මේ පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් එහා ගිය ප්‍රශ්නයක්ද?

“ත්‍රස්තවාදය” ලෝකයේ මොන බලවත් රාජ්‍යයක් වුණත් බය කරන්න පුළුවන් අකුරු කිහිපයක්. ලෝකය පුරා ගැටළු ගණනාවකටම හේතු වෙලා තියෙන ත්‍රස්තවාදය නැති කරලා දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට අදටත් හැමෝම උත්තර හොයනවා. 2009 අවුරුද්දේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ යුද්ධය නිල වශයෙන් අවසන් වීමත් එක්ක ත්‍රස්තවාදය කියන දේ ඉතිහාස පොතටම සීමා කරන එක අපේ රටේ ප්‍රධානම අරමුණක් බවට පත් වුණා. ඒත් මේ වචනය සැරින් සැරේ හොල්මන් කරන අවස්ථා ගැන අපට අහන්න ලැබෙන්නෙම නෑ කියලා කියන්න බැහැ. එහෙම නේද?

ත්‍රස්තවාදය නිසා අවුරුදු 30ක විතර කාලයක් පීඩාවට ලක් වුණු රටක් විදිහට ත්‍රස්තවාදය නැවත ඇති වෙන එක වළක්වන්න සියලු පියවර ගන්න ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම අයිතියක් තියෙනවා. ශක්තිමත් නීතිමය රාමුවක් හදන එක එයින් ප්‍රධානයි.

කොහොම නමුත් දැනට මේ සඳහා තියෙන නීතියේ ඵලදායීතාව ගැන බොහෝ දෙනා තුළ විවධ මතවාද තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) කියලා හඳුන්වන මේ නීති කෙටුම්පතට බොහෝ දෙනාගේ විවේචන එල්ල වුණු බව රහසක් නෙවෙයි. ත්‍රස්තවාදී කටයුතු මැඩලන්න පාවිච්චි කරන නීතිය බොහොම ලේසියෙන් පළි ගැනීම් වලට පාවිච්චි කරන්න පුළුවන් බව තමයි කාගේත් ප්‍රධාන විවේචනය වෙන්නේ. මානව හිමිකම් කඩ කෙරෙන්න තියෙන ඉඩකඩ වගේම මානව හිමිකම් කඩකරන අයට දඬුවම් පමුණුවන්න තියෙන අපහසුවත් මේකේ ප්‍රධානම අඩුපාඩු කිහිපයක්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන

මේ පනත මගින් පොලීසිය වෙත සෝදිසි මෙහෙයුම් කරන්න, ත්‍රස්තවාදයට සම්බන්ධ බවට සැක කළ හැකි අය අත්අඩංගුවට ගන්න සහ රඳවා තබා ගන්න අතිරේක බලතල පැවරෙනවා.

1978 දී රටේ නීතියට එකතු වුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් පොලීසියට සෝදිසි මෙහෙයුම් සෝදිසි මෙහෙයුම් කරන්න, ත්‍රස්තවාදයට සම්බන්ධ බවට සැක කළ හැකි අය අත්අඩංගුවට ගන්න සහ රඳවා තබා ගන්න අතිරේක බලතල බොහොමයක් ලබා දෙනවා. 1979දී තාවකාලික පනතක් විදිහට මෙය නීතිගත වෙන්නේ J. R. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේදීයි. 1982 ඉඳලා එය ස්ථිර නීතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා.

මේ පනත විශාල වශයෙන් ක්‍රියාත්මක වුණු කාලයක් විදිහට 1987 – 89 කාලය හඳුන්වන්න පුළුවන්. මේ කාලයේදී ඇති වුණු ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල මැඩපවත්වන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනුණා. උද්ඝෝෂණ සහ කෝලාහල ඇති කරන තරුණයන් පහසුවෙන් අත්අඩංගුවට ගන්න එමගින් ඉඩකඩ ලැබුණා.

