Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බහරේන් සිරගෙට නියම වූ හකීම් අල් අරයිබි නම් පාපන්දු ක්‍රීඩකයා නිදහස් වූ අයුරු

සෞදි අරාබියෙන් පලා ආ තරුණියක් තායිලන්තයේ සිට ඕස්ට්‍රේලියානු සරණාගතභාවය ඉල්ලා කළ සටන පිළිබඳව, අප මීට පෙර ලිපියකින් ගෙන ආවා ඔබට මතක ඇති. ඇය වෙනුවෙන් ක්‍රියාකාරී වූ මානව හිමිකම් සංවිධාන, මාධ්‍යවේදීන් හා සාමාජ ජාලා ක්‍රියාකාරිකයින් අවසානයේ එම සටන ජයග්‍රහණයෙන් අවසන් කිරීමට සමත් වෙනවා.

ඊට සමාන සිදුවීමක් පසුගිය දා වාර්තා වුණා. ඒ බහරේනයේ ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන හකීම් අල් අරයිබි දින 77ක් පුරාවට තායිලන්තයේ රදවාගෙන සිටීම යි. ඔහුව එසේ රදවාගෙන සිටියේ බහරේනය විසින් තායිලන්තයෙන් හා ජාත්‍යන්තර පොලීසියෙන් කළ ඉල්ලීමකට අනුව යි.

බහරේනයෙන් ඔස්ට්‍රේලියාවට පළා ආ පාපන්දු ක්‍රීඩකයා

හකීම් පාපන්දු පිටියේ (BBC)

1993 වසරේ දී බහරේනයේ උපත ලබන හකීම් කුඩා කාලයේ සිට පාපන්දු ක්‍රීඩාවට දස්කම් දක්වන අතර ඔහු එරට  Al-Shabab පාපන්දු ක්‍රීඩා සමාජය සදහා ක්‍රීඩා කරනවා. පසුව බහරේනයේ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කිරිමේ අවස්ථාවක් ද හකීම්ට උදා වෙනවා.

2011 වසරේ දී බහරේනයේ සිදු වූ රාජ්‍ය විරෝධී නැගිටීමට සැකකරුවෙක් ලෙස ඔහුව සිරගත කිරීමට එරට ආරක්ෂක අංශ කටයතු කරනවා. පසුව නිදහස් වෙන ඔහු 2013 වසරේ දී එරට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කරනවා.

අරාබි වසන්තත් සමග බහරේනයේ සිදු වූ රාජ්‍ය විරෝධී නැගිටීමට එරෙහිව ආණ්ඩුව මර්ධනකාරී ප්‍රතිපත්තියක නියැලෙනවා. එම රාජ්‍ය විරෝධී කැරැල්ලට සහභාගී වූවා යැයි පවසමින් ජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකයන්ට කෙරෙන හිංසා පීඩාවන්ට එරෙහිව විශාල හඬක් නැගීමට හකීම් කටයුතු කරනවා.

මේ හේතුවෙන් වරෙක ඔහුට තර්ජනය කරන එරට ආරක්ෂක අංශයේ එක් කණ්ඩායමක් ඔහුව දින 45ක් රඳවාගනිමින් සිටි බව ඔහු පවසනවා. එහිදී එක් අවස්ථාවක පැය තුනක් තම දෙපාවලට ඔවුන් දිගින් දිගටම පහර දුන් බවත්, තම දෙපාවලින් නැවත පාපන්දු ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදෙන බවට ඔවුන් තර්ජනය කළ බව බවත් පසුව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වසර 10ක සිර දඬුවමක් හා ඕස්ට්‍රේලියාවට පලා ඒම

තායිලන්තයේ දී අත්අඩංගුවට ගැනීම (NDTV.com)

රාජ්‍ය විරෝධී කැරලි සමයේ රටේ දේපොළවලට හානි කිරීම යටතේ ඔහු ඇතුළු පිරිසකට වසර 10ක සිර දඬුවමක් හිමි වන්නේ මේ අතරවාරයේ දී යි. මෙම දඬුමව ඉතා අසාධාරණ බවත්, කිසිදු විනිවිදභාවයකින් තොර බවත් මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධාන එම සමයේ දීම පෙන්වා දෙනවා.

කෙසේ නමුත් මෙම හානි කිරීම් සිදුකරන දිනයේ තම සහෝදරයා පාපන්දු තරගයක සිටි බවත්, ඔහුව සිර දඬුවමකට යටත් කිරීම කරන්නේ හුදෙක් ගෝත්‍රවාදී ප්‍රශ්නයක් නිසා බවත් ඔහුගේ සහෝදරයා විසින් පවසනවා.

සිර දඬුවම විදින සමයේ පාපන්දු ක්‍රීඩා කිරීමට අවසර ලබා ගැනීමට හකීම් සමත්වෙනවා. ඒ අනුව 2012 වසරේ කටාරය සමග පැවති පාපන්දු ක්‍රීඩා තරගය සඳහා බහරේනය නියෝජනය කළ ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් වීමට ඔහුට අවස්ථාව ලැබෙනවා.

ක්‍රීඩා තරගය පැවැත්වෙන අතරතුර ඉරානය බලා යන ඔහු ඉරානයේ සිට මැලේසියාවටත්, මැලේසියාවෙන් තායිලන්තයටත් පලා යනවා. අනතුරුව මාස හයකින් ඔස්ට්‍රේලියාව බලා පලා යාමට හකීම්ට හැකි වෙනවා. ඒ 2014 වසරේ මැයි මාසයේ දී යි.

