Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දැන් ඔබටත් ලංකාවේ සියලුම රාජ්‍ය තොරතුරු දැනගන්න පුළුවන්

කාලයක් තිස්සේ කතා බහට ලක්වුණු තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන 2017 පෙබරවාරි 3 වැනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට අදාළ ආයතන වලට ගිහින් රජයේ කටයුතු ගැන ඕනෑම තොරතුරක් දැන ගන්න සම්පූර්ණ අයිතිවාසිකම් දැන් තියෙනවා.  

දීර්ඝ කාලයක් තිස්සේ නීතිමය බාධක නිසා ක්‍රියාත්මක නොවුණු තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන පනත, නැතිනම් Right To Information (RTI) Bill එක ගැසට් කෙරුණේ 2015 අවුරුද්දේ දෙසැම්බර් 18 වැනිදායි. අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ නාමික මට්ටමේ තිබුණු මේ පනතේ සියලු වගන්ති පසුගිය සතියේ ප්‍රකාශයට පත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව 3 වැනිදා සිට රටපුරාම සක්‍රීයව බලාත්මක කෙරෙනවා.

අද ඉඳලා ඔබට නගර සභාව කියනවා වගේ “ඔබේ බදු මුදල් ක්‍රියාවේ යෙදවෙනවා”ද කියලා දැන ගන්න අයිතියක් වගේම ක්‍රමයකුත් තියෙනවා. රූපය : srilankatraveldirectory.com

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හැම රාජ්‍ය ආයතනයකටම තමන්ගේ වැඩකටයුතු සහ ගණුදෙනු වල‍ට අදාළ වාර්තා නිසි පරිදි පවත්වා ගෙන යන්නත්, ඒවා මහජනයාට දැනගත හැකි විදිහට ඒ තොරතුරු මුදා හරින්නත් නියම කෙරෙනවා. මධ්‍යම රජයේ අමාත්‍යාංශ, සංස්ථා, රජයේ සහ පොදුජන වැඩකටයුතු / සේවාවල යෙදෙන පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය සභා, දෙපාර්තමේන්තු, අධිකාරි ආයතන, පළාත් සහා වලින් බලය පවරන ලද ආයතන වගේම රජයේ මුදලින් සිදු කෙරෙන ව්‍යාපෘති වල නිරත වන රජයේ නොවන සංවිධාන (NGO) යන ආයතන සියල්ලම මේ පනතේ විෂය පථයට අයත්. රජයේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන, උපාධි පිරිනමන රජයේ නොවන සියලු ආයතන, පිළිගත් වෘත්තීය ආයතන, සියලුම අධිකරණ, උසාවි සහ නීතිය පසිඳලීමට දායක වෙන සියලුම ආයතනත් තමන්ගේ තොරතුරු මහජනයාගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරන්න බැඳී සිටිනවා.

සරලව කියනවා නම් ජාතික ආරක්ෂාව ඇතුළු අංශ කිහිපයක හැරුණාම රජයේ සෑම වැඩකටයුත්තක් ගැනම තොරතුරු දැන ගැනීමේ අවස්ථාව ඕනෑම පුරවැසියෙකුට ලබා දෙන්න මේ කියපු ආයතන සියල්ලටම සිදු වෙනවා.

තොරතුරු දැන ගැනීමේ පනතේ ඇති වැදගත්කම ගැනත්, එයින් වගකිව යුතු, දැනුවත් හා විනිවිදභාවයකින් යුතු සිවිල් සමාජයක් සහ රජයක් පවත්වා ගෙන යන්න ලැබෙන පිටිවහල වගේ කාරණා ගැනත් නිතරම සාකච්ඡා කෙරෙනවා. නමුත් බොහෝ මාධ්‍ය වල සාමාන්‍ය පුරවැසියන්ට මෙය තමන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කර ගන්න භාවිත කරන්න පුළුවන් විදිහක් ගැන පැහැදිලි කෙරෙන්නේ නැහැ. මේ වගේ ආයතනික තොරතුරු ලබා දෙන විදිහ ගැන වගේම ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ගැනත් වැඩි දෙනා තුළ උනන්දුවක් නැත්තේ ඒ නිසයි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පසුගිය වර්ෂයේදී “ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ පුරවැසි අත්පොත” කියලා ප්‍රකාශනයක් නිකුත් කළා. එයින් මේ පනත සාමාන්‍ය පුරවැසියන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ආකාර ගැන විස්තර කෙරෙනවා. අපි මේ උත්සාහ කරන්නේ ඒවා අතරින් අපට වඩාත් වැදගත් වෙන කාරණා කිහිපයක් ගැන සොයා බලන්නයි.

