කාශ්මීර ප්‍රහාරයත් සමග නැවතත් කරළියට එන ඉන්දු-පාකිස්ථාන් විරසකය

පසුගිය දා කාශ්මීර ප්‍රදේශයේ දී ඉන්දීය ආරක්ෂක හමුදා අනු ඛණ්ඩයකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයත් සමග කාශ්මීර අර්බුදය නැවතත් කරළියට පැමිණ තිබෙනවා. කාශ්මීරයේ ඉන්දීය පාලනයක් සහිත ප්‍රදේශයක් වන පල්වාන්හි දී මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඒ සඳහා පාකිස්ථානයේ සම්බන්ධතාවයක් ඇත්දැයි සොයා බැලීමට ඉන්දීය ආරක්ෂක අංශ ඒ වන විට කටයුතු කරමින් සිටිනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් තම රටට එරෙහිව ඉන්දියාව විසින් හමුදාමය ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් පාකිස්ථානය ද ඒ හා සමාන ක්‍රියාමාර්ගයන් ගන්නා බව පාකිස්ථානු අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අතිරේක පොලිස් අනුඛන්ඩයක් ගමන් කළ වාහන පෙළකට පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් උපයෝගී කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරය එල කර තිබෙනවා. මේ ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂක භටයන් 40 දෙනෙකුට අධික පිරිසක් මරණයට පත් වී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

කාශ්මීර අර්බුදයේ ඉතිහාසය

ඉන්දියාවට, පාකිස්ථානයට හා චීනයට අයත් කාශ්මීර ප්‍රදේශ (123RF.com)

ඉන්දියාව හා පාකිස්ථානය අතර කාශ්මීර් ප්‍රදේශයේ අයිතිය පිළිබඳව මත ගැටුම් පවතින්නේ 1947 වසරේ සිට යි. මේ හේතුවෙන් රටවල් දෙක විශාල යුද්ධ තුනකට පැටලෙන අතර ඊට අමතරව දේශ සිමා අසළ නිරන්තර වෙඩි තබා ගැනීම් ද වාර්තා වෙනවා. කාශ්මීර් අර්බුදයේ උපත හා ඉන්දියා පාකිස්ථාන යුද ගැටුම් පිළිබඳව මීට පෙර roar වෙතින් ඔබ වෙත ලිපියක් ගෙනවිත් තිබෙනවා.

මේ වන විට කාශ්මීර් ප්‍රදේශයේ කොටසක් ඉන්දියාව පාලනය කරන අතර කොටසක් පාලනය කරන්නේ පාකිස්ථානය යි. තවත් කොටසක් චීනය සතු වෙන අතර මේ කොටස සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර විරසකයක් පවතිනවා. කාශ්මීරයේ අයිතිය පිළිබඳව ඉන්දියාව හා පාකිස්ථානය අතර වරින් වර ගිවිසුම් කිහිපයක් අත්සන් තැබෙනවා. නමුත් ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අන්තවාදී ඉස්ලාම් සංවිධාන හේතුවෙන් රටවල් දෙකට එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

මෑත ඉතිහාසය තුළ ඉන්දියාව පාලනය කරන කාශ්මීර ප්‍රදේශයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල වී තිබෙනවා. 2002 වසරේ ඉන්දියානු හමුදා කඳවුරක් එල්ල කරගෙන සිදු වූ  ප්‍රහාරයෙන් හමුදා භටයන් හා සාමාන්‍ය වැසියන් 31 දෙනෙක් පමණ මරණයට පත් වෙනවා. 2016 වසරේ දී කාශ්මීරයේ ඌරි හි පිහිටි ඉන්දීය හමුදා මූලස්ථානයකට කඩා වැදුණු පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක හමුදාවේ 19ක් ඝාතනය වෙනවා. 2018 වසරේ ද මෙම ප්‍රදේශය තුළ වරින් වර සුළු ගැටුම් උත්සන්න වී ඇති අතර මේ හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ප්‍රමාණය 500කට ආසන්න වෙනවා.

පල්වාන්හි මරාගෙන මැරෙන ප්‍රහාරය

ප්‍රහාරය එල්ල වූ ස්ථානය (Al Jazeera)

ඉන්දියානු පොලීසියේ අනුඛණ්ඩයකට අයත් තුන් දහස් පන්සියයක පමණ භට කණ්ඩායමක් රැගෙන යමින් සිටි වාහන පෙළක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වන්නේ පෙබරවාරි මාසයේ 14 වන දින යි.

