“නිරෝධායන නීති” ගැන ඔබ කෙතරම් දැනුම්වත් ද?

2020 මාර්තු මාසයේ පමණ සිට ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් ‘කෝවිඩ්-19’ රෝගය පැතිරීම ආරම්භ වීමත් සමඟ රටවැසියන්ගේ එදිනෙදා ජීවන රටාව පැතිකඩ ගණනාවක් ඔස්සේ වෙනස් වූ බව නොරහසක්. මින් පෙර අපේ සවනට නොපුරුදු වදන් රාශියක් දිනපතා කතාබහට එක් වුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙස යි. ඒ අතරින් “නිරෝධායනය”, “නිරෝධායන නීති” සහ “නිරෝධායන නීති කඩ කිරීම” වැනි වැකි ඉහළින් ම වැජඹෙන බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.

සාමාන්‍යයෙන් “නිරෝධායනය” ලෙස සැලකෙන්නේ වසංගත රෝගයක් (contagious disease) ශීඝ්‍රයෙන් පැතිරෙන අවස්ථාවක දී එය වලක්වා ගැනීමේ අරමුණෙන් නිශ්චත කාල සීමාවක් සඳහා පුද්ගලයන්ගේ නිදහස් චලනය සීමා කිරීම හෝ හුදෙකලා කිරීම බලාත්මක කිරීම යි. “නිරෝධායනය” වඩාත් සාර්ථක ව ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය මූලික වශයෙන් පාලනය වන්නේ 1897 අංක 03 දරන නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත මගින්. එකී ආඥා පනතේ පූර්විකාවේ දැක්වෙන ආකාරයට ‘ශ්‍රී ලංකාව තුළට මහමාරිය සහ අනෙක් සියලු ම වසංගත සහ බෝ වන රෝග ඇතුළු වීම වැලැක්වීම සහ ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත එවැනි රෝග පැතිරීම වැළැක්වීම’ එහි අරමුණ යි.

වසංගත රෝග වළක්වා ගැනීමට “නිරෝධායනය” – Dailymotion

 

නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතේ විෂය පථය

නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතේ 2 වගන්තිය මගින් කලින් කලට එකී අරමුණ ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය යැයි සලකන රෙගුලාසි පැනවීමේ, සංශෝධනය කිරීමේ සහ අවලංගු කිරීමේ බලය අදාළ විෂය භාර අමාත්‍යවරයා වෙත ලබා දී තිබෙනවා. එකී බලතල ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය තනතුරේ කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි 2020 මාර්තු 20 දිනැති අංක 2167/18 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ්-19) නිරෝධායනීය රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළා.

නිරෝධායනීය රෝගයක් පවතින අවස්ථාවක දී එය වැලැක්වීමට අදාළ විෂය භාර අමාත්‍යවරයාට රෙගුලාසි පැනවිය හැක්කේ කුමන කරුණු සම්බන්ධයෙන් ද යන්න දක්වා තිබෙන්නේ නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතේ 3(1) වගන්තියේ යි. ඒ අනුව –

  • ගුවනින් සහ බෝට්ටු මගින් භාණ්ඩ සහ පුද්ගලයන් රැගෙන ඒම තහනම් කිරීම
  • එසේ රැගෙන එන්නේ නම් එකී භාණ්ඩ සහ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීම
  • රෝගය වැලඳී ඇති පුද්ගලයන් හුදෙකලා කිරීම සහ අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම
  • නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම
  • රෝගය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහයන් ආදාහනය හෝ භූමදානය සිදු කරන ආකාරය නිර්දේශ කිරීම
  • නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන සහ/හෝ ඒ යටතේ පනවනු ලබන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් පත් කිරීම

වැනි කරුණු සම්බන්ධයෙන් අදාළ විෂය භාර අමාත්‍යවරයාට රෙගුලාසි පැනවිය හැකි යි.

ඒ මගින් නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතේ 2 වගන්තිය මගින් අදාළ විෂය භාර අමාත්‍යවරයාට ලබා දී ඇති බලතල කිසිදු අයුරකින් සීමා නොවන බව ද 3(2) වගන්තියේ දක්වා තිබෙනවා.

