පොතක් වෙනුවට මිනිසකු කියවීමට ඉඩ දෙන මානව පුස්තකාල

යම් කෙනකු ඔබ හඳුන්වා දෙන්න කියා ඉල්ලීමක් කළොත්, ඔබගේ පිළිතුර කෙබඳු වේවි ද?

 කෙටි ම කාල සීමාවක් ඇතුළත ප්‍රතිරූපය රැකෙන පරිදි ඒ හඳුන්වා දීම විස්තර කිරීමට ඔබ බොහෝවිට උත්සහ ගනීවි. විස්තර කළ සියල්ල සත්‍ය වුවත්, ඔබගේ සැබෑ ස්වරූපය විස්තර කිරීමට ඒ වචන කිහිපය බොහෝවිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අප අපේ ප්‍රතිරූපය විස්තර කිරීමට ඕනෑ ම වේලාවක සූදානමින් සිටියත්, අපේ සැබෑ ස්වරූපය කෙනකුට විස්තර කරන්නේ බොහොම කලාතුරකින්. එකිනෙකා අතර පවතින විශ්වාසවන්ත බව එතන දී අතිශයින් වැදගත්.   

අපි හැමෝ ම මේ වනවිට ජීවිතයේ යම්කිසි දුරක් පැමිණ තිබෙනවා. ඒ කියන්නේ අප හැමෝට ම ජීවන අත්දැකීම් තිබෙනවා. අත්දැකීම් සමඟ ගුණාංග, ආකල්ප හා කුසලතා තුළින් මිනිසුන් ජීවිතය දෙස බලන කෝණයත් එකිනෙකට වෙනස්. සැබැවින් ම ඕනෑම පුද්ගලයෙක් ඇවිදින පුස්තකාලයක් බඳු යි. හැමෝට ම කියන්න තමන්ගේ ම කියලා කතාවක් තියෙනවා. එමඟින් පුද්ගලයකුගේ ප්‍රතිරූපය නොව සැබෑ පුද්ගල ස්වභාවය ඉස්මතු වෙනවා. 

කෝපන්හේගන් නුවර මානව පුස්තකාලයට පාඨකයන් රැස්වී ඇති අයුරු – www.euronews.com 

මානව පුස්තකාල සංකල්පය

 දැනුම, රසවින්දනය, සමාජ අවබෝධය වැඩි වර්ධනය කරගැනීමේ ක්‍රමවේද අතර “කියවීම” ඉතා වැදගත් බව අප හැමෝ ම දන්න කාරණයක්. ඒ වෙනුවෙන් පුස්තකාලයක සාමාජිකත්වය දරන්න පවා ඇතැමුන් පෙලඹෙනවා. නමුත්, මේ අවශ්‍යතාව උදෙසා ම ඔබට මිනිසකු පුස්තකාලයකින් ගෙන ඔහුට හෝ ඇයට ඇහුම්කන් දිය හැකි නම් එය කෙබඳු අත්දැකීමක් වේවි ද?

 අත්දැකීම්වලින් පිරිපුන් මිනිසුන්ට ඇහුම්කන් දෙමින් ඔවුන් සමඟ ගැඹුරු සංවාදයක යෙදීමෙනුත් කෙනකුට යම් දැනුමක්, රසවින්දනයක් හා සමාජ අවබෝධයක් ලබාගත හැකි යි. මානව පුස්තකාල කියන්නේ එවන් සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන සමාජ සේවයක්. පොත් වෙනුවට මිනිසුන්ගෙන් සෑදුණු මේ පුස්තකාල පද්ධතිය තවමත් ශ්‍රී ලංකාවට ආගන්තුක යි. අසල්වැසි ඉන්දියාව දැනටමත් මානව පුස්තකාල සංකල්පය ප්‍රවර්ධනය කිරීමෙහිලා සැලකිය යුතු ප්‍රයත්නයක් දරමින් සිටිනවා.

