Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඩපණ වන ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරයේ හෙට දවස 

2019 වසරේ අප්‍රේල් 21 වැනි දා,  ඉරිදා මඩකළපුව, මීගමුව හා කොළඹ පිහිටි පල්ලි කිහිපයක් මෙන් ම කොළඹ සංචාරක හෝටල් තුනක් ද ඉලක්ක කරමින් පුපුරා ගිය බෝම්බ මාලාව හේතුවෙන් ආර්ථිකයට, විශේෂයෙන් සංචාරක කර්මාන්තයට එල්ල වන්නේ මරු පහරක්. එතෙක් සුමටව ගලා ආ සංචාරක කර්මාන්තය මේ ප්‍රහාරයත් සමඟ බිඳ වැටෙනවා. 

ඉන් පසුව උදා වූ වසර  දෙක, එනම් 2020 හා 2021 වසරවල  ද මෙරට සංචාරක ව්‍යාපාරයට එල්ල වන්නේ දරුණු ප්‍රහාරයක්. ඒ කොවිඩ් 19 වසංගතය ලෝකය පුරා පැතිර යාම යි. ඉන් පසුව එළඹුණු 2022  වර්ෂය මෙරට සංචාරක කර්මාන්තය සමතලා කර දමනවා. ඒ ශ්‍රී ලංකාව මුහුණු දෙන උග්‍ර ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය යි.

මේ ලිපිය ඔස්සේ අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ වර්තමානයේ මෙරට සංචාරක කර්මාන්තයේ අර්බුද හා ඒවා නිරාකරණය කර ගැනීමට දැනටමත් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග වැනි දේ සම්බන්ධව යි.

2019 වසරේ දී සිදු වූ දැවැන්ත කඩාවැටීම – www.cbsl.gov.lk

 

කොරෝනා වසංගතය හේතුවෙන් තදුරටත් පහළ ගිය සංචාරක පැමිණීම්

ක්‍රමිකව වර්ධනය වෙමින් පැමිණි  සංචාරක ව්‍යාපාරයට මෑත ඉතීහාසයේ පළමුවෙන් ම කණකොකා හඬන්නේ 2019 වසරේ දී යි. ඒ අප්‍රේල් මාසයේ එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුකොටගෙන යි. 2018 වර්ෂයේ ලක්ෂ  23ක් ඉක්මවා ගිය විදෙස් සංචාරකයන් ප්‍රමාණය 2019 වර්ෂය තුළ ලක්ෂ 19 දක්වා අඩුවීම සිදුවෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරු ව 2019 වසර අවසානය හා 2020 වසරේ මුල් කොටසේ දී සංචාරකයන් පැමිණීම යම්තාක් දුරට නැවත යථා තත්වයට පත්වෙනවා. ලෝකය පුරා පැතිර ගිය කොවිඩ් 19 වසංගතය ශ්‍රී ලංකාවට ද  දරුණු ආකාරයෙන් ව්‍යාප්ත වීම 2020 වර්ෂයේ දී සිදුවෙනවා. ඒ හේතුවෙන් මෙරටට සංචාරකයන් වැඩිපුර ම පැමිණෙන යුරෝපා මහද්වීපයේ රටවල් බොහොමයක්, තම පුරවැසියන්ට මෙරට සංචාරය නොකරන ලෙස නිවේදන නිකුත් කරනවා. ඊට අමතර ව වසංගතය හේතුවෙන්  ශ්‍රී ලංකාව මාස කිහිපයක් වසා දැමීම  ද,  ලෝකයේ බොහෝ ගුවන් සමාගම් තම මෙහෙයුම් සීමා කිරීම ද මෙරටට සංචාරකයන් පැමිණීම අඩු කිරීමට සමත් වෙනවා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට 2022 වර්ෂයේ පැමිණි සංචාරකයන් ගණන 507,704 දක්වා අඩුවීම සිදුවෙනවා.

මෙරටට වැඩිපුර ම සංචාරකයන් පැමිණෙන්නේ යුරෝපා මහද්වීපයෙන් – cloudfront.net

 

මෑත ඉතිහාසයේ අඩු ම සංචාරක පැමිණීම 2021  වර්ෂයේ දී

2021 වසරේ මුල සිටවිදෙස් සංචාරකයන් සඳහා රට නැවතත්  විවෘත කරනවා. සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් මත සංචාරක පැමිණීම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීම ආරම්භ වෙනවා. එම වසරේ දී කොවිඩ් තුන්වන රැල්ල හිස එසවීම හේතුවෙන් 2021 අප්‍රේල් මාසයේ දී රට වසා දැමීමට නැවතත්  සිදුවෙනවා. එම වසරේ ජුනි මාසයේ දී  රට නැවතත් විවෘත කරන අතර සැප්තැම්බර් මාසයේ සිට සංචාරකයන් පැමිණීම ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. 

දෙසැම්බර් මාසයේ දී සංචාරකයන් 89506ක් මෙරටට පැමිණෙන අතර ඒ 2021 වසරේ මසක් තුළ පැමිණි වැඩිම සංචාරකයන් ගණන යි. කෙසේ නමුත් කොවිඩ් බලපෑම හේතුවෙන් මෑත ඉතිහාසයේ වසරක් තුළ පැමිණි අඩුම සංචාරකයන් ගණන  මෙන් ම වර්ෂයක් තුළ වූ අඩුම අදායම වාර්තා වෙනවා. ඒ සංචාරකයන් 194,495 ක් හා ආදායම රුපියල් මිලියන 101, 903 ක්. සංචාරක ව්‍යාපාරයේ සෘජු හා වක්‍ර සේවා නියුක්තිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විවිධ සහන ක්‍රම ක්‍රියාත්මක කිරීම ද මේ වසරේ දී සිදු වූවා. ණය සහන දීමනා, සහනදායි ණය යෝජනා ක්‍රම, ගාස්තු නිදහස් කිරීම්, විදුලි බිල්පත් සහනාධාර හා බදු සහන ඒවාගෙන් කිහිපයක්.

