රුසියානුවන් සිය අපකීර්තිය වසාගත් දෙවන චෙච්නියානු යුද්ධය

පළමු චෙච්නියානු යුද්ධයේ දී කුඩා චෙච්නියානු බෙදුම්වාදී ව්‍යාපාරය හමුවේ පරාජයට පත්වීම​, සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසු රුසියාව වැටී තිබූ තත්ත්වය පිළිබඳ හොඳ සාධකයක් වුණා. ඒ පිළිබඳ අප කලින් ලිපියක් පළ කළා ඇතැම් විට ඔබට මතක ඇති.

කියවන්න​: රුසියාවට ලජ්ජාසහගත පරාජයක් ගෙනා පළමු චෙච්නියානු යුද්ධය

පළමු යුද්ධයෙන් කලක් යනතුරු චෙච්නියාව ප්‍රායෝගික වශයෙන් ගත් කළ ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතුණා. මේ අතර රුසියාවේ දේශපාලන තත්ත්වය ද එතරම් ම ස්ථාවර වුණේ නැහැ. ජනාධිපති බොරිස් යෙල්ට්සින් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ අතර අගමැතිවරුන් ද නිතර මාරු වුණා.

1999 අගෝස්තු 9 වනදා දේශපාලනයට නවකයකු වූ ව්ලදිමීර් පුටින්ව යෙල්ට්සින් විසින් වැඩබලන අගමැති ලෙස පත් කළා. ඉන් සතියකට පසු ඔහු එම ස්ථානයේ ස්ථිරවම පත් කෙරුණා. බොහෝ දෙනෙක් ඔහු ද වැඩි කලක් අගමැති තනතුර දරනු ඇතැ යි විශ්වාස කළේ නැහැ. එසේ විශ්වාස කිරීමට හේතුවක් තිබුණේ ද නැහැ. නමුත් කෙටි කලකින් ම පුටින් වෙත වැඩි වැඩියෙන් බලය පැවරීමට යෙල්ට්සින් කටයුතු කරනු පෙනුණා.

යෙල්ට්සින් සහ පුටින් (ITAR-TASS)

පුටින් වැඩබලන අගමැති ලෙස පත් වූ දිනවලම​ රුසියාව අලුත් තර්ජනයකට මුහුණ දුන්නා. බලය තමන් වෙත වඩා කේන්ද්‍රගත වෙද්දි, පුටින්ගේ දේශපාලන අනාගතය පිළිබඳව ද එම ප්‍රශ්නය වැදගත් ස්ථානයක් ගත්තා.

ඩගෙස්ථාන් යුධ මෙහෙයුම්

ප්‍රායෝගිකව ස්වාධීන රාජ්‍යයක් බවට පත්ව තිබුණ ද චෙච්නියාවේ තත්ත්වය ඉතා නරක වුණා. මධ්‍යම රජයට කිසිදු බලයක් නොමැති තැනට පත්ව තිබුණා. යුධ සමයේ දී මිලීෂියා නායකයින් වූවන් අත සැබෑ බලය රැඳුණා. මේ අතර​, චෙච්නියානුවන් අන්තවාදී, වහාබ්වාදී ඉස්ලාමය කරා යොමු වෙමින් තිබුණා. මධ්‍යම රජයට රැකියා උත්පාදනයට හෝ ආර්ථිකය නගා සිටුවීමට හෝ හැකියාවක් වූයේ නැහැ.

