ත්‍රීපෝෂ සමඟ යළි මතු වූ ඇෆ්ලටොක්සින් ආන්දෝලනය

ත්‍රිපෝෂ යනු ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් සහ ගර්භනී මව්වරුන් ගේ පෝෂණ අවශ්‍යතා සඳහා ලබා දෙන ඉතා වැදගත් අතිරේක ආහාරයක්. ත්‍රිපෝෂ නිපදවීම, “ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ්” යන ආයතනය හරහා සිදු කරන අතර, නිෂ්පාදන කටයුතු ජා-ඇ< නගරයට ආසන්න කපුවත්ත ප්‍රදේශයේ පිහිටුවා ඇති කර්මාන්තශාලාවක සිදු කෙරෙනවා.

ශ්‍රී ලාංකීය පොදු ජනතාව මන්දපෝෂණයෙන් තොර සෞභාග්‍යමත්, අභිමානවත් සහ නිරෝගීමත් පෝෂිත ජාතියක් බවට පත් කිරීමේ දැක්මකින් යුතු ව ක්‍රියා කරන මෙම ආයතනය, දශක පහකට ආසන්න කාලයක් තුළ සිදු කළ මෙහෙය සුළුපටු නැහැ. එවැනි ආයතනයක් දැඩි ආන්දෝලනාත්මක සිදුවීමකට මැදි වූ විට ඇතිවන වන විවාදාත්මක ස්වභාවයත් සුළුපටු නැහැ.

ඇෆ්ලටොක්සින් කිහිපයක රසායනික ව්‍යුහ – www.intechopen.com 

ආන්දෝලනය කුමක් ද?

ඇෆ්ලටොක්සින් නමැති විෂ සහිත ද්‍රව්‍ය, අඩංගු විය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක තිබුණායැයි පැවසෙන ත්‍රීපෝෂ තොගයක් බෙදා හැරීම මෙම ආන්දෝලනයට හේතු වුණා. කෙසේ නමුත්, ඇෆ්ලටොක්සින් සහිත ත්‍රීපෝෂ බෙදාහැරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව හරහා පරස්පර අදහස් ප්‍රකාශ වීමෙන් ආන්දෝලනයේ සත්‍ය අසත්‍යතාව වඩ වඩාත් සංකීර්ණ ස්වභාවයකට හැරුණා.

 ත්‍රීපෝෂ නිෂ්පාදනාගාරයේ ඇෆ්ලටොක්සින් ගැටලුව, පෝෂ්‍යදායී බිස්කට් වර්ගයක් හා චොක්ලට් වැනි නව නිෂ්පාදනයක් හඳුන්වා දීමට සූදානම් වීමේ දී උද්ගත වූ බව පැවසෙනවා. ආයතනික පාර්ශවයට අනුව එම චෝදනාව අසත්‍ය වන අතර, ත්‍රීපෝෂ සමාගමේ ස්ථාවරය සම්බන්ධ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ බලාපොරොත්තුවෙන් සිටි බව ද සඳහන්. මෙතෙක් බෙදා හැරි ත්‍රීපෝෂ තොග නැවත එකතු කිරීම සම්බන්ධයෙන් වූ අවසාන තීරණය එම වාර්තාව මත පදනම් වෙනවා.

සම්පූර්ණ අසත්‍යයක්! – සෞඛ්‍ය ඇමති

 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මීට දින කිහිපයකට පෙරාතු ව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ ත්‍රීපෝෂවල ඇෆ්ලටොක්සීන් විෂ කාරක අඩංගු බවට වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව යි. එම අසත්‍ය වාර්තා පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසා සිටියා. ඔහුට මේ ප්‍රකාශය කිරීමට සිදු වූයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මතු කළ ප්‍රශ්නයක් නිසා යි.

 තත්ත්වය එසේ වුවද, කළුතර දිස්ත්‍රික්කයේ බෙදා හැරී ත්‍රීපෝෂ තොගයක ඇෆ්ලටොක්සීන් සීමාව ඉක්මවා ඇති බව හෙළි වූ බැවින්, එම කාණ්ඩයට අදාළ තොග නැවත කැඳවා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. “ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ්” ආයතනය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කිහිපයක් වෙත ලිපියක් යොමු කරමින් සැප්තැම්බර් මාසය තුළ නිකුත් කළ ත්‍රීපෝෂ තොගයක් නැවත කැඳවා ගැනීමට ක්‍රියා කළේ මේ අතරතුර යි. කෙසේ නමුත්, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊට හේතු දක්වමින් පවසා සිටියේ මීට මාස එකහමාරකට පමණ පෙර මතු වූ ගැටලුවකට පිළියමක් වශයෙන් එම තොග නැවත ගෙන්වා තිබූ බව යි. 