තනි රටක් ලෙස සංචාරකයන් මෙරටට වැඩිපුරම පැමිණෙන්නේ ඉන්දියාවෙනි – sltda.gov.lk

 

ආර්ථික, දේශපාලන අස්ථාවරත්වය හා  සංචාරක පැමිණීම් 

කෙසේ නමුත් රට තුළ උග්‍ර කොවිඩ් වසංගත තත්ත්වයක් නොමැතිවීම හා ශ්‍රී ලංකා රජය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙනුත්  සංචාරකයන්ගේ පැමිණීම 2021 වසරට වඩා වැඩි ප්‍රගතියක් 2022 වසරේ  මුල් කාලයේ දී පෙන්නුම් කරනවා. ජනවාරි මාසයේ පැමිණි සංචාරකයන් ප්‍රමාණය 82,327ක් ලෙස සටහන් වන අතර  එය පෙබරවාරි හා මාර්තු මාස වන විට තවත් වැඩි අගයක් දක්වා ඉහළ යනවා. එම පැමිණීම් පිළිවෙළින් 96,507 ක් හා 106,500ක්. මේ වසරේ දැනට  සංචාරකයන් වැඩි ම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ මාර්තු මාසයේ දී යි. 

2022 වසරේ  මාර්තු මාසයෙන් පසුව  මෙරට නිර්මාණය වූ  දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය සංචාරක ව්‍යාපාරය නැවතත්  අභියෝගයට ලක් කිරීමට සමත් වෙනවා.  රට පුරා පැන නැඟුණු උද්ගෝෂණ රැල්ල, දිනපතා සිදුකෙරෙන විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, භාණ්ඩ හා සේවාවල මිල අධික වීම වැනි කරුණු හේතුවෙන් ලෝකයේ රටවල් කිහිපයක රජයයන් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස නිවේදනය කරනවා. 

ඉන්ධන හිඟය සංචාරක ව්‍යාපාරය අඩපණ කරන්නට සමත් වුණා. – tmgrup.com

 

ඒ හේතුවෙන් මාර්තු මාසයෙන් පසුව සංචාරකයන් මෙරටට පැමිණීම පෙර මාසවලට වඩා අඩු අගයක් ගන්නවා. සංචාරකයන්ගේ පැමිණීම අප්‍රේල් මාසයේ දී 62,980ක් ලෙස දැක්වෙනවා. මේ වන විට එය ඊටත් වඩා අඩු අගයක් දක්වා පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා. පසුගිය මාසයේ එනම් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම 29,802 ක් දක්වා පහළ බැස තිබෙනවා. 

2022 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් ගණන 526 232 ක්. වසරේ ඉතිරි කාලය සඳහා සංචාරකයන් ලක්ෂ 8ක් පමණ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් ඇස්තමේන්තුගත ආදායම ඩොලර් මිලියන 800ක් බවත් මේ වන විට සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම වෙනුවෙන් 

ඩොලර් බිලියන 3.5ක අපේක්ෂිත ආදායමක් සහිතව 2025 වසර වන විට සංචාරකයන් මිලියන 2.5ක් පමණ ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු  වෙනවා. ඒ සඳහා සංචාරක කර්මාන්තයේ නව අවස්ථා ප්‍රවර්ධනය, ඩිජිටල් තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කිරීම, ස්භාවික පරිසරය සංරක්ෂණය හා පරිසර දුෂණය අවම කිරීම, සංචාරක අංශය තුළ අවිධිමත් උප අංශය අඩු කිරීම, සංචාරක අංශයේ අවධානම් කළමනාකරණය, සංචාරකයන් අතර විවිධත්වය දිරිමත් කිරීම හා වඩා හිතවත් ප්‍රතිපත්ති නිර්මාණය වැනි උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මහබැංකුව සිය වාර්ෂික වාර්තාවේ දක්වා තිබෙනවා.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා සංචාරක තානාපති ධුරය ලබා ගැනීම – twimg.com

 

ඊට අමතර ව රජය සංචාරකයන් ගෙන්වා ගැනීමට මෑත කාලයේ ගත් කෙටි කාලීන පියවර ලෙස  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි නවාතැන් සේවා පහසුකම් සපයන සියලු ම සංචාරක ආයතන තුළ වයින්, බීර ඇතුළු මෘදු මත්පැන් පමණක් භාවිත කිරීමට අවසර ලබාදීම, මෙරටට පැමිණෙන සංචාරකයන්ට සීමාරහිත ඉන්ධන අවසරපත් ලබා දීම හා  සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට සංචාරක අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා සංචාරක තානාපති ධුරය ලබාදීම වැනි ක්‍රියාමාර්ග නම් කළ හැකි යි. 

කවරයේ ඡායාරූපය - wanderersandwarriors.com 

මුලාශ්‍ර: 

sltda.gov.lk

cbsl.gov.lk 

Related Articles