Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වහල් සේවයේ යෙදුණු රජ කුමරකුගේ කතන්දරය

මීට සියවස් ගණනකට පෙර අප්‍රිකානු ජාතිකයන් අල්ලා ගෙන ඔවුන් විවිධ රටවල වහල් සේවය සඳහා ගෙන ගිය බව ප්‍රසිද්ධ කරුණකි. වර්තමානයේ දී වහල් සේවය කිසිසේත් ම නොපිළිගන්නා දෙයක් වුවත් අතීතයේ වහල් සේවය සඳහා අප්‍රිකානු ජාතිකයන් අලෙවි කළේ සාමාන්‍ය පොදු වෙළෙඳ ස්ථානවලදී ය.

සතුන් මෙන් කූඩුවල සිරකර, ම්ලේච්ඡ අයුරින් අලෙවි කළ අප්‍රිකානු ජාතිකයන්ට සිදු වූයේ සිය ජිවිත කාලය පුරාවට ම වෙනත් රටක, බොහෝ විට යුරෝපීය රටවල හාම්පුතුන් යටතේ බැලමෙහෙවර කිරීමට ය. දහස් ගණනක් අප්‍රිකානු ජාතිකයන් ඒ ආකාරයෙන් වහල් සේවයේ යෙදිණී.

වහල් සේවය සඳහා අප්‍රිකානුවන් රැගෙන ගිය අයුරු – amp.theguardian.com

 අප්‍රිකාවේ බලවත්ම රාජ්‍යයක රජ පවුලේ කුමරකු වූ අබ්දුල් රහ්මන් ඊබ්‍රහිම් ඉබ්න් සෝරිට වසර 40කට ආසන්න කාලයක් වහල් සේවයේ යෙදෙන්නට සිදු වූයේ ඔහු අල්ලා ගත් පිරිස ඔහු රජ කුමරකු බව නොදැන සිටි බැවිනි.

ඉබ්න් සෝරි අල්ලා ගත් පිරිස ඔහු රජ පවුලේ කුමරකු බව නොදැන ඔහු අලෙවි කළ අතර ඔහුට සිදු වූයේ තෝමස් ෆෝස්ටර් නම් බ්‍රිතාන්‍ය ජාතිකයාට බැලමෙහෙවර කිරීමට ය. අවසානයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අලෙවි කළ ඔහුට අමෙරිකා එක්සත් ජනපදයේ මිසසිපි ගංගා නිම්නයේ පිහිටි කපු වගාවන්වල සේවය කරන්නට සිදු විය. 

ඉබ්න් සෝරි/ www.countryroadsmagazine.com

මුල් කාලය

ඉබ්න් සෝරි 1762 වසරේ දී උපන්නේ බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික් සාගරයට යාබද ව පිහිටි ගිනියාවේ දී ය. ඔහු උපන්නේ ගිනියාවේ ටිම්බෝ නුවර රජ පවුලක ය. ඔහුගේ පියා, අල්මාමි ඊබ්‍රහිම් සෝරි 1776 වසරේ දී ටිම්බෝව අගනුවර කරගෙන ෆුටා ජලෝන් නම් ඉස්ලාමිය සම්මේලනය (ප්‍රාදේශීය පරිපාලන ඒකකයක්) ස්ථාපනය කළේ ය.

ටිම්බෝවේ පිහිටි පැරැණි පල්ලියක් – www.reddit.com

මාලි ජනරජයේ ටිම්බක්ටු නුවර පිහිටි විශ්වවිද්‍යාලයකින් අරාබි භාෂාව ඇතුළු භාෂා හතරක් ඉගෙනගත් ඉබ්න් සෝරි 1781 වසරේ දී නැවතත් ටිම්බෝවට පැමිණියේ ය. එම වසරේ ම ඔහුගේ පියාට අයත් හමුදාවට බැඳුණු ඔහු රෙජිමේන්තු අණදෙන නිලධාරියෙක් (අමීර්) වශයෙන් උසස්වීමක් ද ලැබී ය. 1788 වසරේ දී ඔහු සෙබළුන් 2,000කින් යුතු හමුදා ඛණ්ඩයක ප්‍රධානියා වශයෙන් පත් විය.

වහල් සේවයේ යෙදීමට සිදුවීම

සෙබළුන් 2,000කගෙන් සමන්විත හමුදා ඛණ්ඩයට නායකත්වය දෙමින් විවිධ මෙහෙයුම් සිදු කරන අතරතුර අප්‍රිකානු ජාතිකයන් පිරිසක් ඉබ්න් සෝරි අල්ලා ගත්තේ වහල් සේවය සඳහා අලෙවි කිරීමට ය. ඔහු රජ පවුලේ කුමරකු බව ඔවුන් නොදැන සිටියා සේ ම ඉබ්න් සෝරි ඒ ගැන පවසන විට ඔවුන් එය විශ්වාස කළේ ද නැත.