1999 අගෝස්තු 7 වනදා, චෙච්නියාවේ සිට ඉස්ලාමීය සටන්කාමීන් යාබද රුසියානු ප්‍රදේශයක් වූ ඩගෙස්ථානය ආක්‍රමණය කළා. ඔවුන් එය ද ඉස්ලාමීය රාජ්‍යයක් ලෙස නම් කර​, ඉස්ලාමීය නොවන්නන්ට එරෙහි යුද්ධයක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශයට පත් කළා. මෙම මෙහෙයුමට නායකත්වය දුන්නේ ෂමිල් බසායෙෆ් සහ සෞදි අරාබියේ උපන් ඉස්ලාම් අන්තවාදියකු වූ ඉබන් අල්-හටාබ් නමැත්තා යි. ඔවුන් සමග 2,000ක පමණ පිරිසක් වූ අතර එහි චෙචන් සහ ඩගෙස්ථානි සටන්කාමීන් මෙන්ම අරාබියෙන් පැමිණි මුජහිදීන්වරු සහ වහාබ්වාදීන් ද සිටියා. චෙච්නියානු ජාතිකවාදී අරගලයක් ලෙස 1990 දශකයේ මුල් කාලයේ ඇරඹුණ බෙදුම්වාදී අරගලය මේ වනවිට ආගමික අන්තවාදී සටන්කාමීන් අතට පත්වී තිබීම පිළිබඳ මෙය හොඳ සාධකයක් වුණා.

මෙම ආක්‍රමණය ඇරඹුණ මුල් දිනවල රුසියානු රජයේ හමුදා ඊට එතරම් ක්‍රමානුකූලව මුහුණ දුන්නේ නැහැ. නමුත් ඩගෙස්ථාන් පොලිසිය සැලකිය යුතු ප්‍රතිරෝධයක් දැක්වීමට සමත් වූ අතර ඊට ස්වදේශික ගම් වැසියන් ද උපකාර කළා. සටන්කාමීන් බලාපොරොත්තු වූ තරම් සහයක් ඩගෙස්ථාන් වැසියන් වෙතින් ඔවුන්ට ලැබුණේ නැහැ.

ස්වල්ප දිනක් ගතවෙද්දි රජයේ හමුදාවල ප්‍රතිචාරය වඩා සාර්ථක වෙන්නට පටන් ගත්තා. ඔවුන් බර අවි යොදාගෙන සටන්කාමීන් වෙත පහර දුන්නා. එමෙන්ම ගුවනින් ද ඔවුන් වෙත පහර දෙනු ලැබුණා. මේ අනුව කෙමෙන් කෙමෙන් සටන්කාමීන්ව චෙච්නියාව දෙසට පසුබස්වනු ලැබුණා.

චෙච්නියාව. ඩගෙස්ථානය මින් නැගෙනහිර දෙස පිහිටි ප්‍රදේශය යි (Google Maps)

මෙම පසුබැසීමට ඔවුන් පිළිතුරු දුන්නේ ක්‍රම දෙකකින්. එකක් නම් බුයිනාක්ස්ක් නම් වූ නගරයක සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරය යි. අනෙක නම් ඩගෙස්ථානය වෙත එල්ල වූ දෙවැනි ආක්‍රමණය යි. මෙම දෙවන ආක්‍රමණය හේතුවෙන් රුසියන් සේනා දින කිහිපයක්  තරමක පීඩනයකට ලක්වී තිබුණා.

කෙසේ නමුත් සැප්තැම්බර් මැද වනවිට ඩගෙස්ථානය දෙසින් කැරලිකරුවන් පළවා හැරීමට රුසියන් හමුදා සමත් වුණා.

යුද්ධය චෙච්නියාවට​

ඩගෙස්ථානය වෙතින් කැරලිකරුවන් පළවා හැරීමෙන් ප්‍රශ්නය අවසන් නොවන බව අවබෝධ කරගත් රුසියාව යුද්ධය චෙච්නියාව වෙත ගෙනගියා. පළමු චෙච්නියා යුද්ධයේ දී සිදු වූ වැරදීම් පිළිබඳ අවබෝධයක් තිබූ හෙයින් මෙවර ඔවුන් පිරිස් බලය සහ අවි බලය මනාව සංවිධානය කරගැනීමෙන් සහ අනවශ්‍ය කලබලයකින් තොරව, අඩුවෙන් අවදානම් ගනිමින් සටන් වැදුණා.

චෙච්නියාවේ උතුරුදිග තැනිතලා ප්‍රදේශ ඔස්සේ ටෙරෙක් නදිය වෙත පැමිණීමට රුසියානුවන්ට එතරම් අපහසුවක් වූයේ නැහැ. ඔක්තෝබර් මුල් සතියේ දී එම නදිය තෙක් රුසියානුවන් පැමිණියා. ඉන්පසු ඔවුන් නදිය තරණය කර මධ්‍යම චෙච්නියාව වෙත පැමිණියා. එහිදී ඔවුන් ඉතා සුපරික්ෂාකාරීව ගමන් කළ බව කිව යුතු යි.