හැමෝටම කියන්න කතාවක් තියෙනවා. සවන් දිය හැකි නම් ගැටුම් අඩු සමාජයක පදනම වන්නේත් එය යි – www.today.com 

 මානව පුස්තකාලයකට පැමිණි කෙනකුට ඔවුන් සතු ව දැනට ඇති මාතෘකා ලැයිස්තුවකින් මාතෘකාවක් තෝරා ඊට අදාළ පුද්ගලයා හමුවීමේ හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබට යම් අධ්‍යයන කටයුත්තක් සඳහා ලිංගාශ්‍රිත රෝගයක් හෝ ආසාදිත තත්ත්වයක් සමඟ ජීවත් වන පුද්ගලයකුගේ අත්දැකීම් අවශ්‍යයැ යි සිතමු. පුස්තකාලය සතු ව එවැනි අත්දැකීම් බෙදා ගත හැකි මානව සම්පතක් සිටී නම් ඒ තැනැත්තා හමුවීමේ හැකියාව ඔබට තිබෙනවා. පුද්ගලික අනන්‍යතාව හැර මාතෘකාවට අදාළ සියලු ම අත්දැකීම් බොහොම විවෘත ව ඔබත් සමඟ ඒ පුද්ගලයා කතා කරාවි. නැතිනම් සංවාදයක් ගොඩ නඟාවි. අවැසි නම් මේ සංවාද කුඩා කණ්ඩායම් මට්ටමෙනුත් සිදු කෙරෙනවා. මීට අමතර ව, කියවූ පොතක් සම්බන්ධයෙන් හරවත් සංවාදයක් ගොඩනැඟීමට අවශ්‍ය වටපිටාව සකසා දීමේ සේවයත් මානව පුස්තකාල හරහා සිදු වෙනවා.

උදාර අදහසක ඇරඹුම

 මානව පුස්තකාල සංකල්පය මුලින් ම ආරම්භ වුණේ ඩෙන්මාර්කයෙන්. 2000 වසරේ දී ලාබ නොලබන ජාත්‍යන්තර ආයතනයක් ලෙස ලියාපදිංචි ව සිටි “මානව පුස්තකාල සංවිධානය”, කෝපන්හේගන් නගරය මූලස්ථානය කර ගනිමින් සිය ප්‍රථම මානව පුස්තකාලය ඇරඹුවා. මේ සංකල්පය පිටුපස සිටින්නේ ඩෙන්මාර්කයේ උපන් රොනී ඇබර්ගල් නමැත්තෙක්. කුඩාකල සිට ලැබූ අත්දැකීම් මෙවැනි උදාර අදහසක් කරා ඔහුව මෙහෙයවූවා.

එකල ඇබර්ගල් උපන් නගරයේ වටාපිටාව දරුවකුට එතරම් සුදුසු වුණේ නැහැ. දොළොස් හැවිරිදි විය වන විට කුඩා ඇබර්ගල්, විවිධ විෂමාචාර ක්‍රියාවල නියැළෙන මිතුරන් පිරිසකගේ ආශ්‍රයට යොමු ව සිටියා. මුල දී ඔහු තම මිතුරන් අනුගමනය කළා. එහෙත්, නගරයේ ඔහුට වඩා වැඩිමහල් වයසේ පසුවන තරුණයන් වඩාත් අවිචාර වූ ක්‍රියාවලට යොමුව සිටි අන්දම දුටු විට කවදා හෝ තමාත් ඔවුන්ගේ තත්ත්වයට වැටිය හැකි බව කුඩා ඇබර්ගල්ට වැටහුණා.  

රොනී ඇබර්ගල් – www.cuspconference.com 

 කැපී පෙනෙන ස්වයං අවබෝධයක් තිබූ රොනී ඇබර්ගල්, මාධ්‍යවේදියකු ලෙස විදේශගත ව සේවය කළ තම පියා අමතන්න තීරණය කළා. මෙම ප්‍රදේශයෙන් ඉවත් වීමට අවශ්‍ය බවත්, නැතිනම් තමා සම්බන්ධ ඊළඟ ඇමතුම බොහෝ දුරට හිර ගෙදරින් ලැබිය හැකි බවත්, ඇබර්ගල් තම පියාට පවසා තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පියාගේ අනුග්‍රහය ඇතිව එක්සත් ජනපදෙයේ උසස් පාසලකට ඇතුළත් වෙන්න රොනී ඇබර්ගල්ට හැකි වුණා.

කනෙක්ටිකට් පවුලේ මනුෂ්‍යත්වය

 වයස අවුරුදු 15 දී ඇබර්ගල්, කනෙක්ටිකට් ප්‍රදේශයේ එක්තරා පවුලක් සමඟ වසරක කාලයක් ගත කළා. එම පවුලෙන් ලද අත්දැකීම් වරෙක ඔහු “හෆින්ටන්පෝස්ට්” ආයතනය හමුවේ මෙසේ බෙදාහදා ගෙන තිබුණා.