මේ නීතියේ විදිහට ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කෙරෙන කෙනෙක් අත්අඩංගුවට ගත්තාම මාස තුනක කාලයක් පුරාවට රඳවා තබා ගන්න බලතල පැවරෙනවා. ආරක්ෂක අමාත්‍යවරයාගේ නිර්දේශ මත මාස තුන බැගින් වාර 6ක් දක්වා මේ රඳවා තබා ගන්නා කාලය දීර්ඝ කරන්නත් පුළුවන්. (පනතේ 9 වැනි වගන්තියට අනුව) ඒ වගේම මේ රඳවා තබා ගැනීම ගැන කිසිම උසාවියක නඩු පවරන්නත් බැහැ. (රිට් ආඥා හෝ වෙනත් කිසිම ආකාරයකින්)

ආරක්ෂක අමාත්‍යවරයා ලබා දෙන රඳවා ගැනීමේ නියෝගයක් නැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා කෙනෙක්ව පැය 72 ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු වෙත් ඉදිරිපත් කළයුතුයි.

මේ විදිහට පැය 72ක් ඇතුළත උසාවියට ඉදිරිපත් කෙරෙන කෙනෙක්ව ජූරියක් නොමැති තනි විනිශ්චයකරුවෙක් වෙතයි ඉදිරිපත් කෙරෙන්නේ. ඒ ගැන ඊට පෙර මූලික පරීක්ෂණයක්වත් සිදු කෙරෙන්නේ නැහැ. නඩු විභාගය පවතින කාලය තුළදී කිසිම හේතුවක් මත ඔහුට / ඇයට ඇප ලබා දෙන්නත් අවසර නැහැ. (පනතේ 16 වගන්තිය අනුව)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වගේ තවත් නීති රෙගුලාසි ගණනාවක් නිසා මෘග නීතියක් විදිහට හංවඩු ගැහිලා තියෙනවා. ඒ නිසා මේ පනතට අන්තර්ජාතිකව වගේම අපේ රටේ සංවිධාන ගණනාවකුත් විරෝධය පළ කරනවා.

ශ්‍රී ලංකාවේ සමාජ සංවිධාන සහ දේශපාලකයන් ගණනාවක්ම ලංකාවේ පැවති යුද්ධය මේ වන විට අවසන් වෙලා නිසා තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වා ගෙන යන්න හේතුවක් නැහැ කියලා තර්කයක් මතු කරනවා. තවත් පිරිසකගේ මතය වෙන්නේ මේ නීතිය වැරදි විදිහට පාවිච්චි කරන්න තියෙන ඉඩකඩ වැඩි නිසා මේක ඉවත් කරලා වඩාත් ඵලදායී පනතක් ගෙන ආ යුතුයි කියන එකයි. හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) කියන අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධානය කියන විදිහට ත්‍රස්‌තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තු ගණන නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැති වුණත් දැනටත් පුද්ගලයන් 120 – 162 අතර ප්‍රමාණයක් රඳවා තබාගෙන ඉන්නවා වෙන්න පුළුවන්.

ඔවුන්ගේ වාර්තාවේ මෙහෙම කියැවෙනවා. “2016 අවුරුද්දේ අප්‍රේල් මාසයේදී දණ්ඩ නීති සංග්‍රහය වෙනුවට ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට සැක කළ 11 දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ අත්අඩංගුවට ගන්න රජය කටයුතු කළා.”

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම පවත්වා ගෙන යා යුතුයි කියලාත් මතයක් තියෙනවා. ත්‍රස්තවාදයෙන් පීඩා විඳපු රටක් විදිහට මේ විධිවිධාන පැවතීම අවශ්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයන් ඇතුළුව තවත් අයගේ අදහසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පවතින ගැටළු

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙස සහ දේශපාලනික සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරන ශ්‍රී ලංකික ක්‍රියාකාරීන් පිරිසක්. රූපය : Melani Manel Perera

ආරක්ෂක විශ්ලේෂකයෙක් සහ තීරු ලිපි රචකයෙක් වන රතින්ද්‍ර කුරුවිට මහතා කියන විදිහට රටේ නීතිය සහ සාමය රැක ගන්නට නම් නීතිමය රාමුවක් අත්‍යාවශ්‍යයි. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එයට සුදුසු නොවන බව ඔහු පිළිගන්නවා.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කරන්න අවශ්‍යයි. මේකට ප්‍රධානම හේතුව මේ පනත යල් පැන ගිය එකක් වීමයි. 1979 දී රට ඇතුළේ ඇති වුණු කැරැල්ලක් මර්ධනය කරන්නයි මේ පනත ඉදිරිපත් කෙරුණේ. කොහොම වුණත් එදා තත්වය සහ අද තත්වය අතර පැහැදිළි වෙනස්කම් ගණනාවක් තියෙනවා. සන්නිවේදන තාක්ෂණයන්ගේ දියුණුව නිසා ලෝකයේ ඕනෑම තැනක ඉඳලා ත්‍රස්තවාදී කටයුතු මෙහෙයවන්න ත්‍රස්තවාදීන්ට පුළුවන්.”