තොරතුරු දැන ගන්නා ආකාරය : නිසි ක්‍රමවේදය

තොරතුරු දැන ගැනීමේ පනත වඩාත් ප්‍රයෝජනවත් වෙන්න නම් මහජන බලාධිකාරයන් විසින් මේ තොරතුරු මහජනයාට පහසුවෙන් භාවිත කළ හැකි තත්වයට පත් කළ යුතුයි. ඒ බව මේ පුරවැසි අත්පොත මගින් පැහැදිළිවම පෙන්වා දෙනවා.

“සියලුම මහජන බලාධිකාරයන් සිය තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ හැකි ක්‍රමවේදයන් තම සංවිධාන ව්‍යුහය තුළින්ම සකසා ගත යුතු අතර, එම බලාධිකාරයන් සතු මහජනයා වෙත නිකුත් කෙරෙන සියලු තොරතුරුත්, එම තොරතුරු සඳහා දරන වියදමත් යන කාරණා පොදු ලැයිස්තු වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය. එසේම ඔවුන් එම තොරතුරු සාධාරණ කාල සීමාවක් තුළදී ප්‍රකාශයට පත් කිරීමද අනිවාර්ය වේ. සියලුම මහජන බලාධිකාරයන් පවත්වා ගෙන යා යුත්තේ මහජනයා වෙත උපරිම වශයෙන් තොරතුරු හෙළිදරව් කිරීම සහ පූර්වක්‍රියාකාරී ආකාරයෙන් තොරතුරු හෙළිදරව් කිරීම යන අපේක්ෂාවන් පදනම් කරගෙනය.”

සරලව කියනවා නම් ඕනෑම පුරවැසියෙක්ට යම් බලාධිකාරයක් ගැන මොනවා හරි තොරතුරක් දැන ගන්න අවශ්‍ය නම් ඔහුට / ඇයට අදාළ අධිකාරිය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති / ලැයිස්තු ගත කර ඇති තොරතුරු කියවා බලන්න සිදු වෙනවා. තමන්ට අවශ්‍ය තොරතුරු පළ කරලා තියෙන තොරතුරු අතර නැති නම් ඒ ගැන නිල ඉල්ලීමක් ඉදිරිපත් කරලා ඒ තොරතුරු ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලා සිටින්න පුළුවන්.

කොහොම නමුත් සැබෑ ජීවිතයේ බොහෝ දේවල් වගේ මේ අතිරේක තොරතුරු ඒ තරම් පහසුවෙන්වත්, නොමිලේවත් අපිට ලැබෙන්නේ නැහැ. සම්මත වුණු පනතට අදාළ නීතියේ සඳහන් වෙන්නේ අදාළ ආයතනයන් මේ විදිහට ඉල්ලා සිටින තොරතුරු “සාධාරණ කාල පරාසයක් තුළදී” ලබා දිය යුතුයි කියලයි. ආයතනය හෝ අධිකාරිය අනුව මේ සාධාරණ කාලය අඩු වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඒ තොරතුරු ලබා දෙන්නේ යම් මිල කිරීමක් සහිතවයි. ඉතින් “තමන්ගේ ප්‍රදේශයේ නගර සභාව අවුරුද්දකදී වැය කරන මුදල සහමුදල් වැය කරන කාරණා මොනවද” වගේ දෙයක් දැන ගන්න ඕන නම් බොහෝ විට ඒ සඳහා යම් මුදලක් ගෙවන්නත් සිදු වෙන්න පුළුවන්.

ඊට අදාළ ගාස්තු ගැන තීරණය කරන්නේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ බිහි කෙරුණු කොමිෂන් සභාව මගින්. නමුත් මේ පනතේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා තොරතුරු සඳහා ගෙවිය යුතු ගාස්තු ගැන අදාළ බලාධිකාර / ආයතන පරිශ්‍රයේ පැහැදිළිව පෙනෙන විදිහට දක්වා තිබිය යුතුයි කියලා.

ඒ වගේම තොරතුරු ලබා ගැනීම සඳහා ආයතනයේ අදාළ තොරතුරු නිලධාරියා වෙත තමන්ට අවශ්‍ය තොරතුරු ගැන පැහැදිළිව සඳහන් කරලා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන්නත් අවශ්‍යයි. (මේ නිලධාරීන් ගැන පහළින් විස්තර කෙරෙනවා) මේ ඉල්ලීම නිවැරදිව සකස් කරලා ඉදිරිපත් කළාම තොරතුරු ලබා දීම සඳහා ඉල්ලීමක් ලැබුණු බව තහවුරු කෙරෙන කුවිතාන්සියකුත් අදාළ පුද්ගලයා වෙත ලබා දෙනවා.

