රාහුල් ගාන්ධි කොන්ග්‍රස් නායකත්වයෙන් ඉල්ලා අස්වීම

2019 ඉන්දියානු මහා මැතිවරණය අදියර ගණනාවකින් පැවැත්වෙන්නේ අප්‍රේල් – මැයි කාල සීමාව තුළ යි. මෙහිදී අති විශිෂ්ට ජයග්‍රහණයක් නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය විසින් අත්කර ගන්නවා. ඒ මුළු ආසන 543න් ආසන 303ක් ජයග්‍රහණය කරමින්.

භාරතීය ජනතා පක්ෂයේ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ ඉන්දියානු ජාතික කොන්ග්‍රසය දැඩි පරාජයක් ලබනවා. ඔවුන්ට රැකගත හැකි වෙන්නේ ආසන 52ක් පමණ යි. ලැබූ දැවැන්ත පරාජය හමුවේ කොංග්‍රසයේ නායකත්වය කෙරෙහි දැඩි චෝදනා එල්ල වෙනවා. ඒ අතරින් බොහෝ චෝදනා ප්‍රමාණයක් එල්ල වෙන්නේ පක්ෂයේ අභ්‍යන්තරයෙන්ම යි.

2014 දී මෙන්ම 2019 වසරේ දී ද කොන්ග්‍රසය අන්ත පරාජයක් ලැබීමට රාහුල් ගාන්ධි වගකිව යුතු බවට චෝදනා කරමින් තමයි විවේචන එල්ල වෙන්නේ.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී දින කිහිපයකින් පසුව එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ රාහුල් ගාන්ධි ඉල්ලා අස්වීමට මැතිවරණ පරාජය ප්‍රධාන හේතුවක් බවට පත්වෙනවා.

ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග වර්තමානයේ දී ජාතික කොන්ග්‍රසයට සභාපතිවරයෙක් නොමැති අතර සභාපතිවරයෙක් පත්වෙන තුරු සෝනියා ගාන්ධි එහි භාරකාර සභාපතිත්වය උසුලනු ලබනවා.

ඉන්දියානු මහා මැතිවරණය හමුවේ කොන්ග්‍රසය ලද අන්ත පරාජය 

ඉන්දියාවේ ප්‍රධාන පක්ෂ යුගලය වන්නේ කොන්ග්‍රසය හා භාරතීය ජනතා පක්ෂය යි (bsmedia)

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැළකෙන ඉන්දියානු මහ මැතිවරණය අදියර ගණනක් ඔස්සේ සති ගණනාවක් තිස්සේ පැවැත්වෙනවා. එහිදී ජාතික කොන්ග්‍රස් පක්ෂය මෙහෙයවන්නේ රාහුල් ගාන්ධි යි. තව ද රාහුල් ගාන්ධි මෙම මැතිවරණයේ දී ප්‍රාන්ත දෙකකින් ආසන දෙකක් සඳහා තරග කරනවා.

ගාන්ධිවරුන්ගේ බලකොටුව ලෙස සැළකෙන ඔවුන්ගේ පරම්පරාවම නියෝජනය කළ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ  අමෙති ආසනය මෙවර රාහුල් ගාන්ධි පරාජයට පත්වෙනවා. එය ඔවුන් ලැබූ දැඩි අපකීර්තිමත් පරාජයක් ලෙස හැදින්විය හැකියි.

රාහුල් ගාන්ධි, කේරළ ප්‍රාන්තයේ අසුනකට ද තරග කරන අතර එම ආසනය ජයග්‍රහණය කිරීම හේතුවෙන් ඔහුට ඉන්දියානු පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාව ලැබෙනවා.

මේ ආකාරයට මුළු පක්ෂයටම ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ ආසන 52ක් වැනි සුළුතරයක් පමණ යි. එය මෑත ඉතිහාසයේ ඔවුන් ලද තවත් අපකිර්තිමත්ම පරාජය ලෙස විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඔවුන් 2014 වසරේ දී ද අපකීර්තිමත් පරාජයකට උරුමකම් කිවූ අතර එම මැතිවරණයේ දී දිනාගැනීමට හැකි වෙන්නේ ආසන 44ක් පමණයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ඔහුගේම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමජිකයන්ගේ විවේචනයට රාහුල් ගාන්ධි හසුවෙනවා. ඒ සමගම ඔහු විසින් දීර්ඝ ලිපියක් පක්ෂය වෙත යොමු කරමින් ප්‍රකාශ කරන්නේ තමන් කොන්ග්‍රස් පක්ෂයට නායකත්වය සැපයීමට තරම් වාසනාවන්ත ඉන්දියානුවෙක් වූ බවත් මෙම මැතිවරණය පරාජයට ලක් වීමේ වගකීම තමනුත් දැරිය යුතු බවත්. 

