Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර හතක සිර දඬුවමකට යටත් වූ මියන්මාරයේ රොයිටර් මාධ්‍යවේදීන්

2017 වසරේ දෙසැම්බර් මාසයේ දී රොහින්ජා අර්බුදය වාර්තා කළ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනක් එරට පොලීසියෙන් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට  එරෙහි නඩු විභාගයකින් අනතුරුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී වසර හතක සිර දඬුවමක් නියම කිරීමට මියන්මාර් අධිකරණය තීරණය කරනවා. ඒ “රාජ්‍ය රහස් පිළිබඳ පනත” උල්ලංඝනය කිරීමේ වරදට යි.

මේ පිළිබඳ ව අදහස් දක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන්නේ, ඔවුන් සිරගත කිරීමට භාවිතා කරන ලද නෛතික ක්‍රියාවලියේ කිසිඳු විනිවිදභාවයක් නොමැති බව යි. මෙම මාධ්‍යවේදීන්ට අමතර ව තවත් විශාල මාධ්‍යවේදීන් පිරිසක් නොයෙකුත් චෝදනා මත සිරගත කිරීම හෙලා දකින රොයිටර් පුවත් සේවය, මියන්මාරයේ මාධ්‍ය නිදහස පිළිබඳ ව අතිශය කම්පාවට පත් වෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ සියලු අභියාචනයා මේ වන විට ප්‍රතික්ෂේප වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධාන හා විවිධ රටවල තානාපති කාර්යාල ප්‍රකාශ කරන්නේ බොරු චෝදනා මත සිරගත කළ මාධ්‍යවේදීන් නිදහස් කර, මියන්මාර් මාධ්‍ය නිදහස වහා ස්ථාපිත කරන ලෙස යි.

ඉන් ඩින් ගම්මානයේ පුද්ගලයින් 10 දෙනෙකු හමුදාව විසින් මරා දැමීම

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දස දෙනා (Reuters)

2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී මියන්මාරයේ ඉන් ඩින් ගම්මානයේ දී රෝහින්ජා මුස්ලිම්වරු 10 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මියන්මාර් හමුදාවට චෝදනා එල්ල වෙනවා.

සැප්තැම්බර් පළමුවෙනි දා මෙම ගම්මානය වෙත අත්අඩංගුවට ගත් පුද්ගලයන් දස දෙනෙක් රැගෙන එන මියන්මාර් හමුදාව ඔවුන්ට එදින රාත්‍රිය ගත කිරීම සඳහා ගම්මානයේ පාසල ලබා දෙනවා. අනතුරුව ඔවුන් කැමති ආහාර වේලක් භුක්ති විදීමට ද අවස්ථාව ලැබෙනවා. පසු දින එනම්, සැප්තැම්බර් දෙවන දින උදේ ම හමුදාව විසින් මෙම කණ්ඩායමේ පින්තූර ගන්නා අතර පසුව සියලුදෙනා ව ම දණ ගස්සවනවා.

පෙළට දණ ගැස්සවිමෙන් පසුව පුද්ගලයන් දස දෙනාගේ ම ඔලුවට වෙඩි තබා මරා දැමීමට හමුදා භටයන් ක්‍රියා කරනවා.

මෙම කණ්ඩායම මෙසේ මරා දැමීමට හේතුව ලෙස සඳහන් වන්නේ ඔවුන් Arakan Rohingya Salvation Army (ARSA) නම් රෝහින්ජා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් බවට ඇසින් දුටු සාක්ෂ්‍ය පැවතීම නිසා බව පැවසෙනවා. මෙම සිදුවීම පිළිබඳ ව මුලින්ම හෙළි කරන්නේ 32 හැවිරිදි වා ලෝන් හා 28 හැවිරිදි ක්යව් සෝ ඌ නම් රොයිටර් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙක්. ඔවුන් මෙම ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂ්‍ය රැස් කරමින් සිටි දෙදෙනෙක්.

මේ පිළිබඳ ව හෙළිදරව් වීමත් සමග මියන්මාර් හමුදාව සමූල ඝාතන සිදුවීම පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කරනවා. ඝාතනයට ලක් වූ පිරිස බෙංගාලි ත්‍රස්තයන් බව පවසා සිටින හමුදා අධිකරණය ඝාතනයට සහභාගී වූයැ යි සැක කෙරෙන හමුදා කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනෙකුට වසර 10ක සිර දඬුවමක් ලබා දීමට තීරණය කරනවා. ඒ 2018 වසරේ අප්‍රේල් මාසයේ 10 වන දා යි.

රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා සිරගත කිරීම

2017 වසරේ දෙසැම්බර් 12 වන දා රොයිටර් පුවත් සේවයේ නිරත මියන්මාර් ජාතික මාධ්‍යවේදීන් දෙදෙනෙක් වන වා ලෝන් (Wa Lone) හා ක්යව් සෝ ඌ (Kyaw Soe Oo) යන දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගනු ලබනවා. ඒ රාජ්‍ය රහස් පිළිබඳ ව පනත උල්ලංඝනය කිරීමේ වරදට යි.

අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ ඉන් ඩින් ගම්මානයේ සමූල ඝාතනය පිළිබඳ ව සැකසූ වැදගත් නිල ලේඛන කිහිපයක් ම මේ මාධ්‍යවේදීන් දෙදෙනා සතු ව තිබු බව පැවසෙනවා. යම්කිසි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එම ලේඛන ජනමාධ්‍යවේදීන් දෙදෙනාට ලබා දෙන්නට ඇති බවට සැක කෙරෙනවා.

තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව පවසන මාධ්‍යවේදීන් මෙය පොලීසියේ එක්තරා සැලැස්මක් බව ප්‍රකාශ කරනවා.

වසර හතක සිර දඬුවමකට යටත් කිරීම

ඔවුන්ව නිදහස් කෙරෙන ලෙස සිදුකෙරන විරෝධතා (Committee to Protect Journalists)

අත්අඩංගුවට ගැනීමෙන් පසුව 2018 වසරේ සැප්තැම්බර් 3 වන දා පැවති නඩු වාරයෙන් පසුව එල්ල වූ චෝදනාවලට වැරදිකරුවන් බවට පත් වූ මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට වසර හතක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කරනවා. රාජ්‍යයේ අභිමතාර්ථයන්ට හානි කිරීමේ අරමුණක් ඔවුන් දෙදෙනා සතු ව තිබූ බව තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කරනවා. සිර දඬුවම්වලට තමන් බිය නොමැති බව පවසන ඔවුන් තමන් නිවැරදිකරුවන් බවත්, නීතිය හා සාධාරණත්වය කෙදිනක හෝ තමන්ට ඉටුවෙනු ඇතැ යි බලාපොරොත්තු වන බවත් පවසා සිටිනවා.

එම වසරේ ම නොවැම්බර් 5 වන දා අභියාචනයක් ඉදිරිපත් කරන නමුත්, එය ද අධිකරණය විසින් නොසලකා හරිනවා.

ටයිම් සඟරාව විසින් පසුගිය දිනෙක “2018 වසරේ මිනිසා” (person of the year) ලෙස නම් කළ මාධ්‍යවේදීන් කණ්ඩායමට මොවුන් දෙදෙනාගේ නම් අඩංගු වෙනවා. එහි ඔවුන්ව නම් කර තිබෙන්නේ The Guardians (රැකවල්ලු හෙවත් ආරක්ෂකයින්) නමින්. මොවුන්ගේ විශේෂත්වය වන්නේ  සත්‍ය වෙනුවෙන් නොබිය ව ඉදිරියට ගොස් සටන් කිරීම බව ටයිම් සඟරාව විසින් සඳහන් කර තිබෙනවා.

ලෝක ප්‍රජාවගේ මතය

ටයිම් සගරාව විසින් වසරේ මිනිසා නමින් නිකුත් කළ කවර හතරෙන් එකක මොවුන්ගේ පින්තූර අතින් ගත් භාර්යාවන් දෙදෙනාගේ ඡායාරූපයක් ඇතුළත් වෙනවා (CTV News)

මෙම සිරගත කිරීම පිළිබඳ ව කනස්සල්ල පළ කරන මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ සම්බන්ධිකාරකවරයා පවසන්නේ නීතිය විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බව යි. තව ද මියන්මාරයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා ද නඩු තීන්දුව පිළිබඳ ව තම කනස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිරගත කිරීම පිළිබඳ ව අතිශය කනස්සලට පත්වෙන බව ප්‍රකාශ කරන රොයිටර්ස් ප්‍රධාන සංස්කාරක ස්ටීවන් ඇඩ්ලර් (Stephen Adler) තීන්දුව ලබා දුන් දිනය මියන්මාරයට මෙන්ම මුළු මහත් මාධ්‍ය නිදහසටත් කණගාටුදායක දිනයක් ලෙස ඉතිහාසගත වන බව පවසනවා.

නිදහස් කරන ලෙස කෙරෙන මියන්මාරයේ විරෝධතා (The Morung Express)

එවකට සිටි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපති නිකී හේලි ද මෙම සිර දඬුවම පිළිබඳ ව නිශ්චිත පරීක්ෂණයක් කළ යුතු බවත්, මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කළ යුතු බවත් ප්‍රකාශ කර සිටිනවා.

කවරයේ පින්තූරය: Time Magazine

මූලාශ්‍රයයන්:

theguardian.com

reuters.com

irrawaddy.com

japantimes.co.jp

bbc.com

Related Articles