ජනපති අගමැති මතභේදය ගැන කට්ටිය කතා වෙන දේවල්

ටික දවසකට කලින් පැවැත්වුණු පළාත් පාලන මැතිවරණය නිසා ශ්‍රී ලංකාවේ දේශපාලන වටපිටාව උණුසුම් වුණා වගේම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර කාලයක සිට තියෙන බව කියන “මතභේදය” ගැන සමාජයේ උනන්දුව සහ උද්යෝගය තවත් උත්සන්න කරන්නත් සමත් වුණා. ප්‍රතිඵල එන්න ගත්ත දවස්වල බොහෝ දෙනා මහා පෙරළි ගැන උද්යෝගයෙන් අදහස් දක්වමින් හිටියත්, මේ වෙනකොට බොහෝ දුරට ඒ කතාවල සැර බාල වෙලා ගිහින්. පැවති පාලනයම පවත්වාගෙන යන එකට දැන් වැඩි දෙනාගේ විරුද්ධත්වයක් නැති පාටයි. කොහොම නමුත් මේ තත්ත්වය මතු වුණු විදිහ ගැන වගේම ඇත්තටම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකිනෙකාට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගත්තොත් මොන වගේ තත්ත්වයක් මතු වේවි ද කියන එක ගැනත් තියෙන ගැටළුව තවමත් එහෙමමයි.

උභතෝකෝටිකයක්?

ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා සහ දෙවැනි පුරවැසියා එකිනෙකාට විරුද්ධව යනවා නම් පැහැදිලිවම පරිපාලන කටයුතු එක තැන නතර වෙනවා. මේකට හොඳම උදාහරණයක් තමයි උසස් පෙළ සිසුන්ට රුපියල් බිලියන 4ක වියදමකින් ටැබ් ලබා දෙන්න ගත්ත තීරණය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව නවතා දැම්මා කියන එක. මෙය 2016 දී අග්‍රාමාත්‍යවරයා විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක්. අග්‍රාමාත්‍යවරයාගේම නිර්දේශ මත කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා විසින් එය අනුමත කරන ලද බවත් කියවුණා. කොහොම නමුත් පසුව ඔහු තම තීරණය වෙනස් කරමින් එය නවතා දමා තිබෙනවා.

ඒ වගේම කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමේ කටයුතු පවා අඩාල වෙන්න පුළුවන්. මේ සියල්ලටම වඩා ශ්‍රී ලංකා රජයේ නිල ස්ථාවරය බලාපොරොත්තු වන කණ්ඩායම්, විශේෂයෙන්ම රජයේ සේවකයන්, විදේශීය ආයෝජකයන් වගේ අයට මේ කඹ ඇදිල්ල නිසා රජයේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා විශ්වාසයක් නැති වීමේ බරපතල ගැටලුවත් පවතිනවා.

බලතල

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා (english.news24.lk)

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා පත් කිරීමෙන් පසුව අගමැති තනතුරට ඍජු බලපෑමක් කළ හැකි කිසිදු බලයක් ජනාධිපතිවරයා සතු වන්නේ නැහැ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තියේ “…ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය” කියලා දැක්වෙනවා. කොහොම නමුත් මෙය අදාළ වන්නේ අගමැති තනතුර සඳහා කවරෙකු හෝ පත් කර නොමැති අවස්ථා සඳහා විතරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විදිහට අගමැති තනතුර හිස් විය හැකි අවස්ථා තුනක් තිබෙනවා. ඒ තමයි,

  1. අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුණහොත්,
  2. අග්‍රාමාත්‍යවරයා තම අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලිපියක් මගින් ඉල්ලා අස් වුවහොත්.
  3. රජය අහෝසි වුවහොත්.

මෙය සිදු විය හැකි අවස්ථා දෙකක් තියෙනවා, එනම්,

    • රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ රජය ගෙන එනු ලබන විසර්ජන කෙටුම්පතක් පාර්ලි‌‌මේන්තුව තුළ දී ප්‍රතික්ෂේප වුවහොත් හෝ,
    • රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ දී සම්මත වුවහොත්.

