Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාසෙම් සුලෙයිමානි ඝාතනය කළ සැබෑ හේතුව

ජනවාරි මස 3 වන දා උදෑසන ඉරාකයේ බැග්ඩෑඩ් අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී ඉරාන විප්ලවකාරී ආරක්ෂක බලකායෙහි විශේෂ ඒකකයක් වන කුද්ස් බලකායේ ප්‍රධානී ජෙනරාල් කාසෙම් සුලෙයිමානි, ඇමරිකන් ප්‍රහාරයකින් ඝාතනය වුණා.

මෙම සිද්ධිය මැදපෙරදිග, විශේෂයෙන්ම ඇමරිකාව සහ ඉරානය අතර එදිරිවාදිකම යළි තීව්‍ර කිරීමට හේතු වුණා. ජනවාරි 8 වන දා ඉරාකයේ ඇමරිකන් හමුදා රැඳී සිටින කඳවුරු දෙකකට එල්ල වූ ඉරාන ප්‍රහාරයත් සමග තත්ත්වය දෙපාර්ශවය අතර යුද්ධයක් කරා යනු ඇතැ යි මත පළ වුණා. එපමණක් නොව, ලෝක යුද්ධයක් වැනි තත්ත්වයක් කරා වුව ද මෙම අර්බුදය වර්ධනය වීමේ ඉඩක් ඇතැ යි යන බිය ඇතැමුන් තුළ මතු වුණා.

කියවන්න​: ඉරානයේ සුප්‍රකටම හමුදා නිලධාරියා ඇමරිකන් ප්‍රහාරයකින් මරුට​!

කෙසේ වෙතත්, ජනවාරි 8 වන දා ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කතාවෙන් පසු යුධ අවදානම තාවකාලිකව හෝ පහව ගියා. මේ අතර, සුලෙයිමානි ඝාතනය කිරීමට ඇමරිකානුවන්ට වූ අවශ්‍යතාව පිළිබඳ විවිධ මත පළවන්නට වුණා.

තානාපති කාර්යාල

සුලෙයිමානි ඝාතනය කිරීම පිළිබඳ ඇමරිකානුවන් මුලින්ම ප්‍රකාශ කළ අදහස වූයේ ඉරාන ජෙනරාල්වරයා ඇමරිකන් තානාපති කාර්යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි හෙයින් ඔහුව ඝාතනය කළ බව යි. 2019 දෙසැම්බර් 31 වන දා ඉරාකයේ ඇමරිකන් තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ද මෙම චෝදනාවට බලපෑ බව යි පෙනෙන්නට තිබුණේ.

කෙසේ වෙතත්, ඊළඟ දිනවල දී ඇමරිකානුවන්ට තම චෝදනාව තහවුරු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කළ නොහැකි බව පෙනෙන්නට තිබුණා. එමෙන්ම ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ප්‍රසිද්ධියේ කියා සිටියේ; සුලෙයිමානි තානාපති කාර්යාල වෙත පහරදීමට සූදානම් වන්නේයැ යි තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතු නොවන බව යි. ඒ අනුව සුලෙයිමානි ඝාතනය පිළිබඳ ඇමරිකන් කරුණු දැක්වීම අසත්‍ය බව පැහැදිලි වනවා.

සෞදි – ඉරාන එකඟතාවක්

මේ අතර RT America රූපවහිනියේ රික් සන්චේස් සුලෙයිමානි ඝාතනය පිළිබඳ වෙනත් මතයක් ඉදිරිපත් කළා. සුලෙයිමානි, ඉරානය සහ සෞදි අරාබිය හා එකඟතාවක් ඇති කර ගනු පිණිස සාකච්ඡාවල නිරත වෙමින් සිටි බවත්, ඇමරිකාව එය නොරිස්සූ බවත් ඔහු කියා සිටිනවා. මේ හේතුව නිසා සුලෙයිමානි ඝාතනය කළ බව යි සන්චේස් කියා සිටින්නේ.

මෙසේ ඉරානය සමග එකඟතාවක් ඇති කර ගැනීමට සෞදි අරාබිය යොමු වී තිබෙන්නේ 2019 සැප්තැම්බර් මාසයේ සෞදි ඇරැම්කෝ තෙල් සංකීර්ණ දෙකක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් පසුව යි. මෙම ප්‍රහාර යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කළේයැ යි පැවසුන ද, එහි වගකීම ඉරානය දෙසට ද හරවනු ලැබුණා. කෙසේ වෙතත්, හූති කැරලිකරුවන්ට ද ඉරාන සහාය ලැබෙන හෙයින් එය ඉරානයේ උපකාර සහිතව එල්ල වූ ප්‍රහාරයක්යැ යි සිතිය හැකියි.