 කරුණුවල සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත්, ත්‍රීපෝෂ පරිභෝජනය කරන සමාජ කාණ්ඩ සැලකීමේ දී යම් තරමක සැක සහිත වාතාවරණයක් උද්ගත වීම ස්වාභාවික යි. එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් මව්වරුන් කරුණු විමසන පසුබිමක් නිර්මාණය වී ඇති බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පැහැදිලි පිළිතුරක් ලැබීම අත්‍යාවශ්‍ය බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසා සිටිනවා. ත්‍රීපෝෂ අවශ්‍ය වන සමාජ කාණ්ඩ සඳහා ඒවා ලබා දීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හරහා සිදුවන අතර, ත්‍රීපෝෂලාභීන් ගේ ප්‍රශ්නවලට සෘජු ව මුහුණ දෙන කොටසක් ලෙස ඔවුන් සැලකිය හැකි යි.

මොනවද මේ ඇෆ්ලටොක්සින්?

“ඇෆ්ලටොක්සින්” යනු අපට එතරම් ආගන්තුක වචනයක් නොවෙ යි. මීට පෙර පොල්තෙල් සම්බන්ධයෙනුත් ඇෆ්ලටොක්සික් ආන්දෝලනය ඉස්මතු වූ අයුරු ඔබට මතක ඇති. 

මයිකොටොක්සින් ලෙස හඳුන්වන පුළුල් දිලීර විෂ අතුරින් කොටසක් ලෙස ඇෆ්ලටොක්සින් හඳුනා ගැනෙන අතර, දිලීර හරහා නිපදවන විෂ කාණ්ඩ වලින් භයානකම කාණ්ඩයක් ලෙස ඇෆ්ලටොක්සින් හැඳින්විය හැකි යි. එය මිනිස් සහ අනෙකුත් සත්ත්ව යන දෙකොට්ඨාසයට ම අහිතකර ප්‍රතිපල ගෙන දෙනවා.

 ඇෆ්ලටොක්සින් නිපදවන්නේ “Aspergillus” ලෙස හඳුන්වන දිලීර ගණයේ සාමාජිකයනු යි. මූලික වශයෙන් Aspergillus flavus, Aspergillus parasiticus සහ Aspergillus nomius යන දිලීර ඇෆ්ලටොක්සින් නිපදවීම කෙරෙහි නම් දැරූ දිලීර විශේෂ ලෙස හැඳින්විය හැකි යි.

“Aspergillus” ගණයේ දිලීර අන්වීක්ෂයකින් දිස් වන අයුරු -www.pinterest.com

සෞඛ්‍ය අවදානම

ඇෆ්ලටොක්සින්වලින් දූෂිත වූ ශාක නිෂ්පාදන ආහාරයට ගැනීම හෝ එවැනි ආහාර අනුභව කළ සතුන් ගේ මස් සහ කිරි නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් විෂ ශරීරගත විය හැකි යි. ගොවීන් සහ වෙනත් කෘෂි ක්ෂේත්‍රවල නියැළන සේවකයන් දූෂිත වූ බෝග සහ ආහාර හැසිරවීමේ දී දිලීර බීජාණු සහිත දූවිලි ආඝ්‍රාණය වීමෙන් ඇෆ්ලටොක්සින්වලට නිරාවරණය වීමේ හැකියාවක් පවතිනවා. ඇෆ්ලටොක්සින් ශරීරගත වුවහොත්, ඔක්කාරය, උදර වේදනාව, කම්පන සහගත තත්ත්ව උග්‍ර ව ඇති විය හැකි යි.

 ආහාර මඟින් ඇෆ්ලටොක්සින් ශරීරගත වීම හරහා ඇති වන සෞඛ්‍ය අවදානම සුළුපටු නැහැ. එහි ප්‍රතිපල උග්‍ර සහ දිගු කාලීන වන අතර, එහි විසෙන් මිනිස් සිරුරට ඇති කරන බලපෑම්වලත් විවිධත්වයක් තිබෙනවා. ඇෆ්ලටොක්සින් පිළිකා කාරකයක් ලෙස පොදුවේ හඳුනා ගත්ත ද එයට විටෙක දරු උපත්වලට බලපෑම් එල්ල කරන විසක් ලෙස ක්‍රියා කළ හැකි යි. එපමණක් නොව, ප්‍රතිශක්තීකරණ පද්ධතියට සහ අක්මාවට හානි ඇති කරන විසක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව ද ඇෆ්ලටොක්සින් සතු ව පවතිනවා.

මේ ආකාරයෙන් දිලීර ආසාදනයට ලක් වූ ධාන්‍ය වර්ග වල ඇෆ්ලටොක්සින් අඩංගු විය හැකි යි – agrigoldmagazine.com 

ඇෆ්ලටොක්සින් හමු වෙන්නේ කෙසේ ද?

