Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගං වතුරක් හෝ නාය යෑමකදී කළ යුතු හා නොකළ යුතු දේ

මේ දිනවල ලංකාවට බලපාන කාලගුණ තත්ත්වයන් නිසා මේ වනවිට ලංකාවේ බොහොමයක් ප්‍රදේශවලට ස්වභාවික ආපදාවන් ඇතිව තිබෙනවා. අධික වර්ෂාවත් සමඟ ඇතිවුණු ගං වතුර සහ නාය යෑමේ සිදුවීම් නිසා මේ ලිපිය ලියැවෙන විටත් පුද්ගලයින් 91 දෙනෙකු මියගොස්, තවත් 110 දෙනෙකු අතුරුදන්ව, 53 000කට අධික ප්‍රමාණයක් අවතැන්ව සිටින බවට වාර්තා වුණා. මේ ලිපිය ඔබ වෙත ඉදිරිපත් කිරීමේ අරමුණ ගං වතුර සහ නායයෑම් තත්ත්වයන් නිසා ඉහළ යන මරණ සහ අනතුරු සංඛ්‍යාව මදකින් හෝ අඩු කිරීමට එය උදව් වනු ඇතැයි යන අදහසිනුයි.

26 වන දා පැය 20:25ට ලංකාවට ඉහළ චන්ද්‍රිකා ඡායාරූපය (AccuWeather)

නාය යෑමක පෙරනිමිති

මේ ලිපිය ලියැවෙන අවස්ථාව වන මාතර, රත්නපුර, සහ කළුතර දිස්ත්‍රික්ක වල නායයෑම් කීපයක් වාර්තා වී තිබුණු අතර, ගාල්ල, සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට ද නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. නාය යෑමේ අවධානමක් සහිත ප්‍රදේශයක ජීවත් වන්නේ නම්, තමා ජීවත්වන ප්‍රදේශයේ නාය යෑමේ පෙර නිමිති දක්නට ලැබේ දැයි සැලකිල්ලෙන් පසුවීම ඔබ සියල්ලන්ගේම ජීවිතය ‍රැක දීමට සමත්වනු ඇති. එමනිසා ඔබ ජීවත්වන ප්‍රදේශයේ,

  1. නිවෙස් තුළ හෝ පිටත භූමියේ දිය උල්පත් මතුවන්නේ නම්
  2. ඉහළ ප්‍රදේශ වල සිට අසාමාන්‍ය ලෙස මඩ මිශ්‍ර ජලය ගලා එන්නේ නම්
  3. අවට දිය පහරවල ජලයේ අසාමාන්‍ය ලෙස මඩ මිශ්‍ර වී ඇත්නම්
  4. ගොඩනැගිලි වල බිත්ති හෝ බිම ඉරිතැලී ඇත්නම්
  5. මාර්ගයන් පහත් වී, ගිලාබැස, හෝ ඇතැම් ස්ථාන වලින් උස් වී ඇත්නම්
  6. ගස් හෝ ගල් පෙරලෙන ශබ්දයන් ඇසේ නම්
  7. ගස්, ගල්, හෝ ගොඩනැගිලි ඒවා තිබූ ස්ථානයන් ගෙන් ඉවතට ගමන් කර ඇත්නම්

ඒ නාය යෑමක පෙර නිමිති විය හැක. මේ ලකුණු වලින් එකක් හෝ කීපයක් ඔබ අවට ප්‍රදේශයේ නිරීක්ෂණය කළ හැකි නම් කරුණාකර ළඟම පිහිටි ආරක්ෂිත ස්ථාන කරා ඉවත්ව යන්න. නාය යෑම සිදුවිය හැකි පහත්බිමෙන් හෝ ඒ මාර්ගයෙන් ඉවතට ගමන් කරන්න.

කිසිදු විටෙක,

  1. නාය යෑම නිරීක්ෂණය කිරීමට යෑම
  2. උල්පත් හා දිය පහර අවට ‍රැඳී සිටීම
  3. අවදානම් කලාප සහ නිවෙස් වල ‍රැඳී සිටීම

නොකරන්න. අනතුරක් සිදුවන්නේ කුමන වේලාවේ කාහට දැයි කිව නොහැක.

ආපදා කළමණාකරන කටයුතු සඳහා මෙම අංක සම්බන්ධ කරගන්න (facebook.com/profile.php?id=100009666914687&fref=nf)

ගං වතුරක දී කළ යුතු දෑ

මේ ලිපිය ලියැවෙන විටත් කැළණි, කළු, ගිං, සහ නිල්වලා ගංඟා මිටියාවත් දරුණු ලෙස ජලගැලීම් වලට ලක්ව තිබුණා. 26 වන දා සැඳෑ භාගය වන විට ලක්ෂපාන, කැන්යොන්, කුකුලේගඟ, සහ විමලසුරේන්ද්‍ර යන ජලාශ පිටාර මට්ටමට පැමිණීම නිසා ඒවායේ වාන් දොර‍ටු සියල්ලම විවර කර තිබුණා. මේ නිසා කැළණි ග‍ඟේ ජල මට්ටම ඉහළ යෑමේ හැකියාවක් තිබෙන බවත්, ජලාශ අවට ප්‍රදේශ සීඝ්‍රයෙන් ජලයෙන් යට වීමේ අවධානමක් තිබෙන බවත් පුවත් වෙබ් අඩවි වලින් වාර්තා කර තිබුණා. එමනිසා ඔබත් ගංඟා මිටියාවතක හෝ පහත්බිම් වල වාසය කරන්නෙකු නම්,