කපු වගාවක් – www.barnhardcotton.com

විවාහය

වහල් සේවයේ යෙදෙන අතරතුර 1793 වසරේ දී ඔහු තෝමස් ෆෝස්ටර් යටතේ වහල් සේවයේ යෙදුණු කාන්තාවක වූ ඉසබෙලා සමඟ විවාහ විය. සාර්ථක විවාහ ජිවිතයක් ගත කළ එම යුවළට දරුවන් නව දෙනෙක් ලැබිණි.

ඉතා හොඳින් කපු වගාවන්හි සේවය කිරීම හේතුවෙන් ඉබ්න් සෝරි එවකට වහල් සේවයේ යෙදුණු අනිකුත් අප්‍රිකානු ජාතිකයන්ට වඩා තරමක් ඉහළින් සිටියේ ය. ඒ නිසා ම ඔහුගේ ම එළවළු වගාවක් පවත්වාගෙන යාමටත්, එම වගාවෙන් ලැබෙන අස්වැන්න වෙළෙඳපොළට අලෙවි කර මුදල් උපයා ගැනීමටත් ඔහුට සහ ඉසබෙලාට අවස්ථාව ලැබිණි.

ඉබ්න් සෝරි ගේ ජීවිත කතාව අළලා ලියැවී ඇති පොතක් – www.amazon.com

දන්නා හඳුනන අයකු නැවත හමුවීම

 ටිම්බෝවේ ජීවත් වූ කාලයේ දැන හඳුනාගත් අයර්ලන්ත ජාතික වෛද්‍යවරයකු වූ ජෝන් කොක්ස් නැවත හමුවීමට ඉබ්න් සෝරිට අවස්ථාව හිමි විය. කොක්ස් වරක් බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක වෛද්‍යවරයා ලෙස සේවය කරන අතරතුර එම නෞකාව අනතුරකට ලක් වීම නිසා ටිම්බෝවට පැමිණියේ ය. ඔහු ටිම්බෝවට ගොඩබට පළමු සුදු ජාතිකයා ද විය. එම අවස්ථාවේ දී ඉබ්න් සෝරි ගේ පියා, කොක්ස්ට සිය නිවසේ නවාතැන් ගැනීමට අවස්ථාව දුන්නේ ය. මාස හයක කාලයක් ඉබ්න් සෝරි ගේ නිවසේ කාලය ගත කල කොක්ස්ට පැවරුණු රාජකාරිය වූයේ එවකට කුඩා වියේ පසු වූ ඉබ්න් සෝරිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම යි.

ටික කලකට පෙර දුෂ්කර මොහොතකදී තමන්ට උපකාර කළ සහ තමන්ගෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් ඉබ්න් සෝරි කපු වගාවක වහල් සේවයේ යෙදෙන බව දැක කනගාටුවට පත් වූ කොක්ස් ඔහු තමන්ට අලෙවි කරන ලෙස ෆෝස්ටර්ගෙන් ඉල්ලීමක් කළේ ය. කොක්ස් බලාපොරොත්තු වූයේ මුදල් ගෙවා ඉබ්න් සෝරි මිල දී ගෙන අප්‍රිකාවට නැවත පිටත් කර යැවීමට යි.

මිසිසිපි ප්‍රාන්තය වර්තමානයේ – www.britannica.com

කෙසේ වෙතත් කපු වගාවට නැතිව ම බැරි සේවකයකු බවට පත් ව සිටි ඉබ්න් සෝරි කොක්ස්ට අලෙවි කිරීමට, ෆෝස්ටර් කිසිසේත් ම කැමැත්තක් දැක්වූයේ නැත. 1816 වසරේ දී මිය යන තෙක් ම මිසිසිපි ප්‍රාන්තයේ වහල් සේවයේ යෙදෙමින් සිටි ඉබ්න් සෝරි නිදහස් කරගැනීමට කොක්ස් උත්සහ කළත් එම උත්සාහය සාර්ථක නොවූ බැවින් ඔහුගේ අභාවයෙන් පසු ඔහුගේ (කොක්ස්ගේ) පුත්‍රයා ද ඉබ්න් සෝරි නිදහස් කරගැනීමට උත්සහ කළේ ය.

නිදහස හිමිවීම

ඉබ්න් සෝරි අප්‍රිකාවේ ජිවත් වූ සිය ඥාතීන්ට 1826 වසරේ දී ලිපියක් යැව්වේය. අප්‍රිකාවේ ජීවත් වූ ඕලන්ද ජාතික මාධ්‍යවේදියකු වූ ඇන්ඩෲ මර්ෂොක් එවකට මිසසිපි හි අමෙරිකා එක්සත් ජනපද සෙනෙට්වරයා වූ තෝමස් රීඩ්ට එම ලිපියේ පිටපතක් යොමු කළේ ය.

රීඩ් එය මොරොක්කෝවේ අමෙරිකානු කොන්සියුලේට් කාර්යාලය වෙත යොමු කළේ ය. ඉබ්න් සෝරි එම ලිපිය ලියා තිබුණේ අරාබි භාෂාවෙන් බැවින් මර්ෂොක් සහ අමෙරිකානු නිලධාරීන් අනුමාන කළේ ඔහු මුවර් ජාතිකයකු වන්නට ඇති බව යි.

