Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසරක් ගෙවුණු තැන ජනතාවගේ තොරතුරු අයිතිය

දශක ගණනාවක් තිස්සේ අපේක්ෂාවක් පමණක් වී තිබූ තොරතුරු අයිතිය මෙරට බලාත්මක කෙරුණේ 2017 වසරේ පෙබරවාරි 03 වැනිදා යි. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පිහිටුවීමට පියවර ගැනුණු අතර පොදු අධිකාරීන් (public authorities) ලෙස හඳුන්වනු ලබන රාජ්‍ය සහ වෙනත් ආයතනවලින් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලින් ද තොරතුරු ලබා ගැනීමේ අයිතියද එමගින් මහජනතාවට හිමිවිය.

ඒ අනුව තොරතුරු ලබා ගැනීමේ අයිතිය බලාත්මක වී මේ වන විට වසරක් ඉකුත්ව ගොස් ඇත. අපේ තොරතුරු පනත ලෝකයේ තුන් වැනි හොඳම තොරතුරු නීතිය ලෙස හැඳින්වේ. එසේ නම් පසුගිය වසරක කාලය තුළ තොරතුරු දැන ගැනීමේ අයිතිය මහජනතාව භුක්ති විද ඇත්තේ කෙසේද? සැබැවින්ම එය ජනතාවට යහපතක් අත්කර දී ඇත්ද? තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළෙමු.

pbs.twimg.com

පසුගිය වසරක කාලය තුළ තොරතුරු අයිතිය භාවිත වී ඇති අන්දම

පොදු අධිකාරීන්වල සංඛ්‍යාලේඛන අනුව මසකට තොරතුරු ඉල්ලුම්පත් දාහක් පමණ පොදු අධිකාරීන්වලට ලැබෙමින් තිබේ. 2017 වර්ෂයේ ඉල්ලුම්පත් දොළොස් දහසක් ලැබී තිබුණි. තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට දැනට මාසයකට අභියාචනා 60ත් 70ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවද පියතිස්ස මහතා සඳහන් කළේය.

‘’පනත ක්‍රියාත්මක වෙලා පළමු අවුරුද්දේම මාසයකට ඉල්ලුම්පත්‍ර දාහක් පමණ ලැබෙනවා කියන්නේ ආසියාවේ අනෙක් රටවල් සමඟ සැසඳීමේදී එය පළමු අවුරුද්දෙම ටිකක් ඉහළ අනුපාතයක්. එයට හේතුව තමයි අපේ රටේ සාක්ෂරතාවය ඉහළයි. ඒ වගේම ජන ජීවිතයට රාජ්‍ය කටයුතු මැදිහත් වෙනවා වැඩියි.’’

තොරතුරු ලබා නොදීම පිළිබඳව ලැබී තිබෙන අභියාචනා

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට 2017 වසරේ දී ලැබී තිබෙන අභියාචනා සංඛ්‍යාව 355 කි. මෙම වසරේදී පමණක් අභියාචනා 275ක් පමණ ලැබී තිබේ. මේ වන විට කොමිසමට ලැබී තිබෙන මුළු අභියාචනා සංඛ්‍යාව 630ක් වේ. ඒවායින් කොමිෂම අභියාචනා 457 මේ වන විටත් විභාගයට ගෙන තිබෙන අතර ඒවායින් සමහරක් අභියාචනා තවත් වාර කිහිපයක් විභාග කිරීමට නියමිතය. 250ක පමණ තීන්දු ලබා දී අවසන්ය. අනෙක් අභියාචනා තවමත් විභාග වෙමින් තිබෙන බව පියතිස්ස මහතා පවසයි.

media.gov.lk

‘’සමහර අභියාචනා අපිට වාර කිහිපයක් ඇසීමට සිදු වෙනවා. සමහර ඒවා එක් දිනකින් අවසන් වෙනවා. පොදු අධිකාරිය සහ පැමිණිලිකරු ඉදිරිපත් කරන කරුණු සලකා බලා වරින්වර කල් දමන අවස්ථාත් තිබෙනවා. කොමිෂන් සභාව තීරණයක් ලබා දුන් පසුව එයට එදිරිව අභියාචනාධිකරණයට යා හැකියි. එහෙත් මේ දක්වා කිසිවෙකු අභියාචනාධිකරණයට ගිහින් නැහැ. කොමිෂන් සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීම අතින් බැලුවත් මෙතෙක් ලබා දුන් තීන්දු එකක් හෝ දෙකක් හැරුණු කොට අනෙක් සියල්ලම ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රමාද වී තිබෙන ඒවා නැවත කැඳවා අදාළ පොදු අධිකාරීන්වලට එම තොරතුරු ලබා දෙන ලෙස අපි අවවාද කරනවා. එය ක්‍රියාත්මක නොකළ හොත් නීතිමය ක්‍රියාවලියකට යෑමට සිදු වෙනවා. නමුත් තවම තොරතුරු ලබා දුන්නේ නැහැ කියලා කොමිෂන් සභාවේ නඩු දාලා නැහැ. ඒ වගේම අපි ලබාදුන් තීන්දුවට විරුද්ධවත් කිසිම කෙනෙක් නඩු දාලා නැහැ.’’

