Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉරානයේ සුප්‍රකටම හමුදා නිලධාරියා ඇමරිකන් ප්‍රහාරයකින් මරුට​!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකායේ විශේෂ අංශයක් වන කුද්ස් බලකායෙහි ප්‍රධානී ජෙනරාල් කාසෙම් සුලෙයිමානි, ඉරාකයේ බැග්ඩෑඩ් අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී 2020 ජනවාරි 3 වන දා සිදු වූ ඇමරිකන් ගුවන් ප්‍රහාරයකින් මියගියා.

මේ බව ධවල මන්දිරය සහ පෙන්ටගනය විසින් තහවුරු කෙරුණා. පෙන්ටගනය කියා සිටියේ මෙය ජනාධිපති ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි සිදුකෙරුණු ප්‍රහාරයක් බව යි. 2019 දෙසැම්බර් 31 වන දා බැග්ඩෑඩ් නගරයේ ඇමරිකන් තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වූයේ යයි විශ්වාස කෙරෙනවා. පෙන්ටගනය පවසන්නේ සුලෙයිමානි ඇමරිකන් තානාපති නිලධාරීන් ඉලක්ක කරගෙන තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බව යි.

මේ අතර, මෙම ගුවන් ප්‍රහාරයෙන් ඉරාකයේ අල්-හෂ්ද් අෂ්-ශාබි හෙවත් මහජනයා ජංගමගත කිරීමේ බලකාය (PMU) මිලීෂියා සංවිධානයේ උප ප්‍රධානී අබු මහ්දි අල්-මුහන්දිස් ද මියගියා.

ප්‍රහාරය එල්ල වූ ස්ථානය (AFP)

ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමනෙයි මෙම ඝාතනයට වගකිවයුතු “අපරාධකරුවන්” වෙතින් බරපතල ලෙස පළිගන්නා බවට ශපථ කළා.

ඉරාන විදේශ ඇමති ජාවඩ් සරීෆ් කියා සිටියේ මෙය අන්තර්ජාතික ත්‍රස්තවාදී ක්‍රියාවක් බව යි.

ඉරානයේ අර්වින් රොමෙල්

සුලෙයිමානි ඉරානයේ සුප්‍රකටම හමුදා නිලධාරියා වූයේ යයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. 1957 මාර්තු 11 වන දා උපන් ඔහු, 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසු එරට සන්නද්ධ අංශ වෙත එක් වුණා. 1980 සැප්තැම්බර් මාසයේ සදාම් හුසේන්ගේ ඉරාකය විසින් ඉරානය ආක්‍රමණය කරන ලද අතර, ඉරාන-ඉරාක යුධ සමයේ දී සුලෙයිමානි යුධබිමේ නිර්භීත හමුදා නිලධාරියකු ලෙස නමක් දිනා ගත්තා.

ඉරානයේ සන්නද්ධ අංශයන් හි විශේෂ අංශයක් ලෙස ඉරාන විප්ලවකාරී ආරක්ෂක බලකාය (IRGC) සැලකෙනවා. එය ඉරාන විප්ලවයේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස ගැනෙන අතර යුධමය වශයෙන් ද, මතවාදී වශයෙන් ද ඉස්ලාමීය රාජ්‍යයේ බලකණුවක් වනවා. කුද්ස් බලකාය යනු එම විශේෂ IRGC හි ද විශේෂිත බලකායක්. එය ඍජුවම වගකියන්නේ ඉරාන ආධ්‍යාත්මික නායකයාට යි. යෙරුසලම අරාබි බසින් හැඳින්වෙන්නේ අල් කුද්ස් යනුවෙනුයි. කුද්ස් බලකායට නම ලැබෙන්නේ එලෙස යි.

ඉදිරිපෙළ ආරක්ෂාව

1998 සිට කුද්ස් බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සුලෙයිමානි, මැදපෙරදිග ප්‍රදේශයේ ඉරාන ආරක්ෂක යාන්ත්‍රණය සැකසීමේ මහමොළකරු වනවා. සම්ප්‍රදායික යුධ ශක්තිය සාග නවීන යුධ අවිවලින් සන්නද්ධ ඇමරිකානු හමුදා සහ ඇමරිකාවේ මිත්‍රයින් හා ගැටීම අපහසු බව වටහාගත් ඉරානය, එක් අතකින් මිසයිල වැඩපිළිවෙළ දියුණු කරද්දී අනෙක් අතින් “ඉදිරිපෙළ ආරක්ෂාව” (Forward Defense) නම් උපක්‍රමය ක්‍රියාවට නැගුවා. මේ අනුව​ බෂාර් අල් අසාද්ගේ සිරියානු රජයට ආධාර දීමත්​, ඉරාකයේ ශියා ඉස්ලාමික මිලීෂියා කණ්ඩායම්, යේමනයේ හූති කැරලිකරුවන්​, ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය, සහ පලස්තීනයේ හමාස් සංවිධානය වැනි සංවිධානවලට ආධාර කිරීමත් ඉරානය විසින් සිදුකරනවා. එමඟින් තම විරුද්ධවාදීන්ට තර්ජනය කිරීමට හා ඔවුන් දුර්වලව තබා ගැනීමට ඉරානය බලාපොරොත්තු වනවා.

