Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් යුක්තිය ඉටු වෙයි ද?

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය සමඟ මෙරට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ව දීර්ඝ කාලයක් තිස්සේ පවතින කතාබහ අලුත් වී තිබේ. පසුගිය දශක කිහිපය තුළ, විශේෂයෙන් ම යුද සමයේ, අතුරුදහන් වූ තැනැත්තන් නියෝජනය කරමින් දේශීය සහ විදේශීය පාර්ශව ගණනාවක් එම සැසිවාරය ඇමතීමට නියමිත ය.

 අතුරුදහන් වූ තැනැත්තන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටු කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බවට දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්  2016 වසරේ දී එවකට පැවැති එක්සත් ජාතික පෙරමුණු (යහපාලන) රජය විශේෂ පනතක් මගින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කළේ ය.

මේ ලිපිය මෙරට අතුරුදහන් වූවන් සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් වන වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව යි.

අතුරුදහන් වූ තැනැත්තන්ට යුක්තිය ඉල්ලන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ – www.laprensalatina.com

 

අතුරුදහන් වූ පුද්ගලයෝ

යම් තැනැත්තකුට අත් වූ ඉරණම හෝ ඔවුන් සිටින ස්ථානය පිළිබඳ ව තොරතුරක් නොමැති නම් ඔවුන් අතුරුදහන් වූ තැනැත්තන් ලෙස නිර්වචනය කෙරේ. විශේෂයෙන්ම මෙරට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ හව සැලකීමේ දී පසුගිය දශක කිහිපය තුළ උතුරු-නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම්, සහ දේශපාලන නොසන්සුන්තා, හෝ සිවිල් කෝලාහල අතරතුර අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳව වැඩි අවධානයක් යොමු වේ. ඊට අමතරව යම් යම් දේශපාලන හේතු මත බලහත්කාරයෙන් අතුරුදහන් කරවූ රටේ අනෙකුත් ප්‍රදේශවල විසූ පුද්ගලයන් ද අතුරුදහන් වූ තැනැත්තන් ලෙස හඳුනා ගනී.

1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ අධ්‍යයනයක දී අනාවරණය වූයේ ලොව වැඩිම පුද්ගල අතුරුදහන් වීම් හෝ කිරීම් සහිත රටවල් අතර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වන බව ය. ඒ වන විට මෙරට ආරක්ෂක අංශ භාරයේ සිටි පුද්ගලයන් 12,000ක් පමණ අතුරුදහන් වී ඇති බව අනාවරණය විය. 2003 දී ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනය කළේ යුද සමයේ අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ඔවුන්ට පැමිණිලි 20,000ක් පමණ ලැබී ඇති බව ය. ඉන් 9,000ක් පමණ ඒ වන විට විමර්ශනය කර අවසන් වුවත්, ඉතිරි පැමිණිලි 11,000 විමර්ශනය කරමින් පවතින බව වාර්තා විය.

අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ව ක්ෂමා සංවිධානයට පැමිණිලි 20,000ක් පමණ ලැබී ඇති බව අනාවරණය විය – www.linkedin.com

 

දින 2,000ක් සම්පූර්ණ වූ විරෝධතා

 යුද සමයේ සිදු වූ අතුරුදහන්වීම්වලට සාධාරණය ඉල්ලා 2017 වසරේ සිට පැවැත්වෙන විරෝධතාවලට දින දෙදහසක් (2,000ක්) සම්පූර්ණ වීම නිමිත්තෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ මා-පියන් හා ඥාතීහු කිලිනොච්චි නගරයේ දී අගෝස්තු 14 වැනි දා විරෝධතා පා ගමනක නිරත වූහ. ඔවුන් කිලිනොච්චියේ කන්දසාමි කෝවිල ඉදිරිපසින් විරෝධතා පා ගමන ආරම්භ කළේ අතුරුදහන් වූ තම ඥාතීන් ගැන නිසි තොරතුරක් හෝ ඔවුන්ට සිදු වූ දේ පවසන ලෙස ආණ්ඩුවේ බලධාරින්ට බල කරමිනි. කිලිනොච්චි නගරයට එක්රැස් වූ ඔවුහු යුද සමයේ සිදු වූ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් යම් යම් චෝදනා එල්ල වී ඇති, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ද බල කළහ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

2016 දී එවකට පැවැති රජය අතුරුදහන් වූ තැනැත්තන් ලෙස හඳුනා ගෙන ඇති පුද්ගලයන්ගේ ඥාතීන්ට ඒ බව සඳහන් කළ ලියවිල්ලක් නිකුත් කිරීම ආරම්භ කළේ ය. එම ලියවිල්ල ඉදිරිපත් කර අතුරුදහන් වූ තැනැත්තන්ට අයත් වත්කම් සහ දේපල තාවකාලික භාරකාරීත්වය යටතේ පරිහරණය කිරීමට ඔවුන්ගේ ඥාතීන්ට හැකියාව ලැබිණි. ඊට අමතර ව අතුරුදහන් වූ තැනැත්තන්ගේ දරුවන්ට සහ පවුල්වල සමීප සාමාජිකයන්ට රජයේ සුබසාධන වැඩසටහන් සඳහා අයදුම් කිරීමට ද එමගින් අවස්ථාව හිමි විය.

