන පොලිසිය නිකුත් කළ නිවේදනයක්/ www.police.gov.lk

අයහපත් කාලගුණ තත්ත්වය

මේ වන විට පවතින තදවැසි තත්ත්වයත් සමඟ ඇතිව ඇති ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 275කට අයත් පුද්ගලයන් 1,052ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. එම මධ්‍යස්ථානය අද (02) උදෑසන නිකුත් කළ වාර්තාවේ සදහන් වන්නේ අයහපත් කාලගුණයෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව යි. තවත් නිවාස හයකට අර්ධ හානි සිදු ව ඇති බව එම මධ්‍යස්ථානය සදහන් කරයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 31කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබිණි. 

ශවේන්ද්‍ර සිල්වාට ගෞරව නාමයක්

හිටපු යුද හමුදාපති සහ වර්තමාන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අස්ගිරි මහා විහාරයෙන් ගෞරව නාමයක් පිරිනමා තිබේ. “මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර” යන ගෞරව නාමයට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයක් මහනුවර අස්ගිරි විහාරයේ දී පසුගිය සතියේ පැවැත්විණි. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට මහා සංඝරත්නය, විදෙස් තානාපති සහ මහා කොමසාරිස් කාර්යයාල කිහිපයක නියෝජිතයන්, සහ තවත් අමුත්තන් රැසක් සහභාගී වූහ.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ගෞරව නාමය පිරිනැමීම – www.dailymirror.lk

කවරයේ ඡායාරූපය-  අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ දී අගෝස්තු 30 වැනි දා පැවැත්විණි -  www.gettyimages.com

මූලාශ්‍ර:

www.themorning.lk

www.police.gov.lk

www.dailymirror.lk

www.facebook.com/ Inter-University Students' Federation (IUSF)

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන නිවේදන

Related Articles