ඉබ්න් සෝරි ලියූ ලිපිය හා ඊට අමෙරිකානු නිලධරියකු එක් කර ඇති සටහනක් – www.commons.wikimedia.org

මොරොක්කෝවේ සුල්තාන්වරයාට ද එම ලිපියේ පිටපතක් ලැබිණි. ඔහු එවකට අමෙරිකානු ජනාධිපති ජෝන් ඇඩම්ස් ගෙන් සහ රාජ්‍ය ලේකම් හෙන්රි ක්ලේ ගෙන් ඉබ්න් සෝරි නිදහස් කරන්නයි ඉල්ලා සිටියේය.

එවැනි ඉල්ලීම් ගණනාවක ප්‍රතිපලයක් ලෙස ෆෝස්ටර්, කිසිදු වන්දි මුදලක් හෝ ලබා නොදී ඉබ්න් සෝරි 1829 දී නිදහස් කළේය. නිදහස් කළ වහාම ඔහු අප්‍රිකාවට පිටත්ව යා යුතු බව ෆෝස්ටර් කොන්දේසියක් ද පැණවූයේ ය.

අප්‍රිකාව බලා පිටත් වීම

අමෙරිකාවෙන් පිටත් වීමට පෙර ඉබ්න් සෝරි සිය බිරිය ද සමග අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක සංචාරය කළේ ය. ඒ අතරතුර එවකට අමෙරිකානු ජනාධිපති ජෝන් ක්වින්සි ඇඩම්ස් හමුවීමට ද ඔවුන්ට හැකි විය.

ජෝන් ක්වින්සි ඇඩම්ස් – www.murcurynews.com

මේ අතර මාධ්‍ය සහ වෙනත් විවිධ ප්‍රචාරණ ක්‍රම උපයෝගී කරගෙන සිය දරුවන් නිදහස් කර ගැනීම සඳහා ඔවුන් අරමුදල් එක්රැස් කළේ ය. ඒ ආකාරයෙන් අරමුදල් එක්රැස් කිරීම වහල්භාවයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම් කඩ කිරීමක් බව පැවසූ ෆෝස්ටර්ගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයකි.

එමෙන්ම ඉබ්න් සෝරිට නිදහස ලබාදීම සහ ඔහු හමුවීම නිසා ඊළඟ ජනාධිපතිවරණයේ දී දැඩි විවේචනයන්ට ලක් වීමට ජනපති ඇඩම්ස්ට සිදු විය.

ජෝන් ඇඩම්ස් – www.biography.com

මාස දහයකට පසු ඉබ්න් සෝරි සහ ඉසබෙලා රැස්කර ගෙන තිබුණේ සිය දරුවන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය වූ මුදලෙන් හරි අඩක් පමණි. අවසානයේ දරුවන් නොමැති ව ලයිබීරියාවේ මොන්රෝවියා නුවරට පිටත් ව ගිය ඉබ්න් සෝරි උණ රෝගයක් වැලඳීම නිසා ජිවිතක්ෂයට පත් විය.

ඒ වන විට ඔවුන් අප්‍රිකාවෙන් පිටත්ව ගොස් ගත වී තිබුණේ මාස හතරක් වැනි සුළු කාලයක් පමණි. ඔහුගේ අභාවයෙන් පසු ව ඔවුන්ගේ පුත්‍රයන් දෙදෙනකුට නිදහස හිමි වූ අතර ඔවුහු මොන්රෝවියාවට පැමිණ ඉසබෙලා සමඟ ජීවත් වූහ.

Prince Among Slaves චිත්‍රපටයේ දැන්වීමක් – www.amazon.com

‘Prince Among Slaves’ චිත්‍රපටය

වහල් සේවයේ යෙදෙන අතරතුර ඉබ්න් සෝරි ස්වයං-චරිතාපදාන දෙකක් රචනා කළේ ය. ඊට අමතර ව ඔහුගේ විශාල ප්‍රමාණයේ සිතුවමක් කොංග්‍රස් පුස්තකාලයේ ප්‍රදර්ශනයට තබා තිබේ. 2007 වසරේ දී අමෙරිකානු චිත්‍රපට නිෂ්පාදකවරියක වූ ඇන්ඩ්‍රියා කැලීන් ‘දාසයන් අතර කුමරා’ (Prince Among Slaves) නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කලේ ඉබ්න් සෝරි ගේ ජිවිත කතාව පදනම් කරගෙන ය. 

 

කවරයේ ඡායාරූපය- අබ්දුල් රහ්මන් ඊබ්‍රාහිම් ඉබ්න් සෝරි ගේ සිතුවමක්- www.bestnewsgh.com

මූලාශ්‍ර:

www.slaveryandremembrance.org

www.docsouth.unc.edu

www.natchez.ms.us

www.countryroadsmagazine.com

Related Articles