පූර්වාදර්ශ

2003 අවුරුද්දේ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුර හෙබ වූ කුමාරතුංග මැතිණිය පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ක්‍රියා කළා. එය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනික ඉදිරි ගමනට විශාල බාධාවක් වුණා. (colombogazette.com)

ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායකය සහ ව්‍යවස්ථාදායකය දේශපාලන පක්ෂ දෙකකට අයත් වූ අවස්ථාවන් දෙකක් දැක ගන්න ලැබෙනවා.  1994 දී පැවැත්වුණු මහ මැතිවරණයෙන් පොදු පෙරමුණු පක්ෂයට ජය හිමි වීමත් එක්ක අවුරුදු 17ක් පුරාවට පැවති එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් වුණා. ඒ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ එක්සත් ජාතික පක්ෂයේ D. B. විජේතුංග මහතා පොදු පෙරමුණේ නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අගමැති තනතුරට පත් කරන්න කටයුතු කළා. කොහොම නමුත් මේ තත්ත්වය තිබුණේ ඉතාම කෙටි කාලයක් පමණයි. මේ කාලය තුළ දී ජනාධිපතිවරයා බොහෝ දුරට පාලන කටයුතුවලින් දුරස්ව සිටියා වගේම ඒ කාල පරිච්ඡේදයේ දී සැළකිය යුතු තරමේ ගැටළු කිසිවක් ඇති වුණෙත් නැහැ. මාස තුනකට පස්සේ පැවති ජනාධිපතිවරණයෙන් කුමාරතුංග මැතිණිය ජනාධිපති ධුරයට තේරී පත් වුණා.

කොහොම නමුත් දෙවැනි අවස්ථාවේ නම් නම් කලින් වාරයේ වගේ මිත්‍රශීලී බවක් දකින්න තිබුණේ නැහැ. 2001 පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ (UNF) ජයග්‍රහණය ලබාගෙන රජයක් පිහිටවූ අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වුණා. මේ වන විට ජනාධිපති තනතුර හෙබවූයේ කුමාරතුංග මැතිණිය යි. ජනාධිපතිවරිය සහ අග්‍රාමාත්‍යවරයා වසර දෙකක පමණ හැලහැප්පීම් බහුල කාලයක් පාලන කටයුතුවලට දායක වුණත්, පසුව ජනාධිපති ධුරයේ විධායක බලතල භාවිත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන්න කුමාරතුංග මැතිණිය කටයුතු කිරීමත් එක්ක එක්සත් ජාතික පෙරමුණු රජය අහෝසි වුණා.

වර්තමාන තත්ත්වය

මෙවර පළාත් පාලන මැතිවරණයේදී තමන් සහය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා බහුතරයක බලය හිමි කරගැනීමෙන් පසු බලය බෙදී ගිය ආකාරයේ සිතියමක් පරීක්ෂා කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

ශ්‍රී ලංකාවේ දැනට පවතින රජය එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් යටතේ බිහි වුණු ජාතික ආණ්ඩුවක්. කොහොම නමුත් මෑතකදී පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය තරඟ වැදුණේ වෙන වෙනමයි. මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පාර්ශවකරුවා විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමහර ප්‍රදේශවල වෙනමම තරඟ වැදුණා. කොහොම නමුත් මේ පක්ෂ/ සන්ධාන තුනටම හිමි වුණේ පාලන බලය හිමි පක්ෂවලින් අපේක්ෂා කළ හැකි මට්ටමට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක්. ඒ වගේම මෙය ශ්‍රී ලංකාවේ පවතින රජය කෙරෙහි පවතින ජනතා විරෝධයේ පැහැදිලි ප්‍රතිරූපයක් බවටත් මත පළ වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙහි දී විශාල ජයග්‍රහණයක් හිමි කර ගත්තා. ඉන් පසුව රාජපක්ෂ මහතා වහාම පාර්ලි‌‌මේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්විය යුතු බව කියමින් ප්‍රකාශයක් ද නිකුත් කළා.