Roar අපි නීති පර්යේෂකවරයෙක් වන ෆයිසර් ෂහීඩ් මහතාගෙනුත් අදහස් විමසුවා. ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන දැක්වුවේ මේ වගේ අදහසක්.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියන්නේ බොහොම දුෂ්ට පනතක් බව ඉතා පැහැදිළියි අන්තර්ජාතික තලයේ බොහෝ දෙනෙක් මේක විවේචනයට ලක් කරනවා. මෙතැනදී පැහැදිලිවම සිදු වෙන්නේ අවශ්‍යතාවය අනුව තවත් කෙනෙක්ගේ පෞද්ගලික අයිතීන්ට බාධා කරන්න බලතල ලබා දීමක්. මේ පනතේ තියෙන බරපතලම දෝෂය තමයි ආරක්ෂක අමාත්‍යවරයාගේ නිර්දේශය මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තු කෙනෙක්ව මාස 18ක් දක්වා දිගු කළ හැකි කාලයක් පුරා රඳවා තබා ගන්න ඉඩ ලැබෙන එක. ඒ වගේම මේ රඳවා ගැනීමේ නියෝගය ගැන උසාවියකදී ප්‍රශ්න කරන්නවත් අවසරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝගය මොන තරම් අසාධාරණ, නොමග යවන සුළු එකක් වුණත් ඇමතිවරයාට අදාළ පුද්ගලයා නිදහස් කරන්න හිතෙන තුරු රඳවා තබා ගන්න නීතියෙන්ම අවසර ලැබෙනවා.”

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා කෙනෙක්ව මහේස්ත්රාත්වරයෙක් වෙත ඉදිරිපත් කරන්න පැය 72ක් තියෙන නිසා දේශපාලන හේතු මත බොහෝ පිරිසක් අත්අඩංගුවට ගන්න මේකෙන් අනවශ්‍ය අවසරයක් ලැබෙන බවත් ඔහු කියා සිටියා.

ඒ වගේම සාමාන්‍යයෙන් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අනුගමනය කරන පිළිගත් ක්‍රියාමාර්ග (සාක්ෂි විධිවිධාන පනතේ සඳහන්) කිහිපයක්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසා මග හරින්න පුළුවන් වෙන බව ෂහීඩ් මහතාගේ අදහසයි. “මේ නිසා පොලීසිය සටහන් කර ගන්නා ඕනෑම ප්‍රකාශයක් උසාවියකදී පිළිගැනීමකට ලක් වෙනවා වගේම අත්අඩංගුවට ගැනීමටත් ප්‍රමාණවත් වෙනවා. මේ ප්‍රකාශය බලෙන් හෝ රැවටීමෙන් ලබා ගත්තත් එයට නිල පිළිගැනීමක් හිමි වෙනවා. මේ වැරැද්ද තමයි තමයි බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුණු සිංගරාසා නඩුවේදීත් සිදු වුණේ.” ඔහු අපිට කිව්වා.

ඒ වගේම ෂහීඩ් මහතාට අනුව මේ වගේ අසාධාරණකම් වළක්වා ගන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙනුත් උපදෙස් මාලාවක් ලබා දීලා තියෙනවා. මේ උපදෙස් මාලාවට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කෙනෙක් අත්අඩංගුවට ගන්නා හා රඳවා ගන්නා අවස්ථා වලදී පහතින් දැක්වෙන ක්‍රමවේද අනුගමනය කරන්න කියලා නිර්දේශ කෙරෙනවා.

අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයෙකුටම ඔහුව / ඇයව අත්අඩංගුවට ගන්නේ මොන වගේ වැරැද්දකටද කියන එක පැහැදිලිව දැනුම් දෙන්න අවශ්‍යයි. ඒ වගේම ඔහුට / ඇයට තමන්ගේ පවුලේ අය සමග සම්බන්ධ වෙන්නත්, වෛද්‍ය ප්‍රතිකාර හෝ බෙහෙත් ලබා ගන්නත්, අනෙකුත් මානුෂීය අයිතිවාසිකම් භුක්ති විඳින්නත් ඉඩ දිය යුතුයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කිසිම විදිහකින් සඳහන් කරලා නැති, නමුත් හිතුමනාපයට ක්‍රියාත්මක වන ක්‍රම වලින් සැකකරුවන්ගේ මානව අයිතිවාසිකම් බිඳ වැටෙන එක වළක්වා ගන්න වෙනවා.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කෙනෙකුට එරෙහිව තමන්ගේ හිතුමනාපයට අනිසි බලතල ක්‍රියාත්මක කරන්න නිලධාරීන්ට ඉඩක් ලැබෙන බව ඔවුන්ගේ කටයුතුවලට විරුද්ධව උසාවියේ නඩු පවරන්නට ඉඩක් ලබා නොදීමෙන් පැහැදිලි වෙනවා” කියලත් ෂහීඩ් මහතා ප්‍රකාශ කළා.

අලුතෙන් එන ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත

මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි මාසයේදී ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් අවස්ථාව. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම යහපාලන රජයේ ප්‍රධානම ඡන්ද පොරොන්දුවක්. රූපය : AFP

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු “යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ” 2015 දී බලයට පැමිණීමත් එක්ක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන එක ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වුණා.

2015 ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්  අල් හුසේන් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් කෙටුම්පත් කිරීම වෙනුවෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් 2015 අප්‍රේල් මාසයේදී පත් කරපු බව පිළි ගත්තා.

ඒ වගේම මේ කමිටුවේ වැඩකටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය පිටුදැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක කාර්යාලයේ සේවය ලබා ගත් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළා.

මේ කමිටුව මගින් තවත් පනත් දෙකක් සකස් කරන්නට නියමිතයි. මෙයින් එකක් බුද්ධි තොරතුරු පනත (Intelligence Act) විදිහටත්, අනෙක සංවිධානාත්මක අපරාධ වලට එරෙහි පනත (Act Against Organised Crime) කියලාත් නම් කරලා තිබෙනවා.

ඒ වගේම පසුගිය ඔක්තෝබර් මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් නීතියක් ගෙන ඒම සඳහා වන රජයේ වැඩපිළිවෙල වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමි වුණු බවත් නිවේදනය කෙරුණා.

මේ යෝජිත පනත සකස් කරපු, අමාත්‍ය සාගල රත්නායක මහතා මුලසුන දරන කමිටුව මගින් ත්‍රස්තවාදය වළක්වා ගන්න ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කරන්න නියමිතයි. එමගින් ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් දක්වන උනන්දුව පිළිබිඹු කෙරෙනවා. දැනට මේ පනතේ තියෙන කරුණු “ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව” තුළ විවාදයට ලක් කෙරෙමිනුයි පවතින්නේ.

මේ ගැන ප්‍රවෘත්ති වාර්තා පළ වීමත් එක්කම මේ පනතේ අඩංගු වන බවට සැක කෙරෙන කරුණු ඇතුළත් රහස් ලියැවිල්ලක් අන්තර්ජාලයේ පළ වුණා. මේ ලියැවිල්ල නම් කරලා තිබුණේ යෝජිත ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත සඳහා වන නීති හා ප්‍රතිපත්ති රාමුව කියලයි.

මේ වාර්තාව ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතේ අවසාන නිල පිටපත නොවුණත් බොහෝ දෙනෙක් මේ ලියැවිල්ලේ අඩංගු කරුණු ගැන විරෝධය දැක්වූවා. කෙටියෙන් CTA (Counter Terrorism Act) කියලා හඳුන්වන මේ පනත ඇතැම් කරුණු අතින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා භයානකයි කියලා අදහස් පළ වුණා.