වාහන 55ක් පමණ මෙම රථ සමූහයට අයත් වූ අතර පල්වාන් ප්‍රදේශයේ දී පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථයක් මෙම සමූහය හා ඝට්ටනය වෙනවා. මෝටර් රථය පුපුරා යාමත් සමග ආරක්ෂක භටයන් 40 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබනවා.

ප්‍රහාරය එල්ල වී ස්වල්ප වෙලාවකින් පසුව එහි වගකීම ජයිෂ් ඊ මුහම්මද් නම් ත්‍රස්තවාදී සංවිධානය විසින් භාර ගන්නවා. මෙම ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වෙන අතර එය, ඉන්දියාවේ මෙන්ම පාකිස්ථානයේ ද තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා.

පාකිස්ථානය වෙත එල්ල වෙන චෝදනා හා පාකිස්ථානයේ ප්‍රතිචාරය

ප්‍රහාරයෙන් පසුව (Newcastle Herald)

මෙම ප්‍රහාරය සඳහා පාකිස්ථානය වක්‍රාකාරව සහාය ලබා දී ඇති බව ඉන්දීය මධ්‍යම රජය පවසනවා. පාකිස්ථානයේ  සිට ක්‍රියාත්මක වෙන අන්තවාදී ජයිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත සංවිධානය මර්දනය කිරීමට පාකිස්ථානය විසින් කිසිදු පියවරක් නොගැනීම පිළිබඳව බරපතල චෝදනා එල්ල වෙනවා. ත්‍රස්ත සංවිධානය කුඩා අවස්ථාවේ සිට මේ දක්වා වර්ධනය වීමට අවශ්‍ය ආධාර අනුබල පාකිස්ථානු බුද්ධි අංශ හා ආරක්ෂක අංශ විසින් ලබා දී තිබීම පිළිබඳව ද චෝදනා එල්ල වෙනවා.

මෙම ප්‍රහාරයත් සමග ඉන්දියානු ජනතාව කෝප වන බව ඉන්දියානු අගමැති මෝදි ප්‍රකාශ කර ඇති අතර පාකිස්ථානය ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කිරීමට අවශ්‍ය සියලු පියවර ගනු ලබන බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

මියගිය භටයන් සිහි කිරීම (Radio NZ)

ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්ථානු රජයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාශ කරන එරට අගමැති ඉම්රාන් ඛාන් ඒ පිළිබඳව චෝදනා නැගීමට පෙර සාක්ෂි ඔප්පු කර පෙන්වන ලෙස ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා. පාකිස්ථානය වෙත නිරපරාදේ චෝදනා එල්ල කිරීමෙන් වැලකී සාකච්ජා සඳහා සහභාගී වේ නම් සිදුකෙරෙන පරීක්ෂණ සදහා තම රටේ ද සහාය ලබා දීමට සුදානම් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

තව ද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු මධ්‍යම රජය පාකිස්ථානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසේනවා නම් තමනුත් ඒ සඳහා සුදානම් බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරියට කුමක් වේවි ද?

මියගිය භටයන්ට ගෞරව දක්වන මෝදි (DW)

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ පාකිස්ථානයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දියානු රජය මේ වන විට සුදානම් වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පාකිස්ථානයට එරෙහිව මෙහෙයවීමට ඔවුන් අදහස් කරන බව ඇතැමුන්ගේ මතය යි. නමුත් ලෝක බලවතෙක් වන චීනයේ සහාය පාකිස්ථානයට හිමි වීම ඉන්දියාවට සිදුවෙන අවාසියක් ලෙස නම් කළ හැකි යි.

භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන් විසින් පාකිස්ථානයට එරෙහිව කරන විරෝධතා (The Independent)

කෙසේ නමුත් ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට අගමැති මෝදී සැරසෙන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය යි. ඔහු නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය ජාතිකවාදය මෙන්ම ජාතිවාදය ද නිරූපණය කරන බැවින් ප්‍රහාරයෙන් වාසියක් ලබා ගැනීමට ඉඩ තිබෙන බව පැවසෙනවා. මෙම වසරේ පැවැත්වෙන මහා මැතිවරණයේ දී සිය ජන්ද පදනම ශක්තිමත් කර ගැනීමට එම වාසිය උපකාරී වනු ඇති.

කෙසේ නමුත් 1989 වසරේ සිට මේ වන තුරු පුද්ගල ජීවිත 47 000ක් පමණ විනාශ කර ඇති මෙම අර්බුදය නිමාවෙන සලකුණක් හෝ තවම දකින්නට නෑ.

කවරයේ පින්තූරය - young-diplomats.com

මූලාශ්‍රයයන්:

bbc.com

dw.com

reuters.com

Related Articles