2019 සැප්තැම්බරයේ සෞදි ඇරැම්කෝ තෙල් සංකීර්ණවලට එල්ල වූ ප්‍රහාරය (Al Arabia)

මෙම ප්‍රහාරය මඟින් ඉරානය විසින් සෞදි අරාබියට දුන් පණිවිඩය පැහැදිලි එකක් වුණා. යම්කිසි අයුරකින් ඇමරිකාව හෝ එරට මිත්‍ර රාජ්‍යයක් හෝ තමන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, ඊට පිළිතුරු ලෙස සෞදි තෙල් සම්පත හා වෙනත් සෞදි ඉලක්ක වෙත පහරදෙන බව ඉරානය අඟවා සිටියා. සෞදි අරාබියට මෙය ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කළා. සෞදි ඇරැම්කෝ සමාගම සිය කොටස් මහජනයාට විවෘත කරමින් බාහිර ආයෝජන ඊට ගෙන්වා ගැනීමට උත්සාහ කරන පසුබිමක මෙවන් තත්ත්වයක් ඇති වීම අවාසි සහගත වුණා.

මේ අතර සෞදි අරාබිය තවත් පඹ ගාලක පැටලී සිටින අතර, එයින් ද සිය ආත්ම ගරුත්වය රැකගෙන නිදහස් වීමේ ක්‍රමයක් සොයමින් සිටිනවා. එනම්, යේමනයේ යුද්ධය යි. වරක් ඊජිප්තුව කරගත් වරදම කරගනිමින් සෞදි අරාබිය ද යේමනයේ යුද්ධයකට පැටලුණේ පහසු ජයක් බලාපොරොත්තු වෙමින් බව පැහැදිලි යි. වසර පහකට ආසන්න කාලයක් ගත වී ඇතත් එම ජයග්‍රහණය තවමත් බෙහෙවින් ම දුර බව යි පෙනී යන්නේ.

ඉරානය සමග යම් එකඟතාවකට එළඹියේ නම්; සෞදි අරාබියට තම තෙල් කර්මාන්ත සංකීර්ණ ආරක්ෂා කරගැනීමටත්, ඒ හරහා පෞද්ගලික ආයෝජන සෞදි ඇරැම්කෝ සමාගම වෙත ආකර්ෂණය කරගැනීමටත් සෞදි අරාබියට හැකි වන අතර ආත්ම ගරුත්වය යම් තරමකට හෝ රැකගෙන යේමනයෙන් පිටවීමට ද හැකියාව ලැබෙන්නට ඉඩ තිබෙනවා.

මැදිහත්කරුවන්

රික් සන්චේස් කියා සිටින ආකාරයට ඉරානය සහ සෞදි අරාබිය අතර සබඳතා වර්ධනය කිරීමේ මඟුල් කපුකමට දායක වී සිටින්නේ ඉරාකය සහ පාකිස්ථානය යි. කාසෙම් සුලෙයිමානි ජනවාරි මුල බැග්ඩෑඩ් වෙත පැමිණිය් ඉරාක අගමැතිවරයා හමු වී සිය රජයේ පණිවිඩ ඔහු වෙත දැන්වීමට බව විශ්වාස කෙරෙනවා. ඉරාක අගමැතිවරයා ඉරානය හා සෞදි අරාබිය අතර පණිවිඩ හුවමාරු කළ බව යි මෙම මතයට අනුව මතු වී ඇති විශ්වාසය වන්නේ.

යේමන යුද්ධයට සම්බන්ධව සිටින සෞදි හමුදා (Getty Images)

මෙවන් එකඟතාවක් පිළිබඳ සාකච්ඡා සත්‍ය වශයෙන්ම පැවතියේ නම් එවැන්නක් කඩාකප්පල් කිරීමට ඇමරිකාව උනන්දු වීම පුදුමයක් නොවෙයි. සෞදි අරාබිය හා ඉරානය අතර සංහිඳියාවක් ඇති වීම ඇමරිකානුවන්ට අවාසිදායක වනවා. විශේෂයෙන්ම කලාපයේ තෙල් සම්පත පිළිබඳ ද ඒ ඔස්සේ එකඟතාවක් ඇති වීමේ ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම ඉරානයට එරෙහිව ඇමරිකානුවන් පනවා ඇති සම්බාධක හමුවේ ඩොලර්වලින් නොව, වෙනත් මුදල් ඒකකයකින් තෙල් ගනුදෙනු සිදුකිරීම කෙරෙහි පෙළඹවීමේ අවශ්‍යතාවයක් ඉරානයට තිබෙනවා. රුසියාව සහ චීනය යන දෙරටම සෞදි අරාබිය හා ඉරානය යන දෙරට සමග මිත්‍රත්වය ගොඩනගාගෙන සිටින හෙයින් සෞදි – ඉරාන මිත්‍රත්වයක් ඇති වුවහොත් එය ඇමරිකාවට බරපතල පහරක් වනවා.

මේ අනුව, සෞදි – ඉරාන එකඟතාවයක් වැළක්වීමේ අදහසින් සුලෙයිමානි ඝාතනය කළේ ය යන්න තර්කානුකූලව පිළිගත හැකි මතයක් වන බව පෙනී යනවා. එහෙයින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාබැලීම වැදගත් වනු ඇති.

කවරයේ පින්තූරය: කාසෙම් සුලෙයිමානි ඝාතනයට එරෙහිව වූ විරෝධතාවක් (Getty Images)

Related Articles