Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාව නිසා කඩා වැටුණු පෞද්ගලික බස් සේවය

පසුගිය මාස කිහිපය පුරාවටම ලංකාවට බලපෑම් කළ කොරෝනා වසංගතය නිසා විවිධ රැකියා ක්ෂේත්‍රයන් ආශ්‍රිතව ගැටලු රැසක් පැන නැගුනා. එහි දී පුද්ගලික බස් කර්මාන්තය ආශ්‍රිතව ඇති වුණු ගැටලුවලට විසඳුම් ලැබී තිබුණේ නැහැ. එම නිසාම බස් කර්මාන්තයෙන් යැපුණු බොහෝ දෙනෙකුට ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය ජීවිකාව ගෙන යන්නට සිදුවුණා. පසුගිය මාස කිහිපය පුරාවටම ස්ථීර ආදායමක් නොලැබුණු එම සේවකයන්ට සිය හෙට දවස පිළිබඳව දෙගිඩියාවෙන් කල් ගෙවීමට සිදුව තිබෙන්නේ තවමත් කොරෝනා වසංගතය නැවත හිස එසවීමට තිබෙන ඉඩකඩ නිසා යි. 

ලංකාව තුළ බස් සේවාව ආරම්භ වුණු හැටි 

ලංකාවට මුලින්ම බස් රථයක් ආනයනය කරවන ලද්දේ ටී. ඩබ්ලිව්. කොලට් නම් ඉංග්‍රීසි ජාතිකයා යි. 1907 වසරේ සිට විධිමත්ව ආරම්භ වුණු බස් ධාවනය කොළඹ සහ හලාවත නගරයන් අතර ක්‍රියාත්මක වුණා. එම අවධියේ දී අප රටට ගෙන්වා තිබුණු Thonyorft  නැමති බස් වර්ගය ඝන ටයර්වලින් යුක්ත වුණා. එලෙස දිගින් දිගටම බස් ආනයනය කළ කොලට් නම් ඉංග්‍රීසි ජාතිකයා 1921 වසරේ දී Ceylon Motor Transit Company නම් සමාගම පිහිටවනු ලැබුවේ විධිමත් බස් සේවාවක් පවත්වාගෙන යාමේ අරමුණෙන්. 

බස් සේවාව තවත් පුළුල් වෙයි 

1925 වසර වන විට ලංකාව තුළ බස් සමාගම් රැසක් ක්‍රියාත්මක වුණු නිසා බස් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකියාව ලැබුණා. නමුත් ධාවනය වන බස් ප්‍රමාණය වැඩිවීමත් සමග ඇති වුණු ගැටලු නිරාකරණය කිරීම සඳහා මෝටර් රථ පනතක් සම්මත කරගනු ලැබුවේ 1927 වසරේ දී යි. එම පනතෙහි බස්‌ රථයක තිබිය යුතු අංග, බස්‌ රථ ලියාපදිංචි කිරීමේ නීති රීති, ධාවන බලපත්‍ර, රියදුරු බලපත්‍ර, බස්‌ රථ රක්‌ෂණය, ධාවන වේග සීමා, ආදී කරුණුවලට අදාළ සම්මත නියමයන් ඇතුළත් වුණා. ඉන් අනතුරුව ලංකාව තුළ හොඳින්ම ක්‍රියාත්මක වුණු බස් සේවාව 40 දශකය ආරම්භ වන විට දිවයින පුරාම ව්‍යාප්ත වී තිබුණා. එම යුගය වන විට බස්නාහිර පළාත තුළ වඩාත්ම ප්‍රසිද්ධව තිබුණේ පහත සඳහන් බස් රථ සමාගම් කිහිපය යි. 

1) ගාමිණී බස්‌ රථ සමාගම 

2) හයිලෙවල් බස්‌ රථ සමාගම

3) විජය බස්‌රථ සමාගම 

4) මුණගම බස්‌ රථ සමාගම

5) රණසිංහ බස්‌රථ සමාගම

6) පානදුර මොටර් ට්‍රාන්ස්‌පෝට්‌ සමාගම 

7) කුකුළා බස්‌ රථ සමාගම

පැරණි බස් රථයක් (i.pinimg.com)

බස් ජනසතු කිරීම 

1956 වසරේ දී බලයට පත් වුණු බණ්ඩාරනායක රජය බස් සේවාව ජනසතු කරනු ලැබුවා. 1957 අංක 48 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත මඟින් එවකට එවකට පැවති පෞද්ගලික බස් සමාගම් සියල්ලම ජනසතු කරනු ලැබුවා. 1958 වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වුණු ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සේවය යටතේ මුල්ම වරට බස් රථයක් ධාවනයේ වුණේ කොළඹ-නිට්ටඹුව අතර යි. එලෙස බස් ජනසතු කිරීමත් සමගින් ලංකාවේ පුද්ගලික බස් ධාවනය නතර වුණා. 

ජනසතු කළ මුල්ම බස් රථය (Deshaya)

පෞද්ගලික බස් සේවය යළි ආරම්භ වීම 

70 දශකයේ මැද භාගය වන විට ලංකාවේ මඟී ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාව ලැබී තිබුණේ නැහැ. එම නිසා 1977 වසරේ දී බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජය යළි පෞද්ගලික අංශය ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ කරගත්තා. එදා සිට ක්‍රමයෙන් දියුණුවට පත් වුණු පුද්ගලික බස් කර්මාන්තය වර්තමානය වන විට රටේ ගමනාගමන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සුවිශේෂී මෙහෙයක් ඉටු කරනවා.