මේ ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතත් දෙමළ ජාතික සන්ධානයේ විවේචනයට ලක් වුණා. ඔවුන් මුල සිටම කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න අවශ්‍ය බවයි. ඔවුන් කියා සිටින්නේ මේ අලුත් නීතිය නිසා සහනයක් ලබා ගන්න බලා සිටි පිරිසට තවදුරටත් බියෙන් කල් ගෙවන්නට සිදු වෙන බවයි.  ඒ වගේම අලුත් නීතිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා නරක විදිහට ක්‍රියාත්මක වෙන්නත් ඉඩ තියෙන බව ඔවුන් කියනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් මේ ලියැවිල්ලේ දැක්වෙන කරුණු විශ්ලේෂණය කරලා කියලා තිබුණේ මේ තුළින් රජය ත්‍රස්තවාදයට අලුත් නිර්වචනයක් ලබා දීලා තියෙන බවයි. මේ අලුත් නිර්වචනයට රහස් ඔත්තු බැලීම වගේ කාරණා පවා ඇතුළත් වෙනවලු.

“ත්‍රස්තවාදය කියන දේ දැන් නිර්වචනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ස්වෛරී රාජ්‍යයක ස්වෛරීයත්වය, ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය හා ආරක්ෂාවට අනිසි බලපෑම් සිදු කිරීම, තර්ජනය කිරීම හෝ ප්‍රහාර දියත් කිරීම විදිහටයි.” සන්ඩේ ටයිම්ස් පුවත් පත ප්‍රකාශ කරනවා.

අළුතෙන් ඇති වුණු ගැටළු

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත ගෙන ඒම නිසා ඇති වෙන තත්වය ගිහාන් ද චිකේරා කාටුන් ශිල්පියාගේ ඇසින්. (NO CREDIT)

ෂහීඩ් මහතාට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අඩුපාඩු බොහොමයක් තිබුණත් ඒ ගැටළු විසඳන්න ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත ගෙනඑන එක නිවැරදිම පිළිතුර නොවෙන්න පුළුවන්.

“මේ වාර්තාවේ දැක්වෙන ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතට අදාළ කරුණු වලින් පැහැදිලි ප්‍රයෝජනයක් අත් වෙන්නේ නැහැ. මේක නිල වාර්තාවක් නෙවෙයි, පනත සකස් කරන්න පාවිච්චි වෙන මූලික ලියැවිල්ලක් විතරයි. කොහොම නමුත් ධනාත්මකව මේ ගැන හිතන්න පුළුවන් කරුණු මේ තුළ අඩංගු නැහැ. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ සඳහන් නොවූ අංශ කිහිපයක් ගැනත් මෙහි කරුණු සඳහන් වෙනවා.” ඔහු කිව්වා.

ෂහීඩ් මහතාට අනුව ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත මගින් ඉටු කර ගන්න හදන කාරණාව පැහැදිළියි, ඒ තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා හොඳ නීතියක් ගෙන එන එක. නමුත් ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත දැනට පවතින නීතියට වඩා විශේෂ හොඳක් නැති බවයි ඔහුගේ අදහස.

“උදාහරණයක් විදිහට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුන බැගින් වාර හයක් දක්වා රඳවා තබා ගන්න අවසර ලැබුණා. ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත අනුව මාසය බැගින් වන වාර හයක් දක්වා රඳවා තබා ගන්න අවසර ලැබෙනවා.” ඔහු පැහැදිළි කළා.

“ඒ වගේම ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත තුළ කලින් ත්‍රස්තවාදය යටතට නොගැනුණු පුළුල් වපසරියක කාරණා ත්‍රස්තවාදය යටතට ගැනෙනවා. මේවා ත්‍රස්තවාදය, ත්‍රස්තවාදී ක්‍රියා, ආශ්‍රිත ක්‍රියා සහ වෙනත් වැරදි කියලා නිර්වචනය කෙරිලා තියෙනවා. සාමාන්‍යයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතට වැටෙන සාහසික අඩන්තේට්ටම් කිරීම, ඝාතනය, පැහැර ගැනීම, දේපල අලාභ සිදු කිරීම සහ සොරකම් වගේ දේවල් පවා මේ යටතේ ත්‍රස්තවාදී ක්‍රියා කියලා නම් කෙරෙන්නට හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදිහට සාමාන්‍ය සොරකමක් කරපු පුද්ගලයෙක්ව පවා ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න මෙයින් ඉඩ සැලසෙනවා.” කියලා ෂහීඩ් මහතා ප්‍රකාශ කළා.