 “කනෙක්ටිකට් වලදී මං ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා. මානව පුස්තකාල සංකල්පය ගැන හිතන්නත් ඒ අත්දැකීම් මට උපකාර වෙන්න ඇති. ගිලන් රථ සේවයක ස්වෙච්ඡා සේවකයන් විදිහට වැඩ කළ ඒ පවුලේ සාමාජිකයන් ඉතාමත් විනීත හා ත්‍යාගශීලි මිනිසුන්. වෙනස්කම් හමුවේ පවා මිනිසුන්ට ගරු කළ යුතු ආකාරය ඔවුන් මට ඉගැන්වූවා. වඩාත් මෘදු සහ ශිෂ්ට ගතිගුණ ඇති මිනිසෙක් බවට පත් වෙන්න ඔවුන් මට උදව් කළා. මා නිවැරදි මාවතකට ගෙන ආවා. පුවත්පත්වලින් ඔබට දකින්න නොලැබෙන අමෙරිකානුවන්ගේ සැබෑ කොඳු නාරටිය එබඳු යි. අදටත් ඔවුන් මට මගේ ම පවුල වාගේ යි.”

 1990 දී ඇබර්ගල් නැවත ඩෙන්මාර්කයට පැමිණි අතර, එහිදී තමා ගත් තීරණය කොතරම් ඥානාන්විතදැ යි ඔහුට වැටහුණා. කුඩා කල සබඳකම් පැවැත් වූ ඇබර්ගල්ගේ යහළුවන් වැරදි හැසිරීම්වල සිට බරපතල අපරාධ සිදු කිරීම් දක්වා පරිවර්තනය වී සිටියා. රොනී ඇබර්ගල් නැවතත් තම බුද්ධියට ඉඩ දෙමින් ව්‍යාපාර කටයුතු හැදෑරීම සඳහා ආයතනකට ඇතුළත් වුණා. එහිදී තම ජීවිතයේ දිශානතිය වෙනස් කරන සිදුවීමකට ඔහු මුහුණ දුන්නා. සමාජ ශාලාවක් ඉදිරිපිට සිදුවූ ගැටුමකට මැදි වූ ඔහුගේ සමීප මිතුරෙක් මාරාන්තික තුවාල ලැබුවා. ඉන්පසු ඇබර්ගල් සහ ඔහුගේ මිතුරන් හිංසනය පිටු දැකීම අරමුණු කොටගත් “Stop The Violence Movement” නම්  සංවිධානය පිහිටවූවා.

පොතක කවරයෙන් පොත මනින්න බැහැ. මානව පුස්තකාලයටත් එය අදාළ යි – aldianews.com 

 සමාජ අවබෝධයේ පුස්තකාලය

 පසුකලෙක තරුණ පරපුරට කරන මෙහෙය වෙනුවෙන් ඇබර්ගල් ප්‍රමුඛ මිතුරන්ගේ සංවිධානයට ජාතික මට්ටමේ පිළිගැනීමක් ලැබුණු අතර, මානව පුස්තකාල සංවිධානය ඇරඹුණෙත් එහි ප්‍රතිඵලයක් ලෙස යි. විවිධත්වයක් සහිත පුද්ගල ස්වභාවයන් සමඟ කාලය ගත කිරීමට ඉඩ සැලසීමෙන් සමාජ අවබෝධය ලබා දීම එහි අරමුණ වුණා. එමඟින් සමාජය තුළ පවත්නා ප්‍රචණ්ඩත්වය, වෙනස් කොට සැලකීම් අවම කොට, පුද්ගල ගරුත්වය, පුද්ගල නිදහස ප්‍රවර්ධනය කිරීමට හැකි වෙනවා.

ඩෙන්මාර්කයේ පැවැත්වෙන “රොස්කිල්ඩ්” නම් උත්සවයට සමගාමී ව්‍යාපෘතියක් ලෙස මානව පුස්තකාලයේ මුල් ම අදියර පැවැත්වුණා. පුරා දින හතරක් පැය අට බැගින් පැවැත්වුණු ව්‍යාපෘතිය තුළ මාතෘකා 50 ට අධික සංඛ්‍යාවක් ඇතුළත් වුණා. නවමු සංකල්පයක් නිසා බොහෝ දෙනකුගේ අවධානය ලබා ගැනීමට ඇබර්ගල් ඇතුළු කණ්ඩායම සමත් වුණා. ඉන්පසු මානව පුස්තකාල නම් සංකල්පය ලෝකය පුරා ම ව්‍යාප්ත කිරීමට ඔවුන්ගේ සංවිධානය කටයුතු කළා. අද වනවිට රටවල් 80 ක පමණ මෙම සංකල්පය ක්‍රියාත්මක වෙනවා.

