අර්බුදයට විසඳුම් සෙවීමේ දී පාර්ලිමේන්තුව සතු භූමිකාව

ශ්‍රී ලංකාව වර්තමානය වන විට පෙර නොවූ විරූ සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයකට මුහුණ දෙමින් සිටී. අප රටේ ඉතිහාසය පිරික්සා බලන විට, අප පැමිණ ඇත්තේ තවත් වැදගත් සංධිස්ථානයක්‌ වෙත බව විද්වත් මතය යි. මේ වන විට රටේ ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්‌ වී ඇති අතර, ඒ හේතුවෙන් බරපතළ දේශපාලන අස්ථාවරභාවයක් ද රට තුළ නිර්මාණය වී තිබේ.

ආණ්ඩුවට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා –  www.channelnewsasia.com

ආර්ථික සෝදාපාළුවක්‌

පසුගිය දෙවසරක කාලය තුළ පැවති ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වයෙහි බලපෑමත් සමඟ ඇති වූ ආර්ථික කඩාවැටීම; වගකිව යුතු අංශවල පැවැති ආර්ථික අවකළමනාකරණය සහ මූල්‍ය විනයේ පැවැති ගැටලුකාරී තත්ත්වය නිසා වඩාත් උග්‍ර වූ බව ආර්ථික විශේෂඥයන්ගේ මතය යි. විදේශ විනිමය හිඟය නිසා අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල හිඟයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වීමත්, ඉන්ධන, කිරිපිටි, ගෑස් ආදියෙහි හිඟවීම සහ මිල ඉහළ යාමත් නිසා දිගු පෝලිම් නිර්මාණය වීමත් සමාජය තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට ඉඩ සැලසී ය.

දිගින් දිගට ම එල්ල වන මහජන විරෝධය

වර්තමානයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දැවැන්ත මහජන අරගලයක් ඇරඹී තිබෙන්නේ ද ඉහත ආර්ථික අර්බුදය හේතුවෙන් මහජනතාව තුළ හට ගත් පීඩනය පුපුරා යාමක් ලෙසිනි. එහි ප්‍රතිපල ලෙස පුරවැසියන් දහස් ගණනින් වීදි බැස ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙසට බලපෑම් කරමින් සිටින අතරතුර රාජ්‍යයේ උත්තරීතර ආයතන මත මෙකී අර්බුදය විසඳාගැනීම පිණිස ඉතා විශාල වගකීමක් පැවැරී තිබේ.

පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුර – www.newswire.lk

පාර්ලිමේන්තුව කුමක් කළ යුතුද?

මෙහි දී මහජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය වනුයේ මහජන නියෝජිතයන් 225කින් සැදුම්ලත් ව්‍යවස්ථාදායකයෙනි. එහෙයින් මහජනතාවට වගවීම පාර්ලිමේන්තුවේ යුතුකම හා වගකීම ද වෙයි. පවතින අර්බුදයට විසඳුම් සෙවීමේ දී පාර්ලිමේන්තුවට ඒ අනුව ඉතා විශාල වගකීමක් පැවරී තිබේ. එසේ නම් එම අර්බුදයෙන් ගොඩ ඒමේදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය කුමක් ද?

මූල්‍ය බලය හිමි ආයතනය පාර්ලිමේන්තුවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට ය. ඒ අනුව මුදල් යෙදවුම් අනුමත කිරීම පාර්ලිමේන්තුව සිදු කරයි. එම මූල්‍ය බලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVII පරිච්ඡේදයේ සඳහන් වේ.එහෙයින් මෙම අර්බුද සමයේ පමණක් නොව, සෑම විට ම පාර්ලිමේන්තුව, ආර්ථික පරිපාලනයේ කේන්ද්‍රය ලෙස හඳුන්වා දිය හැකි ය.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත යුතු පියවර පිළිබඳ ව සාකච්ඡා කිරීම සහ ඊට අවශ්‍ය කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තු සභිකයන් වෙත පක්ෂ -විපක්ෂ භේදයකින් තොරව පැවැරී ඇති වගකීමකි. මෙරට ආර්ථිකය තවදුරටත් කඩාවැටීම නවතා මධ්‍ය කාලීනව ස්ථාවර වීමේ අරමුණින් ක්‍රියාකාරී වීම පිළිබඳ හදිසි ක්‍රියාකාරී සැලැස්මක් ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් පිරිසක් රට හමුවේ තබා තිබෙන්නේ ද එයට විසඳුමක් ලෙසිනි.