බොහෝ ආහාර ඇෆ්ලටොක්සින් මඟින් දූෂිත විය හැකි යි. එම දූෂණය අස්වනු නෙළීමට පෙර හෝ පසුව සිදු වෙනවා. උදාහරණයක් ලෙස බඩ ඉරිඟු, රටකජු, කපු වැනි බෝග අස්වනු නෙළීමට පෙර හෝ අස්වනු නෙළන කාලය අතරතුර ඇෆ්ලටොක්සින් මඟින් දූෂිත විය හැකි අතර, පසු අස්වනු කාලය තුළ කෝපි, බෝංචි, සහල් සහ කුළුබඩු වර්ග ඇෆ්ලටොක්සින් හමුවේ දූෂිත වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. එබැවින්, කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා ශාක කොටස් භාවිත වෙනවා නම් ඒ සඳහා අමු ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ අදියරේ සිට ම ඇෆ්ලටොක්සින් මට්ටම විශ්ලේෂණය කළ යුතු යි. 

එදිනෙදා ජීවිතයේ දී විද්‍යාත්මක විශ්ලේෂණයක් අපට සිදුකළ නොහැකි බැවින්, හැකිළුණු, දුර්වර්ණ වූ හෝ පුස් බැඳුණු ධාන්‍ය වර්ග පිළිබඳ ව පරීක්ෂාකාරී වීමෙන් ඇෆ්ලටොක්සින් අවදානම මඟ හරවා ගත හැකි යි. නිෂ්පාදනයක් මිලට ගැනීමේ දී විශ්වසනීය සහ තත්ත්වය සහතික කළ සන්නාම එකක් හෝ කිහිපයකට සීමා වීමෙන් ද අමතර ආරක්ෂාවක් ලැබීමේ හැකියාවක් පවතිනවා.

ආරක්ෂාවක් නැති ආහාර වෙළඳාම

ත්‍රීපෝෂ නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලියේ දී මතු වූ ඇෆ්ලටොක්සින් ගැටලුව සම්බන්ධයෙන් ලබන නොවැම්බර් 18 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස පාර්ශව කිහිපයකට මේ වනවිටත් සිතාසි නිකුත් කර තිබෙනවා. එලෙස සිතාසි නිකුත් කර තිබෙන්නේ වෛද්‍ය නිලධාරී කාර්යාලයකින් ලැබුණු පැමිණිල්ලක් අනුව යි. කෙසේ නමුත්, “ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ්” ආයතනය දිගින් දිගට ම සිය ස්ථාවරයේ සිටිමින් කියා සිටින්නේ ඇෆ්ලටොක්සින් මට්ටම වැඩි නිෂ්පාදන බෙදාහැර නොමැති බව යි. සිය නිෂ්පාදන උසස් තත්ත්ව යටතේ පරීක්ෂා කරමින් නිෂ්පාදන කටයුතු සිදු කරන බවත්, ප්‍රමිතියෙන් තොර සැපයුම් ප්‍රතික්ෂේප කරන බවත්, එහි වගකිව යුතු පාර්ශව සඳහන් කර සිටිනවා.

ඇෆ්ලටොක්සින් සතුන් මාර්ගයෙන් ද මිනිස් ශරීරයට ඇතුළු විය හැකි යි – www.sciencedirect.com 

 ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා ත්‍රීපෝෂ සමාගම වෙත ලැබුණු බඩ ඉරිඟු කන්ටේනර් 13 ක ඉහළ ඇෆ්ලටොක්සින් ප්‍රමාණයක් අඩංගු වූ බැවින්, ඒවා ප්‍රතික්ෂේප කළ බව පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පළ වූ මාධ්‍ය වාර්තාවක සඳහන් වුණා. අදාළ කන්ටේනර්වල බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 260 ක් පමණ තිබූ අතර, මාසයක් වැනි කාලයක් තුළ ඒවා ආපසු හරවා යැවූ බව යි වාර්තා වෙන්නේ. ප්‍රතික්ෂේප වූ බඩ ඉරිඟු තොගය දැනටමත් නිල වශයෙන් භාර දී අවසන්.

 මේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් පළවන අදහස් විවිධාකාර යි. ලිපිය හරහා එවැනි විවිධ පාර්ශව දක්වන අදහස් එක තැනකට ගෙන ඒම පමණක් සිදු වූවා. ත්‍රීපෝෂ ගැටලුවේ සත්‍ය අසත්‍ය බව කුමක් වුවත්, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය දැඩි අවදානමක ඇතැයි පැවසීම ආන්තික ප්‍රකාශයක් නොවෙ යි. බොහෝ සිල්ලර කඩ, අවන්හල් සහ ඇතැම් ආහාර නිෂ්පාදනාගාර පවා ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එහි භයානකම ප්‍රතිපලය වන්නේ මහා පරිමාණ ආහාර විස වීම් සිදුවීමේ සම්භාවිතාව ඉහළ යාම යි.  

කවරයේ ඡායාරූපය- ත්‍රිපෝෂ යනු ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් සහ ගර්භනී මව්වරුන් ගේ පෝෂණ අවශ්‍යතා සඳහා ලබාදෙන ඉතා වැදගත් අතිරේක ආහාරයක් - www.lankaviews.com

මූලාශ්‍ර:

www.bbc.com

sinhala.news.lk 

www.lankadeepa.lk

www.thriposha.lk   

www.ncbi.nlm.nih.gov

www.ifis.org

www.cancer.gov 

Related Articles