“කිසිවකු විනිශ්චය නොකරන්න.” එය මානව පුස්තකාල සංවිධානයේ උදාන පාඨය යි – www.euronews.com 

කිසිවකු විනිශ්චය නොකරන්න”

 37 හැවිරිදි ඇන්ඩර්ස් ෆ්‍රැන්සස් ගත කළේ තරමක අභියෝගාත්මක ජීවිතයක්. දෘෂ්‍ය සහ ශ්‍රවණාබාධිත බවට අමතර ව, දහඩිය දැමීම අවම කරවන දුර්ලභ ජානමය තත්ත්වයකුත් ඔහුට තිබෙනවා.

“එදිනෙදා ජීවිතයේදී මිනිසුන් සමඟ සම්බන්ධ වීම මට දුෂ්කර වෙන්න පුළුවන්. මිනිස්සු පුරුදු වෙලා තියෙන දේවල්වලට වඩා වෙනස් දෙයක් හමු වුණා ම ඔවුන්ට යම් චකිතයක් ඇති වෙනවා”

 මානව සබඳකම් තමා වටා හැසිරෙන අයුරු ඔහු දුටුවේ එලෙසින්. ඉතින්, සෑම සතියක ම තමාගේ ජීවිත කතාව මානව පුස්තකාලයක් තුළ ප්‍රකාශයට පත් කරන්න ඇන්ඩර්ස් තීරණය කළා.

 “මගේ තත්ත්වය ගැන මිනිසුන්ට යම් දැනුම්වත් කිරීමක් කරන්න තමයි මානව පුස්තකාලයට පැමිණෙන්නේ. මාත් මනුෂ්‍යයෙක්”

ඇන්ඩර්ස් වැඩිදුරටත් පවසනවා.

 ඇන්ඩර්ස් යනු එක් උදාහරණයක් පමණ යි. තමාගේ අත්දැකීම බෙදා ගැනීම පිණිස  විවිධාකාරයේ පුද්ගලයන් මානව පුස්තකාලවලට පැමිණෙනවා. විවිධ ඇබ්බැහි වීම්වලට ලක්වී සිටි මිනිසුන්, විවිධ මානසික සංකූලතා සමඟ සටන් කළ හා කරමින් සිටින මිනිසුන්, ආගමික විශ්වාස සම්බන්ධ කාරණා, නිවාස අහිමි ව සිටි මිනිසුන්, ලිංගික අපයෝජනයට ලක් වූ පුද්ගලයන්, සරණාගතයන්, ඒ සඳහා උදාහරණ කිහිපයක් ලෙස දැක්විය හැකි යි.

මානව පුස්තකාලයක ලබාගත හැකි මානව සම්පත් මාතෘකා ලෙස ලැයිස්තුගත කර ඇති අන්දම – www.euronews.com 

දැනටමත් මෙම සංකල්පය ලෝකයේ රටවල් ගණනාවක පැතිරී ඇති නිසා “මානව පුස්තකාල සංවිධානය” යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල ඒකකවල ක්‍රියාකාරීත්වය ඔවුන් අධීක්ෂණය කරනවා. එහි දී එක් එක් රටවල සමාජ, සංස්කෘතික, දේශපාලනික විවිධත්වය සැලකිල්ලට ගනිමින් මානව පුස්තකාල වලට තව තවත් මාතෘකා එක් කිරීමත් සිදු වෙනවා.    

 “ඔබ සාදාගත් තිරය පිටුපස වාඩිවී වෙනස්කම් සහිත පුද්ගලයන් නොවැදගත්යැ යි සිතීම පහසු යි. නමුත්, ඔබ කණ්ඩායමක් සමඟ අමනාප වීමට පෙර ඔවුන් හමුවීමට උත්සාහ නොකරන්නේ ඇයි? අප සතු ව ඇති සමහර පොත් (මිනිසුන්) වෛරී සහගත අපරාධ වල වින්දිතයන් සහ සරණාගතයන්. එබැවින් පැමිණ ඔවුන්ට ඇහුම්කන් දෙන්න”

සරල ව ම රොනී ඇබර්ගල් කිසිවකු විනිශ්චය නොකරන ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. මානව පුස්තකාල සංවිධානයේ උදාන පාඨය වන්නේත් එය යි. 