ඒ වගේම මේ පනත තුළ “බිහිසුණු අන්තවාදය” (Violent Extremism) සහ “මතවාදීමය අභිභවනය” (ideological domination) වගේ කාරණාත් දඬුවම් කළ හැකි වැරදි විදිහටයි හැඳින්වෙන්නේ. ෂහීඩ් මහතාට අනුව මේ වැරදි එක්කෝ නිවැරදිව පැහැදිලි කෙරිලා නැහැ, නැතිනම් ඒවා නිර්වචනය කරන්න වෙන්නේ බොහොම අවිනිශ්චිත විදිහටයි.

“මේ වගේ අවිනිශ්චිත වචන භාවිතය මුළු ලියැවිල්ල පුරාවටම දැකගන්න ලැබෙනවා කිව්වොත් වරදක් නැහැ. හැබැයි අපරාධ ගැන නම් බොහොම විස්තරාත්මකව කරුණු දක්වලා තියෙනවා. කොහොම වුණත් මෙහි දැනට තියෙන බලතල එක්ක පනත ක්‍රියාත්මක වුණොත් බොහෝ වෙලාවට හිතුමතේට නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩක් ලැබේවි. මිනිසුන්ගේ අයිතිවාසිකම් වලටත් එයින් බලපෑමක් වෙන්න පුළුවන්.”

“දැනට එළියට ආපු ලියැවිල්ලේ අඩංගු කාරණා වුණත් තමන් කැමති විදිහට නිර්වචනය කරගෙන දේශපාලන පළිගැනීම් වෙනුවෙන් යොදා ගන්න ලොකු ඉඩකඩක් තියෙනවා. නමුත් සැකකරුවන් පීඩාවට ලක් වුණු නීති බොහොමයක් නම් සංශෝධනය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සිරකරුවන්ට නීතීඥයන් සහ පවුලේ ඥාතීන් හමු වෙන්න මෙමගින් ඉඩ සැලසෙනවා. ඉතින් සමහර කාරණා වලින් මේ ලියැවිල්ල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා හොඳයි කියලා පිළිගන්න පුළුවන්.” ඔහු කීවා.

ඒ වගේම මේ ලියැවිල්ලේ අඩංගු කරුණු වලින් දේශපාලන පළිගැනීම් විදිහට පුද්ගලයන් අත්අඩංගුවට ගන්න තියෙන හැකියාව අඩු කරන්න උත්සාහ ගෙන ඇති බවත් ෂහීඩ් මහතා ප්‍රකාශ කළා. පුද්ගලයෙක් රඳවා තබා ගන්න කියලා නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය එමගින් පොලිස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් වෙත පැවරෙන නිසා ඇමතිවරයාට දේශපාලනික බලය පාවිච්චි කිරීමේ හැකියාව අඩුයි. හිතුමතේට රඳවා තබා ගන්න තියෙන හැකියාව අඩු කරන කරුණුත් මේ ලියැවිල්ලේ අඩංගුයි. යම් කෙනෙකු දින 90කට වඩා රඳවා ගන්නවා නම් ඒ ගැන ඇමතිවරයාගෙන් කරුණු විමසන්නටත් මෙමගින් මහේස්ත්‍රාත්වරයාට බලයක් හිමි වෙනවා.

මේ වගේ කාරණා නිසා මොන තරම් අඩුපාඩු තිබුණත් ත්‍රස්‌තවාදය පිටුදැකීමේ පනත නිවැරදි විදිහට සංශෝධනය වුණොත් බොහොම සාර්ථක නීතියක් බවට පත් වේවි කියලත් ෂහීඩ් මහතා විශ්වාස කරනවා.

පැරණි නීතියට වඩා හොඳක් නැද්ද?

මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන රුකී ප්‍රනාන්දු මහතා විශ්වාස කරන්නේ ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් අරමුණ සහ අවශ්‍යතාව අතින් එක සමානයි කියලයි. ඔහු කියන විදිහට මේවායේ උවමනාව “ත්‍රස්තවාදය පිටුදැකීමේ මුඛ්‍ය අරමුණ වෙනුවෙන් මිනිසුන්ගේ ජීවිත, නිදහස සහ ආත්ම ගරුත්වය ගැන නොසලකා විධායක බලධාරීන්ට, පොලීසියට සහ හමුදාවන්ට අසීමිත බලතල පැවරීමයි”.

