Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩිවුණු විදුලිය බිලෙන් කරන්ට් වදින පොදු ජනතාව

බංකොලොත් රටක ජීවන බරෙන් මිරිකී ඔළුව උස්සා ගත නොහැකිව පීඩාවට පත් ජනතාවට ජනතාවට අහස උසට නැඟි විදුලි බිලත් අකුණක් වී තිබෙනවා. විදුලි බිල එක්වර ම විශාල ප්‍රතිශතයකින් ඉහළ නැංගේ ලක්‍ෂ 78ක් වන සමස්ත විදුලි පාරිභෝගිකයන්ගේ ඉහමොළ රත් කරමින්.

අගෝස්තුවේ වැඩි කළ විදුලි බිල මේ කාලයේ දී තමයි ගෙරදට එන්න පටන්ගෙන ඇත්තේ. එදා වේල සොයාගත නොහැකි ව සිටින ජනනාව දැන් තවත් බරකින් පීඩාවට පත් වෙලා.

ඩවැඩි විදුලිය ප්‍රමාණයක් සපයන නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය- dinamina.lk

විදුලි ඒකකයක් මිල වැඩිම රටක්

ශ්‍රී ලංකාවේ එක් විදුලි ඒකකයක මිල ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවලටත් වඩා වැඩි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න 2014 දී බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.

විදුලි බිල වැඩි ගණනකින් අය කළත් ලංවිම පාඩු ලබන්නේ රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්‍ෂමතාව සහ දේශපාලනීකරණය නිස යි. මේ ආයතනවලට නව ප්‍රතිසංස්කරණ ඇති නොවීම නිසාත් ලංකාවේ ජනතාවට විදුලි බිල සඳහා අධික මුදලක් දරන්නට සිදු වී ඇති බවයි මහාචාර්ය සිරිමල් පවසන්නේ.

කිතුල්ගල බ්‍රොඩ්ලන්ඩ් ජල බලාගාරය ඉදිකිරීම් කරමින් – powermin.gov.lk

විදුලිය බිල ඉහළ නඟී

විදුලි ජනනයට අදාළ පිරිවැය වැඩීවීමත් සමඟ ලංකා විදුලි බල මණ්ඩලය සියයට 183%ක හා සියයට 229%ක් වශයෙන් ගාස්තු ඉහළ දැමීමේ යෝජනා 2ක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබුණා. එම යෝජනා වෙනුවට විදුලි බිල වැඩිවිමේ මට්ටම ඊට අඩුකර ක්‍රියාත්මක කිරීමට කොමිසම තීරණයක් ගත්තා. ඒ අනුවයි අගෝස්තු 10 වැනිදා සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දුන්නේ. මෙවර විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුවුයේ වසර 10 කින් පමණ බවයි මණ්ඩලය පවසන්නේ. අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් කර ඇත්තේ 2013 වසරේදී යි. එවකට පැවති ජනතා ඉල්ලීම මත විදුලි බිල සියයට 25කින් අඩු කිරීමට ආණඩුව කටයුතු කර තිබුණා.

මේ වාරයේ තමයි විදුලි බල මණ්ඩල ඉතිහාසයේ වැඩි ම ගාස්තු ප්‍රමාණයක් එක්වර ඉහළ දැමූ අවස්ථාව. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ සාමාන්‍යයක් ලෙස 75%කින් විදුලි ගාස්තු ඉහළ නංවා ඇති බව යි. බොහෝ පාරිභෝගිකයන් නම් කියන්නේ ගාස්තු වැඩි කිරීම අසාධාරණ බව යි. ඉන්ධන, අහාර ද්‍රව්‍ය, බස්ගාස්තු, දුම්රිය ගාස්තු පවා ඉහළ නැඟි පසුබිමක සියයට 70ක පමණ උද්ධමනය හමුවේ මෙම ගාස්තු ඉහළ නැංවීම දරාගත නොහැති බව ජනතාව පවසා සිටිනවා.

හිටපු විදුලි බල ඇමැතිවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද සඳහන් කළේ විදුලි බිල ඉහළ දැමීම සමාජ සාධාරණත්ව මූලධර්මය උල්ලංඝණය කරන්නක් බව යි. විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාව නැති කිරීම වෙනුවට මණ්ඩලයේ දුර්වලතා ජනතාව මත කෙළින් ම පැටවීමට ආණ්ඩුව ක්‍රියා කර ඇති බවයි චම්පික රණවක පවසන්නේ.