කියවන්න​: ඉරාන හමුදා කෙතරම් ප්‍රබල ද​?

මෙම උපක්‍රමයේ මහමොළකරු ලෙස ජෙනරාල් සුලෙයිමානි පිළිගැනෙනවා. ඔහු පසුගිය වසරවල සිරියාවේ අල්-අසාද් පාලනයට සහාය දැක්වීමේ වැදගත් වැඩකොටසක් කළ අතර, එහි ISIS තර්ජනය මැඩලීම උදෙසා ද ක්‍රියාකාරීව දායක වුණා. ඔහු යුධ මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම උදෙසා නිතර ඉරාකයේ හා සිරියාවේ සංචාරය කළා. ඔහුගේ ඇතැම් අනුගාමිකයන් ඔහුව හඳුන්වා දෙනු ලබන්නේ ඉරානයේ රොමෙල් හෙවත් ඉරානයේ කාන්තාරයේ හිවලා ලෙස යි.

සුලෙයිමානි සහ අල්-මුහන්දිස් (FARS)

මේ අතර PMU හි අල්-මුහන්දිස් ද ඉරානයේ “ඉදිරිපෙළ ආරක්ෂාව” උපක්‍රමයෙහි වැදගත් පුරුකක් වුණා. ඉරාකයේ උපන් ඔහු, 1979 දී ඉරානයට පලා ගියා. IRGC වෙනුවෙන් සේවය කළ ඔහු, 1983 දී කුවේටයේ ඇමරිකන් හා ප්‍රංශ තානාපති කාර්යාල වෙත එල්ල වූ ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැක කෙරෙනවා. අල්-මුහන්දිස් 2003 දී ඇමරිකන් හමුදා සදාම් හුසේන්ව බලයෙන් නෙරපා දැමූ පසු නැවත ඉරාකය වෙත පැමිණියා. ඔහු ඇතැම් අවස්ථාවන් හි ඉරාක රජයන් හි හමුදා උපදේශකයකු ලෙස ද කටයුතු කළා. සිරියාවේ මෙන්ම ඉරාකයේ ISIS ත්‍රස්තයින් පරාජය කිරීමේ වැදගත් වැඩකොටසක් අල්-මුහන්දිස් විසින් සිදුකෙරුණා. PMU සංවිධානය පසුගිය වසර කිහිපය පුරා ISIS ත්‍රස්තයින් හා සටන් වැදුණා.

ISIS සංවිධානය පරාජය කිරීම සඳහා විශාල දායකත්වයක් දැක්වූ සුලෙයිමානි සහ අල්-මුහන්දිස් ඝාතනය කිරීම මැදපෙරදිග කලාපයේ ඉරානය හා ඇමරිකාව අතර මතුව තිබෙන එදිරිවාදිකම් තවදුරටත් වර්ධනය වීමට හේතු වනු ඇති. සුලෙයිමානි ඉරාන යුධ උපක්‍රම සැලසුම් කිරීමේ ප්‍රධානම කාර්යයභාරයක් කරන නිලධාරියකු වූයෙන් ඔහු ඝාතනය කිරීම අනාගතයේ ඉරානය සමග පැටලෙන අවස්ථාවක තමන්ට වාසියක් අත්කර දෙනු ඇතැ යි ඇමරිකාවේ විශ්වාසය විය යුතු යි. සත්‍ය වශයෙන්ම සුලෙයිමානි ඝාතනය ඉරානයට දැඩි පහරක් බවට කිසිදු විවාදයක් නැහැ.

අනෙක් අතට මෙම ක්‍රියාවෙන් ඇමරිකානුවන් පෙන්වා දෙන්නේ තම විරුද්ධවාදීන් විනාශ කිරීමේ දී තමන් දේශසීමා, ස්වෛරීභාවය ආදී දේ නොසලකන බව යි. ඉරානය ද මැදපෙරදිග ප්‍රදේශයේ එවැනිම ආකාරයෙන් ක්‍රියා කිරීමට පෙළඹීමේ ඉඩක් ඇති හෙයින් මීළඟ සති කිහිපය මැදපෙරදිග සිදුවන සිද්ධීන් පිළිබඳ විශේෂ අවධානයකින් සිටීම වැදගත් වනු ඇති.

කවරයේ පින්තූරය: කාසෙම් සොලෙයිමානි (Getty Images)

Related Articles