ඔහු තවදුරටත් අදහස් දැක්වුවේ මේ විදිහට. “මේ වගේ පනතක් සකස් කරද්දී මහජනතාවගෙන් අහන්නේ නැතිව හොර රහසේ කටයුතු කළේ ඇයි කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාධාරණයට ලක් වුණු, තවමත් පරීක්ෂණවලට, බලපෑම්වලට, බිය ගැන්වීම් වලට ලක් වෙන කෙනෙක් විදිහට මම නම් හිතන්නේ මේ නීතිය සම්පූර්ණයෙන් ඉවත් කරලා දැමිය යුතුයි කියලයි. ත්‍රස්තවාදය හා අපරාධ වළක්වා ගන්න පුළුවන් විදිහට පවතින නීති හා ආයතනික ව්‍යුහය ශක්තිමත් කරන එකයි වඩාත් අවශ්‍ය වෙන්නේ. බලධාරීන්ට හිතුමතේ මිනිසුන් පීඩාවට ලක් කරන්න බැරි වෙන විදිහට නීති සකස් විය යුතුයි.”

ආරක්ෂක තොරතුරු විශ්ලේෂකවරයෙක් වන කුරුවිට මහතා නම් කියන්නේ ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතේ මූලික ලියැවිල්ල තුළින් ත්‍රස්තවාදී කටයුතු වළක්වා ගන්න අවශ්‍ය බලතල ප්‍රමාණවත්ව ලැබෙනවා කියලයි. ඔහු තරයේම විශ්වාස කරන්නේ කලින් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි විදිහට ක්‍රියාත්මක කරපු ආකාරය ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත මගින් මූලික අයිතිවාසිකම් කඩ වෙන්න ඉඩක් තියෙන බවටත් චෝදනා නැගෙන්න ප්‍රධානම හේතුව කියලයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෝස්ටරයක් ඉදිරිපිට රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරියෙක්. ඔහුගේ රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තියෙන බලතල අනිසි විදිහට යොදා ගත් බවට චෝදනා නැගෙනවා. මේ පනත සංශෝධනය කරන්න කියලා ලොකු සංවාදයක් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් වුණේ මේ කාරණාවයි. රූපය : AP/Eranga Jayawardena

“මේ වගේ බියක් ඇති වෙන්න ප්‍රධානම හේතුව වුණේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි විදිහට භාවිත වුණු එකයි. මේ පනත භාවිතයෙන් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ව පීඩාවට ලක් කරන්න ඔවුන් කටයුතු කළා. නමුත් ඔවුන් සමහර වෙලාවට විපක්ෂ දේශපාලන පක්ෂ විරෝධතා රැළි තියන එක නවත්වන්න පරිසර ආරක්ෂණ නීති පවා භාවිත කළා. ඉතින් අපි ඒ නීතිත් ඉවත් කරන්න ඕනෙද? ඉතින් ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත පසුගිය රජයේ ක්‍රියාකලාපය විතරක් පදනම් කරගෙන විවේචනය කරන එක සාර්ථක නැහැ. නීතිය ක්‍රියාත්මක විදිහ අනිවාර්යයෙන්ම තීරණය වෙන්නේ බලයේ සිටින්නේ කවුරුද කියන එක මතයි.” ඔහු අපිට කිව්වා.

දැනට ලෝකයේ තියෙන වාතාවරණයත් එක්ක ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ කොහොමද කියන එක ගැන ඔහු පළ කරේ මේ වගේ අදහසක්. “ත්‍රස්තවාදයට එරෙහි නීති ලෝකය පුරාම රටවල් වල පවතිනවා. නමුත් තවමත් කිසිම රටකට ත්‍රස්තවාදය වැළැක්වීම සහ මානව හිමිකම් සුරැකීම අතර නිවැරදි තුලනය හොයා ගන්න පුළුවන් වෙලා නැහැ.”

දැනට තියෙන ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත දිගටම තියා ගන්නවාද, සංශෝධනය කරනවාද, මුළුමනින්ම ඉවත් කරලා අලුතින් පනතක් ගෙන එනවාද කියන එක ගැන තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ. මොකද වෙන්නේ කියන එක ගැන දැනගන්න දිගටම Roar එක්ක එකතු වෙලා ඉන්න.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

කවරයේ පින්තුරය:  Daily News

Related Articles