රෝගය වැලඳී ඇති පුද්ගලයන් හුදෙකලා කිරීම සහ අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් රෙගුලාසි පැනවීමට අදාළ විෂය භාර අමාත්‍යවරයාට බලය ඇත – LRH Official Website

වර්තමානයේ බලාත්මක “නිරෝධායන නීති”

එකී බලතල ක්‍රියාත්මක කරමින් වත්මන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය –

  • 2020 මාර්තු 25 දිනැති අංක 2168/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය
  • 2020 අප්‍රේල් 11 දිනැති අංක 2170/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය
  • 2020 ඔක්තෝබර් 15 දිනැති අංක 2197/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය
  • 2021 පෙබරවාරි 25 දිනැති අංක 2216/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය

මගින් ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්-19 රෝගයට අදාළ රෙගුලාසි සහ නියෝග ප්‍රකාශයට පත් කළා. ඒ අනුව කෝවිඩ්-19 රෝගයට එරෙහි ව සිදු කරන සටන සාර්ථක ව මෙහෙය වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් සහ ඔහු යටතේ සිටින නිලධාරීන් බලගන්වා තිබෙනවා.

මුල් අවස්ථාවේ දී කෝවිඩ් -19 රෝගය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කිරීම අනිවාර්ය වුව ද පසු ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නිකුත් කරන විධානවලට අනුකූල ව භූමදානය කිරීම අවසර ලබා දෙමින් අදාළ රෙගුලාසි සහ නියෝග සංශෝධනය කර තිබෙනවා.

පවතින නීති යටතේ කෝවිඩ් මෘතදේශ ආදාහනය හෝ භූමදානය සිදු කළ හැකි යි – Eranga Jayawardena – AP Photo

එයට අමතර ව මූලික වශයෙන් දක්වා තිබෙන්නේ රෝගී ප්‍රදේශයක් තුළ පොදු ස්ථානයක සිටින සෑම තැනැත්තකු ම, සෑම අවස්ථාවක දී ම මුඛ ආවරණ පැලඳ සිටිය යුතු බව, තැනැත්තන් දෙදෙනකු අතර මීටර 1 කට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යා යුතු බව, ආයතනයකට හෝ සේවා ස්ථානයකට ඇතුළු වීමට පෙර සෑම තැනැත්තකුගේ ම ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතු බව, එසේ ඇතුළු වන තැනැත්තන් සඳහා සබන් සහ විෂබීජනාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි අත් සේදීමේ පහසුකම සැලැස්විය යුතු බව, රෝගී ප්‍රදේශයක් තුළ සිටින තැනැත්තන්ගේ සංචරණය සීමා කළ හැකි බව සහ රෝගී තැනැත්තකු බවට සැක කරන යම් අයකු ප්‍රතිකාර හෝ නිරෝධායනය සඳහා රෝහලකට, නිරීක්ෂණ ස්ථානයකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යෑම හෝ එසේ ගෙන යන ලෙස නියම කිරීමට හැකි බව යි.

නිරෝධායනය සඳහා පුද්ගලයන් රැගෙන යාම

නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ නිකුත් කරන රෙගුලාසි හෝ නියෝගයන් හි එසේ ප්‍රතිකාර හෝ නිරෝධායනය සඳහා පුද්ගලයන් රැගෙන යාමේ දී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපටිපාටියක් දක්වා නැහැ. නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය අමතා නිකුත් කළ 2020 නොවැම්බර් 20 දිනැති ලිපියේ මානව හිමිකම් ආරක්ෂා වන පරිදි නිරෝධායනය ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා මාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ මෙලෙසින්:

  • නිසි බලධරයා විසින් බලතල පැවරීමේ විනිවිදභාවයක් ඇති කිරීම.
  • රෝග පරීක්ෂාව සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ට බලය ලබා දීම.
  • නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති ස්ථාන සහ ඒවායේ අධිකාරිය නම් කිරීම.
  • නිරෝධායනය විය යුතු කාලය පැහැදිලි කිරීම.
  • නිරෝධායනය කිරීම සඳහා හේතුව, ඔවුන් රැගෙන යන ස්ථානය සහ හුදෙකලා ව සිටිය යුතු කාලය ඇතුළත් රිසිට්පතක් නිරෝධායනය වන පුද්ගලයන් වෙත නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
  • නිරෝධායන මධ්‍යස්ථාන, විශේෂයෙන් ම නිසි බලධරයා මගින්, බාහිර පරීක්ෂාවට ලක් කිරීම.
  • ආසාදිතයන් වෛරස තත්ත්වයක අවාසනාවන්ත වින්දිතයන් ලෙස හඳුන්වනු වෙනුවට ඔවුන් වැරදිකරුවන් ලෙස දක්වමින් නිරෝධායනය හසුරුවන්නන් විසින් එම කටයුතු මාධ්‍ය වෙත දැනුම් දීම තහනම් කිරීම.