දෙවන චෙච්නියා යුද්ධයේ වැදගත්ම අවස්ථාව වූයේ ග්‍රොස්නි නගරය වටලෑම යි. දෙසැම්බර් මුල සිට නගරය වෙත පහර දෙන ලද අතර නගරය වටලෑම සම්පූර්ණ වීමට ස්වල්ප දිනක් ගතවුණා. නගරය අවට වූ සටන්වලින් පසු නගරය සම්පූර්ණයෙන් වටලනු ලැබුණා. නගරය තුළ සිටියේ සටන්කාමීන් 3,000ක හෝ ඊට තරමක් වැඩි ප්‍රමාණයක් පමණ යි. නමුත් රුසියානුවන් කිසිදු අවදානමක් ගත්තේ නැහැ. ඔවුන් දිගින් දිගටම නගරයට පහර දුන් අතර නගරය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වුණා (2003 දී එක්සත් ජාතීන් විසින් පළ කළ වාර්තාවකට අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසු වැඩියෙන්ම විනාශ වූ නගරය වූයේ ග්‍රොස්නි නගරය යි). සිවිල් වැසියන්ට ද මෙම ප්‍රහාර හේතුවෙන් විශාල පීඩාවක් එල්ල වුණා. සැලකිය යුතු සිවිල් වැසියන් ප්‍රමාණයක් මෙම ප්‍රහාර හේතුවෙන් මියගිය නමුත් ඒ පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නැහැ.

2000 පෙබරවාරි මුල දී රුසියානුවන් ග්‍රොස්නි නගරයේ බලය තහවුරු කරගත්තා. ඒ වෙද්දි චෙච්නියානු සටන්කාමීන් සම්පූර්ණයෙන් පරාජය වී තිබුණේ නැහැ. රටේ දකුණුදිග කඳුකරයේ බලය රුසියානුවන් අතට පත් වූයේ තවත් කලක් ගිය පසුව යි. එහෙත් ග්‍රොස්නි සටන මෙම යුද්ධයේ තීරණාත්මකම සාධකය බවට පත් වුණා.

ග්‍රොස්නි සටන අවසන් වූ පසු විවේකයෙන් පසුවන රුසියන් හමුදා සාමාජිකයන් කිහිප දෙනෙක් (Imgur)

දකුණුදිග කඳුකරයේ ප්‍රධාන සටන් 2000 අවසන් වනතුරු ම පැවති අතර​, ඉන්පසු ද චෙච්නියානු සහ ඉස්ලාමීය සටන්කාමීන් ගරිල්ලා ක්‍රමයේ සටන් වසර ගණනක්ම පවත්වගෙන ගියා. එමෙන්ම ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම​, බෝම්බ ප්‍රහාර ආදී ත්‍රස්ත ක්‍රියාවල ද ඔවුන් නිරත වුණා. කෙසේ නමුත් 2009 වන විට මෙම අරගලය සම්පූර්ණයෙන්ම පාහේ පරාජය කෙරුණා. රුසියාව එම වසරේ දී නිල වශයෙන් චෙච්නියාවේ යුද්ධය අවසන් බව නිවේදනය කළා.

චෙච්නියා යුද්ධයේ කෙටි කාලීන ප්‍රතිඵලය වූයේ 2000 මැයි මාසයේ දී පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා යුධ සාර්ථකත්වය ව්ලදිමීර් පුටින්ට අතිශයින්ම වැදගත් වීම යි. රුසියානුවන් චෙච්නියාවේ දී නැවත අසාර්ථක වූයේ නම් පුටින් එම ජනාධිපතිවරණය ජය ගන්නට ඉඩ තිබුණේ ද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකියි.

Cover Image: ග්‍රොස්නි නගරයේ දී සන්නාහ රථයක නැගී යන රුසියන් සෙබළුන් පිරිසක් (Pinterest)

Related Articles