media.gov.lk

තොරතුරු ඉල්ලීම් වැඩිපුරම ලැබෙන ප්‍රදේශ

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ දත්ත වාර්තා අනුව මේ වන විට වැඩිපුරම තොරතුරු ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් ව තිබෙන්නේ බස්නාහිර පළාතෙනි. පියතිස්ස මහතා පෙන්වා දෙන අන්දමට ඊට හේතුව වන්නේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ආදී මූලස්ථාන සියල්ලම බස්නාහිර පළාතේ පිහිටා තිබීම නිසා ජනතාවට සෘජුවම ඒවාට ප්‍රවේශ වීමේ හැකියාව වැඩි වීමයි. එමෙන්ම ජනතාවගේ තිබෙන දැනුවත්වීමේ සහ භාවිතයේ හැකියාවන් මත බස්නාහිර පළාතේ තොරතුරු ඉල්ලීමේ සම්භාවිතාව ද වැඩිය. තොරතුරු ඉල්ලීම් වැඩියෙන් ඉදිරිපත් වන අනෙක් පළාත වන්නේ දකුණු පළාත ය. තුන්වෙනුව මධ්‍යම පළාත සහ සිව්වන උතුරු පළාත යි. තොරතුරු ඉල්ලීම් අඩුවෙන්ම ලැබී ඇති පළාත වන්නේ වයඹ පළාත වේ.

වැඩිපුරම තොරතුරු ඉල්ලීම් ලැබී ඇති ක්ෂේත්‍රයන්

පියතිස්ස මහතාට අනුව දැනට 30%ක පමණ තොරතුරු ඉල්ලුම්පත්‍ර ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ පුද්ගලික ගැටලු කේන්ද්‍ර කර ගනිමිනි. එනම් මාරුවීම්, විනය කටයුතු, බඳවා ගැනීම් ආදිය පිළිබඳව ය. ඉඩම් බලපත්‍ර, කුඹුරු ඉඩම් පැවරීම්, මැනීම් කටයුතු වැනි ඉඩම් සහ දේපළ ගැටලු සම්බන්ධයෙන් දෙවනුව වැඩිම විමසීම් ප්‍රමාණයක් ලැබී තිබේ. තෙවනුව තොරතුරු ඉල්ලීම් වැඩිපුරම ලැබුණු ක්ෂේත්‍රයන් වන්නේ සෞඛ්‍ය, මහාමාර්ග සහ සමාජ සේවා වැනි අංශයි. එහෙත් රටට වැදගත් යයි සැලකෙන සංවර්ධන කටයුතු සහ රජයේ මුදල් වියදම් කිරීම් පිළිබඳව තොරතුරු ඉල්ලීම් ඇත්තේ 10 -12 % ත් අතර ඉතා අවම මට්ටමකය.

ලේඛන හැරෙන්නට පරීක්ෂා කර බැලීම සඳහා ඉල්ලා සිටිය හැකි වෙනත් අමුද්‍රව්‍ය

බොහෝ දෙනකු තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉල්ලා සිටින්නේ ලිපි ලේඛනය. ඒ හැරෙන්නට ලිපි ගොනු පරික්ෂා කර බැලීම සඳහා ඉල්ලා සිටින්නට ද පුළුවන් බව පියතිස්ස රණසිංහ මහතා පැවසීය.

‘’තොරතුරු නිතීය යටතේ යම්කිසි වැඩබිමක් අධීක්ෂණය කිරීමට අවසර ලබා ගත හැකියි. මේ වන විට වැඩ බිම් දෙකක් අධීක්ෂණය කිරීම සඳහා අවස්ථා ඉල්ලා තිබෙනවා. ඊට අමතරව යම් සාම්පල ඉල්ලීමක් සිදු කළ හැකියි. වෙනත් රටවල්වල තොරතුරු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වගේ සිදු වන්නේ ඩිජිටල් ක්‍රමය භාවිත කිරීමෙන්. ඩිජිටල් ක්‍රමවේදය අනුගමනය කරමින් තොරතුරු සැපයිය හැකි බොහෝ ආයතන ලංකාවෙත් තිබෙනවා. තොරතුරු ලබාදීම ඩිජිටල් ක්‍රමයට කිරීමට අපහසු ආයතනත් තිබෙනවා. විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ඉල්ලා සිටින්න පුළුවන් වගේම විද්‍යුත් තැපෑල මඟින් තොරතුරු ලබා දෙන්නත් පුළුවන්.”

“අභියාචනා ක්‍රියාවලිය තවමත් ඩිජිටල් ක්‍රමයට පරිවර්තනය වෙලා නැහැ. ඒ සඳහා අපේ පහසුකම් තවදුරටත් වැඩිදියුණු විය යුතුව තිබෙනවා. තොරතුරු ඉල්ලීම සහ තොරතුරු ලබාගැනීම සඳහා ඩිජිටල් ක්‍රම භාවිත කරන සංඛ්‍යාව 10%කටත් වඩා අඩුයි. දුර බැහැර ප්‍රදේශවල ජනතාවට විද්‍යුත් ක්‍රමයට තොරතුරු ඉල්ලීමේ පහසුකම් නැහැ. බොහෝ විට පැරණි ලිපි ගොනු ඩිජිටල් ක්‍රමයට ඉදිරිපත් කිරීමටත් ආයතනවලට හැකියාවක් නැහැ. මේ නිසා ඩිජිටල් තොරතුරු ඉල්ලීම් ප්‍රමාණය අඩු මට්ටමක පවතිනවා.’’ පියසේන මහතා කියා සිටියේ ය.

තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය රටේ සියලුම පුරවැසියන් වෙත ලබා දෙනවා. ඒ නිසා අවශ්‍ය අවස්ථාවලදී පසුබට නොවී ඔබත් එය භාවිත කරන්නට වග බලා ගන්න.

කවරයේ රූපය : foodauthority.nsw.gov.au

Related Articles