යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සහ අන්ත දක්ෂිණාංශය

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය මැයි 23 සිට 26 දක්වා යුරෝපා සංගමයෙහි සාමාජික රටවල පවත්වනු ලබනවා. සාමාන්‍යයෙන් යුරෝපා මැතිවරණවල දී දකින්නට නොලැබෙන අවධානයක් මෙවර මැතිවරණය කෙරෙහි ඇති වී තිබෙනවා. ඊට හේතුව වන්නේ යුරෝපයේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වල වර්ධනය යි. ඊට අමතරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම මැතිවරණය පිළිබඳව බ්‍රිතාන්‍යය තුළ විශේෂ අවධානයක් යොමු ව තිබෙනවා.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතව තිබුණේ මාර්තු 29 වන දා යි. ඒ අනුව එරට යුරෝපා මැතිවරණයට සහභාගී වීමට නියමිත වූයේ නැහැ. නමුත් මතුවූ අවුල් සහගත තත්ත්වයන් සමග බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කල් ගිය හෙයින් බ්‍රිතාන්‍යය ද යුරෝපා මැතිවරණය සඳහා සහභාගී වනවා.

දක්ෂිණාංශයේ වර්ධනය

යුරෝපයේ අන්ත දක්ෂිණාංශය කලෙක පටන් කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් සිටිනවා. මෙය දශක දෙකක පමණ කලයක් තිස්සේ දකින්නට ලැබුණ දෙයක්. නමුත් 2008 සිට ඇරඹි ආර්ථික අවපාත තත්ත්වයන් සහ 2011 පමණ සිට සංක්‍රමණිකයන් පැමිණීම වේගවත් වීමත් සමග මෙම තත්ත්වය තවත් පැහැදිලි වුණා.

යුරෝපා සංගමයේ නීති රීති හේතුවෙන් ජාතික ස්වෛරීභාවය සීමා වන බවත්, විශේෂයෙන්ම සංක්‍රමණික ජනතාව පිළිබඳ ගැටළුවේ දී එය ප්‍රශ්නයක් වන බවත් අන්ත දක්ෂිණාංශය සඳහන් කරනවා. එමෙන්ම ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් යුරෝපා සංගමය පාලනය කිරීම පිළිබඳ ද චෝදනා පළ වනවා. මර්කල්ගේ සංක්‍රමණික ප්‍රතිපත්ති හේතුවෙන් ඇය විශේෂයෙන්ම අන්ත දක්ෂිණාංශයේ විවේචනයට ලක් වනවා.

මැක්‍රොන් සහ මර්කල් (AP)

බොහෝ අනාවැකි අනුව කියැවෙන්නේ අන්ත දක්ෂිණාංශික පක්ෂ මෙවර මැතිවරණයේ දී යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන 751න් තුනෙන් එකක් පමණ දිනාගනු ඇති බව යි. බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් පක්ෂය​, ප්‍රංශයේ ජාතික රැලිය​, ඉතාලියේ ලීගය සහ තරු පහේ ව්‍යාපාරය​, ජර්මනිය සඳහා විකල්පය,​ හන්ගේරියාවේ ෆිඩෙස් පක්ෂය​, පෝලන්තයේ නීතිය සහ යුක්තිය පක්ෂය යනා දී පක්ෂ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ අතුරින් වැදගත් පක්ෂ වනවා. බ්‍රෙක්සිට් පක්ෂය බ්‍රිතාන්‍යය තුළ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබන තනි පක්ෂය වනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. ප්‍රංශයේ ජාතික රැළිය ද එසේ වේ යයි අපේක්ෂා කළ හැකියි.

මැයි 18 වන දා ඉතාලි උප අගමැති සහ අභ්‍යන්තර කටයුතු ඇමති වන මතයෝ සැල්විනි විසින් සංවිධානය කළ රැලියක් මිලාන්හි පවත්වනු ලැබුණා. ඊට අන්ත දක්ෂිණාංශික පක්ෂ 12ක් සහභාගී වුණා. ප්‍රංශයේ මාරීන් ලෙ පෙන් සහ නෙදර්ලන්තයේ ග්‍රීට් විල්ඩර්ස් මීට සහභාගී වූ අනෙක් ප්‍රධාන යුරෝපීය නායකයන් වනවා. සැල්විනි මෙම රැළිය මඟින් උත්සාහ කළේ යුරෝපයේ ජාතිකවාදී පක්ෂවල එකමුතුවක් වර්ධනය කරගැනීම යි.

දක්ෂිණාංශික බෙදීම්

සංක්‍රමණික ප්‍රතිපත්ති ආදී ඇතැම් කරුණු සම්බන්ධව යුරෝපයේ දක්ෂිණාංශික ජාතිකවාදී පක්ෂ එකඟ වන නමුත් වෙනත් කරුණු පිළිබඳව මෙසේ එකඟත්වයක් නැහැ. රුසියාව සමග සබඳතා, අයවැය ප්‍රතිපත්ති ආදී කරුණුවල දී මෙම පක්ෂ අතර විවිධ බෙදීම් තිබෙනවා. මේ කරුණ හේතුවෙන් අන්ත දක්ෂිණාංශිකයන් අතර වඩා පුළුල් එකඟතාවක් ඇති කරගැනීම අසීරු වී තිබෙනවා.