තොරතුරු නිලධාරීන්

ආයතනයක් ගැන තොරතුරු දැන ගන්න කැමති කෙනෙකු ඒ සඳහා හමු විය යුතු නිලධාරීන් තමයි මේ විදිහට හඳුන්වන්නේ. රූපය : coloradomesa.edu

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන පනතට අනුව අපි කලින් සඳහන් කරපු හැම පොදු ආයතනයකම තොරතුරු නිලධාරියෙක් ස්ථාපනය කරන්න අවශ්‍යයි. පනතේ කියලා තියෙන විදිහට මහජනතාව වෙත තොරතුරු ලබා දෙන්න සියලු ආයතන තුළ මේ තොරතුරු නිලධාරීන් (Information Officers) සහ පදවිලත් නිලධාරීන් (Designated Officers) සිටීම ඉතාම වැදගත්. තොරතුරු දැන ගන්නට කැමති ඕනෑම පුරවැසියෙකු හමු විය යුත්තේ මේ නිලධාරීන්වයි. ඕනෑම පුරවැසියෙකුට තොරතුරු ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්නත්, තොරතුරු ලබා ගැනීමට ඉඩකඩ සලසන්නත් මේ නිලධරයන් බැඳී සිටිනවා.

තමන්ට සේවය සලසන තොරතුරු නිලධාරියාගේ වැඩකටයුතු ගැන ඔබට සෑහීමට පත් වෙන්න බැරි නම් ඒ ගැන පැමිණිලි කිරීම සඳහා අදාළ ආයතනයේ තවත් ඉහළ නිලධාරියෙක් ඉන්නවා. පදවිලත් නිලධාරියා නැතිනම් Designated Officer කියලා හඳුන්වන්නේ මේ නිලධාරියාවයි. තොරතුරු නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන ලැබෙන පැමිණිලි විමර්ශනය කරලා ගැළපෙන විසඳුම් ඉදිරිපත් කරන එක මොවුන්ගේ ප්‍රධාන වගකීමක්.

තොරතුරු නිකුත් කිරීම යම් නිලධාරියෙක් ප්‍රතික්ෂේප කරනවා නම් එය නීතියට අනුව සැලකෙන්නේ වරදක් විදිහටයි. එවන් අවස්ථාවක අදාළ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් එම නිලධාරියා සාධාරණ හේතු දැක්වීමක් කළ යුතුයි.

තොරතුරු නිකුත් කරන්න ගත වන කාලය

තොරතුරු ලබා ගන්න ඉල්ලීමක් ඉදිරිපත් කරාට පසුව එම ඉල්ලීම සම්පූර්ණ කෙරෙනවාද, ප්‍රතික්ෂේප කෙරෙනවාද කියන එක ගැන හැකි ඉක්මණින් අදාළ පුරවැසියා වෙත දැනුම් දිය යුතුයි. ඉල්ලීම තහවුරු කිරීමෙන් පස්සේ අදාළ තොරතුරු ලබාදෙන්නේ නම් එය දින 14ක කාලයක් ඇතුළත ලබා දිය යුතුයි.

යම් කෙනෙකුගේ ජීවිතයට සහ/හෝ පෞද්ගලික නිදහසට තර්ජනයක් විය හැකි ආකාරයේ තොරතුරු ගැන පැය 48ක් ඇතුළත ප්‍රතිචාරයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

කොහොම නමුත් ඉල්ලුම් කරලා තියෙන තොරතුරු ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශාල ලේඛණ ප්‍රමාණයක් පරීක්ෂා කරන්න සිදු වෙන අවස්ථාවක හරි, පරිපාලනමය වශයෙන් තොරතුරු එක්රැස් කරගන්න අපහසු අවස්ථාවක හරි මේ දින 14ක කාලය දින 21ක් දක්වා දීර්ඝ කර ගන්න ආයතනයට අවස්ථාව තිබෙනවා.

ඉතින් දැන් ශ්‍රී ලාංකික පුරවැසියන් කාටත් හිමිවෙන අලුත්ම අයිතිවාසිකම ගැන ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති. තොරතුරු දැන ගැනීමේ පනතට අදාළ වන යම් ආයතනයක තොරතුරු ලබා ගන්න කැමති නම් ඔබට මේ කරුණු ගැන දැන සිටීම බොහෝ විට ප්‍රමාණවත්. ඒ ගැන වැඩිදුර කරුණු වගේම යම් ආයතනයකට සුවිශේෂී විය හැකි වෙනත් කාරණා ගැනත් ඔබ හමු වෙන තොරතුරු නිලධාරියාගෙන්ම වැඩි විස්තර දැන ගන්න පුළුවන් වේවි.

මේ අයිතිවාසිකම නිවැරදිව, බුද්ධිමත්ව පාවිච්චි කළොත් අපේ දැනුම වැඩි කර ගන්න වගේම රටේ කටයුතු වලට වැඩි දායකත්වයක් ලබා දෙන පුරවැසියෙක් බවට පත් වෙන්නත් අපිට අවස්ථාව තියෙනවා.

කවරයේ රූපය : Roar.lk/Nishan Casseem

Related Articles