  1. නිතරම ප්‍රවෘත්ති සීවාවකට ඇහුම්කන් දෙමින් අවධානයෙන් පසුවන්න.
  2. ඔබේ වැදගත් ලියකියවිලි (උදා: උප්පැන්න සහතික, ගමන් බලපත්‍ර, ඔප්පු) ආදිය සියල්ල ගමන් මල්ලක බහා ඔබට අත පොවන මානයේ තබාගන්න.
  3. අත්‍යවශ්‍ය ඖෂධ (උදා: හෘධයාබාධ හෝ දියවැඩියාව වැනි රෝගයන් සඳහා ඔබ විසින් ඖෂධ භාවිතා කරන්නේ නම්), ආරෝපණය කළ බැටරියක් සහිත ජංගම දුරකතනයක්, විදුලි පන්දමක් ආදී දෑ මල්ලක බහා තබාගන්න. බ‍රැති ගමන්මලු හදිසි ඉවත්වීමකදී බාධාවක් වනු ඇත.
  4. අනතුරු ඇඟවීමක් ලැබුණු සැනින් තව නිවෙස් වලින් ඉවත්ව ආරක්ෂක ස්ථාන කරා යන්න.

කිසිදු විටෙක,

  1. විනෝදය සඳහා ගං වතුරට බහින්න එපා
  2. කෙසෙල් කොටන්, බැරල් ආදියෙන් පාරු සාදා ගං වතුරේ පදින්න එපා
  3. ගලා යන ජලයට බහින්න එපා
  4. කාණු, ඇල මාර්ග තිබේ යැයි සිතෙන ස්ථාන වලට යන්න එපා
  5. කුඩා දරුවන්ට ගං වතුරේ ක්‍රීඩා කිරීමට ඉඩ දෙන්න එපා
  6. බලධාරීන් විසින් අවසර දෙන තුරු ආරක්ෂිත ස්ථාන හැරදමා නිවෙස් කරා යන්නට එපා

සහනාධාර ලබාදීමේ දී

ආපදාවන් සහ සහන සේවා කටයුතු සඳහා මෙම අංක සම්බන්ධ කරගන්න

ගිය වසරේ මෙන්ම මේ වසරේ දීත් අවතැන් වූ ජනතාව සඳහා ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය ලබා දිය යුතු වනවා. එවැනි ආධාර බෙදාදීමේ කටයුත්තකදී සෑමවිටම,

  1. ඔබේ ආධාර වගකිව හැකි පාර්ශවයකට ලබා දෙන්න. මේ දිනවල විවිධ ආයතනය හා සංවිධාන විසින් අවතැන්වූවන්ට සහන සැලසීමේ කටයුතු වල නිරතව සිටින නිසා හැකි සෑම විටම එයින් පිරිසක් සම්බන්ධ කරගන්න.
  2. ඔබ විසින් ආධාර බෙදාදීම සඳහා ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ වලට යෑමෙන් වලකින්න. එයින් ඔබද අනතුරකට ලක්වීමේ අවධානමට ලක්වන අතර, අදාල පෙදෙස්වල අධික වාහන තදබදයක් ඇතිවිය හැකි නිසා අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු වලට බාධා විය හැක.
  3. ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අවතැන් වූවන්ට සහන සැලසීමේ විවිධ ව්‍යාපෘති දියත් වනු ඇත. එයින් විශ්වාස කටයුතු පිරිස් වලට පමණක් සහය දෙන්න.
  4. විශාල ප්‍රමාණ වලින් ආධාර ලබාදීමට පෙර අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේඛම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, ආපදා කළමණාකරණ නිලධාරීන්, සහ වගකිවයුතු බලධාරීන් සම්බන්ධ කරගෙන, එම ප්‍රදේශ වලට වඩාත්ම අවශ්‍යව ඇත්තේ කුමන ආකාරයේ භාණ්ඩදැයි විමසා සිටින්න.
  5. ඔවුන්ද අප වැනිම මනුෂ්‍යෝ ය. එනිසා ඔවුන්ගේ භාවිතයට සුදුසු භාණ්ඩ පමණක් ලබාදීමට සැලකිළිමත් වන්න. භාවිතා කළ ඇඳුම් පැළඳුම් ලබාදීමෙන් වළකින්නේ නම් උචිතය.

කිසිම විටෙක විනෝදය උදෙසා ගං වතුර නැරඹීමට, බෝට්‍ටු පැදීම ආදී විනෝද කටයුතු වල නිරත වීමට යෑමෙන් වළකින්න. ඔබ විසින් ඇතිකරන වාහන තදබදය නිසා ගලවාගැනීමේ මෙහෙයුම් සහ අවතැන්වූවන්ට සහන සැලසීමේ කටයුතු වලට බාධා එල්ලවිය හැක.

ගංවතුර බැසගිය පසු මුහුණ දීමට සිදුවන ආපදා සහ වසංගතයන්ට සූදානම් වන ආකාරය පිළිබඳව ලිපියක් ළඟදීම ඔබ වෙත ගෙන එන්නෙමු.

කවරයේ පින්තුරය: (The Advocate)

Related Articles