අතුරුදහන්වීම්වලට සාධාරණය ඉල්ලා පැවැත්වෙන විරෝධතාවලට දින 2,000ක් සම්පූර්ණ වීම වෙනුවෙන් පැවති විරෝධතාව – www.thehindu.com

 

අතුරුදහන් වූ තැනැත්තන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට සාධාරණය ඉටු කිරීමේ අරමුණින් එවකට පැවති එක්සත් ජාතික පෙරමුණු (යහපාලන) රජය 2016 දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කළා. අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සෙවීම, බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම, වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සහන මාර්ග හඳුනා ගැනීම, අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ දත්ත එක්රැස් කිරීම, අරමුණු සාක්ෂාත් කර ගැනීිම සඳහා අවශ්‍ය වෙනත් පියවර ගැනීම මෙම කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරය අතර වේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රගතිය

2016 දී පිහිට වූ එම කාර්යාලය යටතේ එන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ සිදුවීම් 14,988ක් අතරින් මෑතක් වන තුරු අදාළ ලිපි ලේඛන සකස් කර ඇත්තේ සිදුවීම් 65ක පමණක් බවත්, ඉදිරි වසර දෙක තුළ සියලු සිදුවීම් සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය බලාපොරොත්තු වන බවත් වාර්තා විය.

 මෑතකදී පත් වූ එම කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ඉහත කී සිදුවීම් 14,988න් සිදුවීම් 1,250කට අදාළ ලිපි ලේඛන සකස් කර ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය දා සඳහන් කළේ ය.

යුද සමය – www.mrediff.com

එම ප්‍රගතිය අත්පත් කරගෙන ඇත්තේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ව ජාත්‍යන්තර අවධානය යොමු වීම සහ ජාත්‍යන්තර බලපෑම්වල ප්‍රතිපලයක් ලෙස බවත් ඔහු සඳහන් කළේ ය. අතුරුදන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් විමර්ශන රටේ අභ්‍යන්තර කටයුත්තක් බව පැවැසූ ඔහු සඳහන් කළේ එම විමර්ශන අවසන් කළ යුත්තේ අභ්‍යන්තර වශයෙන් බව ය. ඒ සඳහා ජාත්‍යන්තර අවධානය යොමු වන තුරු සිටීම වෙනුවට අතුරුදන් වූ තැනැත්තන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට සාධාරණය ඉටු කිරීමට දේශීය වශයෙන් රජයට සහ අදාළ ආයතනවලට වගකීමක් තිබෙන බව ද ඔහු සඳහන් කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය

මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී පසුගිය කාලය තුළ මෙරට සිදු වූ අතුරුදහන් කිරීම් ද ඇතුළු මානව හිමිකම් උල්ලංඝණය කිරීම් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවලින් ඉල්ලා සිටින බව ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන මාධ්‍ය වෙත පසුගිය දා සඳහන් කර තිබිණි.

එම සංවිධාන අවධාරණය කර තිබුනේ මෙරට සිදු ව ඇති ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහ යුද අපරාධ ගණයට වැටෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන විමර්ශන, සාක්ෂි එක්රැස් කිරීම, වගවීම, සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කළ යුත්තේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් හෝ අධිකරණයක් හරහා බව ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය – www.boston.com

 

උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු සහ පුනරුත්ථාපන අමාත්‍ය ආනන්දී සසිදරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ඇමතීමට සැප්තැම්බර් 15 දින නියමිත අතර, ඇය සිය දේශනය අතරතුර අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇත. අතුරුදහන් වූ තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක වන දේශීය යාන්ත්‍රණයක් ඇස්බැන්දුමක් පමණක් බවත්, එවැනි යාන්ත්‍රණයක් හරහා කිසිදු සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවත් ඇය මාධ්‍ය වෙත සඳහන් කර තිබිණි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ව සෙවීම සඳහා කාර්යාලයක් ස්ථාපිත කර ඇති නමුත් ඉන් කිසිදු යහපත් ප්‍රතිපලයක් ලැබී නොමැති බව ද ඇය සඳහන් කර තිබිණි.

ජිනීවා නුවර පැවැත්වෙන අතුරුදහන් කරවීමේ සිදුවීම් පිළිබඳ කමිටුවේ 23 වැනි සැසිවාරය අමතමින් 2009 දී අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිය වන සන්ධ්‍යා එක්නැළිගොඩ සිය සැමියා ඇතුළු අතුරුදහන් වූ සියලු තැනැත්තන්ට සාධාරණය ඉටු කර ගැනීම සඳහා සහාය වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා ය.

සිය සැමියා සිටින ස්ථානයක් සෙවීම සඳහා ඇරඹූ අරගලය අතරතුර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ඇතුළු පාර්ශව ගණනාවකගෙන් ඊට බාධා එල්ල වූ බව පැවසු ඇය සඳහන් කළේ අතුරුදහන් වූ තැනැත්තන්ට සාධාරණය ඉල්ලා සිටින අරගලයේ ඉදිරියෙන් ම සිටින උතුරු නැඟෙනහිර දෙමළ භාෂාව කතා කරන මව්වරුන් ද එවැනි බාධාවන්ට මුහුණ දෙමින් සිටින බව යි.

 සන්ධ්‍යා එක්නැළිගොඩ අතුරුදහන් කරවීමේ සිදුවීම් පිළිබඳ කමිටුවේ 23 වැනි සැසිවාරය අමතමින් – twitter.com/SP_Ekneligoda

 

රජයේ ප්‍රතිචාරය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි සඳහන් කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළත මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ ව විමර්ශනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජය පෙනී සිටින බව ය. එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අදාළ දේශීය ආයතන වන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වැනි ආයතනවලට අවශ්‍ය පහසුකම් සහ සහයෝගය සැපයීමට රජය තවදුරටත් කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

කවරයේ ඡායාරූපය - අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඡායාරූප අතැති ව සිටින ඔවුන්ගේ ඥාතීහු- www.hrw.org

මූලාශ්‍ර:

www.omp.gov.lk

www.themorning.lk

www.dailymirror.lk

Related Articles