නීතිමය වශයෙන් හෝ නිල වශයෙන් පළාත් පාලන මැතිවරණයක ප්‍රතිඵලය රජයට කිසිදු බලපෑමක් නැතත්, මෙයින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නායකත්වය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමාන රජයේ අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බව කියවෙනවා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මතභේදයට ප්‍රධාන වශයෙන් හේතු වුණේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෙරුණු විමර්ශනවල සොයා ගැනීම්. ජනාධිපති සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණයේ දී ලබා දුන්නු ප්‍රධානතම පොරොන්දුවක් වුණේ දූෂණ වංචා සිදු කළ අයට දඬුවම් දෙන්න කටයුතු කරන බවයි. එය අග්‍රාමාත්‍යවරයාට ද අදාළ බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටින්නේ මෙවැන්නක්.

“බැඳුම්කර කොමිෂන් වාර්තාවෙන් අග්‍රාමාත්‍යවරයා වරදකරුවෙක් කර නොතිබුණත් ඔහුට මේ සිද්ධියේ දී වගේම පසුව මෙය සඟවන්න ගත් උත්සාහයටත් උපායමය සම්බන්ධයක් තිබුණු බවට රට පුරාම මතයක් ගොඩ නැගී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වංචා හා දූෂණවලට සම්බන්ධ යැයි සැලකෙන දේශපාලඥයන් බොහෝ දෙනෙකු සිටියත් ජනාධිපතිවරයාගේ ප්‍රධානම ඉලක්කය වුණේ අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයයි.”

කොහොම නමුත් 2003 දී කුමාරතුංග මැතිණියට තිබුණු, පාර්ලිමේන්තුව තමන්ට අවශ්‍ය වෙලාවට විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට ඇති බලය අද වන විට සීමිතවයි පවතින්නේ. 19 වන සංශෝධනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ගත විය යුතු අවම කාලය වසර 4 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඉස්සරහට මොනවා වේවි ද?

මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේම රජයක් පිහිටුවා ගන්නටත් උත්සාහයක් ගත්තා. පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් පවතිනවා නම් ඔවුන්ට පවතින රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීම මගින් නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයක් සහ අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගන්න අවස්ථාවක් පවතිනවා. එසේම මේ තත්ත්වය යටතේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා යටතේ තමන්ගේම රජයක් පිහිටුවා ගන්න එක්සත් ජාතික පක්ෂයත් උත්සාහයක් ගත්තා. පසුගිය සතියේ සිද්ධ වුණු සාකච්ඡා බොහොමයකට පස්සේ මේ වන විට පාලක පක්ෂයන් දෙකම පවතින රජය ඉදිරියට ගෙන යන්න එකඟ වෙලා කියලයි කියවෙන්නේ. කොහොම නමුත් දැන් මේ පක්ෂ අතර තියෙන බැඳීම කවරදාකටත් වඩා දුර්වල වෙලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික අමාත්‍ය S. B. දිසානායක මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පවතින සභාග රජයේ දිගටම සිටිමින් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යන්නට දායක වන බව පසුගිය දා කියා සිටියා. කොහොම නමුත් ඔවුන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම් වලට අදාළ වෙනස්කම් රජය තුළ සිදු කිරීමට බල කළ හැකි නීතිමය ක්‍රම ගැන අධ්‍යයනය කරමින් සිටින බවයි කියැවෙන්නේ. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අගමැති තනතුරට පත්කර ගැනීමේ අපේ බලාපොරොත්තුවේ වෙනසක් සිදු වෙලා නැහැ. මේ වෙනස් කම් කල් දාන්න බෑ වගේම හදිස්සියේ සිදු කරන්නත් බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා”, ඔහු කියා සිටියා.

මේ වන විට තත්ත්වයේ උණුසුම් බව යම් දුරකට සමනය වී ඇති බවක් පෙනුණත් කලින් කියපු දේවල් ගැන හිතලා බැලුවාම තවත් වසර කිහිපයක් ගත වන තුරුම මේ ආණ්ඩුවෙනුත් අහන්න ලැබෙන බල පෙරළි කතාවල අඩුවක් නැති වේවි කියලා තමයි අපිට නම් හිතෙන්නේ.

කවරයේ රූපය : colombotelegraph.com

Related Articles