“නිරෝධායන නීති” කඩ කිරීමට දඬුවම්

කිසියම් පුද්ගලයකු, නීත්‍යනුකූල අවසරයකින් තොර ව, නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන හෝ ඒ යටතේ පනවා ඇති රෙගුලාසි කඩ කරන්නේ නම් හෝ ඉටු කිරීම පැහැර හරින්නේ නම් හෝ ආඥා පනත යටතේ පත් කරන ලද නිලධාරියකුගේ හෝ ආඥා පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියකුගේ  කටයුතු සඳහා බාධා කරන්නේ නම්, ඔහු එකී පනත යටතේ වරදක් සිදු කළ තැනැත්තකු ලෙස සැලකෙනවා. එවැනි පුද්ගලයකුට එරෙහි ව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පැවරිය හැකි අතර ඔහු වරදකරු යැයි තීරණය වුවහොත් මාස 6 ක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීම මගින් හෝ රුපියල් 2,000/- කට නොඅඩු සහ රුපියල් 10,000/- කට නොවැඩි දඩයක් නියම කිරීම මගින් හෝ එකී දඬුවම් ද්විත්වයෙන් ම ඔහුට දඬුවම් කළ හැකි යි.

“නිරෝධායන නීති” කඩ කළහොත් බන්ධනාගාර ගත කළ හැකි යි – Aawaz News

 

නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතේ 6 වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාර ව එකී ආඥා පනත යටතේ වරදක් සිදු කරමින් සිටින හෝ වරදක් සිදු කරන්නේ යැයි සාධාරණ ව සැක කළ හැකි පුද්ගලයකු වරෙන්තුවක් නොමැති ව නතර කිරීමේ සහ රඳවා තබා ගැනීමේ බලය පොලිස් නිලධාරීන් සහ ආඥා පනත යටතේ පත් කළ නිලධාරීන් සතු වෙනවා. එසේ නතර කරන පුද්ගලයාගේ නම සහ ලිපිනය නොදන්නේ නම් එවැනි විටක දී වරෙන්තුවක් නොමැති ව ඔහු අත්අඩංගුවට ගත හැකි යි. එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ප්‍රායෝගික ව හැකි ඉක්මනින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා.

මෙයට අමතර ව දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තිය ප්‍රකාර ව යටතේ ජිවිතයට අන්තරායදායක වූ රෝගයක බෝවීම පැතිර විය හැකි නොසැලකිලිමත් ක්‍රියාවක් සිදු කරන පුද්ගලයකුට මාස 6 ක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීම මගින් හෝ දඩයක් නියම කිරීම මගින් හෝ එකී දඬුවම් ද්විත්වයෙන් ම දඬුවම් කළ හැකි යි.

“නිරෝධායන නීති” සහ මූලික අයිතිවාසිකම්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නිරෝධායන රෙගුලාසි සහ නියෝග මගින් රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම්  කඩ වන්නේ ද යන්න මෑත කාලීන ව දැඩි සේ කතාබහට ලක් වූ මාතෘකාවක්. ශ්‍රී ලංකා නීතීඥ සංගමය මගින්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් සහ පොලිස්පති අමතන ලද 2021 ජූලි 10 දිනැති ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ), (ආ) සහ (ඇ) ව්‍යවස්ථා මගින් තහවුරු කර ඇති භාෂණයේ සහ අදහස් පළ කිරීමේ නිදහස, සාමකාමී ව රැස්වීමේ නිදහස සහ සමාගමයේ නිදහස, මහජන සෞඛ්‍යමය හේතූන් මත සීමා කළ හැකි වුවත්  එකී සීමා කිරීම් නීති මගින් සිදු කළ යුතු බව යි.

“නිරෝධායන නීති” මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව පවත්වන රැස්වීම් සහ විරෝධතා තහනම් කර නොමැත – Ishara S Kodikara/AFP

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෑත කාලීන ව නිකුත් කළ මාර්ගෝපදේශ මගින් මහජන විරෝධතා හෝ එළිමහන් රැස්වීම් තහනම් කර නොමැති බවත්, මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වන විරෝධතා වැලැක්වීමට කටයුතු කරන ලෙස උපදෙස් පැවතුණ ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව පවත්වන රැස්වීම් සහ විරෝධතා තහනම් කර නොමැති බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කරමින් විරෝධතා සහ රැස්වීම් හි නිරත වන පුද්ගලයන් මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අන්දමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව වගකීම් සහගත අයුරින් එකී ක්‍රියාකාරකම් හි නිරත විය යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දී තිබෙනවා.

කවරයේ පින්තූරය: නිරෝධායන නීති - Lydia Zuraw - Getty Images

මූලාශ්‍ර:

2020 මාර්තු 25 දිනැති අංක 2168/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය

2020 අප්‍රේල් 11 දිනැති අංක 2170/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය

2020 ඔක්තෝබර් 15 දිනැති අංක 2197/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය

2020 පෙබරවාරි 25 දිනැති අංක 2216/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය

 quarantine.health.gov.lk 

Related Articles