ලංවිම සේවක විරෝධතාවක් – wsws.org

පාඩු ලබන ලංවිම

ලංකා විදුලිබල මණ්ඩලය ද මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන අතරින් මුල් පෙළ ආයතනයක් ලෙස ලැයිස්තු ගත කර ඇති අතර ඒ පාඩුව නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද විශාල වශයෙන් මුල්‍ය අර්බුදයකට ලක් ව තිබෙනවා. ඒ විදුලි බලාගාරවලට ලබා ගත් ඉන්ධනවලට මුදල් නොගෙවීම නිස යි. මණ්ඩලයේ පාඩුව පියවීමට මහා භාණ්ඩාගාරය ලංකා විදුලි බල මණ්ඩලයට මුල්‍ය පහසුකම් නිරන්තරයෙන් ලබා දීම සිදුවන අතර රටේ සමස්ත ආර්ථිකයට ම එය විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා ප්‍රතිව්‍යුහගත කිරීමට තෝරාගත් පාඩු ලබන ආයතන අතර ලංවිම ඉදිරියෙන් ම සිටිනවා. මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 250ක් වන අතර එහි වියදම බිලියන 850ක් වෙනවා. ආදායම වගේ තුන්ගුණයකටත් වැඩි වියදමක් ලංවිමට යනවා.

2015 දී ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලැබූ ආයතනයක් බවට පත් ව තිබුණා. එවකට විදුලිබල ඇමැතිවරයා වූයේ පාඨලී චම්පික රණවක යි. එසේ වූයේ නම් ඉන් පසුව වාර්ෂික ව මණ්ඩලය මෙසේ පාඩු ලබන්නේ ඇයිද යන්න ගැන විධිමත් විමර්ශනයක් නම් සිදුව නැහැ. ඒ අතර ම පාඩු ලබන ආතනයක් වුවත් පසුගිය සිංහල අවුරුද්දට ලංවිම සේවකයන් විශාල බෝනස් මුදලකට ද හිමිකම් කියූ බව මාධ්‍යවල වාර්තා වුණා. පසුගිය කෝප් කමිටු සභා වාරවලදී ලංවිම තුළ සිදු ව ඇති වංචා සහ දූෂණ කොපමණදැයි රටට හෙළිවුණත් ඒවාට ක්‍රියා මාර්ග ගත් බවක් නම් අහන්නට ලැබුණේ නැහැ.

 මදිනොකියන්න වැඩිවන බිල- bbc.com

බිල වැඩිවන්නේ මෙහෙමයි

සාමාන්‍යයෙන් සියයට 75කින් ගාස්තු වැඩිකර ඇති බව පැවසුවත් ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා සමස්තයක් හැටියට 95% කින් හෙවත් දෙගුණයකින් පමණ විදුලි බිල වැඩි වීමට නියමිත යි. මිල සංශෝධනයේදී ලක්‍ෂ 48 පමණ වන ඒකක 30-90 අතර භාවිත කරන විදුලි පාරිභෝගිකයන්ට විශාල බරක් වැටෙන පරිදි මිල සංශෝධනය කරන මෙන් විදුලිබල මණ්ඩලය ඉල්ලීම් කළ ද මහජන උපයෝගිතා කොමිසම එයට ඉඩක් නොතැබූ බවයි එහි සභාපති ජනක රත්නායක පවසන්නේ.

විදුලිය අඩුවෙන් ම භාවිත කරන අඩු ආදායම්ලාභීන්ට ලබා දී තිබූ සහනය වෙනුවට ඒකක 30 ට අඩු කණ්ඩායම් සඳහා ඒක 264% පමණ ප්‍රමාණයකින් බිල ඉහළ යනවා. දැනටත් ණය බරින් පිඩාවට පත්ව සිටින ඔවුන් මෙය කෙසේ දරා ගන්නේදැයි සිතීමත් ගැටලුවක්. ඒ වගේ ම ඒකක 180 ට වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයන් සඳහා 75% ක පමණ වැඩිවීමක් සිදුවනවා.