වර්තමානය වන විට පෞද්ගලික බස් සේවාව ඉටුකරන මෙහෙවර 

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන ජනගහනය ඉහළ ගියා. ඒ අනුව ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් වෙනුවෙන් වැඩි බස් ප්‍රමාණයක් අවශ්‍ය වුණා. එහි දී පෞද්ගලික අංශයේ බස් රථ වැඩි ප්‍රමාණයක් සේවයට එක් වුණා. 

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ධාවනය වන බස් රථවලින් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ පෞද්ගලික අංශයට යි. මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් දෛනිකව ධාවනය සඳහා යොදවන බස් ප්‍රමාණයට වඩා තුන්ගුණයකටත් වැඩි බස් ප්‍රමාණයක් පෞද්ගලික අංශය මඟින් ධාවන කටයුතු සඳහා යොදවනු ලබනවා. ඉන් පෙනීයන්නේ පෞද්ගලික බස් සේවාව වර්තමානය වන විට ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා විශාල දායකත්වයක් ලබාදෙන බව යි.

වර්තමානයේ දී පෞද්ගලික අංශයේ බස් ධාවනය (Pinterest)

කොරෝනාව නිසා පෞද්ගලික බස් සේවයට අත්වුණු ඉරණම 

පසුගිය මාර්තු මාසයේ සිට කොරෝනා වසංගතය ප්‍රබලව රට තුළ පැතිරීයාමත් සමග ජනතාවගේ දෛනික ජන ජීවිතය අඩාල වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොදු ප්‍රවාහන සේවාවන් තාවකාලිකව නතර කර දැමුවා. නමුත් විටින් විට සමහර දිස්ත්‍රික්කවලට පනවා තිබුණු ඇඳිරි නීතිය ඉවත් කළත් ජනතාව සිය නිවෙස්වලටම වී සිටීමට උත්සාහ කළේ අනවශ්‍ය අවදානමක් ගැනීමට තිබුණු අකමැත්ත නිසා යි. ජනතාව පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා නොකිරීම හේතුවෙන් වැඩිම බැටකෑමකට ලක් වුණේ දෛනික වැටුපක් ලබමින් සිටි පෞද්ගලික බස් සේවාවන් සමග සම්බන්ධ වී සිටි සේවක පිරිස යි.

පෞද්ගලික අංශයේ බස් සේවකයන්ට අසීරු කාලයක් 

සාමාන්‍යයෙන් පෞද්ගලික බස් සේවාවන් සමග සම්බන්ධ වී සිටින සේවකයන් සිය ජීවිකාව ගෙනයන්නේ දෛනිකව ලැබෙන ආදායමෙන්. කොරෝනා වසංගතය පැතිර යාමත් සමග ඔවුන්ට සිය රැකියාව කරගෙන යාමට හැකිවුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් විශාල සේවකයන් පිරිසකට දැඩි ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වුණා. සමහර දිස්ත්‍රික්ක තුළ ඇඳිරි නීතිය ඉවත් කර තිබුණත් පෞද්ගලික බස් රථ නිසි පරිදි ක්‍රියාත්මක නොවුණේ ප්‍රමාණවත් තරම් ජනතාවක් ඔවුන්ගේ සේවාව ලබාගැනීම සඳහා නොපැමිණි නිසා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බස් හිමියන් බස් රථ අඩු ප්‍රමාණයක් ධාවනයේ යොදවන ආකාරය දක්නට ලැබුණා. එසේම නිරෝධායන නීතිරීතිවලට අනුව ඉතා අඩු පිරිසක් බස් රථවල ප්‍රවාහනය කිරීමට නියමව තිබීම නිසාත් ඇතැම් බස් රථ හිමියන් සිය බස් රථ සේවය සඳහා එක් නොකිරීමට හේතුවක් වුණා.

පෞද්ගලික බස් සේවකයන්ගේ අනාගතය අවිනිශ්චිත යි 

පසුගිය ජූනි 8 වැනිදා පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. නමුත් තවමත් මඟීන් සුපුරුදු පරිදි සිය ගමන් බිමන්වල යෙදෙන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ. එසේම බස් රථයක ප්‍රවාහනය කළ හැකි මඟීන් ප්‍රමාණයත් කප්පාදු වී තිබෙනවා. ඒ අනුව පසුගිය දිනවල යළි සේවය ආරම්භ කළ පෞද්ගලික අංශයේ බස් සේවකයන්ට දෛනිකව ලැබෙන වැටුපෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා. මෙම නීතිරීති යටතේ ඉදිරි මාස කිහිපය තුළත් කටයුතු කිරීමට සිදු වුණොත් ඔවුන්ට දැඩි ආර්ථික ප්‍රශ්න යටතේ ජීවිකාව ගෙනයාමට සිදුවනු ඇති. එසේම යම් හෙයකින් කොරෝනා දෙවන රැල්ලක් අප රට තුළ පැතිරී ගියොත් නැවතත් පෞද්ගලික අංශයේ බස් සේවකයන්ට කිසිදු ආදායමක් නොලැබෙන වටපිටාවක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. එනිසා පෞද්ගලික අංශයේ බස් සේවකයන්ට දිවි ගෙවීමට සිදුව තිබෙන්නේ අනාගතය පිළිබඳව අවිනිශ්විත හැඟීමක් සිතේ දරාගෙන යි. මෙවැනි තත්ත්වයක දී එම සේවකයන්ට පිළිසරණක් ලැබෙන ක්‍රමවේදයක් ඉදිරියේ දී සැකසෙනවා නම් ඔවුන්ගේ හෙට දවස වඩාත් යහපත් එකක් වනු ඇති.

කවරයේ ඡායාරූපය- Twitter

මූලාශ්‍රයන්- ලංගමයේ ඉතිහාසය

Related Articles