ඉන්දියාවේ මානව පුස්තකාලයක දර්ශනයක් –  indianexpress.com

ඉන්දියාවේ ප්‍රයත්නය

 හර්ෂාද් කියන්නේ පෞද්ගලික අධ්‍යන ආයතනයක මාධ්‍ය අලෙවිකරණය හදාරන සිසුවෙක්. ඔහු මානව පුස්තකාල සංකල්පය ගැන දැන ගන්නේ අන්තර්ජාලය මාර්ගයෙන්. කුතුහලයට පත්වූ හර්ෂාද්, ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන මානව පුස්තකාලයක් ඇත්දැ යි සොයා බැලුවා. එහිදී ඉන්දෝර් ප්‍රදේශයේ පිහිටවනු ලැබූ මානව පුස්තකාලය ශක්තිමත් ලෙස පවත්වා ගෙන යන බව ඔහු සොයා ගත්තා. තමා ජීවත් වන හයිද්‍රබාද් ප්‍රදේශය මුල් කරගනිමින් මානව පුස්තකාලයක් පිහිටුවීමට ඔහු ඒ අනුව උනන්දු වුණා. අන් අයගේ වෙනස්කම් අගය කරමින් සහ ඔවුන්ගේ අත්දැකීම්වලට සවන් දෙමින් සමාජ බාධක අවබෝධ කරගැනීම එහි අරමුණ වුණා.

 හර්ෂාද්ට අනුව ඔහුගේ මූලිකත්වයෙන් තැනූ මානව පුස්තකාලයේ ජාතිය, වයස, ආබාධිතභාවය, ලිංගික අනන්‍යතාවය හා දිශානතිය, පන්තිය, ආගම/විශ්වාසය, ජීවන රටාවේ තෝරා ගැනීම් යන පුළුල් පරාසයක හේතූ මත වින්දිතයන් වූ මිනිසුන් සිටිනවා. අතිශය සංස්කෘතික විවිධත්වයක් ඇති ඉන්දියාව වැනි රටක ඇබර්ගල්ගේ අඩිපාරේ යමින් හර්ෂාද් කරන මේ සමාජ සේවය සැබවින් ම ප්‍රශංසනීය යි.

ප්‍රතිරූපය සහ සැබෑ ස්වරූපය එකිනෙකට වෙනස් ලෙස විස්තර වෙන දෙයක් – roadlife.org 

 කුඩා ‍රටක් වුවත්, ශ්‍රී ලංකාව කියන්නේත් විවිධ සමාජ හැඩතල පවතින රටක්. අප රට තුළත් මේ සංකල්පය පිහිටුවීමට ඇති හැකියාව ගැන අධ්‍යයනය කර තිබෙනවා. නමුත්, එහි ප්‍රචලිත බව තවමත් ඇත්තේ ඉතා අවම මට්ටමක යි. මානව පුස්තකාල සංකල්පය ශ්‍රී ලංකාව තුළ මනා ලෙස ප්‍රවර්ධනය කළ හැකි නම් බොහෝ සමාජ ගැටලු විසඳා ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසේවි. එහෙත්, සාම්ප්‍රදායික පුස්තකාලයකට වඩා මෙහිදී විශේෂ නියාමනයක අවශ්‍යතාව නිරායාසයෙන්ම මතු වෙනවා. මුලින් ම සඳහන් කළ පරිදි මානව පුස්තකාලයක සිදු වන්නේ ප්‍රතිරූප ගොඩ නැඟීම නොව සැබෑ පුද්ගල ස්වභාවය සාකච්ඡාවට බඳුන් කිරීම යි. එහිදී පුස්තකාලයේ පොත් ලෙස පෙනී සිටින මිනිසුන්ගේ ආරක්ෂාව සහ පුද්ගලික නිදහස ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.

මානව පුස්තකාල පිළිබඳ වැඩිදුර විස්තර මෙතැනින් ලබා ගන්න.

 

 

කවරයේ ඡායාරූපය: මානව පුස්තකාලයක "කියවීම" සිදු වන්නේ මේ අයුරින් - inews.co.uk

මූලාශ්‍ර:

humanlibrary.org

www.thehindu.com

edtimes.in

www.huffingtonpost.co.uk

repository.kln.ac.lk 

Related Articles