අන්තර්වාර ආණ්ඩුවක්?

මේ අවස්ථාවේ මතු වී ඇති තවත් විශේෂ කරුණක් වන්නේ පවතින ආණ්ඩුව ඉවත් වී, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සැදුම්ල ත් අන්තර්වාර ආණ්ඩුවක් පත්කර ගත යුතු ය යන මතයක් ඉදිරිපත් වී තිබීම යි. එසේ නම්, එකී අන්තර්වාර පාලනය ද ව්‍යවස්ථාදායකය තුළින් පත්වන බැවින් එවැන්නක් පිළිබඳ වගකීම ද පැවරෙන්නේ පාර්ලිමේන්තුව වෙතට යි. අන්තර්වාර ආණ්ඩුවක් යනු තාවකාලික ආණ්ඩුවකි.

මෙවැනි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටු වූ පසු පවතින බල තුලනයෙහි වෙනසක් සිදු වන්නේ ද යන්න පැහැදිලි නැත. වත්මන් ආණ්ඩුක්‍රමය මඟින් නියත බහුතරයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයෙක් සිටි යි. ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල ව වසර පහක් ධුරය දැරිය හැකි ය.

එහෙයින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්නා විශ්වාසභංග යෝජනාවකින් ඉවත් කළ ද ජනාධිපතිවරයා ඉවත් කළ නොහැකි ය. ජනාධිපතිවරයා ඉවත් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතා සංකීර්ණ සහ අසීරු ක්‍රියාවලියකි.  ඒ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් වඩාත් ස්ථාවර ජනාධිපති ධුරයක්‌ නිර්මාණය වී තිබීම නිසා ය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් – www.reuters.com

ව්‍යවස්ථාව වෙනස් විය යුතු යි

වර්තමානයේ පාර්ලිමේන්තුව හමුවේ ඇති විශාලත ම කාර්යභාරය නම් නව ව්‍යවස්ථාවක්‌ සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක්‌ කෙටුම්පත් කිරීම යි. ජනාධිපති ධුරය වටා කේන්ද්‍රගත ව පවතින අසීමිත බලය පාර්ලිමේන්තුව වෙතට සහ වෙනත් ස්වාධීන ආයතනයන්ට පැවරිය යුතුය යන මතය මේ වන විට සමාජගත වී ඇත.

එහෙයින් වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහයක් නිර්මාණය වන අයුරින් සකස්වන ජනතා හිතකාමී ව්‍යවස්ථාවක්‌ සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවට පැවරෙන ප්‍රමුඛ වගකීමකි.

සම්ප්‍රදායික කාර්යභාරයෙන් ඔබ්බට

මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්  සාම්ප්‍රදායික ව පවරා දී ඇති වගකීම්වලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමට අවශ්‍ය අවකාශයක් නිර්මාණය වී තිබේ.

සම්ප්‍රදායික පක්ෂ දේශපාලන රාමුව ඉක්මවා, පක්ෂ- විපක්ෂ දේශපාලන මතිමතාන්තර පසෙක ලා පවතින අර්බුදයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තුව ක්‍රියාකළ යුතු වන්නේ එම ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමිනි.

එකී සාමුහික ප්‍රයත්නය තුළින් වඩාත් තිරසාර විසඳුමක් හරහා රටේ දැනට පවතින ආර්ථික – දේශපාලනික අස්ථාවරත්වය මඟහරවා ගැනීමට හැකි වනු ඇත.

විරෝධතාවල පෙරමුණ ගෙන ඇති තරුණ පරපුර – www.reuters.com

 

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව -  www.timeslanka.com

 මූලාශ්‍ර:

දේශපාලන ක්ෂේත්‍රයේ විද්වතුන් කිහිප දෙනෙක් පළ කළ අදහස් පාදක කර ගෙන මෙම ලිපිය සැකැසිණි.

Related Articles