වාණිජ ස්ථාන සඳහා වැඩිවීම 37% ක්. කර්මාන්ත සඳහා 86% ක්, හෝටල්වලට 67% ක්, ආණ්ඩුවේ ආයතන සඳහා 90% ක්, ආගමික මධ්‍යස්ථාන සඳහා වැඩිවීම 489% ක් හැටියට තමයි මිල වැඩිකර තිබෙන්නේ. ඒ අතර ම ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයන්ගේ විදුලි බිල සඳහා අමතර ව රුපියල් 198ක මුදලක් එකතු කිරීමටත් නියමිත යි. විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 48ක් ඒකක 90 ට අඩුවෙන් භාවිත කරන කාණ්ඩයට අයත් බවත් බිල වැඩිවුණත් ඔවුන්ට සහනාධාරයක් හිමිවන බවත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

දුප්පත් අයට දරාගත නොහැකියි – indiamates.com

භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව විදුලි බිල ඉහළ යන විදිහ:

ඒකක 30 ට අඩු: 264% කින්
ඒකක 31-60: 200% කින්
ඒකක 61-90 : 125% කින්
ඒකක 91-120: 89% කින්
ඒකක 121-180: 79% කින් වශයෙන්

 ලංවිම ප්‍රධාන කාර්යාලය – lankanewsweb.net

 

බෝනස් නැහැ

බිල ඉහළ නැංවූවත් මුල්‍ය ස්ථාවරත්වයක් සැකසෙන තෙක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම අත්හිටුවීමට ද උපදෙස් දුන් බව ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා. නමුත් පසුගිය සිංහල අවුරුදු සමයේත් ප්‍රසාද දීමනා ලබාගත් ලංවිම කළමනාකරණය එය ක්‍රියාත්මක කරාවි දැයි යන්න ගැටලුවක්.

සේවක බෝනස් අත්හිටවූවොත් ඊට එරෙහි ව වෘත්තීය සමිති ඒකාබද්ධ වර්ජනයකට යොමු වන බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයන් පවසනවා. ඒ අතර ම මෙම මිල සංශෝධනය විද්‍යාත්මක ඇගැයීමකින් තොර ව සිදු ව ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්‍ෂණික ඉංජිනේරු අධිකාරි සංගමය චෝදනා කරනවා.
තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේ දී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී පසුගිය දා පවසා සිටියා.

වැඩිකිරීම අත්‍යවශ්‍යයි- ඇමති කාංචන

විදුලි බිල වැඩිවීම ජනතාවට අමාරු බව සැබෑවක් වුණත් මණ්ඩලයේ වියදම දෙස බැලූවිට මෙය කළ යුතු ම දෙයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී පසුගිය අගෝස්තු 29 වැනි දා පැවසුවා. ඔහු එසේ සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ පැවති විවාදයේ දී යි. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට සහ පෞද්ගලික බලාගාර සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 7600කට වැඩි මුදලක් ගෙවීමට ඇති බවත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 3100 ක් බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න පවතින බවත්, මෙම ආයතන සේවකයන්ට සියයට 25 ක වැටුප් වර්ධකයක් වාර්ෂික ව ලබා දෙන්නේ සේවා ඇගයීමක් කිරීමෙන් තොර ව බවත් ඔහු එදින පැවසුවා.

 බලවතුන්ගෙන් ලංවිමට පොලු- divaina.lk

ලංවිමට පොලු තැබූ අය

ශ්‍රීලංකන්, ඛනිජ තෙල් ඇතුළු ඇතැම් රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයේ ණයකාරයන් බව නිතර අහන්නට ලැබෙනවා. මිලියන ගණන් වටිනා විදුලි බිල්පත් ගෙවීම තවදුරටත් මඟහරින මැති ඇමැතිවරුන් ගැනත් ජනමාධ්‍යවල වාර්තා වෙනවා. පසුගිය පෙබරවාරියේ වාර්තා වුණේ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් ලංවිමට නොගෙවා පැහැර හැර තිබූ බිල රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක් බව යි.

මේ ආකාරයට මාසික ව මණ්ඩලයට විශාල ආදායමක් අහිමිවන බව නම් පැහැදිලි යි. සාමාන්‍ය විදුලි පාරිභෝගිකයා විදුලි සම්බන්ධතාව ලබාගන්නා තැනහි සිට පරිභෝජනය කරන සෑම විදුලි ඒකකයකට ම අදාළ මුදල් මණ්ඩලයට ගෙවනවා. ඔවුන්ගේ ගෙවීම ප්‍රමාද වුණු ගමන් රතු බිලක් එවීම ලංවිම සිරිතක්.

කවරයේ ඡායාරූපය : හැමෝටම කරන්ට් වදින ලයිට් බිල වැඩිවීම -dinamina.lk

මූලාශ්‍ර:
pucsl.gov.lk
bbc.com
divaina.lk
lankadeepa.lk

Related Articles