දීර්ඝ ලිපියේ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ පක්ෂයේ හා රටේ අනාගතය වෙනුවෙන් තමන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙන බව යි.

මැතිවරණය පැරදීමත් සමග මෙලෙස ඉල්ලා අස්වෙන බව සඳහන් කළත් ඔහු මතය වෙනස් කරගනු ඇතැ යි බොහෝ දෙනා සඳහන් කරනවා. නමුත් අගෝස්තු මාසයේ 10 වෙනිදා ඔහු පක්ෂ සභාපති ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වෙනවා.

ඉල්ලා අස්වීම හා භාරකාර සභාපතිවරයෙක් ලෙස සෝනියා ගාන්ධි පත්වීම 

යම් හෙයකින් ඔහු ජයග්‍රහණය කළේ නම් ඉන්දියාවෙන් බිහි වූ ලාබාලතම අගමැතිවරයා වන්නේ රාහුල් ගාන්ධි යි (assets.bwbx.io)

රාහුල් ගාන්ධි 2004 වසරේ ඉන්දියානු ලොක් සභාවට තේරී පත්වෙනවා. රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් කොන්ග්‍රස් පක්ෂය 2014 වසරේ දී ඉන්දියානු මහා මැතිවරණයට තරග කරනවා. නමුත්, එහි දී ඔවුන්ට දරුණු පරාජයක් හිමිවෙන අතර නරේන්ද්‍ර මෝදීගේ නායකත්වයෙන් යුක්ත භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.

2014 වසරේ සිට එම පක්ෂයේ නායකත්වය උසුලන්නේ රාහුල් ගාන්ධි යි. ඔහුගේ නායකත්වය යටතේ කොන්ග්‍රස් පක්ෂය 2014 දී හා 2019 වසරේ දී මහා මැතිවරණ සඳහා ඉදිරිපත් වෙනවා. නමුත් එම මැතිවරණය දෙකම ඔවුන් පාරජයට පත්වෙනවා.

රාහුල් ගාන්ධිගේ ඉල්ලා අස්වීමත් සමගම පක්ෂයේ සභාපතිත්වය හිස්වන අතර පක්ෂය අභ්‍යන්තරයෙන් නියමිත ක්‍රමවේදයකින් සභාපතිවරයා පත්වෙන තුරු එහි භාරකාර සභාපතිත්වය හිමිවෙන්නේ හිටපු පක්ෂ සභාපතිවරියක් වන සෝනියා ගාන්ධිට යි.

භාරකාර සභාපති ධූරයට සෝනියා ගාන්ධි පත් වී ඇත (thenewsminute.com)

වරෙක ඉන්දියානු අගමැතිධුරය හෙබවූ රජිව් ගාන්ධිගේ බිරිඳ මෙන්ම ඉල්ලා අස් වූ රාහුල් ගාන්ධිගේ මව වන්නේ ද සෝනියා ගාන්ධි යි. ඇය මීට පෙර එනම් 1999 වසරේ දී ද පක්ෂ සභාපති ලෙස පත් වී තිබෙනවා.

මේ ආකාරයෙන් සභාපති ධූරය අතහැරීම ඊළඟ සභාපති ධූරය ගාන්ධි පරපුරටම අහිමි කරවීමක් බව යි සඳහන් වෙන්නේ. විශේෂයෙන් ඔහුගේ සහෝදරිය වන ප්‍රියංකා ගාන්ධි ද මේ වන විට දේශපාලනයට පිවිසි සිටින අතර රාහුල් ගාන්ධි ඉල්ලා අස්වීම ඇයගේ ඉදිරි ගමනට ද බාධාවක් බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

කවරයේ පින්තූරය - dynaimage.cdn

Related Articles