ජාතිකවාදී කණ්ඩායම්වලට එරෙහිව බර්ලින් හි පැවති රැළියක් (AP)

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගතවූ කාලය මුළුල්ලේම නව ෆැසිස්ට්වාදී පක්ෂ යුරෝපය තුළ මතු වූ නමුත් ඔවුන් අතර එකඟතාවක් ඇති වූයේ නැහැ. මෙම පක්ෂ කිහිපයක්ම මේ වන විට කලින් සිටි අන්ත ෆැසිස්ට්වාදී ප්‍රතිපත්ති වෙනස් කරගෙන ඇති අතර, නව ජාතිකවාදී පක්ෂ ද කරලියට පැමිණ තිබෙනවා. එහෙත් තවමත් ඔවුන් අතර බෙදීම් සැලකිය යුතු මට්ටමක පවතිනවා.

සැල්විනි විසින් පිහිටුවා ගන්නා ලද සන්ධානයට හන්ගේරියාවේ ෆිඩෙස් පක්ෂය​, පෝලන්තයේ නීතිය සහ යුක්තිය පක්ෂය සහ ජර්මනිය සඳහා විකල්පය පක්ෂය ආදී දේශපාලන පක්ෂ ඇතුළත් නොවීම මේ පිළිබඳ පැහැදිලි වන අවස්ථාවක් වනවා.

වාම කඳවුරේ බෙදීම

ජාතිකවාදී කඳවුරේ වර්ධනයට සමගාමීව​, ඊට වඩා අඩුවෙන් දැකිය හැකි තවත් වෙනසක් නම් අන්ත වාම කඳවුරේ වර්ධනය යි. සම්ප්‍රදායික මධ්‍ය වාමාංශික පක්ෂවලට ද තරමක අභියෝගයක් වන වාමවාදී පක්ෂ ඇතැම් රටවලින් මතු වෙමින් පැවතියේ කලෙක සිට යි. ග්‍රීසියේ සයිරිසාව සහ ස්පාඤ්ඤයේ පොඩේමෝස් යනු මෙසේ මෑත දශකය තුළ ජනප්‍රිය වූ පක්ෂ දෙකක් ලෙස ගත හැකියි. මේ අතර ජර්මනියේ වාම පක්ෂය ද සැලකිය යුතු ජනප්‍රියත්වයක් පසුගිය වසර කිහිපය තුළ ළඟා කරගත්තා. ප්‍රංශයේ සහ වෙනත් ඇතැම් රටවල ද මෙවන් පක්ෂ කෙමෙන් කරලියට පැමිණ තිබෙනවා.

මීට අමතරව​, අන්ත දක්ෂිණාංශිකයන් බොහොමයක් දෙනා දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් දරන මතය හේතුවෙන් ඊට එරෙහිව හරිත පක්ෂ ද ක්‍රියාකාරී වී තිබෙනවා. යුරෝපයේ බොහෝ හරිත පක්ෂ ද අයත් වන්නේ මධ්‍ය වාමාංශික කඳවුරට යි.

කෙසේ නමුත් වමේ කඳවුරේ ද කිසිදු ඒකබද්ධතාවක් නැහැ. හිටපු ග්‍රීක ආර්ථික කටයුතු අමාත්‍ය යනිස් වරුෆකිස් මේ පිළිබඳව මෑතකදී ප්‍රකාශ කරමින් කියා සිටියේ නූතන ෆැසිස්ට්වාදයට මුහුණ දීම සඳහා වාම කඳවුර එක්සත් විය යුතු වූ නමුත් එවැන්නක් දැකීමට නොහැකි බවයි. එක් අතකින් හරිත පක්ෂ අතර ද වෙනස්කම් පවතිද්දී අනෙක් අතින් වමේ පක්ෂ ද බෙදී සිටින බව කියා සිටින ඔහු වමේ ඇතැම් පක්ෂ අභ්‍යන්තරිකව ද බෙදී සිටින බව මතක් කරනවා.

බෙදුණ පාර්ලිමේන්තුවක්

මේ අතරවාරයේ වම හෝ දකුණ හෝ නියෝජනය නොකරමින් කටයුතු කරන ලිබරල්වාදී කණ්ඩායම ද යුරෝපා දේශපාලනයේ වැදගත් හඬක් බවට පත්ව තිබෙනවා. මෑතක දී එංගලන්තයේ පැවති පළාත් පාලන මැතිවරණවලදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම ඊට එක් උදාහරණයක්. ප්‍රංශයේ මැක්‍රොන් විසින් මෙහෙයවන ඔන් මාර්ෂ්! දේශපාලන ව්‍යාපාරය ද යුරෝපා පාර්ලිමේන්තුව තුළ දී මෙවැනි කණ්ඩායම් හා එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ ආකාරයෙන් විවිධ කණ්ඩායම් අතර ඡන්ද බෙදී යාමෙන් යුරෝපා පාර්ලිමේන්තුව එක් කණ්ඩායමකට හෝ තනි බලයක් නොමැති ආරවුල් සහගත ස්ථානයක් වීමේ ඉඩක් පවතිනවා. කෙසේ වෙතත් දක්ෂිණාංශය එහි ප්‍රබල හඬක් ඇති පාර්ශවයක් වන බව පැහැදිලි යි.

Cover Image: මතෙයෝ සැල්විනිගේ නායකත්වයෙන් මැයි 18 වන දා මිලානෝ හි පැවති රැළිය (ANSA)

Related Articles