හකීම්ගේ ක්‍රීඩා හැකියාවත් ඔහුට විරුද්ධව බහරේනයේ ක්‍රියාත්මක වෙන අසාධාරණ සිර දඬුවත් සළකා බලන ඕස්ට්‍රේලියානු රජය ඔහුට සරණාගත තත්ත්වය යටතේ එරට රැඳී සිටීමට අවසර ලබා දෙනවා. ඊට අමතරව වෙනත් කැමති රටකට යාමේ ඒමේ නිත්‍යානුකූල අවසරය ද හිමි වෙනවා.

ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් අනතුරුව Green Gully, Goulburn Valley Suns හා Preston Lions යන පාපන්දු ක්‍රීඩා සමාජයන් වෙනුවෙන් ක්‍රීඩා කරන ඔහු 2018 වසරේ සිට මේ වන තෙක් ක්‍රීඩා කරන්නේ Pascoe Vale නම් පාපන්දු ක්‍රීඩා සමාජයට යි.

තායිලන්තයේ දී නැවතත් රැඳවුම්භාරයට පත්වීම

අත්අඩංගුවට පත්වීමෙන් පසුව (Fox Sports)

පසුගිය 2018 වසරේ නොවැම්බර් මාසයේ දී හකීම් තායිලන්තය බලා ගමන් කරන්නේ තම බිරිඳ සමග එහි මදුසමය ගත කිරීමට යි. නමුත් බැංකොක්හි ස්වර්ණභූමි ගුවන්තොටුපොළට පැමිණීමත් සමග ඔහුව අත්අඩංගුවට පත්වෙනවා. ඒ බහරේන් රජය විසින් ජාත්‍යන්තර පොලිසියෙන් කළ ඉල්ලීමක් මත යි. එම ඉල්ලීම මත ඔහුට විරුද්ධව රතු වරෙන්තුවක් නිකුත් කිරීමට ජාත්‍යන්තර පොලිසිය කටයුතු කර තිබුනා. ඔහුව තායිලන්ත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කරනවා.

2019 වසරේ පෙබරවාරි 4 වන දා අධිකරණයට ඉදිරිපත් කරන අතර අප්‍රේල් 5 දා දක්වා නැවතත් බන්ධනාගාර ගත කිරීමට තායි අධිකරණය තීරණය කරනවා.

නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය

හකීම් නිදහස් කර ගැනීම වෙනුවෙන් (CNN International)

හකීම්ව අත්අඩංගුවට ගැනීමත් සමගම ඔහුව නිදහස් කරගැනීමේ විශාල ව්‍යාපාරයක් ආරම්භ වනවා. මේ සදහා බහරේනයේ හා ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් සංවිධාන කිහිපයක් ඉදිරිපත් වෙනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියානු පාපන්දු ෆෙඩරේෂණය, ඕස්ට්‍රේලියාවේ වෘත්තිමය පාපන්දු සංගමය, ආසියානු පාපන්දු ෆෙඩරේෂණය හා ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේෂණය හකීම්ව නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා.

නිදහස් වූ පසු Craig Foster සමග (Yahoo! Sports)

ඕස්ට්‍රේලියාවේ හිටපු පාපන්දු ක්‍රීඩකයෙක් මෙන්ම මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් ද වන ක්‍රෙයිග් ෆොස්ටර් හකීම්ව නිදහස් කර ගැනීමේ සටනට පිවිසෙනවා. ඔහු ඉක්මනින්ව මේ පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේෂණයේ නිලධාරීන්ව දැනුවත් කරන අතර #SaveHakeem හෑෂ් ටැගය සහිත විශාල මාධ්‍ය ව්‍යාපාරයක් සමාජජාල මාධ්‍ය හරහා සිදු කරනවා.

මෙම මාධ්‍ය ව්‍යාපාරය සමග ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයන් වන Didier Drogba හා Jamie Vardy ද එකතු වෙනවා.

ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීම හා නිදහස් වීම

නිදහස් වීමෙන් පසුව (SBS)

ඕස්ට්‍රේලියානු රජය මෙම සිරගත කිරීමට විරුද්ධව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ඔවුන් බහරේන් රජයට හා තායිලන්ත රජයට හකීම්ව නිදහස් කරන ලෙස බලකර සිටිනවා. තම සරණාගතයෙකු රදවාගැනීම පිළිබඳව ප්‍රශ්න කරමින් ඕස්ට්‍රේලියානු රජය විසින් මේ පිළිබඳව යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ප්‍රබල මානව හිමිකම් සංවිධාන දැනුවත් කරනවා. ඊට අමතරව විවිධ රටවල තානාපතිවරුන් ද මේ පිළිබඳව දැනුවත් කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගන්නවා.

මෙම මැදිහත්වීම් හේතුවෙන් පෙබරවාරි 11 වන දා ඔහුට නිදහස ලබාදීමට තායිලන්ත රජය තීරණය කරන අතර නිදහස ලැබූ ඔහු එදිනම ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙනවා.

කවරයේ පින්තූරය - Fox Sports

මුලාශ්‍රයයන්:

goal.com

theguardian.com

bbc.com

Related Articles